මුතු බෙලි හදවත 30

නවාතැනට ගිය ගමන් දුමාල් ආදිත්‍යා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එය ඇය කීවා සේ රිං කට් එකක් නොවේ. යහනේ අනිත් පස වැතිරී නිදනා ආමන්තා දෙස බලා ඈ කතා කළේ ඉතාමත් හෙමිහිට ය.

“ගියාද…”

“ආව විතරයි. පාළුයි අප්ප මේ පැත්ත පලාතම”

දුමාල් සුසුමකින් සඳැල්ලේ වේවැල් පුටුව මතට වැටුණේ ය. 

“වෙනදට පත්තු වෙලා තියන ලයිට් එකවත් අද නෑනෙ”

ඒ වචනයක් ගානේ අමුතු බරක් හිතට රිංගා ගන්නවා ආදිත්‍යා ට දැනිණ. ඇගේ උගුරෙන් එක වචනයක් හෝ පිට වූයේ නැත. 

“පුතා නිදිද..”

“හ්ම්”

“දැං ඉතිං ඔයාල මෙහෙ නෑනෙ කියල මතක් වෙද්දි එන ෆීලිං එක…කියන්න තේරෙන්නෑ ඒක”

ආදිත්‍යා මොහොතකට ඇස් දෙක පියා ගත්තා ය. 

“දැං මොකද ගෙදර අය කියන්නෙ…”

“අනේ මන්දා දුමාල්…”

එවර සුසුම් හෙළුවේ ආදිත්‍යා ය. 

“මං දන්නව මේ විදිහට දරුවෙකුත් එක්ක ගෙදර එන එක…ඒ ගෙදරට මහ බරක් කියල. මොන තරං දේවල් හරි විඳගෙන මං එහෙට වෙලා ඉන්න හිතුවෙ ඒකයි”

“තවත් හිතිං දුක් විඳින්න එපා”

“මං තියන්නද…නංගි නිදි…කතා කරනකොට එයාට ඇහැරෙයි”

“හ්ම්. මං හෙට ගන්නං. නර්සරි එකට යනවනෙ…”

“ඔව්. බුදු සරණයි”

“ගුඩ් නයිට්”

දුරකතන සංවාදය ට නැවතීමේ තිත තියා ඇස් දෙක පියා ගත්තා ට ආදිත්‍යා හිතූ තරම් ඉක්මනට නින්ද ඇය වෙත පැමිණියේ නැත. මේ වෙලාවේ සිය ජීවිතය වෙත දුමාල් ගේ ආගමනය සිදු වීම ගැන ලෝකය කෙසේ තක්සේරු කරනු ඇත්දැයි ඇය භීතියෙන් යුතුව සිතුවා ය. අම්මා වුව එය කෙසේ පිළි ගනු ඇත්ද? මේ සියලු පටලැවිලි වලට හේතුව ඈ තරුණයෙකු සමගින් පටන් ගත් ආශ්‍රය යයි ඔවුහු තීන්දු කරනු ඇත. නමුත් විකුම් ගෙන් හිස් ව තිබූ හිතට තවත් පිරිමියෙකු හට ඇතුල් වීමේ දොරටු විවර කර දෙන්නට ආදිත්‍යා ට කිසි සේත් ඕන වුණේ නැත. දුමාල් දැන් දැන් ඇගේ ගැහැනු සිත් හි චමත්කාරයක් මවමින් හිඳිනා බව ඇත්ත ය. නමුත් එයින් අදහස් වන්නේ ඔහුත් එක්ක අලුත් ජීවිතයක් අරඹනු වස් ආදිත්‍යා විකුම් ව හැරපියා පැමිණියා කියන එක නොවේ. කොහොමත් මුලින් ඇය ලෝභ වූයේ දුමාල් මින්දුල කෙරේ දැක්වූ ආදරයට ය. ඊට පස්සේ මින්දුල දුමාල් වෙත බැඳෙත්දී, ආදිත්‍යා ත් නොදැන ම ඇය දුමාල් වෙත ආකර්ශනය වී තිබිණ. 

ඇගෙන් මහා බර සුසුමක් බැහැර විණි.

