ඔබ දකින තුරා –9

නිර්මලා ට ඇසුණේ අජිත් ගේ කළු සපත්තු වල අඩි බිම වැදෙනා විට නැගෙන ‘දඩස්’ හඬ පමණකි. සුළි කුණාටුවක් හමන්නට ඔන්න මෙන්න ව තිබියදී මෙන් මහත් භයංකර නිශ්ශබ්දතාවයක් ඈ වටා කැරකෙන්නට විය. සිය සැමියා වන අජිත් බීමත් වූ විට චණ්ඩි පාට් දැමූව ද පියවි සිහියෙන් සිටියදී ඉතා සාමකාමී මිනිසෙකු බව, තිස් වසරක යුග දිවියෙහි උගත් පාඩම් අනුව නිර්මලා දනී. නමුත් ඔහු යොහාන් සම්බන්ධයෙන් කිව් තරමක් දේවල් කීවේ බීමතින් නොවේ. පියවි සිහියෙනි. ඇගේ හදචත මේ මොහොතේ දෙමෝලෙන් පිටි කොටන්නේ එබැවිනි.

“ආ…මේ පුතා උදේම ඇවිත්නෙ. මං මේ ඔය ළමයට වැදගත් කාරණයක් කියන්නමයි හිටියෙ”

ඔෆිස් බෑග් එක වේවැල් පුටුවක් මතින් තැබූ අජිත්, තරුණයා ගේ පිටෙහි අතක් තබා ගත්තේ ය. යොහාන් යන්තම් කට ඇද කොට සිනහ වූයේ හිතෛශීවන්ත කමකට නොවේ. මුල සිට ම ඔහු ගේ හිතේ සිය වෙන්නට යන මාමණ්ඩිය ගැන ප්‍රසාදයක් වූයේ නැත.

“මේකයි පුතා. මේ කටයුත්ත කෙරෙන එකක් නෑ. තරහ වෙන්න එපා හරිද…බොරුවට මේව ඇදගෙන යන්න ඕන නෑනෙ”

යොහාන් තියුණු දෑසකින් අජිත් දෙස බලා එහෙම ම නිර්මලා වෙතට දෑස් හැරවූවේ ය. ඒ ඇස් වල ලියැවී තිබුණේ ‘මේ මොකද්ද මේ කියන කතාව’ යන ප්‍රශ්නය ය. ඊලඟ තත්පරයේ ඔහු කට කොනකට සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“විහිළුවක් කරනව වගෙයි”

එසේ කීවාට යොහාන් ගේ හිතට අමුත්තක් නො දැනුණා නොවේ. ඊයේ හැන්දෑවේ ඔහු මෙතැන මේ පුටුවේ ම හිඳ සිටියදී අමාරසී ගෙතුලට ගියේ ඔහු දෙස බලා සිනහ වෙන්නේ හෝ නැතිව ය. ඊළඟට නැන්දම්මා විත් දුවට හිස රදයකැයි කීවා ය. දැන් මාමණ්ඩිය මේ කටයුත්ත කෙරෙන එකක් නෑ කියයි. මෙතැන යමක් සිදු වෙමින් පවතින බව ඔහු ට වහ වහා දැනෙන්නට ගති.

“විහිළුවක් නෙවෙයි පුතා”

අජිත් යොහාන් ගේ උරහිස පිරිමැද්දේ ය. ඒ ස්පර්ශය යොහාන් තුළ ඇති කළේ සුව පහසු හැඟීමක් නොවේ. නමුත් ඔහුටත් වඩා මෙතැන අපහසුවට පත් ව සිටියේ නිර්මලා ය. කොයි මොහොතේ  කොයියම් දෙයක් සිදු වේ දැයි ඇය බිරාන්ත ව සිටියා ය.

“මේක තමයි ඇත්ත. රසී ඔයාව බඳින්න කැමති නෑ”

“ඒත් එයා කැමැත්ත දුන්නනෙ. දැං එයාට ඕන ඕන විදිහට වචන වෙනස් කරන්න බෑනෙ”

