සනුජත් ශිහානුත් අකලංකගේ කාර්යාල කාමරයට කඩා වැදුනේ හදිසියේය.එවේලෙහි අකලංක වූයේ දිනාරා සමග එක්ව කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් යැවිය යුතු ලිපි කිහිපයක් සකස් කරමින්ය.
“ අඩෝ අපේ ෆෝන් එකටවත් ආන්සර් කරන්නේ නැතුව මෙන්න මූ වැඩ…”
සනුජගේ ඒ හඬින් තිගැස්සී ගියේ දිනාරා පමණක් නොවේ. අකලංකත් ලැප්ටොප් පරිගණකයෙන් නෙතු මුදාගත්තේ තිගැස්සීගෙනය.
“ මොකද බං මේ කෑ ගහන්නේ.මගේ කන් ඇහෙනවා…”
“ තොගේ කන් ඇහෙනවනම් බලහං ෆෝන් එකේ මිස්ඩ් කෝල් ඇලර්ට් කීයක් තියෙනවද කියලා “
“ කන් ඇහුනට මේ වෙලාවේ ෆෝන් එක තිබ්බේ සයිලන්ට් කරලා.මං අර්ජන්ට් වැඩක බං.උඹලා ඔය ගන්නේ මොකක් හරි වලක් බහින්න සෙට් වෙනනව කියලා මං දන්නවනේ…”
“ අඩේ. මූට කවදද අර්ජන්ට් වැඩ තිබුණේ.සැබෑ වෙනසක් මචං…”
මිතුරන් දෙදෙනා කාර්යාල කාමරයෙහි වූ පුටු දෙකකින් අසුන් ගත්තේ ඇරයුම් නොලබාමය.මින් පෙරත් වතාවක් දෙවතාවක් හමුවී තිබූ මේ තරුණයන් දිනාරාට අමුත්තන් වූයේ නැත.එක හෙලා වදනක් දෙකක් කතා නොකලත් ඔවුන්ගේ උසුළු විසුළු ඈ අසා සිටියේ තමාගේ මේසයේ රාජකාරීන්හී නිරත වන අතරේය.මින් විනාඩි කිහිපයකට පෙර අකලංකට දුරකථන ඇමතුම් කිහිපයක් පැමිණියත් ඒ සෑම වතාවකම ඔහු දුරකථනය නිහඩ කරන අයුරු දිනාරා බලාගෙනය.කර්මාන්ත ශාලාවේ සේවකයන් එකිනෙකාට වෙන වෙනම යැවිය යුතු ලිපි සියල්ලම ඇය පෙරදා සකස් කළත් ඒවාට අකලංකගේ අත්සන ලබා ගැනීමත් ඉන්පසුව මහින්ද මහතාගේ අත්සන ලබා ගැනීමත් කළ යුතුව තිබුණේ උදෑසනය. දින කිහිපයක සිට අකලංක වෙනදාට වඩා වැඩි වේලාවක් කාර්යාල කාමරයෙහි රැඳී සිටිනවායැයි දිනාරාට සිතිණ. හිමාෂා පවා ඒ ගැන ඇගෙන් ඇසුවේ උදෑසන ආහාර ගනිද්දීය.
ආයතන කාර්යයන් පිළිබඳව සොයා බැලීමේදී වෙනදා සේම මන්දගාමී පිළිවෙතක් අනුගමනය කළත් ඔහු මේ අයුරින් කාර්යාල කාමරයේ රැඳී සිටීම දිනාරාට සහනයක් විය.පසුගිය සමයේ ඔහුගේ අත්සනත් , අනුමැතියත් ලබාගැනීමට සිදු වූ බොහෝ ලිපි සකස් කරමින් ඈ ඔහුව කාර්යාලයට ගෙන්වා ගන්නේ දෙතුන් වතාවක්ම දුරකථනයෙන් කතා කළාට පසුවය.ඇවටිලි කලාට පසුවය.වඩාම අපහසු වන්නේ ඔහු වෙනුවෙන් මහින්ද මහතාට උත්තර දෙන්නට සිදු වද්දීය.
එක් එක් අංශ හා සහ සම්බන්ධව වැඩ කරන ආයතනයේ තමාගේ කොටසින් වන ප්‍රමාදය ගැන ඔහුට වගක් නොවූ තරම්ය.විටෙක විශ්ව සර්ගේ හිමාෂාගේ සහයෝගයෙන් දිනාරා ඒ අඩුපාඩු පියවන්නට උත්සහ දැරූ වාර අනන්තය.
“ ආවනම් සද්දෙ වහලා ඉදහන් මට මේ ඩොකියුමන්ට්ස් ටික සයින් කරන්න දීලා.”
“ හරි… හරි…අකලංක සර්..
අපි ඒ කියන විදිහටම ඉන්නම්.මට කියන්න පුළුවන්ද සර් මීට පස්සේ අපි ඔබතුමාව හම්බවෙන්න එන්න දවස් කීයකට කලින් එපොයිමන්ට් දාන්න ඕනද කියලා..”
“ ඔව් ඉතිං ඒවා එහෙම වෙන්න පුළුවන්.සමහරවිට මාසෙකට විතර කලින්..”
“ සැබෑ වෙනසක් නේද බං..හිතා ගන්න බෑ.”
එවර සනිජ පැවසුවේ හේෂාන් දෙස බලමින්ය.
විනාඩි කිහිපයක නිහැඬියාවක් කාර්යාල කාමරය තුල පැවතියත් මිතුරන් තමා දෙස බලමින් වරින් වර යමක් මුමුණනු අකලංක බලාගෙනය.ඔහුට බිය සිතුනේ මිතුරන්ගේ සමහර වදන්වල සංවර අසංවර බව හොඳින්ම දැන උන් නිසාය.දිනාරාගේ මුහුණෙහි කිසිඳු වෙනසක් වූයේ නැත.ඔවුන් පවසන යම් යම් දෑ වලට ඇයත් සිය දෙතොල්පට හපාගෙන සිනහව තදකර ගන්නා අයුරු අකලංක බලාගෙනය.
“ හරි නේද දිනාරා..ඔයා එහෙනම් මේ ඩොකියුමන්ට්ස් ටික අයියට බාර දෙන්න.”
“ හරි සර්..”
එසේ පවසමින් ෆයිල් කවරයත් තුරුළු කරගෙනම නැගී සිටි දිනාරා කාර්යාල කාමරයෙන් පිටවූයේ මිතුරන් දෙදෙනාටත් ලෙන්ගතු සිනහවක් පා කලාට පසුවය.
“ අම්මෝ ඇති ඇති යන්තම් මං ඇගේ ලේ වතුර වෙලා හිටියේ “
අකලංක සිය සුව පහසු පුටුවට හොඳින් හේත්තු වී පැවසූයේ සිය දෑත් දෙපසට දිගු කරමින්ය
“ ඇයි.. ඇයි…අපි එද්දි කෙල්ල උඹට මොනවද කර කර හිටියේ..උඹ හොඳින් නේ.ඒයි සනිජයා බලහං අපේ අහිංසක කොල්ලා..ලැජ්ජ බයට හැදිච්ච කොල්ලා.”
මිතුරන් දෙදෙනා ඉද උන් අසුන් වලින් නැගිට අකලංකගේ මේසය ඉදිරිපස වූ අසුන් දෙකෙන් ඉඳගත්තේ එසේ පවසමින්ය.
“ පිස්සුද බූරුවෝ…නවත්ත ගනින් දිනාරා හදිසියේ ආවොත්..”
“ අම්මේ ඉතින් අපි අහලා තියෙනවනේ බං ඔය බොස්ලගේ සෙක්‍රට්‍රිලාගේ අතර පොඩි පොඩි හුටපට.ඔය ඕන තරම් ටී වී වල පෙන්නන්නේ..ආ..නැද්ද මචං…”
“ ඒ මඟුලක් නෙමෙයි මං බයේ හිටිය තොපිලා දෙන්න මෙතනට ඇවිල්ලා මොනවා කියවයිද කියලා. ඇයි ඉතිං විශ්වාස කරන්න පුළුවන් කටවල් නෙමෙයිනෙ ඔව්වා..”
