මල්වර මල් සර – 03

හිත ඇතුළේ නො සන්සුන් කමක් නළියනවා අයානා ට දැනිණ. ඒ විදිහට හිතිවිලි තරංග වල රිද්මය වෙනස් වෙනවාට ඇය තරමක් බිය ය. එහෙම වෙලාවට කුමක් හෝ දෙයක නිරත වී චිත්ත තරංග සන්සුන් කර ගන්නට ඇය පෙළඹේ. 

නිර්වාණ ද්වාරයේ සෙනග වැඩිපුර ගැවසෙන වෙලාවට නම් හිතිවිලි මෙල්ල කිරීම හරි පහසු බව ඇය අත්දැකීමෙන් දනී. වැඩක් කරත්දී හිත යොමු වෙන්නේ එදෙසට ය. එතකොට වෙනත් කිසිවක් ගැන මෙනෙහි කරන්නට අවස්ථාවක් නො ලැබේ.

නිශ්චල දිය කඳක් සේ සන්සුන් කර ගෙන ඉන්නා හිත විසිර යන්නට ලොකු හේතු ඕන වෙන්නේත් නැත. නිසල දිය මතුපිටකට ඉතා කුඩා ගල් කැටයක් වැටුණෝතින් රැල් සිය ගණනක් නැගෙන්නා සේ ය.

“චුට්ටක් බලන්න.. මං උඩට ගිහින් එන්නං”

කියා දුරාශා ට කියා ගෙන අයානා උඩු මහලට ගියේ අම්මා ගේ බැල්කනි මල් උයනෙන් මල් ටිකක් නෙලා ගන්නට ය. දීප්තිමත් තද පැහැයක් ගන්නා ජර්බෙරා, වයලට්,රෝස, ප්ලම්බගෝ, විශ්ණුක්‍රාන්ති හා අට පෙතියා මල් කිහිපයක් කඩා ගෙන  පිය ගැට පෙළ ළඟට එත්දීම ම ඇය අම්මා ට හසු විය.

“අනේ…ඇයි ඔය මල් කැඩුවෙ…”

ඇය විමසූවේ මහා අපරාධයක් සිදු වූ කලෙක මෙනි. සාමාන්‍යයෙන් නාලිනී මේ මලක් පූජා කරන්නට හෝ කඩන්නේ නැත. ඇයට වන ලොකු ම විනෝදාංශය අඩු ඉඩ කඩක් ඇති බැල්කනියේ හෝ පෝච්චියක මල් වැවීමයි. 

“පොඩි ආට් වර්ක් එකකට. කොහොමත් මේ මල් හෙට වෙද්දි පර වෙනවනෙ…”

“පර වෙනව කියල දැනගෙන තමයි මං මල් හිටවන්නෙ”

බොරුවට නෝක්කාඩු කීවාට අයානා මලක් කැඩුවේ වී නම් ඒ අත්‍යවශ්‍ය ම කාරණයකට බව නාලිනී දනී. 

“හරි හරි මං අලුත් රෝස පැළයක් අරං දෙන්නංකො”

කියා ගෙන අයානා පහළට බැස්සා ය. මේසයක් උඩ මල් ටික තියා චිත්‍ර පොතකින් කොළයක් කඩා ගත්තා ය. මල් ටික ගෙන එන ගමන් ඇය තාත්තා ගේ මිටිය ද ගෙන ආවා ය.

“මොකක් කරන්නද ඒ ගමන හදන්නෙ…”

දුරාශා ඇසුවේ මල් හා මිටියක් අතරේ වන සම්බන්ධයක් ගැන හිතා ගත නො හැකිව ය. අයානා කළේ මඳහසක් පානා එක ය.

“පෞන්ඩඩ් ෆ්ලවර් ආට් එකක් කරන්න යන්නෙ. මේක ස්ට්‍රෙස් රිලීස් කරන තෙරපි එකක් වගේ”

“දැං මොකද්ද රිලීස් කර ගන්න තියන ස්ට්‍රෙස් එක…”

“මේ ආට් එක මොකද්ද කියල බලන්නකො අප්ප”

අයානා ඒ නෝක්කාඩුව කළේ සිනහ වෙවී ය. මේ දවස් වල අයානා සිතිවිලි සමගින් සටනක් කරනා බව දුරාශා ට දැනී තියේ. ඇය කියන තෙක් ඒ ගැන නො ඇසිය යුතු යයි දුරාශා සිතුවා ය. නමුත් මේ වෙලාවේ යෙහෙළිය ම යම් ඉඟියක් දුන් එකේ ඇය මඳක් ඉස්සර වූවා ය.

ඒ වෙලාවේ අයානා ගේ දෑස් මත වූ සිනහවේ නම් කිසිදු ක්ලමථයක, විශාධයක සලකුණකුදු වූයේ නැත.

මල් වල නටු කතුරකින් කපා විචිත්‍ර පත්‍ර ද සමග මල් කළඹක හැඩයට චිත්‍ර කඩදාසිය මත අයානා ඒවා යටිකුරු ව තැබුවා ය. ඊළඟට පේපර් ටවල් එකක් මල් වැහෙන සේ එලුවා ය. 

“ඉතිං ඔය මිටියෙන් ගහන්නද හදන්නෙ…”

කලබල වී දුරාශා තරමක් හඬ නගා ඇසුවේ අයානා මිටිය අතට ගත් නිසා ය. ඒ වෙලාවේ නම් අයානා ට සිනහව නතර කර ගත නො හැකි විනාඩි කිහිපයක් උදා විය. 

“පෞන්ඩඩ් ෆ්ලවර් ආට් කියන්නෙ ඒක තමයි. මිටියෙන් මෙහෙම මල් පෙති වලට තට්ටු කරනව. ආයෙ ආයෙ දිගටම තට්ටු කරන්න ඕනෙ මෙහෙම පේපර් ටවල් එකට මලේ ජූසි ගතිය උරාගන්නව පේනකල්…මේ පේනව නේද…”

පේපර් ටවල් එකට මල් පෙති වල හා ශාක පත්‍ර වල වර්ණක උරා ගනිමින් වර්ණවත් වන්නට විය. 

“මට මේ ආට් එක මුලින්ම කියල දුන්නෙ පොඩි කාලෙ තාත්ත. මේක පරණ ජපන් ආට් එකක්. කඩදාසි වලට විතරක් නෙවෙයි ෆැබ්‍රික් වලටත් මේ විදිහට ම කරල නැචුරල් ෆ්ලවර්ස් වල ප්‍රින්ට් එක ගන්න පුළුවන්. එම්බ්‍රොයිඩරි වලදිත් ලස්සන ක්‍රියේශන්ස් කරන්න මේ පෞන්ඩඩ් ෆ්ලවර් ආට් යූස් කරනව මං යූ ටියුබ් එකේ වීඩියෝස් දැකල තියනව. මේක ලස්සනට ආවොත් ෆ්‍රේම් කරමු”

සියලු මල් පෙති තැලී පේපර් ටවල් එකට වර්ණක උරා ගැනීමෙන් පසු අයානා පේපර් ටවල් එක සීරුවට ඉවත් කළා ය. ඉන් පසු චිත්‍ර කඩදාසියට ඇලී තිබූ මල් පෙති හා පත්‍ර ඉවත් කළා ය.

“ටිකක් වෙලා තියන්න ඕන වේලෙන්න”

කියමින් ඇය එය මඳ අව්වේ තැබුවා ය.

