සඳක් තනියම – 16

0
5485

මහින්ද දවල් ආහාරය සඳහා නිවසට පැමිණියේ කාර්යාලයෙන් පිටත වන අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් සඳහා යන ගමනේදීය. 

නිවසේ ආහාර සකස් කිරීමේ කටයුතු සඳහා සේවිකාවක සිටියත් තේජා මුළුතැන්ගෙය  මගහැර සිටින්නේ නැත.බොහෝ විට ඉවුම් පිහුම් කටයුතු සිදුවන්නේ ඈ අතින්ය. නිවසේ අන් සියළු කටයුතු සිදුකලත් ඉවුම් පිහුම් වලට ඈ අත් උදව් සපයනවා පමණි. වසර ගණනක් තිස්සේ එක දිගටම නිවසේ රැඳී සිටින මෙහෙකාරියට  දැන් මෙම නිවස තමාගේ සේය.  ඈ තලා පෙළා වැඩ ගන්නට කිසිවෙකුත් මේ තෙමහල් නිවසේ වූයේ නැත.

 තම සැමියාත් දරුවනුත් වෙනුවෙන් ඔවුන් ප්‍රිය කරන යමක් සාදා දී එය සතුටින් භුක්ති විඳිනු දැකීමට ඈ සිතෙහි  වූ කැමැත්ත එදත් අදත් නොවෙනස්ව ගිය එකකි.

“ චූටි පුතා නං ලන්ච් වලට එළියට යනවා කියලා කිව්වා.මම ලොකු පුතාගේ කෑම එක ඩ්‍රයිවර් කෙනෙක් අතේ යැව්වා….”

තේජා එසේ පැවසූයේ තම සැමියාගේ පිඟානට කිරට ඉවූ තෝර මාලු කෑල්ලක් බෙදමින්ය.

නිවසත් කාර්යාලයත් අතර වූයේ කිලෝමීටර් තුනක තරම් කෙටි දුරකි.එනිසාවෙන්ම දහවල උණු උණුවේම සැමියාගේත් දරුවන්ගේත් බත් පත කාර්යාලයට යවන්නට තේජා හුරුව උන්නාය. ඇගේ ඒ පිළිවෙත ලේලිය උදෙසාවත් වෙනස් වූ එකක් නොවේ.සැමියාගේ කාර්යාල සංකීර්ණයටත්  කිලෝමීටර් දෙකක් එහාට වන්නට පිහිටි නර්මදාගේ කාර්යාලයටත් එදවස ඈ  දහවල ආහාරය සකස්කර යැව්වේ උණු උණුවේමය.

ආදරය ලබන්නට නම් ආදරය බෙදිය යුතු යැයි තේජා  එදත් අදත් විශ්වාස කළ සත්‍යයක් විය. 

“ අර ගෑණු ළමයා නිසාද මන්දා  චූටි පුතත් දැන් ටිකක් පිළිවෙලකට වැඩක් කරන්න පුරුදු වෙලා. පොඩි වයසක උනාට  ඒ ළමයට වගකීම් දරන්න ලොකු ශක්තියක් තියෙනවා. කොහේ කොතැනක උනත් හොඳට හැදුනු දරුවෙක්…”

එදත් අදත් මහින්ද කාර්‍යාලයේ සිදුවන වැදගත්යැයි හැඟුණු සියල්ල තේජා හා පවසන්නට පුරුදුව උන්නාය. කාර්‍යාලයට පැමිණ එහි පාලන කටයුතු වලට හවුල් නොවූවාට තේජා මහින්දට ලබා දෙන සමහර උපදෙස් සේම ඇගේ යෝජනාත් ප්‍රායෝගිකය.

“ ලොකු පුතත් මට කිව්වා.කොහොමහරි ඔයාගේ බලාපොරොත්තුවත් ඉෂ්ඨ වෙලා. අපේ චූටි පුතත් හරි පාරට වැටෙනවානම් ඒ ඇති…”

“ ඔයා කිව්වට එයාටත් සෙක්‍රට්‍රි කෙනෙක් අරන් දෙන්න කියලා මං ඒ තරම් දුරදිග හිතුවේ නෑ තේජා.”

“ හිමාෂා වගේ පිළිවෙලට වැඩ කරන ළමයෙක් එක්ක එයා හිටියොත් ලැජ්ජාවට හරි මෙයා තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න ඕනේ කියලා හිතයි කියලා මට හිතුණා මහින්ද…”

“ ඒකට අපිට ගැලපෙන හොඳම කෙනත් මුණ ගැහුණා..”

