සාගර තරංගා – 3

0
6131

“දවස තිස්සෙම ගෙදර ඉන්න එකේ කෑමවත් වෙලාවට හදලා තියන්න බැරිද ඕයි?” කියා මේධංග ඇඟට කඩන් පනිද්දී තරංගා උන්නේ පාන් කියාගන්න බැරි තරම් මහන්සි වෙලාය.

කලින්දා රැයේ හිඳන් සනුකි උන්නේ ඇහැරගෙන මොන මොනවදෝ තේරුමක් නැමති අකුරු වගයක් ගලපමින් කාටවත් නොතේරෙන වචන වගයක් කියමින්, කුණු කුණු ගාමින් ඇහැරගෙනය. උදේ පාන්දර ඇහැරගෙන මේධංගට ගෙනියන්න කෑම උයන එක පවා තරංගා කලේ එකාතකින් සනුකිව පපුවට තුරුලු කරගෙන එකාතකින් කුස්සියේ ඔක්කොම වැඩ පල ටික කරගනිමිනි. වෙනදාට උදේඇහැරී තේක හදාගන්න නැන්දම්මා පවා එදා හිස කැක්කුමක් බව කියමින් කාමරයට වී උන්නු එකෙන් හවස් වෙද්දී සනුකිව නලවගන්න එකත්, ගෙදර වැඩපල කරන එකත් එක්ක තරංගා උන්නේ හොඳට හෙම්බත් වීය.

ඒ අස්සේ උදේ ඉඳන් තමන් දරුවා එක්ක ඔට්ටු වෙච්ච විදිය දැක්ක මේධංග මෙහෙම ඇවිත් කතාකරද්දී තරහ යන එක සාදාරණ බව තරංගා හිතුවාය.

“ඇස් පේන්නෙ නැති මනුස්සයෙක් වගේ කතාකරන්න එපා මේධංග. රෑ තිස්සෙ දරුවා උන්නෙ ඇහැරගෙන බව ඔයා නොදැක්කෙ නෑනෙ. උදේ මං තනි අතින් ඔක්කොම වැඩ පල කරපුව නොදැක්ක වගේ කතාකරන්න එපා. වෙනදට අම්මා හරි එනව උදව්වට. අද ඒකත් නැතුව මං හැමදේම තනියම කරගන්නවා හොඳටම පෙනි පෙනී ඔහොම කතාකරන්න එපා”

“ඔව් ඔව් දැන් මේ ලෝකේ ළමේක් ඉන්න එකම අම්මා තමුන්, ලමයා ලෙඩ වෙන්නෙ, ලමයි අඬන්නෙ මේ ගෙදර විතරයිනෙ”

“වෙන ගෙවල්වලත් ළමයි අඬනවා ඇති මේධංග, හැබැයි ඒ ගෙවල්වල වැඩපල කරන්නෙ ගෑණි විතරක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න. ඒ ගෙවල්වල මිනිස්සුත් වැඩ කරනවා. මේ ගෙවල්වල වගේ දාහක් වැඩ කරලා එක දවසක් කරන්න බැරි උනාම ගෑණිට බණින මිනිස්සු නෙවෙයි”

“මෙලෝ වැඩක් කරගන්න බැරි උනාට කට නම් තියෙනවා නේ. වෙන ගෙවල්වල පිරිමින්ට බලාගන්න තියෙන්නෙ මෙහෙ වගේ ලෙඩ කාළකණ්නි නෙවෙයි” කියන කතාව මේධංග ඇහෙන නෑහෙන ගාණට කියන ගමන් නාන කාමරය අස්සට රිංගුවාය. එදා රැයේ මේධංග පිටින් ඕඩර් කර තිබුනේ කොත්තුවකිනි. තමන් කොත්තු කන්න අකමැති බව දන්නවා නමුත් මේධංග ඒකම කලේ තමන්ගෙන් පළිගන්න බව දන්න හන්දාම තරංගා කිසි සද්දයක් නැතුව සනුකිට පොවන්න සුදු කිරි එකක් හදන ගමන් කොන් ෆ්ලේක්ස් ටිකකට කිරි ටිකකුත් සීනි ටිකකුත් දාගෙන බඩගින්දර නිවාගත්තාය.

එහෙත් හිතේ ගින්දර තිබ්බේ නිවෙන්න පුලුවන් තැනක නොවේ. ඒ ගින්න නිවෙන්න ඉඩක් තියෙන එකක් නොවන බවත් තව තවත් ඇවිලෙන්න බලාගෙන තියෙන ගින්නක් බවත් තරංගා බිඳෙන් බිඳ තේරුම් ගත්තාය. ඒ දිනෙන් දින මේධංගගේ නොරිස්සුම් වලද, නොමනා වචන වලද බර වැඩිවෙද්දීය. ඒ වචනවල තැවරී තිබිච්ච කෝපය සහ අමනාපය හුදෙක් සනුකි වෙත එල්ල වූ දෙයක් පමණක් නොවන බව තරංගා තේරුම් ගත්තේ හෙමින් හෙමින් ය.