“පොඩි ළමයි හෑන්ඩ් වර්ක් වලට කරන වැඩ”

දුරාශා සිනාසුණා ය. ඒ කතාවෙන් අයානා ගේ සිනහව පුළුල් විය.

“ඔව්. ඔයාට මතකද ඉස්සර අපි කුකුල් සායංද කොහෙද දිය කරල හබරල පෙති වල බණ්ඩක්කා පෙති වල එහෙම කලර්ස් ගාලා චිත්‍ර කොළ වල සීල් තියනව…”

“ඇයි පොල් කුඩු වලට කුකුල් සායං දාල ඒවයිං චිත්‍ර අලවන්නෙ…”

“අනේ මට ආසයි අප්ප ඒවට…”

“මතකද අපි ධර්මාශෝකෙදි සිගරට් පැකට් වලින් හීනි තීරු කපල ඒවයිං බල්ලෙක්ව හැදුව…”

“හ්ම්…”

කඩදාසියට මල් කොළ වල යුෂය උරා ගෙන වියළුණ පසු අයානා සියුම් ලෙස කළු පෑනකින් මල් වලට පිටත රේඛා ඇන්දා ය. ඒ වගේ චිත්‍ර කර්ම වැඩ වලට විශේෂ බුහුටි කමක් ඇගේ අතැඟිලි වල වේ. ඊටත් වඩා සංයමයක් හා ඉවසීමක් වේ. අයානා කියන්නේ පැන්සලක් ගෙන ඉරක් ඇන්දත් එහි කලාවක් වන ආකාරයේ කෙල්ලකි. අවසන නිර්මාණය යටින් ඇය සිය ලස්සන අත්සන තැබුවා ය.

දෙහෝරාවක් පමණ ඒ නිර්මාණය වෙනුවෙන් මුළු හිත ම යොදවා ගෙන සිටීමෙන් අනතුරු ව මහා සුවයක් අයානා ට දැනිණ. මාස ගණනක් බෙහෙත් අහුරු ගණනකින් ද උපදේශන සැසි කිහිපයකින් ද ලද නො හැකි මානසික සුවයක් දෙන්නට එවන් හස්ත කර්මයකට පුළුවන.

එදා ම හවස් කාලයේ විජේරාම හන්දියට ගොස් ස්ටූඩියෝ එකට සිතුවම භාර දී ඇය එය රාමු කරවා ගත්තා ය. 

“ඒකට මං ආසයි”

දුරාශා ට  එය පෙන්වූ ඕ පපුවට තබා එය තුරුළු කර ගත්තේ දෑස ද පියවෙත්දී ය.

“මං මේක අම්මගෙ බර්ත් ඩේ එකට දෙන්න අරං තියනව”

එසේ කියමින් ඇය එය පුස්තකාල කොටසේ රාක්කයක් මත තැබුවා ය. ටික දවසකට පස්සේ යළිත් හිත සාමකාමී වූ බවක් අයානා අත්වින්දා ය. 

ඇය වැඩි විය පැමිණි බව දැන ගත් වෙලාවේත් අයානා වියළි මල් වලින් සුභ පැතුම් පතක් සාදමින් සිටි වග ඇයට මතක ය. එතකොට ඇය කොළඹ බාලිකාවේ ය. පන්තියේ ළමයින් පෝලිමට සති ගණන් පාසල් නො එන කාලයක් උදා  විය. ඉන් පසු ඔවුන් එන්නේ අලුත් සුදු ගවුම් ඇඳ කේක් එකක් ද ගෙන ය. කෙල්ලන් ගේ අත් වලට රිදී හෝ රත්තරන් පැහැති ඔරලෝසු වැටෙන්නේ ඒ එන ගමනේ ය. මල්වර වී පාසල් එන දැරියක ගේ මුහුණේ අමුතු පිරුණු බවක් දකින්නට අයානාට හැකි විය. ඔවුන් ගේ ඇස් වලින් අමුතු කාන්තියක් වෑහෙන්නට ගන්නා බවක් ද ඇය දුටුවා ය. මෙසේ වැඩිවිය පැමිණෙන ළමයින් ඉන්පසු උනුන් ගේ කනට කොට රහස් කියා ගනිති. ඒවා වැඩි විය නො පැමිණි ළමයින් නෑසිය යුතු කතා ය. ඒ වෙලාවට අයානා ට කේන්ති ය. එක අතකට එය  ඊරිසියාවක් වගේ හැඟීමකි. පොඩි කාලේ සිට ම ඇයට ඕන වුණේ ඉක්මනට ලොකු වෙන්නට ය. නමුත් සොබා දහමට අනුව ලොකු ළමයෙකු සේ කවුරුත් පිළිගන්නා සංසිද්ධිය සිදු වෙන්නට තවමත් ඇය සුදුසුකම් ලබා නැත. මේ ගැන අයානා සිටියේ තරමක හීන මානයකිනි. 

ඒ සිදුවීම වන විට ඇය බිම හිඳ ගෙන, කලින් වේලෙන්නට පොතක් ඇතුළේ දැමූ මල් අලවා උපන් දින සුබ පැතුම් පතක් සාදමින් සිටියා ය. ඒ සිය අම්මා ගේ ළඟ එන උපන් දිනය වෙනුවෙනි. නාලිනී දියණිය ගේ ගවුම් සාය දුටුවේ ඇය නැගිට කාමරයට දිව යත්දී ය. අම්මා ඇයව අල්ලා කාමරයකට දමා ‘එළියට එන්නෙ එහෙම නෑ’ කියා කියූ විට අයානා ගේ සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ ය. ඇයටත් එම සිදුවීම වී තියේ. දැන් ඇයත් ලොකු ළමයෙකි!

රෙදි නැන්දා සිටින්නේ ටිකක් ඈතක බව කියනු ඇසිණි. රබර් වත්ත පාරෙන් ගොස් උද්‍යාන මාවතට වැටී පැපිලියානත් ගං සබා හන්දියත් අතරේ පිහිටි රෙදි නැන්දා ගේ ගෙදර සොයා ගෙන ගොස් නාලිනී ඇය කැටුව ආවා ය. කාමරයේ කොනක තිර රෙදි ඇද සැකසූ සෙල්ලම් ගෙයක් වන් කොටසක අයානාව රැඳවිණි. නිදත යුතු වූයේ පැදුරේ ය. පොල් මලක් මැටි කළයක දමා සැකසූ පුන් කළසක් මැද්දේ මැටි පහනක් දල්වා තැබිණි. දින ගත වන විට පොල් මල් ගිලිහී වැටුණේ ය. අයානා ඒවා පැදුරේ කොනක එකතු කළා ය. 

“ඇයි ඒව එයාට දෙන්නෙ…පව්නෙ”

සිය අපිරිසිඳු ඇඳුම් රෙදි නැන්දාට දෙන එක ගැන අයානා විරෝධය පෑවා ය.

“එහෙම තමයි කරන්නෙ. පැහෙන්නැතුව ඉන්න”

කියා නාලිනී දියණිය නිහඬ කරවූවා ය. නමුත් රෙදි නැන්දා විත් ඇයට පිරුවට දී ඇඳගෙන ඉන්නා ඇඳුම් පොට්ටනියක ගැට ගසා ගන්නා හැම විටෙක ම අයානා ගේ හිතේ නොතේරෙන තැනක රිදුමක් ඇති විය. වැඩි විය පත් වන වෙලාවේ ඇය පැළඳ උන් කරාබු දෙක, ආච්චි අම්මා ගේ විරෝධය මැද අම්මා රෙදි නැන්දාට දීම ගැන දැරිය සතුටු වූවා ය. නමුත් ඇගේ කිළිටි අත ගාන්නට රෙදි නැන්දාට ඉඩ දී කර ගත් පාපයේ හිලව්වට ඒ කරාබු දෙක ප්‍රමාණවත් නැති බවට පෑරීමක්, ටික කලක් යන තුරු ම ඇගේ හිතේ විය.

අයානා ට දිය නාන්නට තිබුණේ පාන්දර හතරට පමණ ය. පෙර දා රාත්‍රියේ සූදානම් කොට තබන ලද ඔසු පැන් කළය මුලින් ම හිසට වත් කර ගැනීම යනු අයිස් වතුර කළයක් වත් කර ගැනීම වැනි දෙයකි.

“අනේ සුදු බබා මේක ඉතිං සීතලයි. ඒත් මේ අවුසද සුදු බබා ලස්සන නිරෝගී ගෑනු ළමයෙක් කරයිනෙ. ඒක නිසා මේ සීතල විඳගමු මයෙ මැණිකෙ”

අම්මා ඔසු පැන් කළය නැහැවීමට පෙර අයානා ගේ හිත හැදුවේ රෙදි නැන්දා ය. දින ගණනාවක් වතුර පොදක් නොගෑවුණ සිරුර ඇය සෝදා පිරිසිඳු කරත්දී අයානා ගේ ඇස් වලට කඳුළු ආවේ ය. නමුත් ඒ අඳුරේ, දිය නාන අතරේ වතුරෙන් කඳුළු වෙන් කර ගන්නට කිසිවෙකුට නො හැකි ය. ඒ කඳුළු දුටුවා නම් අම්මා කෙසේ වී ද ආච්චි අම්මා ගෙන් විසුමක් නොවන බව අයානා දැන සිටියා ය. 

අම්මාටත් තාත්තාටත් ආච්චි අම්මාටත් බුලත් දී වැඳීමෙන් පස්සේ අයානා රෙදි නැන්දාට බුලත් අත දුන්නා ය.

“අපෙ අප්පේ…බබාලගෙන් වැඳුම් ලබන්න මේ අපි කවුද…මට වඳින්න එපා බබා”

කියමින් බිත්තිය අයිනට වූවා මිස රෙදි නැන්දා බුලත් අත ගත්තේ නැත. එසේ වී ද අයානා ඇයට දණ නවා වැන්දා ය. රෙදි නැන්දා කඳුළක් පිස ගනු ද ආච්චි අම්මා මූණ නරක් කර ගනු ද අයානා නො දුටු සේ සිටියා ය.

ඒ රෙදි නැන්දලා දැන් කොහේ සිටිනවා ඇත්ද යන පැනය හදිසියේ ම අයානා ගේ සිතේ පහළ විය. දැන් සමාජයේ කුළ අනුව වැඩ බෙදීමක් සිදු නොවන එක මොන තරම් හොඳ දැයි ඇයට සිතිණ. ළමා වියේ දීත් ඇයට එය දරා ගත නො හැකි අමානුෂික බවක් සේ දැනිණ. රෙදි නැන්දා ගේ දරුවන් ද ඉගෙන ගෙන දැන් වඩා හොඳ රැකියා වල නිරත වෙනවා ඇත. ඒ නිසා රෙදි නැන්දලා අනුන් ගේ කිළිටි සෝදන්නට නොයා දරුවන් ගෙන් පෝෂණය වෙනවා ඇත. 

අයානා දිගු සුසුමකින් මිදෙත්දී ම ඇය ඉදිරියේ වූ පෞන්ඩඩ් ෆලවර් ආට් ෆ්‍රේම් එක ශක්තිමත් අතකින් ගැනිණ. ඒ අත පුරා රෝම වූවාට එහි මනා පිරිසිඳු පාටක් තිබිණි. මීට පෙර ද ඒ අත ඇස ගැටී ඇති බවට මතකයක් වහ වහා මොළය විසින් ලබා දෙන ලදී. අයානා ඒ අත දිගේ ඉහළට ගියා ය. පින්තූර රාමුව අතින් ගෙන එදෙස බලා ගෙන සිටියේ දුල්නෙත් ය. හදවතේ ඈත ම ඈත කොනක සෛල පොකුරක් ගැස්සී යනවා අයානා ට දැනිණ. නමුත් ඕ සන්සුන් දෑසකින් ඔහු දෙස බැලුවා ය. 

“මං මේක ගන්නව”

කියමින් ඔහු කවුන්ටරයේ උන් දුරාශා දෙසට පියවරක් තැබුවේ ය. 

.

දුල්නෙත් අලගියවන්න පින්තූර රාමුව කරකවමින් එහි මිල කීය ද කියා බැලුවේ ය. නමුත් මිල සඳහන් ව තිබුණේ නැත. ඔහු එය දුරාශා වෙත පාමින් ‘කීයද මේක’ කියා විමසුවේ ඒක ය.

“අනේ මේක විකුණන්නෑනෙ”

දුරාශා ආචාරශීලී ලෙස කීවා ය. ඒ ගමන් ම ඇය පුස්තකාල කොටසේ උන් අයානා දෙස ද බැලුවා ය. අයානා හිටියේ කලබලයක් නැති සන්සුන් බැල්මකිනි.

“විකුණන්නැත්තං කඩේ තියන්නෙ මොකටද…කඩේ තියනවනං විකුණන ඒව වෙන්න ඕනෙ”

දුල්නෙත් ආඩම්බර කමට බකපණ්ඩිත කතාවක් කීවේ ය. දුරාශා ඔහු දෙස ද අයානා දෙස ද මාරුවෙන් මාරුවට බැලුවා ය. ඔහු ට එය දෙන්නයි අයානා යෙහෙළියට කීවේ මුහුණෙන් සහ ඇස් වලිනි. එතකොට ම දුරාශා නැගිට අයානා හිඳ උන් තැනට විත් ඇය ළඟ පහත් වූවා ය. ඒ මොකටද කියා, එකදු වදනකුදු නොදෙඩී ද අයානා දනී.

“ෆ්‍රේම් කරන්න ගිය ගාන විතරක් ගන්න. ඒ බිල් එක කෑශ් මැෂින් එක යට ඇති”

දුරාශා ප්‍රශ්න කිරීමකින් හෝ විරෝධය පෑමකින් තොරව නික්ම ගියා ය. නමුත් ඒ නිර්මාණය වෙනුවෙන් අයානා මොන තරම් වෙහෙසුණා දැයි ඇය දැන සිටියා ය.

දුරාශා ට මිල ගෙව් දුල්නෙත්, පින්තූර රාමුව බෑග් එකට ඔබා ගෙන නික්ම ගියේ ය. දුරාශා ඔහු යන මග දෙස බලමින් අයානා වෙත ආවා ය.

“යකූ මූ බලාංකො…කඩේ තියනවනං විකුණන්න ඕනලු. දවසක ඇවිත් මූ ඔයාවත් ගෙනියන්න ඕන කියයිද දන්නෑ. කඩේ තියන නිසා විකුණන්න ඕන කියල..”

අයානා ට හයියෙන් සිනා ගියේ ය. සැබවින් ඇය අහේතුක සතුටකට පත් ව සිටියා ය. පුංචි දෙයක් හෝ ජීවිතයට සතුටක්, සැහැල්ලුවක්, සැනසිල්ලක් ගෙන එනවා නම් වටින්නේ එය බව ඇය දැන සිටියා ය.

“කෙල්ලට දෙන්න ඔය ගෙනියන්නෙ. අර ලස්සන සුදු කොණ්ඩෙ දිග ගර්ල් කෙනෙක් එන්නෙ නිතර…ඔය චූටි චූටි කෑලි හරියට ගන්නෙ අනේ…අන්න එයා තමයි මෙයාගෙ කෙල්ල”

“දැං අම්මගෙ බර්ත් ඩේ එකට මොනාද දෙන්නෙ..”

දුරාශා ඉණෙහි අත් දෙක තියා ගෙන විචාලා ය.

“බලමු. කම්මැළි හිතුන්නැත්තං තව එකක් හදනව. නැත්තං මොනාහරි අරං දෙනව”

අයානා ගේ පිළිතුරෙහි වූයේ අවිනිශ්චිත බවකි. ඒ අවිනිශ්චිත බව ඇය ගැන ම ය. වරක් කළ යමක් යළි ටික කළක් යන තුරු කරන්නට ඇගේ වන කම්මැළිකම ගැන ඈ දනී. ඒ නිසා අම්මා ගේ උපන් දින තිලිණය වශයෙන් තවත් පෞන්ඩඩ් ෆ්ලවර් ආට් එකක් කරන්නට හිතේවිදැයි සැක සහිත ය.

නැවතත් නිර්වාණ ද්වාරයට නො යන බවට දුල්නෙත් මංජරී ට පොරොන්දුවක් වී සිටියේ ය. ඔහු ඒ පොරොන්දුව දුන්නේ එදා ඇය හඬමින් දොඩමින් ආඩපාලි කී වෙලාවේ වැඩි දුර නො සිතමින් අවස්ථාවේ හැටියට ඇය සන්සුන් කරන්නට ම නොවේ. මංජරී එක්ක ගැටළු ඇති කර ගන්නේ නැතිව සාමකාමී සම්බන්ධයක් පවත්වා ගෙන යාම ඔහු ගේ අවශ්‍යතාවය විය. ඇගේ ඇවතුම් පැවතුම් වල ඔහු ඒ තරම් ප්‍රිය නැති තැන් වන බව ඇත්ත ය. නමුත් එසේ නොවන සම්බන්ධයක් මෙලොව තිබිය නො හැකි බව ද ඔහු දැන සිටියේ ය. නො ගැලපීම් මත සම්බන්ධතා අත් හරිමින් අලුත් ඒවා ඇති කර ගන්නට ගියොත් ජීවිත කාලයේ දී වෙන යමක් කළ නො හැකි වනු ඇත. අනිත් අතට එක්ව ජීවිතයක් ගත කරන්නට එකතු වෙන දෙදෙනෙකු කිසි දා එක්කෙනෙකු නොවන බවත්, ඔවුන් දෙදෙනා සම්පූර්ණයෙන් ම එක වාගේ නොවන බවත් එසේ විය යුතු නැති බවත් ඔහු විශ්වාස කළේ ය. වැදගත් වන්නේ ඒ විෂමතා වලට ගරු කරන්නට හා වෛර නො කරන්නට හැකි වීම ය. දිනෙක මංජරී සමග විවාහ වෙන්නට ගත් තීරණය යළි වෙනස් කරන්නට ඔහු ට ඕනෑ වූවා නොවේ.

නමුත් දුල්නෙත් මංජරී ට කැමැත්ත දුන්නේ අයානා හිතේ පැටලෙත්දී ම ය. මේ දෙදෙනා අතරින් පිරිමියෙකු විවාහයක් ගැන සිතනවා නම් ඇසුරු කළ යුතු ආදර්ශ චරිතය සේ ඔහු මංජරී ව තෝරා ගත්තේ ය. එයින් අදහස් වන්නේ අයානා ගැන දුල්නෙත් ගේ පිරිමි හදෙහි වූ ආකර්ෂණය නැති වී ගියා කියන එක නොවේ. ළඟින් ඇසුරු කරන්නට නො ලැබී ද දුරට දකින ඇගේ විශේෂිත හැඩතල වලට ඔහු ආශක්ත වී සිටියේ ය. හැඩතල යනු බාහිර පෙනුම ම නොවේ. සමස්ථ අයානා ජයසුන්දර ය. ඒ ඇස්, ඇගේ සිනහව, කතා කරන විදිහ, ඇගේ බැල්ම, ඇගේ ඉරියව් ඇතුළු සමස්ථ ඇය ම ය.

මංජරී ට වූ පොරොන්දු ප්‍රකාර ව නිර්වාණයට නොයා සිටින්නට වීම ඔහු ව හිර ගෙයක දමා තැබීම බඳු පීඩනයක් ඇති කරමින් තිබිණ. අම්මා ගේ උපන් දිනය හෙටට යෙදී ඇති බව ඔහු ට සිහි වූයේ හදිසියේ ය. නිර්වාණයෙහි සුකුරුත්තම් බඩු තිබෙන්නේ ය. එය නිදහසට කාරණය කර ගෙන දේශනයක් අවසන් වූ ගමන් ඔහු නිර්වාණයට ආවේ ය. නමුත් එයින් අයානා දකින්නට හිතේ වූ බලවත් පිපාසයක් සන්සිඳුවා ගන්නට දුල්නෙත් ට හැකි විය. දින ගණනාවක් තිස්සේ හදවත මිරිකමින් තිබූ පීඩනයක් තුරන් කර ගන්නට ඔහු ට හැකි විය. තවත් කෙනෙකුට ඕනෑ විදිහට තමන් ගේ නිදහස බිලි දී ජීවත් වීම කෙතරම් දුෂ්කර කටයුත්තක් දැයි ඔහු අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගනිමින් සිටියේ ය.

“හෙට අම්මගෙ බර්ත් ඩේ එක…මං මේක ගත්ත ගිෆ්ට් එකට…”

හවස කැන්ටිමේ දී හමු වී තේ එකක් බොන අතරේ දුල්නෙත් පින්තූර රාමුව බෑග් එකෙන් පිටතට ගෙන මංජරී ට පෙන්වූයේ ය.

“කොහෙන්ද ගත්තෙ…”

ඇගේ ප්‍රථම නිරායාස පැනය වූයේ එයයි.

“නිර්වාණෙං”

පින්තූර රාමුව මේසය මත තබමින් ඇය ඔහු ගේ මුහුණ දෙස ගිනි පිට වෙන දෑසකින් බලා සිටින්නට වූවා ය.

“මං ඔයාට කියලනෙ තියෙන්නෙ නිර්වාණෙට යන්න එපා කියල..ඔයා එදා මට හා කිව්ව. එහෙම කරල ඇයි අද ගියේ…”

මංජරී සිය කේන්තිය වචන වල දවටත්දී ඒවා වේගවත් ව පිට වූයේ ය.