“ ඒකනම් ඇත්ත…

“ මම විශ්වට කිව්වා එයාගේ අර සොසයිටි එකේ වැ⁣ඩේට සල්ලි ටිකක් දෙන්න කියලා.”

“ ඒක හොඳයි මම ඔයා එක්ක  ඒ ගැන කතා කරන්න හිටියේ.ඒක වැරදි වැඩක් නෙමෙයිනේ.නර්මදා දුවටත් ඒ ඉස්කෝලේ දරුවන්ගේ වීඩියෝ වගයක් පෙන්නලා තිබුණා.අනේ සමහර ළමයින්ට කන්නත් නෑ වගේ..ඒ තරමට කෙට්ටුයි.ඉස්කෝලෙ ඇඳුම් බාච්චු වගේ.”

“ ඒ වගේ අසරණ මිනිස්සු ඉන්න පළාත් මේ රටේ ඕන තරම් තියෙනවා තේජා.ඒක තමයි සම්පත් බෙදී යාමේ විෂමතාවය කියලා කියන්නේ.ඔය මම දන්න සමහර ගොවි ජනපද තියෙනවා ඒ මිනිස්සුන්ට කන්න ලැබෙන්නේ තමන්ගේ අස්වැන්න විකුණා ගන්න පුළුවන් වුනොත් විතරයි.සමහර ආපදා කාලවලදී ඒ මිනිස්සු තමන්ගේ කන කරත් විකුණගෙන කනවා..”

“ ඒක ඇත්ත..ඔය අපේ චූටි පුතාලත් එක්ක කැම්පස් එකේ ඉඳපු ගමක ළමයෙක්  තමයි ඔය ඉස්කෝලේ ගැන විස්තර හොයල පුතාලට කියලා තියෙන්නේ.ඒ ළමයා වීඩියෝ එකක් අරගෙන තියෙනවා ඔය දරුවො ඉස්කෝලෙ එන හැටි පෙන්නන්න.අනේ මහින්ද සමහර ළමයි එන්නේ සෙරප්පු දෙකක්වත් නැතුව.අපිට අර තණකොල තියෙන මිදුලේවත් ඇවිදගන්න බැහැ සෙරෙප්පු දෙකක් නැතුව..ගස්ගල් උඩින් පැනලා බොරළු පාරවල්වල කොහොම එනවද කියලා මට හිතුනා.ඒ අතින් අපි හරි පින් කරපු මිනිස්සු..”

“ මිනිහා මේ කරන වැඩේ හරි වටිනවා තේජා…ඒ උනාට වැඩි බුරුලක් දෙන්න නරකයි.හැමදේම සමබරව කරන්න ඕනේ.මිනිහගේ වැඩේ තියෙන්නේ තමන්ගේ දියුණුව ගැන හිතන්නෙ නැතුව සමාජ සේවය කරන එකනේ. අනුන්ගේ සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට සලකලා වැඩක් නෑ. තමනුත් එහෙම කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙන්න ඕනේ..”

“ ඒවා හරියයි මහින්ද..අපේ දරුවොන්ට අපි නරක දේවල් කියලා දුන් නෑනේ..”

“ සමහර දේවල් හරියන්න ගත වෙන කාලය තමයි මනුස්සයෙක්ගේ ජීවිතයේ ආපහු ඇදලා ගන්න බැරි වටිනම කාලය වෙන්නෙත්. අපි බලා ගෙන ඉමු. මං මිනිහා ගැන සෙවිලෙන් ඉන්නේ.”