“ එව්වා කියන්න බෑ..ඇත්ත වශයෙන්ම අපිත් බොහොම අසීරුතාවයකින් හිටියේ…කියන්න සෑහෙන්න දේවල්, හිතන්න සෑහෙන්න දේවල් ,අහන්න සෑහෙන්න දේවල් තිබුණා..මේ ඇත්තටම මොකද වෙන්නේ දැන්..”
“ මොනවා වෙන්නද බං..”
“ ආ ..උඹ මේ කවදාවත් නැතුව ටයිකෝට් දාගෙන මේ පුටුවේ හරි බරි ගැහිලා වාඩිවෙලා ලැප් ටොප් එක දිග ඇරගෙන ඉන්නේ මුකුත් වෙලා නෙමෙයි.දිනාරා පල්ලා කියලා දිවුරපං…”
“ පිස්සුද බං මේක මගේ ජොබ් එකනේ.තාත්තා කේස් බං ඒකයි ටිකක් වැඩිපුර ඔෆිස් එකේ හිටියේ..”
තමා කුමක් කීවත් මිතුරන් ඒ අසත්‍ය පිළි නොගන්නා බව අකලංකට විශ්වාසය.එහෙත් දිනාරා යළි පැමිණෙන්නට පෙර ඔවුන් සන්සුන් කල යුතුය.
“ ඒ මචං සනිජ …උඹට ෂුවර්ද මේ අපේ අකලංකයවම කියලා.”
“”ඒකනේ බං මාත් මේ හිතුවේ.”
“ හරි.. හරි ..මොකටද කියහං දැන් උඹලා දෙන්නා මට කෝල් කර කර මැරෙන්න හදන්නේ..”
“ අපි ඉතින් වෙනදා වගේ යාළු මිත්‍රකමට උඹව බලලා යන්න ආවේ. උඹට උදව්වක් එහෙම මොනව හරි ඕනද දන් නෑනේ.”
“ ආ එහෙමද..දැන් ඉතින් බලා ගත්තනේ..උදව්වක් කොහොමටවත් එපා”
“ යන්න කියලද කියන්නේ…”
“ ඔව් ඉතින් වෙන මොනවා කරන්නද. මාව බලන්නනම් ආවේ මාව බලා ගත්තනේ අන්න දොර”
“ ආ..ඒ දොරද..ලස්සන දොර නේද බං.ලඟදිද දැම්මේ..මාර ගණන් ඇති.කීයක් ගියාද බං…ඒ පොඩ්ඩක් මුගේ ඇඟට අත තියලා බලහං හේ්ෂාන් මූට උණද කියලා.නිකන් නුහුගුණය වගේ නේද බං.. වෙනද අපි ආපුවහම මූ අපිට යන්න දෙන්නේ නෑ.අනේ මචං ඉඳපන් මචන්, පාළුයි මචං , කම්මැලියි මචං…”
“ චීත්ත කෑල්ලකට කියලා මෙහෙම යට වෙනවද බං මිනිස්සු..”
විශ්ව කාර්යාල කාමරයට ඇතුළු වූයේ මිතුරන් දෙදෙනාගේ වදන් වලට අකලංක හිනැහෙමින් සිටියදීය. ඔවුන් පැමිණි බව විශ්වට පැවසුවේත් දිනාරාමය.
“ ආ මල්ලිලා කාලෙකින් මේ පැත්තේ..”
“ ඔව් අයියේ..කාලෙකින් හින්දද මන්දා මූට අපිව ටිකන් අඳුන ගන්න බැරුව ගියා .අපි මේ අපිව මූට ඉන්ටර්ඩ්‍රියුස් කරලා දෙන ගමන් හිටියේ.”
“ මුන්ට පිස්සු බ්‍රෝ…මං දිනාරාගේ අතේ ලියුම් ටික එව්වා.”
“ ඔව් මං ඒ ටික චෙක් කරන්න හිමාෂාට දීලා ආවේ.මේ ඔයාලගේ අර සොසයිටි එකේ වැඩේ කවදද..දැන් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනේ.”
“ අපි සෑහෙන දුරට අවශ්‍ය බඩු අරගෙන තියෙන්නේ.තව සපත්තු ටිකක් තමයි ගන්න ඕනේ..”
“ ඒවට සල්ලි තියෙනවද.”
“ පොඩි ගානක් මදි තමයි අයියේ.අපි දෙන්නා මේ තකහනියේ මුව හම්බවෙන්න ආවෙත් ඒකට මොකද කරන්නේ කියලා අහන්න.”
“ කීයක් විතරද මදි..”
“ තව පනහක් විතර වගේ ඕන වෙයි අයියේ..අපි හිතුවේ කාර් වොෂ් එකක් වගේ කරන්න.”
“ ඒක මම දෙන්නම්..”
විශ්ව එසේ පැවසූයේ සිය මුදල් පසුම්බිය පසුපස සාක්කුවෙන් එළියට ගන්නා අතරය. අකලංක සිය සොයුරා දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය..ගියවර මුදල් ඉල්ලා ගත්තේත් සොහොයුරාගෙන්ය.ගිය මස වැටුප මහින්ද අකලංකට නොගෙවූයේ දඬුවමක් ලෙසය.මාසයක් පුරාවටම ඔහු කාර්යාලයේ රැඳී සිටි කාලය පැය දහ අටකට සීමා වී තිබිණ.
“ එපා බ්‍රෝ…මං එදත් සල්ලි වගයක් ගත්තා..ඒක හරි නෑ..”
“ කමක් නෑ..මේක උඹල එකතු වෙලා කරන හොඳ වැඩක්නේ.තාත්තත් කිව්වා මට බලලා සල්ලි ටිකක් දෙන්න කියලා.”
“ එහෙම හරි නෑ නේද අයියේ. මූත් අපිට පුළුවන් විදියට උදව් කරලනේ තියෙන්නේ.”
“ කමක් නෑ..මේක අපි සතුටින් දෙන දෙයක් මිසක් ඔයාලා ඉල්ලපු දෙයක් නෙමෙයිනේ.”
විශ්ව මුදල් නෝට්ටු කීපය දිගු කළේ අකලංකගේ මිතුරා දෙසටය. නැගී සිටි ඔහු දෙඅතින්ම එය පිළිගත්තේ මිතුරාගේ සොයුරාට ස්තුතිවන්ත වෙමින්ය.
“ පුළුවන්නම් අයියයි අක්කයි දෙන්නත් එන්න අපිත් එක්ක මේ වැඩේට යන්න.අපි එහෙම ආරාධනා නොකර හිටියේ මේක මහා පරිමාණයෙන් නොකෙරෙන දෙයක් නිසා.අපි කාටවත් නම් ගම් ලියා ගන්න ඕන උනේ නෑ.ඒ ඉස්කෝලේ හරිම අඩු පහසුකම් තියන ස්කෝලයක්.හරි දුප්පත් ළමයි ඉන්නේ”
“ සමාජ සේවා කරන්න බෝඩ් ගහන්න ඕනේ නෑ මල්ලි.ඔයාල මේ කරන්නේ හොඳ දෙයක්.ඒ වගේම තමයි තුන්දෙනා තමන්ගේ ජොබ් වලටත් මුල් තැන දෙන්න ඕනේ. ජීවිතේ පළවෙනි දේ තමන්ගේ රැකියාව කරගෙන මේ වගේ මානසිකව තෘප්තියක් ලැබෙන වැඩක් කළාට කමක් නෑ…”
“ මෙයානම් දැන් ජීවිතේ පළවෙනි දේ රාජකාරිය කරගෙන තමයි අයියේ ඉන්නේ. දැන් ටික වෙලාවකට කලිනුත් කිව්වා ඕ ටී පැය කිහිපයකුත් කරගන්න ඕනේ කියලා.අපිත් මූ දිහා බලලා හැදෙන්න ඕන කියලා හිතුවා විතරයි.”
“ ඕ…ටී….”
“ ඔව් මේ ..දැන් මූ ඉන්න ආසම තැන මේ ඔෆිස් එකලුනේ..නෑ මේ අපි කියන්නේ කොහොමත් මූ එහෙම වෙන්න එපැයි නේද අයියේ..තමන්ගේ බිස්නස් තමන් බලාගන්න ඕනේ..”