“මොකද…දුමාල් හිතට කරදර කරන්න පටන් අරංද…”

ආමන්තා විමසුවා ය. මෙතෙක් නිදි සේ දුමාල් සමගින් ආදිත්‍යා කළකතා බහ ද අසා ගෙන උන් ඕ අන්තිමට කතා කළේ සොයුරිය ට සිත් සනසා ලන කතා බහක් අතිශයින් උවමනා කර ඇති බව දැනුණ නිසා ය. ආදිත්‍යා කොට්ටය උකුලට ගනිමින් යහනත හිඳ ගත්තා ය.

“මට අමතක කරන්න බැරි එයා පුතාට දෙන ආදරේ නංගි”

“එයා ඔයාටත් ආදරෙයි. ඔය දෙන්නව ඇස් දෙක වගේ බලා ගනී”

“එහෙම කොහොමද නංගි කොල්ලෙක් ගැන හිතන්නෙ…එයාට ජීවිතයක් තියෙනව. කසාද බැඳපු ගෑනියෙක්ගෙ අවාසනාවක බර කොල්ලෙක් කර ගහන්න ඕනයි කියල මට හිතෙන්නෑ”

“ආදරේ කියන දේ හිතට එන්නෙ පස්මහ බැලුම් බලල නෙවෙයි අක්කෙ. ලෝක සම්මතේට බම්බු ගහගන්න කියල මිනිස්සු ආදරේ තෝරගෙන තියෙනව. ඉතිහාසෙ ඕන තරං ඒ වගේ ඇති හොයල බැලුවොත්. ආදරේට අදාල නෑ දුප්පත්ද පෝසත් ද ලස්සනද කැතද උගත්ද නූගත්ද උසද කොටද වගේ දේවල්. කොටිංම කියනවනං ආදරේට වයසවත් කසාද බැඳලද නැද්ද කියන එකවත් බලපාන්නෙ නෑ. ආදරේ කියන්නෙ වෙන කිසි දේකට නෙවෙයි. ආදරේ කියන්නෙ ආදරේට”

“ඒත් නංගි…කසාදයක් ඇතුළෙ ඉන්න ගෑනියෙක් වෙන සම්බන්දෙක පැටලෙද්දි…”

“අක්කේ අක්කේ…අපි නීති හදාගෙන ඉන්නව කසාද බැන්දහම ආදරේ කරන්න ඕන එයාට විතරයි නැත්තං ඒක වැරදියි වගේ…ප්‍රශ්න තියෙන්නම ඕන නෑ, හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියන කෙනෙක්ට වුණත් වෙන කෙනෙක් ගැන ආදරයක් හිතෙන්න බැරිද…මමනං කියන්නෙ පුළුවන්. ඒත් අපිට ළමයි ඉන්නව අපිට ආදරේ කරන විශ්වාස කරන කෙනෙක් ඉන්නව වගේ හේතු නිසා අපි පවුල කඩාගෙන යන්නෑ ගොඩක් වෙලාවට. එහෙම යන අයත් නැතුව නෙවෙයි. හැබැයි මං කියන්නෙ දෙන්නෙක්ට ආදරෙං විශ්වාසෙං එක වහලක් යට ඉන්න බැරිනං වෙන් වෙලා යන එක තමයි කරන්න තියෙන්නෙ. විකුම් කියන්නෙ ඔයාට ආදරේ කරන කෙනෙක්වත් ඔයාට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්වත් නෙවෙයි. ඒ මදිවට ඒ යකා තමුංගෙ ලෙයිං ඉපදුන දරුවවත ප්‍රතික්ෂේප කරනව අසනීපයක් තියෙන නිසා. කසාද සහතිකයක් හින්දවත් ලෝක සම්මතේ හින්දවත් නැති කෙහෙල්මලක් නඩත්තු කරන්න ඕන නෑ අක්කෙ. ජීවත් වෙන්න ඕන කරන්නෙ ආදරේ. අපි කොච්චර චූටි කාලයක් ඉන්න ආපු මිනිස්සුද…ඒ ටිකේ අපිට අයිතියක් නැද්ද ආදරේ දැනෙන මනුස්සයෙක්ට ආදරේ කරන්න. ඕන කෙනෙක්ට ඕන බම්බුවක් ගහගන්න කියල ඔයා හිතට එකඟව දුමාල් අයිය ගැන හිතන්න”

නංගිගේ දේශනයෙන් පස්සේ ආදිත්‍යා ට සැහැල්ලුවෙන් නින්ද ගියේ ය. නමුත් ඒ සැහැල්ලුව පවත්වා ගත හැකි වූයේ උදේ අවදි වන තුරු පමණකි. තේ හදන ගමන් කුස්සියේ දී ලලිතා දේශනය පටන් ගත්තා ය. 

“මන්නං කියන්නෙ කතා කරල ඔය ප්‍රශ්න විසඳගෙන ඔයා විකුම් එක්ක ඉන්න ඕන කියලයි ලොකූ. මහ මනුස්සයො එක්ක එක ගෙදරක ඉන්න බැරිනං ඔය දෙන්නා වෙනම ගේක පදිංචි වෙන්න. එහෙම නැතුව ඔයා දික්කසාද ගැන හිතන්න ගියොත් ඒක නංගිගෙ කසාදෙකදි වුණත් නරක විදිහට බලපාන්න පුළුවන්”

ආදිත්‍යා මව දෙස බලා උන්නේ ඇස් පිය නො සලා ය. අම්මා ගේ මුහුණෙන්, ඇගේ සිතේ ආදිත්‍යා කෙරේ කිසිදු අමනාපයක් නොමැති බව කියවා ගන්නට පුළුවන. අම්මලා ගේ හිත් එහෙම ය කියා හිතන්නට ආදිත්‍යා උත්සාහ කළා ය. ඔවුන් ගේ ලෝක පටු වන්නට පුළුවන. නමුත් ඒ පටු ලෝකය තුළ සියලු දරුවන් ට යහපතක් ම වනු ඇත කියා ඔවුන් විශ්වාස කරන ආකාරයෙන්, සිය හැඟීම් වලට අවංක ව කටයුතු කරති. අම්මලා හිතන්නේ දුක් විඳගෙන තමන් පවුල රැක ගත් ආකාරයෙන් සිය දූ වරුන් ද කළ යුතු ය කියා ය.

“අහල පහල මිනිස්සු වුණත් අහන්න පුළුවන් ඔයා මෙහෙ ඇවිත් ඉන්නකොට…ඇයි කියල”

ලලිතා ඒ අන්තිමට කී වාක්‍යය ආදිත්‍යා ගේ පපුව මැද පිහි තුඩක් සේ ඇනිණි. පෙර පාසල පැවැත්වෙන ගොඩනැගිල්ලේ ම රැය පහන් කර ගන්නට ඇත්නම් කියන සිතිවිල්ල ඈ තුළ උපන්නේ ඒ වෙලාවේ ය. පවුල කඩා ගත් දුවෙක් කියන්නේ අම්මා කෙනෙක් ට වුව බරකි!

“ඔයාට පිස්සුද…ඔයා තනියම එතන ඉන්නව කියල දැන ගත්තහම අර මිනිස්සු දෙන්නගෙං…විකුම්ගෙං කොහොම වුනත් සේනකගෙං බේරිල ඉන්න පුළුවන් වෙයි කියල හිතනවද..”

අමන්තා ඒ අදහසට කොහෙත් ම එකඟ වූයේ නැත. 

“අම්මට පිස්සු. කසාදෙ කැඩිච්ච පළවෙනි ගෑනිද ඔයා…නැත්තං අන්තිම ගෑනිද…”

ආදිත්‍යා හිටියේ බරපතල තුවාලයක් පපුව මැද තියා ගෙන ය. ගැහැනු ළමයෙකු වී ඉපදුනත් ඈ කිසි දා පවුලට බරක් වූයේ නැත. පාසල් අධ්‍යාපනය හමාර කළ ගමන් ම පෙර පාසලක රැකියාව කරන ගමන් පෙර පාසල් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා ය. හදිසි විවාහයකට යොමු නො විණි නම් ඇය මේ වන විට හෙමිහිට ස්ථාවර ගමනක් ගිහින් තියෙන්නට තිබිණි. මේ ඇගේ ඕනෑකමට ගිය ගමනක් ද නොවේ. ලලිතා ගේ දැඩි පෙළඹවීම නො වන්නට විකුම් සමගින් දීග යන්නට ආදිත්‍යා කොහෙත්ම එකඟ නො වන්නට තිබිණි.

එදා දවල් සඳසීලී පෙර පාසලට ආවා ය. ලේලියට මුහුණ දීමේ අසීරුවක් ඇය ට දැනුණා වී ද සිදු වූ සියල් වැරදි නිවැරදි කිරීමට මැදිහත් විය යුත්තේ තමන් බව සඳසීලි ගේ හෘද සාක්ෂිය ගතු කියමින් තිබිණ.

“මේ වෙච්ච දේවල් එක්ක…ඇත්තටම මට තේරෙන්නෑ ආදි ඔයාට මූණ දෙන්නෙ වුණත් කොහොමද කියල”

“අම්ම මොනා කරන්නද…”

ආදිත්‍යා අහිංසක ලෙස කීවා ය. ඇය වෙත වූයේ අතිශය අවංක බවකි. සඳසීලී ගේ හදවත හෝස් ගා දැවී ගියේ ය.

“හැම තැනකදිම අම්මල හරි අසරණයි දුව. ඔයාට ඒක හොඳට තේරෙනව කියල මං හිතනව. මින්දුල නිසා ඔයා කොච්චර අසරණද….ඒ තරං ම විකුම් නිසා මං අසරණ වෙලා හිටිය. මට ඕන වුණේ එයාව යහ මගට ගන්න. ඒකට හොඳ ම විදිහ ඔයා වගේ ගෑනු ළමයෙක් ව බන්දල දෙන එකයි කියල හිතපු මං වැරදිකාරයෙක්ද කියන්න. මට හිතා මතා ඔයා කරදරේක පටලන්න ඕන වුණෙ නෑ”

“මං එහෙම හිතන්නෑ අම්ම”

“ඒත් මං හිතපු නැති එක ම දෙයක් තියෙනව ආදිත්‍යා. ඒ පුතා ගෙ වයිෆ්ව පුතාගෙ තාත්තගෙං පරිස්සං කර ගන්න අමාරු වෙයි කියන එක. ඔයාට තේරුං ගන්න පුළුවන් ද ආදි මේ අම්මගෙ පපුවෙ ඇවිලෙන ගින්දර”

“අම්ම…”

ආදිත්‍යා සඳසීලී ගේ අතක් අල්ලා ගත්තා ය. ඇගේ ස්පර්ශයෙහි තවත් ගැහැනියක ගේ දුකෙහි දී උණු වෙනා උණුහුමක් තැවරී තිබිණ. 

“අපේ අම්මගෙ පපුවෙ තියෙන ගින්දරත් මට හොඳටම දැනෙනව අම්මෙ. අම්ම බයේ ඉන්නෙ…මං කසාදෙ අතෑරගෙන ගෙදර ඇවිත් නවතින එක නංගිගෙයි මල්ලිගෙයි අනාගතේට කොහොම බලපායිද කියල. මට මගෙ දරුව හදා ගන්න පුළුවන්. ටික කලකට හරි මෙතන කාමරේක හරි නවතින්න පුළුවන්. ඒත් මට බයයි අම්මෙ…විකුම්ගෙ තාත්ත…”

“ආදි. ඔයාට මෙතන නතර වෙන්න ඕන නං ඔයත් එක්ක මං ඉන්නං”

“අම්ම…”

“ඔව්. පිරිමි නිසා අපි හැමදාම අසරණ වෙන්න ඕන නෑ. මට පුළුවන් හවසට මගෙ වැඩ ඉවර වෙලා මෙහෙ එන්න. රෑට ඔයාගෙ තනියට ඉන්න”

ජීවිතයේ සමහර අවබෝධයන් පිටස්තර කිසිවෙකුට තේරුම් ගත නො හැකි තරම ය. නැන්දම්මා කෙනෙකු හා ලේලියක අතරේ එහෙව් ජීවිතාවබෝධයක් කිසි සේත් කෙනෙකුට විශ්වාස කළ නො හැක්කකි. නමුත් එය එසේ සිදු විය.

“ඔයා කොච්චර හොඳ ලේලි කෙනෙක් වෙන්න ඇද්ද…මිසිස් විජයවික්‍රම ඔයා වෙනුවෙන් එහෙම කැප කිරීමක් කරන්න”

ඒ හැන්දෑවේ උද්‍යානයේ ඔංචිල්ලාවක හිඳුවා මින්දුල ව යන්තම් පදවනා ගමන් දුමාල් කීවේ ය. මින්දුල මුලදී ඔජචිල්ලාවක් මත හිඳ ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් කෑ මොර දුන්නේ ය. නමුත් දැන් ඔහු එහි හිඳ ගන්නට පුරුදු වී තියේ. ඒ වුණත් ලොකුවට තල්ලු දමන්නට බැරි ය. ආදිත්‍යා ට නම් ඒත් ඔහු ගේ විසල් වර්ධනයකි.

“මට ඕනෙ කාටවත් බරක් නොවී ජීවත් වෙන්න දුමාල්. ඒත් මේ වෙලාවෙ විකුම් ගෙ අම්ම මගෙ පැත්තෙ ඉන්න එක මට හයියක්. ඔයත්…”

ඇය නෙතු ඔසවා දුමාල් දෙස බැලුවා ය. ඇස් වල ආදරයක් හෝ ඊට සමාන හැඟීමක් විණි නම් වෙනදා සේ ඒ සඟවා ගන්නට ආදිත්‍යා උත්සාහ කළේ නැත. ආමන්තා කී කතා තදින් ඇගේ හිතට බලපා තිබිණි.

“අම්මල කියන්නෙ පුදුම විදිහට හිතන අය. එයාල එයාලගෙ ළමයි ගැන හිතන්නෙ ඒගොල්ලො හදා ගත්ත රාමු වල ඉඳං ඒගොල්ලන්ට ආවේණික විදිහකට. ඒක ගැන එයාලට වැරදි කියන්න බෑ. පාරෙ ගස් යට ඉඳල තියෙන මං ගැන අද මගෙ අම්ම හිතන්නෙත් ලොකූවට. මං සිටු කුමාරියක් කසාද බඳින්න ඕන කියල අම්ම හිතනව. සමහර විට ඔයා ගැන කිව්වොත්…එයා මං ඉද්දිත් මුදලාලිව බැන්දා වුණත්…කියයි ඔයා බැඳල ළමයෙක් ඉන්න නිසා මට ඔයාව බඳින්න එපා කියල. එහෙම වුණොත් මගුල වෙන්නෙ එයාගෙ මිණිය උඩිං කියලත් කියයි. ඒ අම්මලගෙ හැටි ආදි. ඔයාගෙ අම්මටත් ඕනෙ එයාට ආඩම්බරයක් වෙච්ච කසාදෙ ඇතුළෙ ඔයාව තියන්න. ඒ ගැන අම්මලට දොස් කියන්න බෑ. අම්මල ගැන වැරදියට හිතන්න බෑ. ඒ තමයි අම්මල. ඒ අම්මල අතරෙ ඔයත් අම්ම කෙනෙක්”

ආදිත්‍යා දුමාල් දෙස බලා සිටියේ පැහැදුල් දෑසකිනි. මේ තරම් තරුණ වයසකදී ඔහු ට ජීවිතය ගැන මේ වගේ දැක්මක් තිබීම තරමක් පුදුම සහගත ය. ඒ අතින් විකුම් ලා වැනි අය ජීවිතය ගැන අංශු මාත්‍රික අවබෝධයක් ඇති අය සේ නො ගත හැකි ය.  

මේ අතරේ, සඳසීලී ආදිත්‍යා ගේ තනියට පැමිණෙන එක ගැන විකුම් පාය කඩි ගුලක් සේ ඇවිස්සී තිබිණි. 

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...