“මං එතනට ගියේ එතන ලස්සන අයිටම්ස් තියනව දැකල තියන නිසා”

“ඔව් ඔව්. එතන ලස්සන අයිටම් තියනව තමයි”

“මංජරී ඔයාට මේ මොකද්ද ආ වෙලා තියෙන්නෙ…මනුස්සයෙක්ට තමංගෙ කියල ජීවිතයක් තියනව. මං ඔයාව මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට තෝරගෙන ඉවරයි. හැබැයි මං එහෙම කළේ මගෙ ජීවිතේ නිදහස කියන දේ සම්පූර්ණයෙන් ම ඔයා ඉස්සරහ පාවල දෙන්න නෙවෙයි. අපි කවුරුත් නිදහස් මිනිස්සු. අපිට වෙන මිනිහෙක්ගෙ නිදහස අපේ අතට ගන්න කිසිම අයිතියක් නෑ. ඇත්තටම මං ඔයාට පොරොන්දු වුණා තමයි නිර්වාණෙට යන්නෑ කියල. ඒ ඔයාගෙ විකාර අදහස් නිසා. ඒත් මං දන්නවනං එතන අම්මගෙ බර්ත් ඩේ එකට දෙන්න ගිෆ්ට් එකක් තියනව කියල…ඇයි මං එතනට ගිහිං ඒක ගන්නැතුව ඉන්නෙ…ඔයාට තියෙන්නෙ සැකේ මංජරී. ඕනවට වැඩි සැකේ. ඔයා හිතුවට තහංචි දාල මිනිහෙක්ව තමුං ළඟ රඳෝ ගන්න පුළුවන් කියල…ඒක හරිම තාවකාලික රඳවගැනීමක්. කෙනෙක් තව කෙනෙක් ළඟ රැඳෙන්න ඕන ආදරේ වෙනුවෙන්. ඔයා මාව හිර කරන්න හැදුවොත් මට ඕන වෙයි ඒ හිර ගේ කඩා ගෙන යන්න. මොකද හැම මිනිහෙක්ම කැමති නිදහසට. බලහත්කාරෙං නෙවෙයි…ආදරෙං කෙනෙක්ව රඳෝගන්න බලන්න. ඇත්තටම ආදරයක් තියනවනං කෙනෙක් මොන නිදහස තිබුණත් ඒ ආදරේ දාල යන්නෑ. අනිත් එක අපි දවසක කසාද බඳින්න ඉන්නෙ…ඔයා හිතන්නකො මේ විදිහට මං ඔයා එක්ක ජීවිතයක් ගත කරන්නෙ කොහොමද කියල…වෙනසක් නොවී මෙහෙම තිබුණොත් මට ඔයාව ඩිවෝස් නොකර ඉන්න පුළුවන් වෙයි කියල ඇත්තටම මට කියන්න බෑ”

ඔහු ඒ ටික කියා ගෙන ගියේ අවධාරණයෙනි. වෙනදා වාගේ මංජරී ගේ ඇස් වලට කඳුළු ඉනුවේ නැත. ඒ ඇය කෝපයෙන් දැවෙමින් සිටි නිසා ය. දුල්නෙත් ට ඒ මොහොතේ ඇය ද්වේශ කළා ය. ඔහු සිය වචනයට පිටුපෑම ගැන වෛර කළා ය. ඔහු ඒ කළ දේ වෙනුවෙන්, ලද ප්‍රථම අවස්ථාවේදී ම ඔහු රිදවන්නට ද ඇය සිතා ගත්තා ය.

දුල්නෙත් නොව කැන්ටිමෙන් නික්ම ගියේ මංජරී ය.

තේ කෝප්පය හිස් වී තිබිණි ද දුල්නෙත් තවත් ටික වෙලාවක් එහෙම ම සිටියේ ය. හිතේ තිබුණ දේ කියා ගන්නට ලැබීම ගැන ඔහු ට දැනුණේ සැහැල්ලුවකි. මේ කිසිත් නො කියා හිතේ හිර කර ගෙන සිටියේ වී නම් ඔහුත් දන්නේ නැතිව ඔහු ට මේ සම්බන්ධය එපා වී යන්නට තිබිණි. මංජරී ට තව දුරටත් ඔහු ව ඕනේ නම් මේ තත්වය වටහා ගත යුතු යයි දුල්නෙත් හිතුවේ ය. 

කෙසේ වෙතත් විශ්ව විද්‍යාලයෙන් නික්ම යත්දී ඔහු නිර්වාණ ද්වාරය දෙස බැලුවේ නැත. බස් එකේදී දුල්නෙත්  පින්තූර රාමුව පිටතට ගෙන බැලුවේ ය. එහි මල් කළඹට යටින් වන අත්සන ඔහු ගේ නෙත ගැටුණේ ඒ වෙලාවේ ය. අයානා ජයසුන්දර යන නම ඉංග්‍රීසි අකුරෙන් චිත්‍රයක් වගේ ලස්සනට එහි අත්සන් තබා තිබිණි. ඔහු ට දැනුණේ විදාරණයක විපරීත බවකි. එය ඇය ගේ දෑතින් කළ නිර්මාණයක් ද?

උදේ පාන්දර ප්‍රියන්ති කිරි බතක් පිසුවා ය. ගෙදර කාගේ උපන් දිනයකදී වී ද ඇය අමතක නොකොට කරන දෙයකි එය. උම්බලකඩ හා රතු ලූණු හොඳින් දමා අම්මා හදන ලුණු මිරිසත් එක්ක කිරිබත් කන්නට දුල්නෙත් පෙරේත ය.

කිරිබත් මේසයට එමින් ගමන් ඔහු අම්මා ගේ තිලිණය ගෙන ආවේ ය. 

“අනේ..”

කියමින් ප්‍රියන්ති ප්‍රීතියෙන් එය පිළිගත්තා ය. කවර තරාතිරමක හෝ වයසක කෙනෙකු වී ද තෑග්ගක් ලබන්නට රිසි වෙති.

“හරිම ලස්සන පින්තූරයක්. ගොඩක් ගණං ඇති”

පින්තූර රාමුව ඒ තරම් අඩු මුදලකට ලැබුණේ ඇයි කියා දුල්නෙත් ට වැටහෙන්නේ දැන් ය. එය රාමු කරන්නට ගිය වියදම පමණක් විය යුතු යයි ඔහු සිතුවේ ය. කිරිබත් කා මංජරී ගේ පංගුව ද ඔතා ගන්නට අමතක නො කළ දුල්නෙත්, “කාක්කන්ට කිරිබත් දුන්න වගේ මේක ඉවර වෙයි” කියා කීවේ එය ගෑනු ළමයෙකුට ගෙන යන බවට සැකයක් අම්මා තුළ ඇති නොවන්නට ය. උදේ ම කිරිබත් පාර්සලය දී මංජරී ගේ කේන්තිය නිවා ලන්නට ඔහු හිතා ගත්තේ ය.

ඒ යන ගමනේ දී නිර්වාණය දෙස නො බලා ඉන්නට තරම් ආත්මාර්ථකාමී වෙන්නට ද ඔහු ට හැකි වූයේ නැත. සිතුවම විකුණන්නේ නැත කියා දුරාශා කී කතාව ද ඔහු ට සිහි විය. අයානා සිටියේ දොරකඩ දිය බඳුනට සුදු වතුසුදු මල් දමමිනි. දෙවරක් නො සිතා දුල්නෙත් පාර මාරු වූයේ ය.

“සොරි”

අයානා සිය දෑස් ලොකු කොට යෞවනයා දෙස බැලුවා ය. ඔහු ට ඇය පෙනුණේ ඈ අත වූ වතුසුදු මලක් තරමට ම පියකරුව ය. 

