මල් තුහින -50

අනුමිත ද්වේෂ සහගත හැරයාම යටතේ මලිති දික්කසාදය ලබා ගත්තා ය. ඇයට නිවස අත හැර යන තැනට කටයුතු කළ නවීන් ය. රුවිනිට යාබද නවාතැනේ ජීවත් වන්නට ගත් දා පටන් ඇයට තදින් දැනුණු කාරණාවක් විය. ඒ සැනසීම ය. ඈ ජීවත් වූයේ අප්‍රමාණ සැනසීමකිනි. නින්ද පවා අහිමි නොවන රාත්‍රීන් ඇය ගෙවා දැම්මේ සොම්නසකිනි.

“මං කාලෙකට පස්සෙ ජිවත් වෙනවා.”

ඇය එසේ පැවසුවේ දික්කසාදය ලබා ගත් දිනයේ ය.

“ඔයා  එක්ක අපි ඉන්නවා කියලා ඔයාට අපි කියන්න ඕන නෑ. මං හිතන්නෙ ඔයා ඒක දන්නව.”

තුහින එසේ කියද්දී මලිති ඉසිහින් සිනාවක් පැළැන්දා ය.

“තමන්ගේ කියලා තේරෙන මිනිස්සු අපි ඔයාට ඉන්නවා කියලා කියන නොකියන එකේ වෙනසක් නෑ. එයාලා වැඩ කරන විදියෙන් නෙමෙයි බැල්මකින් පවා ඒක තේරෙනවා.මං ඔයාලා ගැන දන්නවා.”

එසේ පැවසූ ඇය සොම්නස් සිනාවක් නැඟුවා ය. දික්කසාද වී පැමිණ අවලංගු කාසියක් වී ජීවිතය ගෙවන ගැහැනු ඇය ආසියාතික සිනමා නිර්මාණ වල ඕනෑ තරමට දැක තිබේ. නමුත් ලෝකය දැන් එතරමට පටු නැති බව සිතන්නට මලිති කැමති ය. දික්කසාදය කියන්නේ සියල්ලම අහිමි වීම නොවේ. ඇතැම්විට අලුත් ආරම්භයක් වන්නට ද පුළුවන.

“ඔයාගේ අම්මා දාලා ගිය හන්දනෙ සුදු අම්මා තරම් වටින මනුස්සයෙක් ඔයාගෙ අම්මා වුණේ. සමහරවිට ඔයාගේ ජීවිතේ දෙවැනි අවස්ථාව වෙන්නැති සාර්ථකම.”

තුහින එසේ කියා තත්පර කිහිපයකට නිහඬව සිටියේ ය. කියන්නට ඊටවඩා කතාන්දරයක් තිබේ.

“සුදු අම්මා,තාත්තා,නංගි, රුවී වගේම මමයි මගේ පොඩි කෙල්ලයිත් ඔයා මෙහෙම නිදහස් වෙනකම් බලන් හිටියා.”

මලිති තුහිනගේ දෑස් දෙස බැලුවේ සෘජුව ය.මේ පාසල් කාලයේ උමතුවෙන් මෙන් තමන් පැතූ තරුණයා වග නොදැන ඔහුව ඒකපාර්ශ්වික ප්‍රේමය කරගත් අතීතය ඇය සිහි කළා ය. ඔහු වෙනුවෙන් ලියූ දිගු සටහන්, උමතු සටහන්, ප්‍රේමය පිරී ගිය සටහන් ඇයට සිහි වන්නේ මන්දස්මිතයක් සහිතව ය.

“ඔයා උත්පලා එක්ක නඩුව ඉවර කරගන්නකො.”

ඈ පැවසූ කතාවේ අරුත ඔහුට වැටහේ. තුහින මලිතිගෙන් සමු ගත්තේ බලාපොරොත්තු සහගතව ය. ශේන්යාට සමාජ මාධ්‍ය තුළදී ලෝකයේ හිඳින හොඳම අම්මා වූ උත්පලා අනිත් සෑම මොහොතක ම ඇය තනි කළ බව ඔහුට අමතක කරන්නට නොහැකි ය. මලිති ඇගේ අම්මා වන්නේ නම් ඒ ජීවිතය ලබන ඉහළම ජය බව ඔහුට සිතේ. ශේන්යා අනතුරට පත් වූ දා ඈ තදින් ළයට තුරුළු කර හුන් මලිතිගේ දෑස් බැල්ම ඔහුට අමතක කරන්නට නොහැකි තරම් ය.

කාලය ගලන්නේ ඊයක වේගයෙනි. උත්පලා සමඟ අවසන් නඩු වාරය ක්‍රියාත්මක විය හැකි බව තුහින සිතා හුන් දිනයේ ඔහුට වට්ස් ඇප් පණිවිඩයක් පැමිණ තිබිණ. ඒ රුවිනිගෙනි.

මංගල ඡායාරූපයක්! තුහින එය විවෘත කළේ පුදුමයෙනි.

“මූ මාර පොරක්නෙ. මෙච්චර ඉක්මනින් මැරි කරේ?”

නවීන්ගේ මංගල ඡායාරූපය දුටු තුහිනට රුවිනිට ඇමතුමක් නොදී ඉන්නට නොහැකි විය. ඇය වෙනදා මෙන් උස් හඬින් හිනැහුණේ නැත. 

“මලී ඔය කතා අපෙන් හංගන් ඉඳලා.”

නවීන්ට ප්‍රේම කතා කිහිපයක්ම තිබී ඇති බවත් ඔහු මලිති නොසලකා හරින්නට එකම හේතුව එය බවත් රුවිනි කියන්නේ කෝපය ද ශෝකය ද මුසු වූ හඬකිනි. කිසිම දවසක ඒ නොසලකා හැරීම ගැන වැළපීම මිසක හේතු කියන්නට ඇයට උවමනා වූයේ නැත. කෙනෙකු පවසන දෙය මිසක අභ්‍යන්තරයේ ඇති දෑ හාරාවුස්සා බැලීම ඉතා අප්‍රසන්න දෙයක් බව ඇදහූ රුවිනිද මිතුරියගෙන් කිසිවක්ම විමසන්නට නොගියා ය. තමන් ආදරය කළ මිනිසා වෙනත් ගැහැනුන් පතන බව දැන දැනම ඇය වේදනාත්මක කාලයක් ගෙවන්නට ඇතැයි සිතීම තුහිනට වේදනාවකි.

“මලී අවුලින්ද?”

ඔහු ඇසුවේ ඒ හන්දා ය.

“නවීන් දැන් එයාගේ කවුරුත් නෙවේනෙ. අනික ඇත්තටම නවීන්ට බඳින්න අයිතියක් තියනවත්නෙ. ඕකට ඉස්සර වුණේ මලී නම් ඒත් කතා අහන්න වෙනවා.”

එහෙත් නවීන්ගේ විවාහය ගැන අනෙක් අයට හාරාවුස්සා බලන්නට සිතුණහොත් එය මලිතිට දරා ගන්නට අසීරු වන්නට ඉඩ තිබේ.

“මේ මෑතක් වෙනකම්ම මං පැතුම් ගැන කාටත් හොරෙන් හොයල බැලුව තුහින. එයාගෙන් පස්සෙ රිලේෂන්ශිප් කීපයක්ම ඇති වුණත් පැතුම් ගැන මොකක්දෝ එකක් මගේ හිතේ තිබ්බා. ඒක නැති වුණේ කාලෙත් එක්ක. මට හිතෙනවා මේ ෆොටෝස් දිහා බලාගෙන මලී අඬනවා ඇති. ඒත් මං මේ රෑ එයා නළවන්න යන් නෑ. ඔයත් කෝල් කරන්න එපා. අඬලා හිත හදා ගන්න එයාට ඉඩ දෙමු. තමන්ගෙ වෙලා තිබ්බ ගෙයක් වාහනයක් වුණත් සල්ලිවලට වෙන කාටවත් දෙනකොට පවා අපේ පපුව හීරෙනවනෙ.එහෙම එකේ තමන්ගෙය කියලා ළඟින්ම හිටිය මනුස්සයෙක් නීතියෙන් නැති වෙලා ගිහින් ඒ මනුස්සයා නීතියෙන්ම තව කෙනෙක්ට අයිතියි කියන හැඟීම ගෑනියෙක්ට අමාරු ඇති. අපි මලීට අද ඒක තනියම විඳ ගන්න දෙමු.”

මලිතිගේ හිත නොහදා රැයක් පහන් කරන්නට හිත හදා ගන්නට අසීරු බව ඇත්තකි. නමුත් තුහින ඇයට එකඟ වන්නට තීරණය කළේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles