කොපමණ උත්සාහ කලත් මිලීනාව ප්‍රියංකාගේ නිවසේ නවතා ගන්නට හැකියාවක් වූයේ නැත. දිනාරා පමණක් නොව ප්‍රියංකාත් දෙතුන් වරක්ම ඒ ඉල්ලීම කලත් ඇගේ සිතුවිලි පරාජය කිරීමේ හැකියාවක් දෙදෙනාටම වූයේ නැත.දිනාරාට ඈ හා කතා කරන්නට ඕනෑ තරම් දේ විය.වලව්වේ අයවලුන් ගැන අසන්නට ඕනෑතරම් දේ විය.ඒ පපුවට තුරුළුව විනාඩි කිහිපයක් හෝ ගත කිරීමේ උවමනාව ඒ සියල්ලටම වඩා ප්‍රබල එකක් විය.එහෙත් අවසන සිදු වූයේ ඈ කොළඹ පැමිණීමේ සතුට විනාඩි කිහිපයකට සීමා කරන්නටය.
මදක් වේලාසනින් උපන්දින කේක් එක කපා අහල පහල නිවැසියන්ට සංග්‍රහ කළේ අත්තම්මාට ඉක්මනින් පිටම යාමට අවැසි වූ නිසාය. උපන්දින කේක් එක කපන වේලාවේ පමණක් කාමරයෙන් පිටතට ගියත් ඈ වැඩිපුර රැඳී සිටියේ කාමරයේමය.
“ ඩ්‍රයිවර්ටත් ඉන්න මේ ළඟ ගෙදරක් ලෑස්ති කරලා දෙන්න පුළුවන් මැඩම්…”
අවසන ප්‍රියංකා පැවසූයේ තවත් එක් වරක් හෝ වදන් නාස්ති වූවාට කම් නැතැයි සිතමින්ය.ඇයට දුක සිතුනේ දිනාරා ගැනය.අත්තම්මා පැමිණෙනවායැයි පවසද්දී ඒ මුවේ වූ සතුට දැන් නොවේ.
“”මෙහෙම ගියහම ලේසියි ළමයෝ..මට නිකන් මේ පරිසරයේ හුස්ම ගන්නත් අපහසුයි වගේ..”
ඇගේ ඒ වදන් කාරුණික හෝ අකාරුණික වූයේ නැත.ඒ ඇගේ සාමාන්‍ය ස්වරයයි.සැබවින්ම අත්තම්මා අපහසුතාවයෙන් පසුවනවායැයි දිනාරාට සිතුනේ විදුලි පංකාව උපරිමයෙන්ම වැඩිකර තිබියදීත් ඈ ඔසරි පොටෙන් පවන් සලාගනු දුටු නිසාය.
දිනාරා අත්තම්මාට රැගෙන යාම සඳහා කල් තබා ගත හැකි ආහාර වලින් කොටසක් වෙන වෙනම ඇසුරුම් කලේ ඇගේ විරෝධතාවය නොතකමින්ය. වලව්වේ මෙහෙකාරියගේ කෑම වලට වඩා ප්‍රියංකාගේ කෑම රසවත්ය. ඇය මුල්වරට අතපාද්දී නාඳුනන්නෙකු සේ සිටි සොහොයුරා අවසන් පැය කිහිපය ගත කළේ අත්තම්මාත් සමඟමය.
“ පුතේ….දුකෙන් නේද ඉන්නේ….”
ප්‍රියංකා ඇසුවේ දිනාරා පිටුපසින් ගොස් ඇගේ දෙවුරහිස් අල්ලාගෙනය.
“දුක නෑ කියන්නත් බෑ ආන්ටි. අත්තම්මා ළඟට වෙලා චුට්ටක් ඉන්න හරි ආසයි.මෙහෙම ඇවිත් යනකොට හරි දුකයි ඉතින්.”
“ පුතා පුළුවන් වෙච්ච වෙලාවක වලව්වට ගිහිල්ලා දවසක් දෙකක් ඉඳල එන්න.මල්ලි දැන් මට හොඳටම හුරුයි නේ..එයා ගැන බය වෙන්න එපා”
“ අත්තම්ම යන්නේ මමත් එක තරහෙන් කියලා මට හිතෙනවා.අත්තම්මා තවමත් හිතනවා ලොකු ගෙවල් , වතුපිටි මේවත් සතුටේ අනිවාර්ය කොටස් කියලා.”
“ ලොකු ගෙවල්වල වතුපිටිවල ඇවිදල පුරුදු වෙච්ච අත්තම්මට මේ වගේ චූටි ගෙයක් ඇතුලේ ඉන්නවා කියන එක අතපය කඩලා දාලා වගේ ඇති.එහෙම අයට අපි බල කරන්නත් නරකයි.ඒ ඒක එක්කෙනාගේ මානසිකත්වයනේ.අපි
එන විදිහකට ජීවිතයට මුහුණ දීම පුතේ. ආත්තම්මට සතුටින් යන්න දෙන්න.”
“ ආන්ටිගේ හිත රිදුනද..”
“ ඇයි එහෙම අහන්නේ”
“ අත්තම්ම කියපු සමහර කතා සැර වැඩියි ද කියලා මට හිතුනා. හිමාෂාත් එහෙම කිව්වා.ඒ ආත්තම්මගේ හැටි.එහෙම නැතුව එයා නරක කෙනෙක්වත් නපුරු කෙනෙක්වත් නෙමෙයි. ගොඩක් මිනිස්සු වගේ හිතේ එකක් හංගගෙන එකක් කතා කරන්න ආත්තම්ම දන්නෙ නෑ ආන්ටි. එයා වැරැද්ද දැක්ක තැන වැරැද්ද කියනවා.අසාධාරණය දැක්ක තැන ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.”
“ එහෙම මිනිස්සු කොච්චර හොඳයිද පුතේ.ගොඩක් දෙනා කරන්නේ හැමදේම හිතේ තියාගෙන. තරහකට වෛරයකට පෙරලගෙන තමනුත් දුක් විඳ විඳ අනිත් අයත් දුකට පත් කරන එකනේ.ඒ අතින් ඔයාගේ ආත්තම්මා හරි හොඳ මනුස්සයෙක්…”
මිලීනා ප්‍රියංකාගේ නිවසින් පිටව ගියේ රාත්‍රී අටහමාරට පමණය.ඒ වනවිටත් අසල්වැසියන් කිහිප දෙනෙකුම නිවස තුළ ආහාර ගනිමින් සිටියහ. එක් ගැහැණියක අත්තම්මා දෙස බලා ඉටි රූපයක් වගේයැයි පවසනු දිනාරා අසාගෙනය.ඕනෑම තැනක ඇය කැපී පෙනේ…’ මේ දුවත් අත්තම්මා වගේමයැයි’ කවුරුන් හෝ පවසද්දී දිනාරාගේ දෑස් තෙත් වූයේ සතුටටය.
“ අනේ ඇත්තම්මේ මං ඇහැරලා ඉන්නම් ගියපු ගමන් මට කෝල් එකක් දෙන්න.මගේ හිතට හරි නෑ අත්තම්මා මේ විදිහට රෑ යන එකට.අනේ සිරිසේන මාමේ පරිස්සමින් ආත්තම්මව එක්කරගෙන යන්න.”
“ ඒක ගානක් නෑ සුදු මැණිකේ..සිරිසේනටත් රෑ ගමන් හොඳට පුරුදුයි නේ..”
“ බයවෙන්න එපා චූටි නෝනා.සමහර දවස්වලට මහත්තයත් එක්ක එළියට ගියාම එන්නේ රෑ දෙකට තුනට මට වාහනේ එළවද්දී නින්ද යන් නෑ…”
රියදුරා එසේ පැවසුවත් දිනාරාට සැනසිය හැකි කමක් වූයේ නැත. කඩුගන්නාවේ සිටත් නුවර සිට නිවසට යන මාර්ගයේත් වැඩිපුරම වූයේ කඳු පල්ලම් සහ වංගුය.
එහෙත් අත්තම්මා තම වචනය වෙනස් කිරීමට කැමති වූයේ නැත.අවසනය ඇය රැගත් බෙන්ස් කාරය නොපෙනී යනතුරුම දිනාරා තට්ටු නිවාසය පහතට වී බලා සිටියේ දෑස්වල කදුළු පුරවාගෙනය.
අත්තම්මා සොහොයුරා වෙනුවෙන් ගෙනැවිත් තිබුණේ රන් දම්වැලකි. සොයුරාගේ කරේ වූ පංචායුධයත් ඇය විසින් ගෙනැවිත් දුන් එකකි.
“ අම්මා අප්පා නෑ කියලා අපි මේකාව අතාරින්නද සුදු මැණිකේ…”
පංචායුධය කර පළඳ ඇය එසේ පැවසුවා දිනාරාට මතකය.
අත්තම්මා නික්ම යාමට පෙර ඇය දිනාරා අතත් මුදල් නෝට්ටු කිහිපයක් තැබුවාය.
“ මං ගාව සල්ලි තියෙනවා අත්තම්මා..”
යැයි පැවසූවත් ඈ කෝප ගනීයයි සිතා දිනාරා අවසන ඒ මුදල් නෝට්ටු කිහිපය සිය දෑතින් අල්ලා ගත්තාය.
“ ඇත්තමයි එයා නං හරි එඩිතර මනුස්සයෙක්.ඒක මාර රූපයක්.ඔයා ඒ වගේමයි දිනාරා.ඒක කියන්න තේරෙන් නැති ලස්සනක්.හරි ගාම්භීර ගෑනු පෙනුමක්….මං හිතින් ඔයාට කැන්ඩියන් අන්දලා බැලුවා..රියල් නුවර මැණිකේ කෙනෙක්..”
හිමාෂා පැවසූයේ යළිත් දිනාරා නිවස තුළට විත් පිරිස හා එක්වද්දීය.බොහෝ දෙනකු අත්තම්මා ගැන දිනාරාගෙන් ප්‍රශ්න අසන්නට වූයේ ඇගේ ඒ සුවිශේෂී පෙනුම නිසාය.
හිමාෂා නික්ම ගියේ නිවස අස්පස් කරන්නටත් ප්‍රියංකාට උදව් වීමෙන් පසුවය.ඇයව කැඳවාගෙන යාමට පැමිණියේ ඇගේ පෙම්වතාය.මින් පෙරත් කිහිප වතාවක්ම කාර්යාලය අසලදීත්, පුද්ගලික විශ්ව විද්‍යාලය අසලදීත් දිනාරාට ඔහුව හමුවී තිබිණ.නිවසට පැමිණ ආහාර රැගෙන යන්නයැයි ආරාධනා කළත් ඔහු ඒ ඇරයුම ප්‍රතික්ෂේප කලේ හිමාෂාට රෑ වෙනවා යයි පවසමින්ය. ඔහු ඉතා ඕනෑකමින් හිමාෂා ගැන සොයා බැලූ බව දිනාරා දනී.දෙදෙනා ලබන වසරේ විවාහ වීමට සැලසුම් කරගෙන සිටිනා බව පැවසූයේ ඇයමය.
“ මම මේ ඔය ළමයත් ඉන්න තැනදි මේක කියන්නේ. දෙන්නම බොහොම අවධාරණයෙන් අහන් ඉන්න ඕන හින්දා..”
අත්තම්මා එසේ පැවසූයේ පිටව යන්නට අඩ හෝරාවකට පමණ ඉහතදීය.එවේලෙහි දිනාරාත් ප්‍රියංකාත් දෙදෙනාම වූයේ ඈ රැඳී උන් දිනාරාගේ කාමරයේය.
“ ඒ මොකක්ද මැඩම්..”
ඉස්සර වූයේ ප්‍රියංකාය.
“ පෙර සංසාරයකින් ගෙනාපු පවක් හරි කාගේ හරි වරදකින් හරි මේ දරුවට මෙහෙම ඉන්න සිද්ධ වුණාට මේ ජයසුන්දර වලව්වේ දරුවෙක් කියලා මට අමතක කරන්න බැහැ.එයාට ලැබෙන්න ඕන දේවල් නිසි පරිදි නිසි විදිහට ඉදිරි කාලයේදී ලැබේවි.මම මේ කතා කරන්නේ මේ දරුවාගේ කසාදෙ ගැන.ඒ කාරණා කටයුතු සිද්ධ වෙන්න ඕනෙ අපි කාටවත් අවනම්බුවක් නොවෙන විදිහට.වලව්කාරයෝ නොවුනට අපේ තත්වෙට පෑහෙන්න පුළුවන් හොඳට ඉගෙන ගතපු දරුවෙක් තමයි කවද හරි මේ දරුවාගේ අත ගන්න ඕනේ..ඒ නිසා මං හොයලා දෙනකල් ඒ කාරණා කටයුතුවලට කවුරුවත් හදිසි වෙන්න ඕන නෑ..”
දෙදෙනා ඉදිරි පිටදීම පැවසූවත් ඒ අනතුරු ඇඟවීම වැඩිපුරම කලේ තමාටයැයි ප්‍රියංකා සිතුවත් ඒ බැව් කිසිවෙකුට නොදැනෙන්නට වගබලා ගත්තාය.
“ අනේ ආත්තම්මා ..මං තාම එහෙම දේවල් ගැන හිතල නෑ..මං කැමතියි හැමදාම මට මෙහෙම ඉන්න තියනවනම්.ආත්තම්මවයි, මල්ලිවයි, ප්‍රියංකා ආන්ටිවයි බලාගෙන “
“ ගෑණියෙක්ට එහෙම ඉන්න බෑ සුදු මැණිකෙ..දෙයක් වෙන්න කලින් කිව්වේ.මග තොට යද්දි, තමන් වැඩපළ කරන ස්ථානවලදී, ඉගෙන ගන්න ස්ථාන වලදී, ඕන තරම් පිරිමි දරුවෝ හම්බවෙන්න පුළුවන්.ඔය ළමයට ජීවිතයට පාඩම් ඉගෙන ගන්න වෙන කවුරුත් ඕනේ නෑ.ඔය ළමයාගේ අම්මම ඇති.
ඒ නොගැලපෙන සම්බන්ධකම්වල ප්‍රථිපල විදිහට මොකද උනේ කියලා මේ ළමයා හොඳටම දන්නවා ඇතිනේ.”
ඒවරත් මිලීනා පැවසූයේ ප්‍රියංකා දෙස බලමින්ය.
“ නුසුදුසු කාලෙක නුසුදුසු සම්බන්ධකම්වල පැටලිලා අන්තිමට උනේ ඒ දෙන්නට දෙපැත්තට වෙන්න.ඔය ළමයින්ට අනාථ වෙන්න..එක පාරක් වෙච්ච වැරැද්ද ආයෙ ආයෙ සිද්ද වෙන්න ඕන නෑ. මම ආපහු සැරයක් මතක් කරනවා සුදු මැණිකෙගේ කසාද කටයුතු සිද්ධ වෙන්න ඕනේ මං කියන විදිහට.”
ඒ කතාව සාධාරණ එකක් නොවේයැයි කියන්නට සිතුනුමුත් ප්‍රියංකා එසේ නොකළාය.මෙවේලෙහි සිදුවිය යුත්තේ සිත නොරිදවා ආපසු ඇයව යැවීමයි.
දිනාරා සුසුමක් හෙලා මේසය මත වූ සුදු පැහැ තැටි පිඟානක් අතට ගත්තාය.
රාත්‍රී ආහාරය සඳහා ඕ බෙදා ගත්තේ කට්ලට් දෙකකුත්, අල කෑලි දෙකකුත් පමණි.කෑමෙහි පිරියක් හෝ බඩගින්නක් නොවේ.උපන් දිනයට ආ දරුවන් සමග දගලමින් උන් සොයුරා වේලාසනින්ම නින්දට ගොස් ඇත.හිමාශා බොහෝ දේ කර තිබූ නිසා අස්පස් කරන්නට තිබුනේ මුළුතැන් ගේ පමණි. ප්‍රියංකා පිඟන් හෝ වලං සෝදන හඬක් කුඩා මුළුතැන් ගේ තුළින් ඇසේ.
යළිත් දිගු සුසුමක් මුදාහළ යුවතිය මුළුතැන්ගෙයට ඇවිද ගියේ නිහඬවය.
=========*****======*******========
සොයුරා නිවසට පැමිණෙද්දී අකලංක වූයේ නිවසේය.උඩුමහලේ ව්‍යායාම කාමරයට වී හෝරාවකට වඩා වැඩි කාලයක් ගතකර ඔහු පහත මාලයට පැමිණියේ දහඩිය පිරුණු වතින්මය. ඇඟ සෝදා ගන්නට පෙර සීත කළ බීම විදුරුවක අවශ්‍යතාවයක් ඔහුට දැනෙන්නට විය.
අත වූ මල් කළඹකුත් ස්වර්ණාභරණ පෙට්ටියකුත් සමඟ සොහොයුරා නිවස තුළට ඇතුළු වූයේ එවේලෙහිය.
“ ඒ….මේ මොකටද මේ බ්‍රදර්..ගිෆ්ට් එකකුත්..අද නෑනගේ බර්ත්ඩේ එකවත් තමුසෙලගේ ඇනවසරි එකවත් නෙමෙයිනේ හලෝ..”
අකලංක කෑ ගැසුවේ මදක් උස් වූ හඬකින්ය.පහත මාලයේ තමාගේ කාමරයට වී උන් තේජා ඉන් පිටතට පැමිණියේ ඒ හඬට අවනතවය.
( හෙටත් හමුවෙමු දයාබරව )