“ඒක ඇත්තටම විකුණන්න තිබුණ එකක් නෙවේ කියල මං තේරුං ගත්තෙ සයින් එකේ නම දැක්කහම…”

අයානා මුව මන්දහාසයට ඉඩ දුන්නා ය. දුල්නෙත් ඒ ඇස් වලට එබී ගත්තේ ය. ඇගේ ඇස් ඉහත්තාවේ දැනෙන්නා වූ මේ හුරු පුරුදුකම කුමක්ද කියා ඔහු ට තේරෙන්නේ නැත. 

“ඒක අම්මගෙ බර්ත් ඩේ එකට දෙන්නයි මං හිතං හිටියෙ”

“මං ඒක අරං ගිහිං දුන්නෙත් අපේ අම්මට…අද එයාගෙ බර්ත් ඩේ එක”

“අනේ…එහෙනං හොඳයි…ඒක අම්ම කෙනෙක්ටම තෑගි ලැබෙන්න උරුම වෙලා තිබුණ එකක්”

“තෑන්ක් යූ”

දුල්නෙත් අයානා ගේ ඇස් වලට එබී ගෙන ම කීවේ ය. ඇය යළිදු සිනහ වූවා ය. තරුණයා පාර දෙසට වූයේ පස්සෙන් පස්සට අඩි කිහිපයක් තබමින් අයානා ගේ මුහුණේ එල්ලී ගෙන ම ය. 

U.

දුල්නෙත් ට මංජරී සොයා ගත හැකි වූයේ කස ගස් පෙළ යට හිඳ කෙල්ලන් දෙතුන් දෙනෙකු සමග කතා කරමින් සිටියදී ය. ඔහු ව දුටුවත් උනන්දුවක් නො පෙන්වා ඉන්නට ඇය කළින් ම තීරණය කර ගෙන සිටියා ය. දුල්නෙත් ට මුලින් ම ආදරෙයි කීවේ ඈ ය. නිතර ම පස්සෙන් ගිහින් ඔහු ළඟ දැවටෙන්නෙත් ඈ ය. එතකොට ඔහු ට ඇගේ කිසි වටිනාකමක් දැනෙන්නේ නැතිව ඇතැයි පෙර දා රාත්‍රියේ මංජරී කල්පනා කළා ය. වටිනාකමක් දනවන්නට නම් වැඩිය ඔහු ව ගණන් නො ගෙන සිටිය යුතු යයි සිතුවේත් ඒ වෙලාවේ ය. ඒ නිසා වෙනදා වාගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ආසන්නයේ ඔහු එන තුරු මග බලනු  වෙනුවට ඇය කෙල්ලන් සමග වැඩකට නැති ඕපාදූපයක් කියවන්නට එකතු වූවා ය.

දුල්නෙත් ඇයට පේන මානයට ගොස් නතර වෙත්දීත් ඉගිල එන ප්‍රීතිමත් උනන්දුවක් නො පෙන්වන්නට ඇය වග බලා ගත්තා ය. 

“අන්න ඇවිත්”

කියා කෙල්ලක කීවාට පස්සේ නොයා බැරි කමට ඇය බොරු සිනහවක් නගා ගෙන ඔවුන් ගෙන් සමු ගත්තා ය. පිටස්තර කිසිවෙකුට දුල්නෙත් හා ඇය අතරේ ප්‍රශ්නයක් ඇති බව පෙන්වන්නට ද ඇයට ඕනෑ වූයේ නැත. 

“අද කෑම ගන්න ඕන නෑ. අම්මගෙ උපන් දිනේ නිසා කිරිබත් ඉව්වනෙ…මං ඔයාටත් ගෙනාව”

දුල්නෙත් හිතුවේ ඇය ප්‍රීතිමත් සිනහවක් පානු ඇත කියා ය. නමුත් ඇගේ ප්‍රතිචාරය ඊට සහමුලින් වෙනස් විය.

“කිරිබත් වලට සෙම ඇවිස්සෙනව. මං එච්චර ආසත් නෑ”

ඔහු ගේ ඇස් වල ඇඳුණේ අසරණ හැඟීමකි.

“කමක් නෑ කමු ටිකක්”

කියමින් මංජරී කැන්ටිම පැත්තට හැරුණා ය. ඇත්තට ම කිරිබත් වලට ඇයට සෙම ඇවිස්සෙනවා යි සිතන්නට ඔහු කැමති විය.

“එහෙනං කාල උණු වතුර එකක් ඉල්ලං බොන්න”

“මීට පස්සෙ ඔයා නිර්වාණෙට නෙවෙයි ඕන තැනකට යන්න. මං ඕව හොයන්නෑ”

අතර මගින් පැන ඇය කීවේ කොහෙත් ම ඒ මොහොතට සම්බන්ධ නොවූ කතාවකි. ඇගේ හිතේ කැකෑරෙමින් තිබූ දේ එයයි. දුල්නෙත් මඳ සිනහවක් නගා ගත්තේ ය.

“ඔයා තේරුං ගත්තනං ලොකු දෙයක් මංජරී…”

දුල්නෙත් ගෙන් සුසුමක් ගිළිහිණ.

“අපේ තාත්ත ප්‍රයිවට් සෙක්ටර් එකේ අද තව වෙනකලුත් වැඩ කරන මනුස්සයෙක්. තාත්ත හැන්ඩ්සම්. ඉස්සර ඉඳහිට ඉස්කෝලෙ පේරන්ට්ස් මීටින් එකකට ආව වුණත් තාත්ත කැපිල පේනව. අපේ අම්ම අපි දෙන්නවයි ගෙදරයි බලා ගෙන ගෙදර හිටියෙ. තාත්තගෙන් කවුරු හරි ඇහුවොත් අම්ම මොනාද කරන්නෙ කියල…එයා කියන්නෙ අම්ම ගෙදර වැඩ කරනව. මං එළියට ගිහින් වැඩ කරනව කියල. තාත්ත කවදාවත් කිව්වෙ නෑ අම්ම මුකුත් කරන්නෑ ගෙදරට වෙලා ඉන්නව කියල. ඇත්තටම අම්ම ගෙදර ඉඳන් කරපු වැඩ කොටසට ගෙව්වනං තාත්තගෙ පඩිය මදි කියල දැන් මට තේරෙනව. තාත්ත ඒ ගෞරවේ අම්මට දුන්න. අම්මත් හැම දාම දැනගෙන හිටිය තාත්ත කොහේ ගිහිං හවසට ගෙදර ආවත්…දවසම අපිව හිතින් දරාගෙනයි ඉන්නෙ කියල. අපේ බරයි එයා දරන්නෙ කියල…අපි වෙනුවෙනුයි එයා එළියට ගිහින් වැඩ කරන්නෙ කියල. අම්ම ඒ ගෞරවේ තාත්තට දුන්න. එයා තාත්තට බෙදන්න කලින් අපි කාටවත් බත් බෙදාගන්න දුන්නෙ නෑ. තාත්ත මොන තරං ගෑනු අය ආශ්‍රය කළත් අම්ම කවදාවත් ඒ කෙනෙක් ගැන කියල තාත්තව සැක කරල නෑ. දවසක් නෑදෑයො වෙන කෙනෙක් අපේ අම්මට තාත්ත ගැන කේළමක් කියල තිබුණ. අම්ම ගත් කටටම කිව්වෙ එයාට ඕනනං යන්න මගෙං කිසීම අවහිරයක් නෑ. ඒක එයා දන්නව. එයා අපිව දාල යන්නෑ කියල මාත් දන්නව. ඒක නිසා කවුරුවත් දැක්ක දෙයක් කිව්ව කියල මං දරුවන්ගෙ තාත්ත ගැන සැකයක් හිතන්නෑ. ඒ වගේ ම මගෙ ඇස් දෙකෙන් දැක්කත් මං එයා ගැන එහෙම හිතන එකක් නෑ. මොකද ඇස් දෙකෙන් දකින දේවලුත් ඇත්තට සිද්ද වෙන දේ නොවෙන්න පුළුවන්. එයාට අපිව දාල යන්න ඕනනං එයා මට කතා කරල කියයි කියලයි. මට දැං හිතෙනව…සමහර විට තාත්තගෙ හිත හෙල්ලිච්ච වෙන තැනක් තියෙන්න වුණත් ඇති…ඒත් අපි වෙනුවෙන් බැඳිල හිටිය වගකීම අත් ඇරල යන්න කවදාවත් එයා හිතන්න නැතුව ඇති”

තවත් කියා ගෙන යන්නට දේවල් තිබුණ ද දුල්නෙත් ඊට වඩා යමක් නො කියා නතර වූයේ ය. එක අතකට කටුවක් සේ පැටළුණ යමක් ඔහු ගේ හිතේ හීරීමක් ඇති කළේ ය. පපුවට අමුතු බරක් දැනෙන්නට ද විය. මංජරී නෙතු විසල් කොට බැලුවා ය. දුල්නෙත් ඇගේ ඇස් මගහැර ඉවත බලා ගත්තේ ය. ඔහු ට අයානා සිහි විය. ඒ ඇස් ඉහත්තාවේ නතර වී සරතැස නිවීමේ අහිංසක ඕනෑකමක් විටෙක හිතට දැනුණා ට මංජරී ගැන වගකීමෙන් මිදිය නො හැකි බව දුල්නෙත් විශ්වාස කළේ ය. ඔහු දුටු ආදර්ශ පිරිමි චරිතය තාත්තා ය. ඔහු කිසි දා වගකීම් අතැර පැන ගිය මිනිසෙකු නොවේ!

නමුත් මංජරී ට අමුතු අඩුවක් දැනෙන්නට ගති. ඒ කුමක් දැයි දැන හැඳින ගන්නට ඇය අපොහොසත් වූවා ය. 

ආයේ ම දෙතුන් දිනක් දුල්නෙත් නිර්වාණය පැත්තේ නොයා සිටියේ ය. මංජරී වෙනුවෙන් යමක් කිරීමේ අවංක උත්සාහයක් ඔහු ගත්තේ ය. හිත කියන්නේ හීලා කිරීම පහසු නැති කැලෑ අශ්වයෙකු වාගේ බව දැන් දැන් ඔහු පසක් කර ගනිමින් සිටී. නමුත් එවන් කැලෑ අශ්වයෙකුට වුව සරතැස නිවන්නට සැනසුම් සහගත තැනක් ඕනෑ වන්නේ ය. වෙන කවුරුන්වත් බලෙන් හීලෑ කරන්නට යනු වෙනුවට කැලෑ අශ්වයා ස්ව කැමැත්තෙන් ම මෙල්ල වී නතර වෙන තැන ඌට නිත්‍ය සැනසුම දැනෙනු ඇත.

අම්මා ගේ උපන් දිනය වෙනුවෙන් අයානා තිලිණයක් මිල දී ගත්තා ය. ඒ වර්ණය වෙනස් නොවෙන සේ වියළන ලද මල් යොදා ගෙන කළ පින්තූර රාමුවකි. අම්මා මල් වලට ආස ය!

“අර ඇම්බැට්ටය උස්සං ගියානෙ පෞන්ඩඩ් ෆ්ලවර් ආට් එක”

දුරාශා නෝක්කඩු කීවා ය. අයානා ගේ හිතේ කොනිති ගැසීමක් ඇති විය. ටික දවසකින් ඇය දුල්නෙත් ව දුටුවේවත් නැත. පින්තූර රාමුව බලෙන් වාගේ ගෙන ගිය එක ගැන සොරි කියා ගියාට පස්සේ ම ඔහු ආවේ නැත. ඒ ටික දවස ඇගේ හදවත මල් යාය දිගු ශිශිර නිද්‍රාවකට හසු වූවා සේ ය. රත්තරං පාට හිරු කිරණක් සේ නිර්වාණ ද්වාරය අභියස ඔහු පහළ වී නම් ඒ මල් යාය නිමේශයකින් වසන්තය හා යා වෙන බව අයානා ට දැනේ. නමුත් ඒ වගේ දේවල් නො දැනුණා සේ ඉන්නා හැටි දැන් ඇය දන්නී ය. හදවතක් ඇතුළේ වසන්තයක් ගිම්හානයක් සිසිරයක් සේ ම ශරත් සමයක් ද කාල තරණය කරන්නේ ය. අයානා ඒ සියල් ඍතු වලට ආදරේ ය. වසන්තයේ මල් වලට ද ශරත් සමයේ වර්ණවත් පත්‍ර වලට ද සිසිරයේ හිම සිසිලට ද වස්සානයේ වැහි සීතලට ද එක ලෙස කැමති ය. 

දුල්නෙත් කියන්නේ වෙනත් යුවතියක ගේ පෙම්වතෙකු බව ඇය දැන සිටියා ය. නමුත් ඒ කොල්ලා ගේ ඇස් වලින් විටින් විට ඇයට කැඩපතකින් සේ ඔහු ගේ හිත පෙනිණ. ඒ දඩබ්බර ඇස් ඇය දෙස බලනා හිතුවක්කාර බැල්මට ඇගේ ගැහැනු හිතේ ඈත කොනක් සැලී යනවාට ඕ රිසි වූවා ය. අයිතියක් අවසරයක් නැතිව හදවත හරහා හමා යන මෝසම් සුළං වලට ඇය හද කවුළු වසන්නට ගියේ නැත. සුළඟ රිසි පරිදි දඟ පා තිර රෙදි හැඩි කොට ද ජනේල පියන් හප්පා ගෙන ද හමා යන්නට හැර  බලා සිටියා ය. කවුළු වසා හෝ මග බාධක අවුරා හෝ ඒ ස්වභාවික ගමන නතර කරනු වෙනුවට ඒ ස්වභාවිකත්වය ඇති සැටියෙන් විඳින්නට ඇය ආශා වූවා ය. නමුත් ආයේ වරක් හිත හැඩි වේ යයි වන බිය නිසා කිසිත් නො දැනුණා සේ උන්නා ය. 

“අන්න පොද වැටෙනව”

කහ අරලියා ගහ අතරින් අහස දෙස බලා ගෙන දුරාශා හදිසියේ ම කීවා ය.  ඒ වැහි පොදයත් එක්ක අයානා ගේ හිතෙන් මොකක්දෝ සුවඳක් අවදි වෙන්නට හැදුවේ ය. දවසක් පුරා සුවඳ දී ඉතිරි වුණ අවසාන සුවඳ පොදක් ගැන කතාවක් වැස්සේත් දුහුවිල්ලේත් සුවඳ අතරින් ඇයට දැනී නො දැනී ගියේ ය.