“කොල්ලො… බැඳලත් ඕන තරං ජෝඩු දික්කසාද වෙනව. ඇයි ඒ..නොගැලපෙන නිසා. කාලයක් එකට ඒ ගමන යන්න බැරි නිසා. මං බොන මිනිහා. මං බීල ආපු වෙලාවට මේ ගෑනි ඕන තරං ගුටි කාල තියෙනව. ඇයි ඒ…මේකිට කට පාලනයක් නැති නිසා. මගෙං ගුටි කන්නම කට කියෝන නිසා. හැබැයි ඒ එක දවසකවත් මාව අතෑරල යනව කියල මෙයා කියල නෑ. ගිහිල්ලත් නෑ. මං දන්නව මැරෙනකල් යන්නෙත් නෑ. ඇයි ඒ..ගහ මරා ගත්තත් අපිට අපිව අත් අරින්න ඕන නැති නිසා. අන්න ඒකටයි පුතා කසාදයක් කියන්නෙ. යන්න හේතු ඕන තරං තියාගෙනත් ඉන්න එකට. ඉන්නම හේතු හොයන එකට. ඇයි එහෙම වෙන්නෙ…කොච්චර ගහ මරා ගත්තත් අපිට අපි ගැලපෙන බව අපි දන්න නිසා. එහෙම ගැලපීමක් තියන තැනක කවුරුවත් ඉන්න මිසක් යන්න දඟලන්නෙ නෑ. නමුත් රසී දැන්මම කියනවනෙ පුතාව එයාට ගැලපෙන්නෙ නෑ කියල. කසාද බැඳලත් නොගැලපෙන තැන දික්කසාද වෙන්න නීතියෙං අයිතිය තියෙනවනං පුතා…මේ වචනයක් වෙනස් කරන්න බැරි මොකද නේද..ඒ වචනෙ වෙනස් කරන්න බැරි කමට පස්සෙ දවසක උසාවි ගානෙ රස්තියාදු වෙවී කරදර වෙන්න ඕන නෑනෙ. ම්…මෝඩ වෙන්න එපා හරිද…රසී..ලෑස්ති වෙලා ඉවරනං අපි යං”

අජිත් එතැන සිට ම රසී ට හඬ ගෑවේ යොහාන් ට තව දුරටත් ඇය සමගින් කතා කරනා ඉඩක් නො දෙනු වස් ය. වෙනදා ට ඔවුන් දෙදෙනා එක් ව යන්නේ නැත. කොහොමටත් රසී කණ්ණාඩිය ඉදිරියේ ලොකු කාලයක් ගත කරන්නී ය.

තාත්තා ගේ වචනය ඉවත නොදා අමාරසී හෙමිහිට ඉස්සරහාට ආවා ය.

“මට රසී එක්ක කතා කරන්න ඕනෙ”

යොහාන් තදින් කීවේ ය.

“කියන්න තියෙන දේ දැන් මං කිව්වනෙ පුතා”

තාත්තා ගේ ඉවසීම ඕනෑම වෙලාවක නො ඉවසීමකට පෙරළෙන්නට ඉඩ ඇති බව දත් අමාරසී කලබලයක් ඇති නො කර ගන්නට සිතුවා ය.

“තාත්ත යන්නකො. මං කතා කරල එන්නං”

 අජිත් දියණිය විනිවිද බැලුවේ ය. ඇය උගත් කෙල්ලකි. කොහොමටත් මුළු ගෙදරින් ම ඔහු අවනත අමාරසී ගේ වචනයකට විතර ය. නිර්මලා වුව ඔහු ගේ එකඟතාවය එක හෙළා නො ලැබෙන යමකට අවසර ගන්නේ අමාරසී ඉස්සරහාට දමා ය. ඇය ට බෑ කියන්නට කොහොමටත් අජිත් ගේ දිව නො නැවේ.

“පුතා ට තනියම එන්න පුළුවන්ද..”

ඔහු නො අසා ඇසුවේ තනිව යොහාන් ව ආංබාං කර ගන්නට පුළුවන් ද කියා බව දන්නා අමාරසී යන්තම් හිස සැළුවා ය.

“හ්ම්. එහෙනං මං යනව”

අජිත් යොහාන් දෙස ද බැලුවා ට ඔහු ඉවත බලා ගත්තේ ය.

“මොනාද ඔයාට දැන ගන්න තියෙන්නෙ…”

අමාරසී එසේ අසා ගෙන පුටුවක කොනේ හිඳ ගත්තා ය. යොහාන් තත්පර කිහිපයක් නො සන්සුන් ලෙස ඔබ මොබ සක්මන් කළේ ය.

“මොකද්ද දැන් වෙලා තියෙන්නෙ..”

ඔහු කතා කරන්නේ යෝජනාවක් මත විවාහ වීමට සිටිනා ආගන්තුක කෙල්ලකට නොව අවුරුදු ගණනාවක් එක් ව ජීවත් වූ ගැහැනියකට මෙනැයි නිර්මලා ට සිතිණ. ඇය උළුවස්ස අතැර ගෙතුලට හැරුණේ යොහාන් තෙපරබාන්නේ ඇය ඉන්නා නිසාවෙනැයි සිතුණ බැවිනි.

“මුකුත් වෙලා නෑ යොහාන්”

“මුකුත් වෙලා නැත්තං මොන මගුලක්ද මේ කියන්නෙ…”

ඔහු ගේ හඬ උස් විය. අමාරසී වහා හැරී බැලුවේ තාත්තා ළඟ පාතක සිටිනවාද කියා ය. ඇසුණොත් ඔහු හැරී එන බව ඇය දනියි. මේ ප්‍රශ්නය තව දුරටත් ගෙදරට ප්‍රශ්නයක් වෙනවා දකින්නට ඇය කැමති නැත.

අජිත් ගේට්ටුවෙන් පිටත පාරට හැරී උඩහට ඇවිද යමින් සිටියේ ය.

“යොහාන්…බොරුවට කෑ කෝ ගහන්න දෙයක් නෙවෙයිනෙ මේ කියන්නෙ. මං බඳින්න කැමැත්ත දුන්නා තමයි. ඒත් මේ දවස් දෙක තුනට වුණත් මට තේරුණා අපි ගැලපෙන්නෙ නෑ කියල. ඒකයි මං ආයෙ ගෙදරට කිව්වෙ මේක කරන්න මට බෑ කියල”

“රසී මේ..මගෙ යකානං අවුස්සන්න එපා. තමුන්ල හිතං ඉන්නෙ මේ අපි කවුරු කියලද..ආ..මං වෙඩින් එකේ වැඩ කීයකට ඇඩ්වාන්ස් ගෙව්වද…කී දෙනෙක් දන්නවද මං බඳින්නයි යන්නෙ කියල..දැං කොහොමද හලෝ මං කටක් ඇරල ඒ මිනිස්සුන්ට කියන්නෙ ඒ මගුල වෙන්නෑ කියල..මේක සෙල්ලමක් කියල හිතුවද..”

ඔහු වෙව්ලමින් කෑ ගැසුවේ ය. හැඟීම් පාලනය කර ගැනීම ගැන අංශු මාත්‍රික අවබෝධයක් හෝ යොහාන් ට නොවූ සැටියකි.

ගෙතුළ සිටිනා නිර්මලා ට මේ කියවිල්ල මැනැවින් ඇසේ. ඇය ඒ අසා උන්නේ නො සන්සුන් ව ය. ඔවුන් දෙදෙනාට ම කතා කොට මෙය නිමාවක් කර ගන්නට හරිනා එක හොඳ යයි ඇය සිතුවා ය.

“තමුං දැන් බෑ කිව්වට හරි යන්නෙ නෑ. මේ කසාදෙ කෙරෙන්නම ඕනෙ”

“ඒක මාර කතාවක්නෙ. ඔයා කොහොමද මාව බලෙං කසාද බඳින්නෙ…”

අමාරසී ගේ ඉවසීම ද නො රිස්සුමකට පෙරළෙමින් තිබිණ.

“බලෙං…බලෙං නෙවෙයි. මේක කතා කරල තීන්දු කරපු එකක්. තීන්දුවක් දුන්නට පස්සෙ සැරෙන් සැරේ වචන වෙනස් කරන්න බෑ.අනික මං ඇඩ්වාන්ස් පේ කරපු සල්ලි කොච්චරක්ද…”

“හරි මං ඔයාට වෙච්ච පාඩුව ගෙවන්නං”

“එහෙමනං තමුන්ට ගෙවන්න වෙන්නෙ ඇඩ්වාන්ස් දීපුව විතරක් නෙවෙයි. මං නඩු දානව වන්දියක් ඉල්ලල”

“හරි හරි දාගන්න. කරන්න පුළුවන් ඕන දෙයක් කර ගන්න. ඔයා වගේ මිවිහෙක් ව කසාද බැඳගෙන ජීවිත කාලයක් විඳවනවට වඩා…ණයක් වෙලා හරි සල්ලි වලින් ඒ වන්දිය ගෙවල දාන එක මට දාහෙන් සම්පතයි”

එවර අමාරසී කතා කළේ ද ආවේග ශීලී ව ය.

“ආ…එහෙමද නෝනා…ඒ ලොකු වංශෙන්ද එන්න හදන්නෙ…”

“ඕන වංශෙකින් මාත් ලෑස්තියි මගෙ ජීවිතේ බේර ගන්න පුළුවන් දෙයක් කරන්න”

“දැන ගන්නව මං මේක ලේසියෙන් අත් අරින්නෑ. තමුසෙලට පවුල් පිටින් වන්දි ගෙවන්න වෙයි”

තවත් කුස්සිය ට වී මේ කතා අසා ඉන්නට පුළුවන් කමක් නිර්මලා ට තිබුණේ නැත.ඇය හී ගසක වේගයෙන් ඉස්තෝප්පුව කරා ආවා ය.

“බහිනව දොට්ට”

අමාරසී වහා පුටුවෙන් නැගී සිටියේ අම්මා ගෙන් කොහෙත්ම එවැන්නක් බලාපොරොත්තු නොවූ බැවිනි. යොහාන් ද තරමක කැළඹීමකින් ඇදෙස බැලුවේ ය. නිර්මලා ගේ ඇස් වලින් ගින්දර පිට විය.

“මොනාද තවත් බලං ඉන්නෙ…බහිනව දොට්ට”

“ආ…එතකොට මේ නෝනල ඔක්කොම ඒ ලයින් එකෙන්ද එන්නෙ…මතක තියා ගන්නව තමුසෙලට විඳවන්න වෙයි. සෑහෙන්න විඳවන්න වෙයි”

“මමත් මේ කෙල්ලට කිව්ව තමයි තමුසෙව බඳින්න කියල. හාපෝ…දැන්නං මේකි කැමති වුණත් මං කීයටවත් ඉඩ දෙන්නෑ ඒක වෙන්න. කණ කොකාගෙ සුද පේන්නෙ ඉගිල්ලෙනකොට කිව්ව වගේ…තමුංගෙත් හැබෑ සොරූපෙ පේන්නෙ දැන්නෙ. බහිනව දොට්ට. තමුන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ”

නිර්මලා උරුක් කොට ගත් ඇඟිල්ලෙන් යුතු ව අත දිගු කොට යොහාන් ට පාර පෙන්වූවා ය. හෙල්මට් දෙක ගත් ඔහු යතුරුපැදිය වෙත ගොස් එහි නැග ගත්තේ ය.

“මේක මෙතනිං ඉවරයි කියල හිතන්න එපා”

යනුවෙන් තර්ජනය කළ ඔහු දූවිලි අවුස්සා ගෙන නික්ම ගියේ ය. අමාරසී පුටුවේ පිටුපසට කඩා වැටුණා ය. ඇය අත් දෙකෙන් ම හිස වැළඳ ගත්තේ පුපුරන්නට එන හිසරදයක් දැනුණා වූ බැවිනි..යොහාන් කියන්නේ ඇය හිතුවාටත් වඩා නොමිනිස් ගති ඇත්තෙකි. ඇගේ හදවතේ නියත බියක් ඇති විය. ඔහු තර්ජනය කළේ ඇය ට පමණක් නොවේ. මුළු පවුලට ම ය. අමාරසී ට දරන්නට බැරි ඒක ය. ඈ නිසා පවුලේ අනිත් අයත් කරදරේ වැටෙනා එක ය. තාත්තා මේ බව දැන ගැනීම ද ලොකු කරදරයකට අත වැනීමක් බව ඇය දනී.

“ආව මෙතන බලෙං ගෑනු ගන්න. ඇයි යකෝ අර මනුස්සය ඔච්චර හොඳට තේරෙන සිංහලෙන් කිව්වහම මූ මේ මොකාටද එන්න හදන්නෙ…මූ ගෑනියෙක් හොයා ගන්න බැරුව හාමතේ හිටිය එකෙක්ද…”

“අනේ අම්මෙ…”

අමාරසී නොදැන ම ඇගේ ඇස් වලින් කඳුළු දෙපෙළක් ගලා යමින් තිබිණ. මහා නිස්සාර මූසල හැඟීමක් සුළියක් සේ ඈ වටා කැරකෙන්නට විය.

“ඉතිං මොකටද ඔයා අඬන්නෙ…බලමුකො ඌ මොනා කරන්නද කියල. අපේ පබාත් මාර කුණ්ඩවාලයක්නෙ හොයා ගෙන තියෙන්නෙ”

අම්මා ගැන අති මහත් ආදරයකින් අමාරසී ගේ හදවත වාන් දමන්නට විය. ඇය දුරට දිගට උගත් ගැහැනියක නොවේ. නමුත් කොන්දේසි විරහිත ව  ආදරය කරන්නට දැන සිටි ගැහැනියක බව මේ මොහොතේ ඇය ඔප්පු කොට පෙන්වමින් සිටියා ය.

කාර්යාලයට යන්නට අමා ට සිත් වූයේ නැත. මුළු හිත ම මුස්පේන්තු වී යන්නට උදේ පාන්දර ම යොහාන් ගේ කඩා වැටීම හේතු විය. එය එතනින් නිමා නොවෙතැයි යන සිතිවිල්ල අමාරසී ගේ හද ගැස්ම ඇයට පාලනය කර ගත නොහැකි ලෙස තීව්‍ර කොට තිබිණ. කොතනින් කෙසේ මේ සියල්ල කෙළවර වේ දැයි සිතා ගත නො හැකි ය. තාත්තා රණ්ඩු වලට පැටලෙතැයි යන බිය අන් සියල්ලට වඩා අමාරසී ට පීඩා කරයි.

ඇඳුම් මාරු කොට ඇය ඇඳට වැටුණා ය. අසනීප නිවාඩුවක් ලබා ගත් බව දැනුම් දෙන්නයි දිලිනි ට කෙටි පණිවිඩයක් තැබුවා ය. ලොකු ව්‍යසනයක් ගැන භීතියක් මුළුමනින් ඇය වෙළා ගෙන පැවතිණ. දවල්ට කන්නැයි නිර්මලා කිහිප විටක් මතක් කළ ද අමාට කුසගිනි දැනුණේ නැත. නිර්මලා කිරි තේ එකක් හදා ගෙනැවිත් දුවගේ අතේ තැබුවා ය. හිත පිච්චෙත්දී ඇය ඒ බීවා ය.

නාඳුනන දුරකතනයකින් පැමිණි ඇමතුමකට පිළිතුරු නො දෙන්නට සිතාත් ඈ යළි ඇමතුම සම්බන්ධ කර ගත්තේ එය යොහාන් ගෙන් විය හැකැයි බලාපොරොත්තුවෙනි.

“ඇයි අද ආවෙ නැත්තෙ…අසනීපයක්ද…”

ඒ හඬේ අයිතිකරුවා කවුරුන්දැයි හිතා ගන්නට ඇය ට තත්පරයෙන් සීයෙන් එකක් තරම් කාලයක් ගත වූයේ නැත.

“මිස්ට දිසත්…අසනීපයක් නෙවෙයි…ඒත් හරියට ඔළුව රිදෙනව. හිත අවුල්. ඒකයි ලීව් ගත්තෙ”

“ඇයි අමා…”

“යොහාන්…”

අමා ගේ කඳුළු ආයේ ම අලුත් විය. අයිතියක් ගැන කිසිදු බාධාවකින් තොර ව ඇය හිතේ හැටියට හඬමින් දුක කීවා ය. ඒ තරම් නිදහස් හැඟීමකින් සිය සිත නිදහස් කර ගන්නට ඔහු ළඟදී හැකි වෙතැයි අමා වුව කලින් සිතා සිටියේ නැත. එය ක්ෂණික අවස්ථාවකි. ජීවිත වලට එවන් අහඹු මොහොතවල්, සිහිනෙනුදු නො සිතූ – නො පැතූ හෝ බලාපොරොත්තු නොවූ මොහොතවල් උදා වේ.

“ඒ වුණාට ඔෆිස් එන්නැතුව ඉන්නෙපා”

හදවතේ වූ සඟවා ගත නො හැකි පාළුව දිසත් ගේ මුවින් පිටතට පැන්නේ ආදරයට වඩාත් සමීප සංඛ්‍යාතයකිනි. අමාරසී ගේ පපුවේ පේෂි වල තද වීමක් සිදු විය. එය ක්ෂණික කම්පනයකි. ඇයි කියා අසන්නට වුව ඇගේ මුව විවර වූයේ නැත.

“මං කිව්වෙ මේ…එහෙම වුණාම මං බඩ ගින්නෙනෙ”

ඔහු ඒ කතාව විහළුවක දවටනයෙන් වෙලන්නට තැත් කළාට ඒ වෙත්දීත් එහි වූ කම්පන තරංග අමාරසී ගේ හදවතෙහි ගැඹුරු ම තත් කම්පනය කොට හමාර ය. ඇය කඳුළු අතරින් සිනහ වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles