“මේධංගට දරුවව විතරක් නෙවෙයි අක්කෙ බලද්දි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. මාවත් ප්‍රශ්නයක් වෙලා තියෙනවනෙ. තව කල් ගන්නෙ නැතුව ඕක ඔහොම වෙච්ච එක හොඳයි ඇත්තටම.
දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම හිටියනං හොඳයි. හැබැයි මට පුලුවන් ඒ චරිත දෙකම මගෙ දරුවා වෙනුවෙන් කරන්න. දාහක් කතා අවලාද අහගෙන උනත් මං උන්නෙ දරුවට තාත්තා කෙනෙක් ඕන කියල හිතපු හන්දා.
ඒ උනාට ඉතින් දරුවගෙ තාත්තට දරුවව උවමනා නැත්තං, දරුවට තාත්තව උවමනා වෙන්නෙ මොකටද අක්කෙ? මොන දේ උනත් මිනිහෙක් නැතුව උනත් මම දැන් ඉන්නෙ හිතේ සැනසීමෙන් අක්කෙ. අක්කයි අයියයි මට මේ කරදර වෙලාවෙ පිහිට වෙච්ච එක ඇති අයියටයි අක්කටයි ආත්ම ගාණක් සන්තෝසෙන් ඉන්න. මම වැඩි දවසක් ගමේ ඉන්නෙ නෑ අක්කෙ. මම ආපහු කොළඹ යනව. මොක උනත් දරුවගෙ දොස්තර ඉන්නෙ එහේ. ඉගෙන ගත්ත එව්වයින් මට රස්සාවක් කරන්න පුලුවන් එහෙදිනෙ”
කඳුලක්වත් හෙලන්නේ නැතුව ඇඳුම් මල්ලත්, සනුකිවත් පමණක් තුරුලු කරගෙන තරංගා මේධංගගේ ගෙදරින් එලියට බැස්ස දවසේ මේධංග ගෙදර උන්නේ නැත. කොටින්ම තමන් යන බව පවසා දුරකතන ඇමතුමක් දුන්නු වෙලාවෙත් මේධංග කලේ ඕකේ කියා ෆෝන් එක කට් කල එක පමණකි.
තරංගා ගෙදරින් පිටවෙන්න කලින් කුසුමලතා ලඟට ගොස් වඳිද්දී කුසුමලතා ඇත්තටම උන්නේ තමන් මෙයට අනුබල දුන්නාද නොදුන්නාද කියල පැටලිල්ලකත් පසුතැවිල්ලකත් පැටලීගෙනය. මොන දේ උනත් මට එහෙම නොකියා ඉන්න තිබුනේ කියන හීනී වේදනාවක් හිත අස්සෙන් හෙමින් සැරේ ඔලුව අස්සෙන් එබිකම් කරත් කුසුමලතා හීන් සැරේ “බුදු සරණයි” කිව්වත් තරංගාව නවත්තගන්නා තරමේ වචනයක් කටෙන් පිටකරන්න ඇයට හිත දුන්නේ නැත. නුදුන්නේත් නැත. එහෙත් ඒ හැඟීම් වචන උනේ නැත.
මේධංගගේ ගෙදරින් පිට වී ආවට සනුකිවත් අරගෙන යන්න තැනක් තරංගාට තිබ්බේ නැත. දෙණියායේ අයියලාගේ ගෙදර බස් එකේ යන එක ලස්සන, විනෝදජනක ගමනක් උනත් සනුකි කලබල කරන්න වේයැයි බය හන්දා බස් එකේ යන ගමන අතැර පික් මී එකක් දාගෙන දෙණියායේ යන්න තරංගා තීරණය කලේ වෙන කරන්න දෙයක් නැති හන්දාය. රස්සාව කරන කාලයේ එකතු කරගත්ත සල්ලි තිබිච්ච හන්දා හොඳ බව ඇත්තය. එහෙත් දැන් තියෙන ටික ඉතුරු කරගන්න ඕන බව තරංගා ඒ අස්සේම හිතුවාය.
වෙනදාට දෙණියායට යන අතරමග පහුවන ලස්සන දර්ශන දෙස බලමින් හිත නිවාගන්න නෙත පිනවුවත් අද තරංගා ඒ පසුවන කිසි දෙයක් දුටුවේ නැත. ටෝයි කම්පියුටර් එකෙන් ටිකක් වෙලා සෙල්ලම් කරමින් උන් සනුකි පුදුමයකට වගේ නින්දට වැටිච්ච හන්දා ඔහේ කල්පනා කර කර ඒ පැය ගාණ යන එක තරංගාට අමාරු උනේ නැත. එහෙත් ඇත්තටම කොච්චර දේවල් කල්පනා කරත් හිත දවන කිසිම ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න ඒ පැය ගාණ ඇතුලෙදි පුලුවන් උනේ නැත.
“මං මේධංගලගෙ ගෙදරින් පිටවෙච්ච දවසක මට එන්න තියන එකම තැන ඔතන අක්කෙ. හැමදාම වැටිලා ඉන්න නෙවෙයි අක්කෙ, මටයි මගෙ දරුවටයි හැමදේම පිලිවෙලක් කරගන්නකම් දවස් කීපයක් වැටිලා උන්න දුන්නොත් පින් අක්කේ” කියා තරංගා දුරකතනයෙන් නර්මදා අමතා කිව්වා මේධංග දික්කසාදය ඕනම බව තරයේ පවසද්දී, තවදුරටත් මේ තමන්ගේ තැනක් නොවන බව වැටහෙද්දීය.
“අනේ මොනවද නංගි මේ කියන්නෙ, අහන්න දෙයක්ද මෙහෙ එන එක. අනික දැන් මෙහෙ ඉන්නෙ අයියයි මමයි උනාට මේක ඔයාගෙ මහ ගෙදර නංගි. අම්මයි තාත්තයි නෑ කියලා ඔයාට මෙහෙ එන්න බැරිකමක් නෑ” කියා නර්මදා තරංගාව ආදරයෙන් දරාගත්තද හිත හදාගෙන “ඔන්න ඕන දෙයක් උන්ට කරගන්න කියලා නංගි දරුවව එක්කරගෙන ගමේ එන්න” කියන්න හයියක්, සම්ප්‍රදායික ගැහැණුකමේ අංකුර තවමත් හිතේ පැලපදියම් කරගෙන උන්නු නර්මදාට පුලුවන් උනේ නැත.
“ඔයාවත් නංගිට කියන්න භානුක, තව පොඩ්ඩක් කල්පනා කරන්න කියන්න. මොන දේ උනත් නංගි කෙල්ලෙක් නෙවෙයි. දරුවෙක් ඉන්න අම්මෙක්. ගෑණියෙක්ටයි ලමේක්ටයි මිනිහෙක්ගෙ හව්හරණක් නැතුව ජීවත්වෙන එක අමාරුයි නේද?”
“මිනිහෙක් උන්නා කියලා නංගිට හව්හරණක් ලැබුනද නර්මදා? නෑනෙ. මොක උනත් ඒ ගෙදර ඒ මනුස්සයයි අර දරුවයි එක්ක ජීවත් උනේ නංගි වෙච්චි උන්නෙ කොයි විදියටද, ඒ විදිය හොඳ ද නරකද කියල තීරණේ කරන්න ඇහැකිත් ඉතින් නංගිටම තමයි” කියා භානුක කිව්වේ හැමදේම වෙන්නෙ හොඳට නේ කියා හිතමිනි.
සින්ගල් මම් කෙනෙක් වෙන එක ඉතින් ලේසි දෙයක් නොවෙන විත්තිය කාට උනත් කියන එක ලේසි උනත් වැඩේ අමාරුකම දන්නේ සින්ගල් මම් කෙනෙක් වෙච්ච මනුස්සයෙක්ම පමණකි. තමන් ඇත්තටම හම්බ කරන්නේ තමන්ට දේවල් ගන්න සිතා නොව කවදා හරි දවසක තමන් නැතිවෙච්ච දවසක උනත් සනුකිට කොහේ හෝ තැනක ජීවිතේ තියෙන තාක්කල් ඉන්නට හැකිවෙන්නටය. රස්සාවක් වැදගත් වෙන්නේ ඒ හන්දාය. අනෙක් අතට හැමදාම ඉන්න පුලුවන් කම තිබ්බත් අයියාත් අක්කාත් ලඟ හැමදාම ඉන්න පුලුවන්කමක් නැත. රස්සාවක් හොයාගන්න ඕන ය.ඒකත් සනුකිව දමා යන්න තැනක් නැති බව දන්න හන්දා ගෙදර ඉඳන්ම කරන රැකියාවක් වෙන්නත් ඕනය. නිස්කලංකව ඉන්න තැනක් හොයාගන්න ඕන ය. මේ හැමදේම එකපාර මතක් වෙන එක හිතට බරක් උනත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට ඒ බරෙන් නිදහස් වෙන එක ලේසි පාසු දෙයක් නොවන බවත් තරංගා දනී.
විශේෂයෙන්ම සනුකි කියන්නේ අසනීපයෙන් ඉන්න දරුවෙක් හන්දාය.
සනුකිව මතක් වෙන හැම වාරයකම හිත කීරි ගැස්සෙන එක ඉතින් නවත්තන්න හැටියක් තරංගාට නැත. ඕනම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාගේ ලෙඩක් දුකක් මතක් වීම හිත කීරිගස්සන්නට හේතුවෙනවා උනත් තරංගාට ඔක්කොටම වඩා දුක ඒක ලෙඩක් දුකක් නොවී සනුකි ලෙඩෙක් වෙච්ච එකය. තමන් වරදක් නොකර සනුකි වගේ දරුවෙක් ලැබිච්ච එක “තමුසෙගෙ කාළකණ්ණිකම” කියා හැර ගිය මේධංග ගැන තරංගාට දැන් නම් කිසිම දුකක් නැත.
බය තියෙන්නෙ තනියම මේ ලෙඩ දරුවෙකුත් කරපින්නාගෙන ජීවිතේ ඉස්සරහට යන්න වෙච්ච එකය.
“ඕටිසම් වගේ කන්ඩිශන් එකක ඉන්න දරුවෙක් එක්ක ජීවිතේ ලේසියි කියල මම කියන්නෙ නෑ තරංගා. සාමාන්‍යයෙන් ඕටිසම් අපිට ඩිටෙක්ට් කරගන්න පුලුවන් වෙන්නෙ බබා ඉපදිලා අවුරුදු දෙකක්වත් ගෙවුණයින් පස්සෙ. ඔයාගෙ කේස් එකේදි අපිට කලින්ම ඒක අඳුරගන්න පුලුවන් උනාට ඉතින් ඔයා දන්නවනෙ තරංගා අපිට මේක 100% රිකවර් කරගන්න බෑ. එහෙම බලාපොරොත්තු තියාගන්න කියලා ඔයාව රවට්ටන්න මට උවමනා නෑ. හැබැයි ඕටිසම් කියන්නෙ දරුවෙක්ට නෝඔල් ලයිෆ් එකක් ගෙවන්න බැරි වෙන බැරියර් එකක් නෙවෙයි. ඕනතරම් ලෝකෙ ප්‍රසිද්ධ, දක්ෂ, ජනප්‍රිය මිනිස්සු ඉන්නවා ඕටිසම් එක්ක තමන්ගෙ ජීවිතේ ඉස්සරහට ගියපු. හරි ගයිඩන්ස් එක්ක දරුවට ඉස්සරහට යන්න පාර පෙන්වන්න අපිට බැරිකමක් නෑ.
හස්බන්ඩ් ඒක තරංගාගෙ වරදක් විදියට දාලා කතා කරන එක ගැන කමෙන්ට් කරන්න මම කැමති නෑ වගේම ඒක එතිකල් නෑනෙ. ඔයාට පුළුවන් තරංගා. මම ඒකමයි මෙච්චරම ඔයාගෙ හිත හදන්න කටයුතු කරන්නෙ. මම දන්නවා ඔයා හිත ඇතුලෙන් හරිම හයිය ගෑණියෙක්, අම්මා කෙනෙක් බව. ඒ නිසාමයි මම ඔයාට මෙච්චර දේවල් කියන්නෙ. තාත්තා කෙනෙක් විදියට හස්බන්ඩ් ඔයාට සපෝට් කරත් නැතත්, සනුකිට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම අඩුව මකන්න ඔයාට පුළුවන් කියල මට ශුවර්”
සනුකිගේ වෛද්‍යතුමිය ඇයව හමුවන වාරයක් පාසා එසේ කිව්වත් ජීවිතේ කොච්චර අමාරුද කියන එක දන්නේ තමන් පමණක් බව තරංගාට හිතේ. විවාහ වී වසර දෙකක් ගෙවිච්ච තැන හිඳ තමන්ගේත් මේධංග ගේත් එකම සිහිනය වුණේ දරුවෙක් ය.
“මට ඕන ඔයා වගේ ඇස් තියෙන පුතෙක්” කියා තමන් කිව්ව කතාත්,
“මට ඕන ඔයා වගේ කරුණාවන්ත හිතක් තියෙන දුවෙක්” කියා මේධංග කිව්ව කතාත් අතීතයේ හිඳ තිස්සේම දුව අවුදින් හිත රිද්දන වාර ගණන තරංගාට ගණන් කරන්න බැරි තරම් ලොකු ය.
සනුකි කුසට පැමිණි වග සඳහන් කෙරුණ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක පෙන්නූ මොහොතේ තමාව වඩාගෙන වටයක් දෙකක් කරකැවූ මේධංග සනුකි ඕටිසම් සහිත දරුවෙකුව ඉපදුණ බව දැනගත්ත වෙලේ වෙනස් වුණේ කොහොමද කියා තරංගාට තවම හිතාගන්න බැරිය.
“ළමයා ලෙඩෙක් වුණේ තමුසෙගෙ කරුමෙට” කියා මේධංග කියද්දී නැන්දම්මාට එය තවත් බොහෝ කතා කියන්නට උල්පන්දම් දුන්නාය.
“පලවෙනි ළමයා ලෙඩෙක් වෙලා ඉපදෙනවා කියන්නෙම ඉතින් මූසලයි නේන්නං. ඔය කසාදෙම කරගන්න ඕන කියල උඹ නැහෙද්දි මං ඒත් කිව්වා අර ශ්‍රියාණි මිස් ගෙ දූ හොඳ බව. උඹලා ඉතින් අපි කියන ඒව අහන උන් නෙවෙයිනෙ.
ඔය ලෙඩ ළමයව උස්සගෙන නෑ ගෙවල්වල නම් එන්න දෙන්න එපා පුතේ අවුරුද්දට. අපේ අවුරුද්ද මූසල වෙනවා මදිවට තව මිනිස්සුන්ට මූසලයි. මෝඩ පාටට බලන් ඉන්න හැටි විතරක්” කියා නැන්දම්මා මේධංගගේ හිසට විස පොවනු ඇහිච්ච වාර ගණන් අනන්තය.
“මේ මං ආදරේ කරලා කසාද බැන්ද මනුස්සයමද?” කියා තරංගා ආයෙ ආයෙ හිතුවේ අන්න ඒ වචන සවන් අස්සෙන් ඇවිත් හදවත කීරිගස්සමින් පතුලේම තැන්පත් වෙද්දීය. තමන්ගේ දායකත්වයකින් බිහිවෙච්ච දරුවා රෝගී දරුවෙකු වීම ඕනම තාත්තෙක්ට දරාගන්න අමාරු දෙයක් වුණත්, ළමේක්ගේ සම්පූර්ණ වගකීම අම්මා කෙනෙකු අතට දමා, තමන්ගේම දෙයින් ඉපදිච්ච දරුවාට ඔහොම අපහාස කරන මිනිසෙකු තමන්ට තවත් ජීවිතේට ඕනමද කියා නොහිත ඉන්න තරංගාට පුලුවන් වුණේ නැත. ඒ හැම වචනයක්ම දරාගත්ත තැනකදීත් මේධංග තමන්වත් දරුවාවත් නොසලකා හරිද්දී තව දුරටත් එතන නොරැඳී මේ ගමන ආ එක ගැන පොඩි සතුටක් හිතේ නැතැයි කියන්න බැරි ඒකය.
“ මේ ළමයා ඉපදුණේ එයාටයි මටයි දෙන්නටම එයාව උපද්දවන්න ඕන වෙච්ච හන්දා කියලා මේධංග අමතක කරේ කොහොමද කියන්න මම දන්නෙ නෑ අක්කෙ. එයා නිකන් දැන් හරියට කතා කරන්නේ මම මගේ තනි උවමනාවට දරුවෙක් හැදුව වගේ.
තමන් එක්කහු වෙලා හදපු දරුවා ලෙඩ දරුවෙක් වෙච්ච එක දුකක් තමයි අක්කෙ. හැබයි ඒක තාත්ත කෙනෙක්ට ලැජ්ජ වෙන්න හේතුවද? මට උත්තර නැත්තෙ අන්න ඒ ප්‍රශ්නෙට. මට අම්මා කෙනෙක් විදියට මගේ දරුවා ලෙඩ දරුවෙක් වෙච්ච එක ගැන තියෙන්නෙ දුකක්. මේධංගටයි එයාගෙ අම්මටයි තියෙන්නෙ ලැජ්ජාවක්.
ඒක මගේ නොලැබීම වෙන්නැති. හැබැයි එහෙම කියලා මගේ බඩෙන් ඉපදෙච්ච දරුවට එහෙම අපහාස කරන්න තියා එහෙම අපහාස කරන තැනක තව දුරටත් තියලා තියන්නවත් අම්මා කෙනෙක් විදියට මට බෑ අක්කෙ. ඒ දරුවගෙ තාත්තා මේධංග වුණාට එයාට එහෙම කියන්න කරන්න පුලුවන් ඇත්තෙ සමහර විට මේ දරුවව මාස නවයක් බඩේ තියාගෙන හිටියෙ මේධංග නෙවෙයි හන්දා වෙන්නැති”
තරහා ගන්න ඕන අතාරින්න අමාරු මිනිස්සු අතෑරෙන්න යන තැනකය.
ආදරයක් හිතේ නැති මිනිහෙක් අතෑරගන්න තමන්ට දුකක් තිබෙන්න හේතුවක් නැති බව හිතපු හන්දාම තරංගා මේධංග ව අතැර දෙණියායට එන ගමන පුරාවටම මේධංග ගැන හිතමින් උන්නේ කිසිදු බැඳීමක්, හැඟීමක් නැති මනුස්සයෙක් දිහා බලාගෙන ඉන්නවා මෙනි.
ලැජ්ජ වෙවී එහෙම අකමැත්තෙන් මේ බැඳීම අස්සෙ හිරවෙලා ඉන්න ඕන නෑ අක්කෙ අපි කවුරුවත්. මං ඒකයි එයා ඩිවෝස් වෙන්න ඕන කිව්වම ඒ තීරණේට විරුද්ධ උනේ නැත්තෙ. එයාට විතරක් නෙවෙයි මටයි මගෙ දරුවටයිත් නිදහසේ ජීවත්වෙන්න ඉඩක් තියෙන්න එපාය මේ ලෝකෙ. ඒ ගේ ඉතින් එයාලගෙනෙ. මටයි දරුවටයි ඉන්න තැනක් හොයාගන්න කම් විතරයි අක්කෙ මං අක්කටයි අයියටයි උනත් බරක් වෙන්නෙ. තාත්තට මේ දරුවව බර වැඩි වුණාට, මට මේ දරුවව බර නෑ. මාස නවයක් බඩ ඇතුලෙ තියන් උන්නු එකේ මට ජීවිතේ ඉතුරු කාලෙ එයාව බඩෙන් එලියෙ තියන් උස් මහත් කරන එකේ මහ අමාරුවක් නෑ”