“හොඳයි වහින එක”

අයානා ට එහෙම කියවී අවසාන වී තිබිණ. දුරාශා රැව්වා ය.

“කොහොමද වහින එක හොඳ වෙන්නෙ…ශොප් එකට සෙනග එනවත් අඩු වෙනව”

අයානා දෙතොල් තෙරපා මඳහස පෑවා ය. මංජරී ගේ දම් පාට මල් කුඩයට ගුලි වී ගෙන ඇයත් එක්ක ම දුල්නෙත් නිර්වාණ ද්වාරයට ගොඩ වූයේ එතකොට ම ය.

“ඕන්නෑ. හයියෙන් වහින්නෑනෙ. මෙහෙම යං”

ඊට මොහොතකට පෙර දුල්නෙත් මිමිණුවේ ය.

“කමන්නෑ. නිර්වාණෙට ගිහිං පායනකල් කොෆී එකක් බොමු”

බල කර සිටියේ මංජරී  ය. ඇය නිර්වාණ ද්වාරයට හැරුණේ දුල්නෙත් ගේ අතකින් ඇදගෙන ය. ඔහු ගේ හෘද ස්ඵන්දනය වෙනස් වී තිබිණ. කුඩය බිම දැමූ මංජරී ඇගේ අතැඟිලි වලින් දුල්නෙත් ගේ හිස කේ වලත් කම්මුල් වලත් රැඳී තිබි වැහි බින්දු පිස දැමුවා ය. වෙන කාටවත් දුල්නෙත් ගැන නරති අයිතියක් ඇයට වන බව පෙන්වන්නට මංජරී ට ඕන වෙන්නට ඇත.

“මේ කුඩෙං ගියානං හොඳටම තෙමෙනව”

එසේ වැහි දිය පිස දමන අතරේ ඇය අයානා දෙස බලා පින්තූරයක් වගේ සිනහ වී කීවා ය. අයානා ඒ වාසුළියට හමා යන්නට ඉඩ හැර නිසල වූවා ය.

“කොෆී දෙකක් අක්කි”

ඇණවුම මංජරී ගෙනි. අයානා මැෂිමෙන් කෝපි දැමුවා ය. දුරාශා මුදල් ගත්තා ය. මංජරී දැරියක ගේ ප්‍රීතිමත් බව විහිදුවමින් සිටියා ය. දුල්නෙත් ඔහු කැමති පුටුවේ හිඳ අත් දෙක පපුවේ බැඳ ගත්තේ ය. නමුත් ඔහු ගේ ඇස් අයානා වෙත පා ව ගියේ ය. මංජරී වෙත කෝපි බන්දේසිය දෙන ගමන් අයානා ඒ බැල්මේ හැපුණා ය. මංජරී ට දුන් සිනහවෙන් ඉතිරි වී තිබි ටික දුල්නෙත් ට ද දී ඇය ඉවත බලා ගන්නට ගොස් නැවත ද බැලුවා ය. දුල්නෙත් ගේ ඇස් බැල්ම නිසංසලේ ඒ විදිහට ම තිබිණ. නමුත් සිනහ වෙන්නට ඔහු ට කිසිදු උවමනාවක් වූ බව නො පෙනිණ.

ඉක්මනට කෝපි එක බී දුල්නෙත් නැගිට බෑග් එක එල්ලා ගත්තේ ය. මංජරී  හදිසියේ කොපි ඉවර කළේ නැගිට ගෙන බොමිනි.

“මොකද හදිස්සි…හෙමීට යමුකො”

ඒ අතරේ දී ඇය මිමිණුවා අයානා ට ඇසිණ.

“මැචින් කපල් එක නේ…”

ඔවුන් යළි සෝරත මාවත ට පිවිසෙත්දී දුරාශා කීවා ය. අයානා ‘හ්ම්’ කීවා ය.

“අපරාදෙ බොරු වැස්සක් වැස්සෙ”

කියා ද ඒ එක්ක ම කීවා ය. නිර්වාණයේ පිවිසුම් දොරටුව අසල වැහි වතුර ද වැලි ද විසි වී අපවිත්‍ර වී තිබිණ. මීට ටික වෙලාවකට පෙර වහින එක හොඳ යයි කී කෙල්ල දෙස මිතුරිය බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.

“ඔයා යන්න දුශ්…මං තව ටිකක් ඇරං ඉඳල වහනව. අදත් වැස්සට අහු වුණොත් සහන් යකා නටයි නැත්තං”

තනි වීමක උවමනාවක් හදිසියේ ම දැනුණෙන් අයානා දුරාශා ට එසේ කීවා ය. සැබවින් ඇයට ඕන වී තිබුණේ දැන්ම නිර්වාණය වසා දමා උඩු මහලේ කාමරයට යන්නට ය. යහනේ වැතිරී ඇස් දෙක තද කොට පියා ගෙන නිසොල්මනේ ඉන්න ය. එහෙම ම නින්ද ගියොත් ඉබේ අවදි වෙන වෙලාවක නැගිටින්නට ය. නමුත් එවැන්නක් වන්නට ඉඩ නොදී අම්මා රෑ කෑමට ඇයව අවදි කරනු ඇතැයි අයානා ට සිහි විය.

“කමන්නැද්ද…”

අයානා හිස සැළුවා ය. දුරාශා ඉක්මන් කොට අත් බෑගයත් ගෙන කුඩය ඉහළා ගෙන මගට බැස්සා ය. 

තවමත් හිරි පොදයක් ඉහිර යයි. අයානා ගේ සිතේ තුනී සන්තාපයක් පාව යමින් තිබිණ. එය අහේතුක ය. මඳ වෙලාවක් දොර අල්ලා ගෙන මිදුල දෙස බලා උන් ඕ ‘ක්ලෝස්ඩ්’ බෝඩ් එක දමා දොර වසන්නට ගියා පමණි. දුල්නෙත් අලගියවන්න වැහි පොදයට යටින් දිවගෙන ම ඇවිත් නිර්වාණයට ගොඩ විය. අයානා ට කිසිත් සිතා ගත හැකි වූයේ නැත. ඔහු ආයේ ම ආවේ ඇයි?

“පර්ස් එක දාල ගිහිං”

අයානා ගේ හිතේ වූ ප්‍රශ්නයට දුල්නෙත් වාචික පිළිතුරක් දුන්නේ ය. ඔහු හිඳ උන් තැන මේසය දෙස අයානා හැරී බලන විටත් දුල්නෙත් එතැනට ගොස් මුදල් පසුම්බිය අතට ගනිමින් සිටියේ ය.

“සල්ලි හරියට තියනවද කියල බලල ගන්න”

අයානා මිමිණුවා ය. දුල්නෙත් ඇය ළඟට ම ඇවිත් ඇස් වලට එබුණේ ය. අයානා ට දැනුණේ ඇස් වලින් ඔහු සිය ආත්මය නමැති දිය පොකුණට පැන කිමිදුණා මෙනි.

“පර්ස් එක නෙවෙයි මාව මෙතන අමතක වෙලා ගියත් මට නැති වෙන්නෑ කියල දන්නව”

ඒ ගිනි කන්දක පුපුරා යාමකි. ලාවා ගලා යන තෙක් අයානා නිසොල්මනේ බලා සිටියා ය. විදාරණයේ පශ්චාද් සැනසීම ඊළඟට ඇගේ පපුව පුරා දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles