සාගර තරංගා – 4

0
6969

වන් ගෝල් ෆේස් මෝල් එක පිරි තිබුනේ සති අන්තයේ විවේකී සැඳෑවන්වල එලියට බැස තිබූ මිනිස් පොදිවලිනි තැන් තැන්වල කමින් බොමින් ද සිනාසෙමින් අත් පටලා ඇවිද යමින්ද උන් මිනිසුන් දෙස බලමින් තරංගා වාඩි වී උන්නේ වන් ගෝල් ෆේස් මෝල් එකේ කුඩා දරුවන්ට සෙල්ලම් කරන්නට වෙන් කර තිබූ ප්ලේ ඒරියා එක ඉස්සරහ අසුන්ගෙනය.

සනුකි දෙස බලාගෙනය. සනුකි දැන් අවුරුදු දෙකක පොඩි කෙල්ලෙකි. හුරතලය ඕනවටත් වඩා වෑහෙන සනුකි සෙල්ලම් කරන ආකාරය දෙස බලන් ඉන්නට කොච්චර ආස වුනත් ඒ හැඟීම් සියල්ල පිටිපස්සේ දුකක් තැවරී තියෙන බව අමතක කරන්න හැටියක් තරංගාට නැත.

“ඔය ලෙඩ ළමයව උස්සගෙන මාත් එක එහෙ මෙහෙ යන්න එන්න එපා. මොන ලැජ්ජාවක්ද? තැනකට ගිහිල්ලා ඉන්න දන්නෙ නෑ” කියා මේධංග බෝම්බයක් තමන්ගේ පවුල් ජිවීතයට අතෑරිය දවසේ සිට සනුකිගේ අසනීපය පිටිපස්සේ තිබිච්ච දුක දෙගුන තෙගුණ වුණ බව තරංගාට හිතේ.

“අනේ මන්දන්නෙ නෑ ඉතින් අපේ අවාසනාවටද කාගෙ අවාසනාවටද කියල මෙහෙම දේවල් වෙන්නෙ. තව ළමයි හැදුවත් ඔච්චරනෙ ඉතින්. දරුවො ලැබෙන්න ඉද්දි ගෑණු දැනගන්න ඕන පරිස්සං වෙන්න. ලිහිලෙට බුරුලට ඇඳුම් අඳින්න, පොලොස්, පලා ජාති කන්න බොන්න.

ඒ උනාට ඉතින් දරුවො දෙතුන් දෙනෙක් හදපු අපිට වඩා ලොකු උනානෙ කොලඹ දොස්තරලා කියන ඒව” කියා පුලුවන් හැම තැනකදීම තරංගාට ආඩපාලි කියන්නට මේධංගගේ අම්මා කුසුමලතා දෙපාරක් හිතුවේ නැත.  අනෙක් අතට මේධංග පවා ඇදේට දේවල් කියද්දි කෙලින් යන්න උවමනාවක් කුසුමලතා මැණිකේට තිබ්බේත් නැත.

තරංගා සනුකි එක්ක වන් ගෝල් ෆේස් මෝල් එකට ගියේ මේධංගට පින්සේණ්ඩු වෙලා වගේය. මේධංග චූටි නැන්දගෙ පුතාගෙ මංගල්ලය වෙනුවෙන් අඳින්න ශර්ට් එකක් ගන්න වන් ගෝල් ෆේස් මෝල් එකේ ස්ට්‍රයිප්ස් ඇන්ඩ් චෙක්ස් එකට යනවාය කිව්වම “මාත් එන්නද” කියා ඇහුවේ ඇත්තටම මේ ගේ අස්සටම හිරවෙලා ගෙවන ජීවිතේ ඒ තරමට එපා වෙලා තිබ්බ හන්දාය. ජීවිතේ මුල ඉඳලම එහෙම ගෙයක් අස්සේ හිරවෙලා උන්නු මනුස්සයෙක් උනානම් මේක බාරගන්න එක මහ දෙයක් නොවෙන්න තිබුනා නමුත්, ඉස්කෝලෙත් කැම්පස් එකේත් දාහස් බාහිර වැඩවලට සම්බන්ධ වෙච්ච, විවාහයෙන් පසුව දරුවා ලැබෙන තුරුත් රැකියාවට ගිය, විනෝදවෙච්ච තරංගාට ඒ ජීවිතේ එහෙම පහසුවෙන් භාරගන්න පුලුවන් කමක් තිබ්බේ නැත.

ඒ උනාට ගෙයක් අස්සේ දරුවෙක් එක්ක හිරවෙච්ච ගෑණියෙක්ව තේරුම්ගන්න මානසිකත්වයක මේධංග උන්නේ නැත. මේධංගට අනුව තරංගාත් ළමයත් තමන් පස්සේ යන යන තැන එන එක කරුමයක් පටිසන් දීමකි.

“ශර්ට් එක ගන්න යන්නෙ මට, ඔයාමොකටද එන්නෙ?”

“මේධංග මං මුලු දවසෙම මේ ගේ අස්සෙ හිරවෙලා ඉන්නෙ. මට මහන්සි. මාත් ආසයි පොඩ්ඩක් එලියට යන. ඔයා හරියට කතාකරන්නෙ මම නිකන් මේ ඔයාගෙ ඇඟේ එල්ලිලා යන්න එනවා වගේනෙ. මං ඔයාගෙන් ඇහුවෙ ඔයා එක්ක අපි දෙන්නත් යන්න එන්නද කියලා. මම බබාව ඕගීෆ් එකේ ප්ලේ ඒරියා එකට දාලා පොඩ්ඩක් ඇවිදලා එන්න ඇහුවෙ. ඔයාට ඔච්චර තරහා යන්න දෙයක් මම ඇහුවෙ නෑ ඔයාගෙන්”

“රවුමක් දාලා ඇවිදලා එන්න? මම පාක් එකට නෙවෙයි යන්නෙ. මම යන්නෙ මගේ වැඩකට. මට මේ රවුම් දදා නාස්ති කරන්න වෙලාවක් නෑ ඔය ගෙවල්වල මෙලෝ වැඩක් නොකර ඉන්න ගෑණුන්ට වගේ” 

ඔය කතන්දර වලට එල්ලිලා යනවානම් අවුරුදු ගාණක් වුනත් ඇදගෙන යන්න දේවල් කියන්න පුලුවන් නමුත් තරංගා නිහඬවම උන්නාය. කොච්චර දේවල් කිව්වත් මේධංගගේ හිතේ තමන් ගැනත් සනුකි ගැනත් තියෙන නොරිස්සුම නැති වෙන්නෙ නැති බව දන්න හන්දාම තරංගා නිහඬවම උන්නාය. 

කොහොම නමුත් මේධංගගේ කැමැත්ත අකමැත්ත ගැන වැඩිය හිතන්නේ නැතුවම ගිහින් ඔහුගේ වාහනයට නගින්න තරංගාට බැරි උනේ නැත.  වන් ගෝල් ෆේස් මෝල් එක දිහාවට යන අතරමග තරංගා සනුකිට පාරෙ පේන දේවල් පෙන්වමින් එක එක සුරංගනා කතා මවද්දී ඒ කතා අහගෙන ඉන්න බැරි බව පෙන්වන්න මෙන් මේධංග වාහනයේ රේඩියෝ එකේ සද්දෙ වැඩිකරේය.

නොරිස්සුම් සහගත බැල්මක් එහාට මෙහාට හුවමාරු උනත් දරුවා ඉන්න තැන නිකන් ඇවිලෙන එක තේරුමක් නැති හන්දා තරංගා සද්ද නැතුවම උන්නාය. වන් ගෝල් ෆේස් මෝල් එකේ වාහනය නතර කර තරංගා දරුවා එක්ක පස්සෙන් ඇවිද එද්දී මේධංග වේගයෙන් වේගයෙන් අඩි තබා තරංගාවත් දරුවාවත් මගාරින්න මෙන් සෙනග අස්සට ගොස් නොපෙනී ගියේය. 

තරංගා වෙනසකටත් එක්ක ප්ලේ ඒරියා එක තියෙන පැත්තට ගියේ එස්කලේටර් එකේය. සනුකි උන්නේ අම්මාගේ අතේ එල්ලී එස්කලේටරයේ උඩ පහල යන මිනිස්සු දිහා ඇස් ඇරගෙන බලන ගමන් ඇඟිල්ල දික්කරගෙන මොන මොනවදෝ කියන්නට තනමිනි.

මුදල් ගෙවා සනුකිව ප්ලේ එරියා එකට දැමූ තරංගාට වන් ගෝල් ෆේස් මෝල් එකේ එහෙ මෙහෙ ඇවිද ගොස් සිරි නරඹන්න හිතුනත්, තමන් නැති බව දැක්කම සනුකි කලබල කරාවිද කියන බය ඒ උවමනාවට වැට බැන්දාය. ඒ නිසාම ප්ලේ ඒරියා එක ඉස්සරහ වාඩි වී ඉන්නට පනවා තිබූ සුදු පාට ටොෆියක් ආකාරයේ අසුනක වාඩි ගත්ත තරංගා කලේ එතනින් එහාට මෙහාට ඇවිද යන වැඩිහිටි ගැහැණු පිරිමි අය දරුවන්ගේ හුරතල් දෙස බලමින් සිනාවෙන ආකාරයයි.

ඒ අතීත මතක රැසකට දොරගුළු හරින අන්දමේ දසුන්‍ ය.

“අපිටත් බැඳපු කාලෙක මේ වගේ හුරතල් පොඩ්ඩෙක් හදන්න පුලුවන් නේද?” කියා අතීතයේ දවසක පෙම්වතුන් වී ඉද්දී මේධංගගේ අතේ එල්ලී බාස්කින් රොබින්ස් වෙතින් මිල දී ගත් අයිස් ක්‍රීම් එකක් කමින් වන් ගෝල් ෆේස් මෝල් එකේ ඇවිද ගිය මොහොතක තමා ඇසු අයුරු තරංගාට මතකය.

“අපිට පුලුවන් එතකොට කොහෙ හරි යන්න උවමනා උනාම එයාව මෙතනට දාලා රවුමක් දාලා එන්න” කියා මේධංග උරහිස වටා අත යවමින් තමාව වඩාත් තදින් තුරුල් කරගනිමින් කිව්ව හැටිත් තරංගාට මතකය. 

“පව් අනේ, මම නම් එහෙම දාලා යන්නෙ නෑ අපෙ බබාව මේ වගේ තැනක තනියම. අපි දෙන්න ඉතින් එයාවත් වඩාගෙන යන තැනක යන්කො”

“එහෙම එයාව අරගෙන යන්න බැරි තැනුත් අපිට තියෙන්න පුලුවන්නෙ” කියා මේධංග ඇහැක් ගසමින් කියද්දී තමන් අත මිට මොලවා ඔහුගේ පපුතුරට හුරතලයට පහරක් ගැසුවාත් තරංගාට මතකය.

“පව් අනේ, තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවා ගැන කියන කතා ද මේ?”

“ආහ් එතකොට බබෙක් ඉන්න කාලෙක ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද? දරුවට විතරද ආදරේ. හරි හරි බලමුකො. මම නම් ඔන්න එහෙම නෑ.මම  දවල්ට බබාට ගොඩාක් ආදරේ වෙනවා”

“ඇයි  එතකොට රෑට?” කියා තමන් ඇහුවේ දෑස් කුතුහලයෙන් කුඩා කරගෙන බව තරංගාට මේ අද වගේ මතකය.

“රෑට ඉතින් මම ආදරේ ඔයාට තමයි” කියා මේධංග මහ හඬින් හිනාවෙන ගමන්ම තමන්ගේ කොපුලක රැඳවූ උණුසුම් හාදු සුව අද කොහේ කොතනද කියා කල්පනා වෙන එක නතර කරගන්න පුලුවන් උනානම් මේ වේදනාවෙන් අඩක් අඩුවන බව තරංගා හිතුවාය.

කල්පනා කර කර උන්නා නම් තව බොහෝ දුර යන්න පුළුවන්කම තිබ්බත් තමන් හිටන් උන්නු තැනට පොඩ්ඩක් එහයින් සෙල්ලම් කර කර උන් සනුකි මහ හඬින් කෑගහන්නට ගත්තේ එතනම සෙල්ලම් කර කර උන් වෙන දරුවෙක් සනුකි ලඟ තිබුණ සෙල්ලම් බඩුවක් අරගත්ත හන්දාය.

වන් ගෝල් ෆේස් මෝල් එකේ ඒ ෆ්ලෝ එකේ පිරී උන් සියල්ලන්ම එක මොහොතක කතා කරගත්ත පරිද්දෙන් සනුකි දෙසත් සනුකි සනසවන්න ඒ දෙසට දුවමින් උන් තමන් දෙසත් මාරුවෙන් මාරුවට බලන යුරු තරංගා දුටුවාය. 

රෝගී තත්ත්වය නිසාම වටපිටාව කලබල වෙන සමහර වෙලාවල් වලදී සනුකි කෑ මොර දී අඬන්න හැකියාව තිබෙන බව දන්නවා වුණත් මීට කලින් මෙහෙම තැනකදී මෙහෙම දෙයක් වෙලා නැති බව දන්න නිසාම තරංගා උන්නේ අපහසුවෙනි.

සනුකිව වඩාගත්ත තරංගා සනුකිව අස්වසන්න කොච්චර උත්සහ කරත් කෑ මොර දීමත් අත් පා ගස්සමින් දඟලන එකත් නවත්තන්න සනුකි කටයුතු කරේ නැත.

තරංගා උන්නේ කරකියා ගන්න දෙයක් නැතුවය.  එක පැත්තකින් සනුකිව කන්ට්‍රෝල් කරගන්න බැරි දුක ය. අනෙක් අතින් මිනිස්සු බලා ඉන්න නිසා දැනෙන අපහසුවය.

“කෝ බබාව දෙන්න මට” 

ඒ හඬ ඇදී ආවේ පිටුපසෙනි. තරංගා හැරුණේ ඒ කවුදැයි බලන්නටය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here