තේජා දෙල් මැල්ලුම සහිත දීසිය සිය සැමියා දෙසට ළං කළේ නිහඬවය. මෙම ව්‍යාපාර  ආරම්භ කළේ මහින්දගේ පියාය. මේසා දියුණුවක් නොවුනත් එදවස ලංකාවේ තිබුණේ ජෑම් කෝඩියල් සකසන ව්‍යාපාර දෙකකි.එහෙත් වර්තමානය එසේ නොවේ. වෙළඳපොළ  තරගකාරී වී ඇත. පිටරටින් ගෙන්වන යම් යම් කල් තබා ගත හැකි ආහාර වර්ග සේම මෙරටෙහි නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කර කල් තබා ගත හැකි ආහාර වර්ග බොහෝ ප්‍රමාණයක් වෙළඳ පොළෙහි වේ. විවෘත වෙළඳපොළ තුළ කිසිවෙකුට නවමු ව්‍යාපාර අරඹන්නට තහනමක් නොවේ.ඒවාට ප්‍රචාරය ලබාදීම සඳහා වර්තමානයේ ප්‍රචාරණ මාධ්‍ය ද බොහෝය.වාසනාවකට මෙන් එම නිෂ්පාදන ජාලය තුළත් අදටත් මහින්දගේ ව්‍යාපාරය ඉදිරියෙන්ය. ඔහු ඒ වෙනුවෙන් කළ කැපකිරීම් බොහෝය.මෑත කාලයේදී තවත් එවැනි කල් තබා ගැනීමේ හැකියාව වන බෝතල් කළ හැකි ආහාර වර්ග කීපයක්ම අත්හදා බලමින් වෙළඳපොළට නව නිෂ්පාදනයක් සේ නිකුත් කරන්නට කරන්නට ඔහු සමත් විය. 

ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු සේම සාර්ථක සැමියෙකු,  පියෙකුද විය.කොතරම් කාර්ය බහුල වුවත් ඔහු තම බිරිඳ වෙනුවෙන් වෙන් කළ කාලය දරුවන් වෙනුවෙන් වෙන් කළ කාලය මුදලට යට කළ අයකු නොවේ. ඔහුගේ සිත නිවන නවාතැන වූයේ මෙම නිවසයි.දරුවන්ගේත් බිරිඳගේත් සිනහවයි.එනිසාම තේජාගේ සිතෙහි සැමදාමත් තම සැමියා ගැන වූයේ ගෞරවයකි.

******-====*******======*****=====**—

දින කිහිපයක්ම කල්පනා කිරීමෙන් පසුව දිනාරා හිමාශා හා තම ජීවිතයේ සත්‍ය කතාවම පැවසූයේ පුද්ගලික විශ්ව විද්‍යාලයේදී හමු වූ සවසකය.වේලාසනම අධ්‍යයන කටයුතු නිම වූ නිසා දෙදෙනා සාප්පු සවාරියක යෙදීමට සිතුවේ හදිසියේය. මල්ලිගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට ඇඳුම් කිහිපයක් ,සෙල්ලම් බඩුවක් මිලදී ගන්නටත්, දානයෙහි පිරිකර සඳහා යමක් මිලදී ගන්නටත් දිනාරා සිතුවේ උදෑසනය.විශ්ව විද්‍යාලයෙන් පිටවීමට පෙර පලතුරු යුෂ පානය කර යමුයැයි යෝජනා කළේ හිමාෂාය.

ඇය වෙනුවෙන් අලිගැට  පේර වීදුරුවකුත් දිනාරා වෙනුවෙන් දොඩම් යුෂ වීදුරුවකුත් ඇණවුම් කළේත් ඇයමය.බිත්තර මැදිකර සෑදූ ප්‍රේස්ට්‍රී වර්ගයක් ගෙන ආවේ දිනාරාය.රහසක් සිතෙහි සිර සිර කරගෙන ජීවත් වීම මිතුරුකමට බාධාවක් යැයි ඇයට සිතුනේ අද ඊයේක නොවේ.එකිනෙකාට අවංක නොවන තැනකදී ගොඩ නැගෙන මිත්‍රත්වය කෙටි එකකි. ගෙවී ගිය මාස දෙක තුනක කාලය පුරා හිමාෂා ඇයට සොයුරියක සේ සමීපව උන්නාය. එවන් කළණ මිතුරියකගෙන් තම ජීවිතය වසන් කරන්නට දිනාරාට සිතුනේ නැත.

ඇය ඉවසිල්ලේ පැවසූ සියල්ල අසා උන් හිමාෂා මිතුරියගේ අත අල්ලා ගත්තේ දයාබරවය.

“ ඒ කතාව මේ තරම් දුකක් කියලා මම හිතුවේ නෑ.හැබැයි ඔයා මොකක් හරි දුක හිතෙන කතාවක් දරාගෙන ජීවත් වෙනවා කියලා මම දැනගෙන හිටියා.අපේ ගෙදර ගැන,  අම්මා, තාත්තා ගැන අයියයි නංගියි ගැන ප්‍රසාර ගැන කියන්න ඕන තරම් දේවල් මට තිබුණා. ඔයාට තමන්ගේ අය ගැන  කියන්න කිසිම දෙයක් තිබුණෙ නෑ.හැබැයි ඔයාගේ ඇස්වල කදුළු තිබුණා.”

“ ඉතින් ඇයි මගෙන්නේ කිසිම දෙයක් ඇහුවේ නැත්තේ…”

“ අපේ හිතට දුක හිතෙන කතා එළියට දාලා හිත නිදහස් කරගන්න ඕනේ කාගෙවත් බල කිරීමට නෙමෙයි.අපිටම හිතුණු වෙලාවක. යාළුකමටවත් හිතවත්කමටවත් තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම අනිත් කෙනාට එළි කරන්න ඕනේ  කියලා නියතයක් නෑ . ඕනෙම යාළුකමකදී ඕනම හිතවත්කමකදී  තමන්ගේ ජීවිතේ වෙච්ච දේවල් ගැන කතා කරන්න කල් ගන්න එක හොඳයි..”

“ සොරි හිමාෂා….”

“ ඇයි සොරි කියන්නේ….ඔයාට දැන් ප්‍රියංකා ආන්ටි  වගේම මමත් ඉන්නවා. අපි සතුටින් හිනාවෙලා ජීවිතයට මුහුණ දෙමු.ඔයා හරි හොඳ කෙනෙක්.ඔයා හරි ධෛර්‍යවන්තයි..මිනිස්සු ගැන වැරදියට හිතන වැරදි තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. තව කෙනෙක්ගෙ යහපත සතුට  දැකලා දුක් වෙන , ඊර්ෂ්‍යා කරන කෙනෙකුත් නෙමෙයි.අපි අතර යාළුකමක් ගොඩනැගෙන්න ඒ ටික හොඳටම ඇති.”

“ ඒ වුනාට මම දැන් හරි නිදහස්.ඔයා එක්ක විවෘතව කතා කරන්න පුළුවන්.”

 “ අපි යමු කෙල්ලේ රෑ වෙනවනේ.දැන් මල්ලිට මොනවද ගන්න හිතන් ඉන්නේ..මටත් ඒ චූටි පැටියට මොනවා හරි ගන්න ඕනේ..ඔයාගේ අකමැත්තක් නැත්නම් ප්‍රියංකා ආන්ටිගෙන් අහන්න මමත් ඒ චූටි බර්ත්ඩේ  පාටියකට එන්නද කියලා.”

“ ඒක පාටි එකක් නෙමෙයි..”

“ හරි.. හරි..ඒ උනාට ඒ  මල්ලිගෙ ජීව්තේ කවදාවත් ආපස්සට ගිහින්  නවතින්න  බැරි ලස්සන දවසක්.ප්‍රියංකා ආන්ටි  ඒ ගතපු තීරණය සීයයට සියයක්ම හරි. මමත් විශ්වාස කරන දෙයක් තමයි ජීවත්වෙන හැම දවසකම අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා.ගෙවිල ගිය අතීතයකට අපේ වර්තමානයත් දුකක් කරන්න දෙන්න නරකයි.ඒ සතුට හොයාගන්න ඕනෙත් අපිම තමයි…”

යෙහෙළියන් දෙදෙනා නැගී සිටියේ එකටමය. මෙහෙණින් වහන්සේලා සඳහා සිවුරු තෝරා ගත්තේ ප්‍රියංකාගේත් උපදෙස් ඇතුවය. මල්ලී වෙනුවෙන් ඕ නිවස තුළ එහෙටත් මෙහෙටත් හැසිරවිය හැකි කුඩා කාරයක් මිලදී ගත්තාය. 

හිමාෂා  සිටි නිසා ඔවුන් වෙනුවෙන් ඇඳුම් තෝරන්නට අපහසු වූයේ නැත. ඒ අතරේම ඕ ප්‍රියංකා වෙනුවෙනුත් රැලි වැටුණු සායක් සහ ඊට ගැලපෙන හැට්ටයක්  තෝරා ගත්තාය. අත්තම්මා වෙනුවෙනුත් කොට්න්  සාරියක් මිලදී ගත්තේ ඉක්මනින් දවසක නුවර ගොස් ඇයව බලා එන්නට සිතාගෙනය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here