“ බ්‍රෝ යන්න එහෙනං … මම මුන්ට බොන්න මොනවා හරි දීලා යවන්නම්…අපේ වැඩේ ප්ලෑන් කරන්නත් තියෙනවනේ..”
“ නෑ කමක් නෑ බං අයියා ඉඳපුවාවේ. අපිට සෑහෙන කාලෙකින් අයියව මීට් උනේ ..ඉඳගන්න අයියේ..ඔෆිස් රූම් එක එහෙම සෑහෙන වෙනස් වෙලා නේද අයියේ..”
එවර සනිජ පැවසූයේ සිය දෑස් කාර්යාල කාමරය වටා යවමින්ය.මේ සිදුවන කතාබහ සොයුරා ඉලක්ක කරගෙන බව වැටහුම් වූ විශ්ව සිය දෑස් කුඩා කර ගත්තේය.
“ ලොකු එළියක් තියෙනවා..කොච්චර උනත් මාර පිළිවෙලයි නේ..”
“ බ්‍රෝ වැඩ ඇතිනේ..”
අකලංක එවරත් පැවසූයේ සිය සොයුරා දෙස යටැසින් බලමින් මිතුරන්ට රවමින්ය.
“ කොච්චර උනත් බං අංකල් හරිම වෙලාවට හරිම තීරණ ගන්නවා නේද..ඒ අතින් විශ්ව අයියා මේ ඇත්තමයි කියන්නේ අන්කල් නම් සුපර්.සැබෑ වෙනසක්…”
විශ්ව තම සොයුරා දෙසත් මිතුරන් දෙසත් බැලුවේ මාරුවෙන් මාරුවටය. කොහොමටත් මේ මිත්‍ර සමාගමයට ඔහු ප්‍රියය.සොහොයුරා තමා ඉක්මනින්ම මෙතැනින් පිටමන් කිරීමට තැත් දැරීමත් යහළුවන් පවසන ඉඟි වැකිත් අතරේ කුමක් හෝ සබඳතාවයක් ඇතැයි ඔහුට සිතිණ..දැන් දැන් ඒ සිතේත් වන්නේ කුතුහලයකි.
“ නෑ.. නරක වයස නේද අයියේ..මොන උනත් මූ දැන් ඔෆිස් එන්න සෑහෙන උනන්දුයි ආ..ටේබල් එකත් මාර ලස්සනයි..ආ මේ මලකුත් තියෙන්නේ. එහෙම ටේබල් එක උඩ වාස් එකක මලක් තියෙද්දි මාර ගතියක් තියෙනව ඉතින්.හිතම පිරෙනවා.”
“ වරෙන් වරෙන් යන්න…මුන් තව ටිකක් වෙලා මෙතන හිටියොත් මගේ රෙදිත් ගලවයි. යමන්..යමන්…මං බඩ ගින්නේ හිටියේ. බ්‍රෝ.. මම ලන්ච් එක අරන් එන්නම් මුං එක්කම “
මුලින්ම නැගී සිටියේ අකලංකය ඉන්පසු මිතුරන් දෙදෙනාව බලෙන්ම නැගිටවාගත් ඔහු කාර්යාල කාමරයෙන් පිට වූයේ විශ්ව බලා සිටියදීමය.
ඔහු යළිත් හැරී අකලංකගේ මේසය දෙස බැලුවේ කාර්යාල කාමරයෙන් පිටවන්නට ප්‍රථමවය.තනි සුදු පැහැ උස් වීදුරු බඳුනක වූයේ කානේෂන් මලකි. ඒ දෙස තත්පර කිහිපයක් බලා උන් තරුණයා සොයුරාගේ කාර්යාල කාමරයෙන් පිට වූයේ සිය මුව මත තැවරුණු මදහසත් සමඟින්ය.
“ අයියටත් නැති හදිසියක්නේ දැන් මේකාට ඔෆිස් යන්න තියෙන්නේ.”
උදෑසන සොයුරාගේ කාමරය දෙසින් ඇසුණු බිරිඳගේ ඒ හඬ විශ් සිහි වූයේත් ඒ හදිසියේය.
( යළිත් හමු වෙමු ආදරයෙන්.)