“මේධංගට තරහා තියෙන්නෙ සනුකි එක්ක විතරක් නෙවෙයි අක්කෙ. එයාට තරහ තියෙන්නෙ මාත් එක්ක. සනුකිටත් වඩා මාත් එක්ක”

“අනේ අර අහිංසක දරුවා එක්කවත් ඔයා එක්කවත් මොකටද නංගි තරහෙන් ඉන්නෙ? අනික මේධංග වගේ ඉගෙන ගත්ත මනුස්සයෙක්ට ඔය සනුකි වගේ දරුවෙක්ගෙ තත්ත්වෙ තේරුම් ගන්න බැරි එක මට හිතාගන්න බෑ නංගි, ඇත්තමයි”

“මේධංග හිතන් ඉන්නෙ මම ඕන කමින් මගෙ දරුවව අසනීප කරගත්ත වගේ කියලා අක්කෙ. එයාට මාත් එක්ක තියන තරහ එක. මම මේ දරුවව තනියෙන් හදාගත්තෙ, මිනිහෙක්ගෙ මෙලෝ දායකත්වයක් නැතුව වගේ කියල තමයි මේධංග හිතන් ඉන්නෙ. මේධංගට තියෙන ප්‍රශ්නෙ අර එයාගෙ ඔෆිස් එකේ යාලුවො වගයක් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක සනුකි හොටෙල් එකේදි කලබල වෙලා කෑගහද්දි එතන උන්නු මිනිස්සු ටිකක් බලන් උන්නු එක. ඒකෙත් එයාට ප්‍රශ්නෙ තියෙන්නෙ එයා දන්නවනෙ සනුකිට ඒ විදියට කලබල වෙන්න හේතුවක් තියෙනවා කියලා. එහෙම නැතුව ඔය ඕටිසම් කතාවක් අපි දන්නෙවත් නැතුව උන්නනම් සමහරවිට එදා ඒ සිද්දිය වෙච්ච වෙලාවෙ මේධංගම සනුකිව වඩාගෙන නලවන්න තිබ්බා. 

කසාද බඳින්න කලින් කොහොමද අක්කෙ කිව්වේ? දරුවො හම්බුනාම ගෙදර වැඩපල වලට උදව් වෙනවය, ඔයා උයන්නය, මං ගේ අස්පස් කරන්නම් ය කියලා. දැන් එක වේලක් මට උයන්න බැරි උනාම ඇඟට කඩන් පනින්නෙ මං හරියට හත් අවුරුද්දක් එයාවයි එයාගෙ අම්මවයි බඩගින්නෙ තිබ්බ ගාණටනෙ අක්කෙ” කියා තරංගා හිනා උනේ හරියට හිනා යන කතාවක් කිව්ව වගේය. නර්මදාගේ හිත වඩාත් රිදුණේ ඒ හිනාව ඇවිත් පපුවේ වැදිච්ච වෙලේය.

“අනේ නංගි ඔය පිරිමි කියන ඒව ගැන ඔච්චර හිතන්න එපා නංගි. මිනිස්සු ඉතින් තරහා ගියාම අපි වගේ ඕව හිත අස්සෙ හිරකරගෙන ඉන්නෙ නෑ එකපාර බකස් ගාලා කියල දානවනෙ. නංගි ඕවට එච්චර හිත කණස්සලු කරගන්න එපා” කියා නර්මදා කිව්වේ යමක් කියන්න ඕන හන්දාමය. එහෙම නැතුව මේධංග කරන්නෙ වැරදි වැඩක් බව පිලිනොගත්ත හන්දා නොවේ. එහෙත් එහෙම දෙයක් කියන්න යන එක තරංගා මේ නූලකින් වගේ ගැටගහගෙන ඉන්න ඇගේත් මේධංගගේත් විවාහ ජීවිතේ සහමුලින්ම බිඳෙන්න හේතුවක් වනු ඇතැයි හිතේ තිබිච්ච විචිකිච්චාව හන්දාය.

“අනේ මට කිසිම දුකක් නෑ අක්කෙ. මේධංග ඔය දවසෙන් දවස පෙන්නන්නෙ මට එයාව නැතුවත් ජීවත්වෙන්න පුලුවන් කියන එකනෙ අක්කෙ. දාහක් වැඩ ගෙදර තියෙද්දිත්, කොටින්ම අර ලෙඩ දරුවා කලබල කරන දවසක උනත් මං ඇඳුම් ටික කබඩ් එකෙන් අරන් අයන් කලේ නැත්තම්, කෑම ටික හදලා දුන්නෙ නැත්ත, දවල් වෙලා ඔෆිස් යන්න වෙන මනුස්සයා හිතාගෙන ඉන්නෙ මෙතන මේ එයා නැති උනොත් මටයි දරුවටයි පාරට බහින්න වෙනවා කියලා අක්කෙ. 

මට කිසිම දුකක් නෑ අක්කෙ. මම දැන් ඉන්නෙ එයාව අතෑරලා. ජීවිතෙන් අතාරින්න බැරිවෙච්ච එක ඇත්ත. හැබයි හිතෙන් මම අර ආදරේ කරපු මේධංගව මම අතෑරලා දැම්මෙ මගෙ දරුවට ලෙඩෙක් කියල මුලින්ම බැන්න දවසෙ අක්කෙ. ඒ නිසා අක්කා හිතනවා වගේ මට ඇත්තටම වේදනාවක් නෑ’ කියා හිනාවෙවී කිව්වට හිත අස්සෙන් තවමත් මේධංග දාහක් කතා කියද්දි රිදෙන රිද්දිල්ල දන්නේ තමන් විතරක්ම නේද කියා තරංගා හිතුවාය.

“චූටි මල්ලිගෙ වෙඩින් එක කියලා ගියා නැන්දලා ඇවිල්ලා” කියා කුසුමලතා කිව්වේ රාත්‍රියේ මේධංග එක්ක කෑම මේසෙට වාඩිවෙන ගමන් ය. 

මේධංග ඒ කතාවටවත් උත්තර නොදෙන තරම් ඇහැ දුරකතනයට අලවගෙන ඉන්න බව දැක්කා උනත් තරංගා ඕවට මුකුත් කියන්න ගියේ නැත. අම්මා කතාව කිව්වේ පුතාටට. අහන නොඅහන එක පුතාගේ වැඩක් ය. ඕවට කට දාන්න යන එකෙන් අන්තිමේ නරක ගෑණි වෙනෙ තමන් හන්දා කට වහං ඉන්න එක හොඳ බව තරංගා පිඟානට බත් බෙදාගන්න ගමන් හිතුවාය.

සනුකි කොහොමත් සැරට කන්නෙ නැති හන්දා තරංගා තමන්ගෙ පිඟානට බෙදාගත්තේත් අල හොඳිත්, මිරිස් හෝදපු මාලු කෑල්ලකුත්, ඉඳි ආප්පත් පමණකි. වෙනදා කොච්චර රස මසවුලු කන්න කැමැත්තෙන් උන්න ගෑණියෙක් උනත් සනුකිට කවන පතෙන්ම කන්න පුරුදු වෙච්ච එකෙන් ඒ රසවල් දැන් දිවට නුහුරු බවක් තරංගාට දැනේ. 

වෙනදාට නම් සනුකිට කවාගන්න දාහක් නැටුම් නටන්න උනත්, උපන්දින උත්සවය දවසේ තෑග්ගක් ලෙස ලැබිච්ච ටෝයි කම්පියුටර් එකේ ඩයිනෝසරයක් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තයින් සනුකිට කවාගන්න පොවාගන්න එක තරංගාට ඉස්සර තරම් අමාරුවක් නැත. ඒ උනාට ඉතින් ඕකත් දවස් කීයක ආසාවක්ද කියා කියන්න බැරිය.

“ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලො එක්ක නාඩගම් නටපු හැටියට අපි හිතුවෙ හිතුමනාපෙ බඳීවි කියලනෙ. ඒ උනාට මොකෝ අම්මල හොයල දුන්න ළමේක්ව බඳින්නෙ. අන්න දරුවො” කියා වචන අදාල උදවියගේ කන්වලට යොමු කරන ගමන් කුසුමලතා බැල්මකින්වත් ඒ අය දිහා නොබලා පිඟානට හොදි බෙදා ගත්තාය.

“ඒ බඳින ගෑණු ළමයත් කොහෙද මන්දා මේ ලොකු රස්සාවක්ලු කරන්නෙ. බැඳල චූටි මල්ලි එක්කම ඔස්ට්‍රේලියාවෙ යන්නලු හිතාගෙන ඉන්නෙ” කියා කිව්වට ඒකට මේධංගවත් තරංගාවත් මුකුත් නොකිව්ව එක ගැන හිතට පිවිසිච්ච කෝපය කුසුමලතා පිටකලේ අල හොදිත් පොල් සම්බලුත් මාලු කරිත් එක්ක ඉඳිආප්ප රැල් ටික චොකස් චොකස් ගා මහ සද්දෙට වේගයෙන් අනමිනි.

“වාසනාව ඉතින් ඒ මව් දෙමව්පියන්ගෙ. කියන දේ අහන දරුවො ඉන්න එක තරම් ඉතින් වාසනාවක් අම්මෙක්ට අප්පෙක්ට වෙන තියෙනවද? ඒකට ඉතින් අපිට, අන්තිමේ ගෙනාපු දේකුත් නෑ, ඇති කරගත්ත දේකුත් නෑ තිබ්බ දේවලුත් නැති කරගෙන නෑයො මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙන්න වෙච්ච එක තමා අපිට ඉතින් දරුවො කසාද බන්දලා දීලා ලැබුණෙ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here