සඳක් තනියම – 20

0
1853

තේජාගේ මුහුණෙහි වූයේත් සතුටකි.

“ ලොකු පුතා ඔයා ආවද…”

ඇය විශ්ව අසලට ලංව ඔහුව සිප ගත්තේ සුබ පැතුමක්ද එක් කරමින්ය. දැන් දැන් අකලංකගේ ඉවසීමේ සීමාව වූයේ අවසන් හිනි පෙත්තේය.

“ අම්මා මූ  හිනා වෙවී ඉන්නවා මිසක් කිසි දෙයක් කියන්නෙ නෑ. ඇයි මේ ෆලවර්ස්. මං දන්න තරමින් අද කාගෙවත් ස්පෙෂල් ඩේ  එකක් නෙමෙයිනේ..”

“ දුව කාමරයේ හිටියා පුතා ඔයා යන්නකෝ…”

තේජා අකලංකට පිළිතුරක් නොදීම විශ්ව දෙස බැලුවේ සිනහමුසුවය.ඔහු පඩි පෙළ නැග උඩුමහලට ගියේ අඩියට දෙකටය.

“ ඔයාට ස්පෙෂල් නොවුනට අද ඒ දෙන්නට ස්පෙෂල් දවසක්..”

“ ඒ මොකක්ද අම්මා…..දැන්නම් ඉවසුවා ඇති.”

“ඔයා ආයි සැරයක් බාප්පි කෙනෙක් වෙන්න යනවා…”

“ වට්…”

 “ හ්ම්…..හවස නර්මදා දුව එක්ක ඩොක්ටර් ළඟට ගියාපු වෙලාවේ තමයි දැනගත්තේ.අයියාට කිව්වෙත් මං. අක්කා එයා ගෙදර එනකල් නොකියා බලන් හිටියා.”

ආපසු හැරුණු අකලංක උඩුමහලට දුව යන්නට සැරසුණේ තේජා අවසන් වදන් කිහිපය පවසනවාත් සමඟය.එහෙත් ඔහුගේ කන් පෙත්තක් තදින් අල්ලා ගත් ඈ  ඒ ගමන නතර කළේ සිනහමුසුවය.

“ අයිය දැන්නේ ආවේ දරුවෝ.ඒ දෙන්නට චුට්ටක් නිදහසේ ඉන්න දෙන්න.”

“ උන් දෙන්න කොයිවෙලාවෙ  බැලුවත් නිදහසේ තමයි අම්මේ ඉන්නේ.ඒ වගේද බාප්ප ඉස්සෙල්ලම විෂ් නොකලොත්  අපේ පොඩි කොල්ල තරහ වෙයි…මෑන්ව යාළු  කරගන්නත් එපැයි මම.එතකොට ඌවත් මගේ පැත්තට ඉඳීනේ..”

“මොනවද පුතා ඔය කියන වචන..”

තරුණයා උඩුමහලට දිව ගියේ තේජා සිනහ සී බලා සිටියදීය. සොහොයුරාගේ කාමරය අසල නතරව  අකලංක උගුර පෑදුවේ මදක් උස් හඬකින්ය.

“ අපිට කාමරේට එන්න පුළුවන් තත්වයක් නේද තියෙන්නේ.මං තාම අම්මගේ හුරතල් පොඩි කොල්ලා..”

“ වරෙන්  වරෙන් උඹ විතරයි අඩු වෙලා හිටියේ..”

අකලංක කාමරය තුළට ඇතුලු වද්දී නර්මදා  සිටියේ තම සැමියාගේ උරහිස මත හිස තබාගෙනය.ඔහුගේ දකුණත ඇගේ දෙවුර වටා විය.

නෑනන්ඩියගේ අනෙක් පසින් ගොස් සිටගත් තරුණයා ඇගේ කොපුළක් සිප ගත්තේ ‘කන්ග්‍රැජුලේෂන්ස් ‘ යැයි පවසමින්ය.

“ ඊයා…මේ දාඩියනේ හලෝ.. විශ්ව මේ බලන්න මගේ මුළු මූණෙම  දාඩිය ගෑවා. මේකගේ ඇඟේ දාඩිය  එකයි..”

“ යන්න යන්න ඔයත් එක්ක කතා නෑ..දැන් මං කතා කරන්නේ මගේ චූටි මෑන් එක්ක විතරයි.දෙන්නගෙන් එක්කෙනෙක්ට තිබුණා මට ටිකක් අනතුරු අගවලා ඉන්න”

“කවුරු…මොකක්ද අර කියපු නම..”

“ චූටි මෑන්….මෙන්න මෙයාට කියන්නේ එහෙම.එයා මේ බාප්පගේ…තාත්තා ළඟට වෙලා තුරුල් කරන් හිටියට වැඩක් නෑ. කොල්ලෝ උඹ හැදෙන්න ඕනේ මමත් එක්ක.මේ බාප්පගේ නම ගෙනියන්න වෙන්නේ උඹට තමයි”

සිය නෑනන්ඩියගේ  දෙපා මුල වාඩිවූ අකලංක ඇගේ කුසට අත තබා පැවසූයේ සිනහමුසුවය.

“ ඉවරයි මගේ කොල්ලත් ඉතින්…බබා ඔන්න මං දැම්මම කිව්වා මේ පුතෙක්නම් මුගෙන් තමයි පරිස්සම් කරගන්න වෙන්නේ..හඩ්ඩා  වගේ ඉන්නෙ නැතුව ගිහිල්ල වොෂ් එකක් දාගෙන වරෙන් බං..දාඩිය ගන්දස්සාරේ බෑ “ 

එසේ පැවසූ ⁣විශ්ව තම බිරිඳ අසලින් නැගී සිටියේ බිම වාඩි  වී උන් තරුණයාගේ හිසකේ අවුල් කර දමින්ය.

කුඩා දියණිය උන්නේ නිවසේ මෙහෙකාරිය සමග මල් කඩමින්ය.ඉන්පසු ඈ තේජා සමග අඩ හෝරාවක් පමණ බුද්ධ වන්දනාවෙහි නිරතවේ. තිදෙනාම කාමරයට වී උන්නේ නර්මදා යළිත් වතාවක් මවක වන්නට යන සතුට බෙදා ගනිමින්ය. ඇයට කුඩා දියණිය ලැබෙන්නට සිටියදීත් නිවසේ සියල්ලෝම මේසා සතුටක් භුක්ති වින්දේය.

“  අද මං ⁣ගානේ  හැමෝටම ඩිනර් එක..නෑනට පුළුවන් කැමති තැනක් කියන්න.”

අකලංක පැවසූයේ යළිත් වතාවක් සිය නෑනන්ඩියගේ කුස පිරිමදිමින්ය.

“ අනේ එහෙම ආසාවල් තාම නෑ මෝඩයෝ.”

“ ආසාවකට නෙමෙයි සතුට සෙලිබ්‍රේට් කරන්න. නැත්නම් මූ හිතයි  අපි මූව පිළිගත්ත ක්‍රමේ හරි මදි කියලා.”

“ ඌ , මූ ,ගාගෙන විතරක් එන්න එපා හරිද..බලන්න විශ්ව මෙයා කතා කරන හැටි.” 

එකිනෙකාගේ ජීවිතවල සිදුවන මේ අපූරු වෙනස්කම් නිවසේ සියල්ලෝම විඳ ගන්නේ සතුටින්ය. රාත්‍රී ආහාරය ඇණවුම් කලේ සිය නෑනන්ඩියත් සමඟ එක්ව ඇයත් දියණියත් ප්‍රිය කරන ආහාර වර්ග තේරුවාට පසුවය.හදිසියේම තමාගේ වාහනය රැගෙන නිවසින් පිටතට ගිය අකලංක යළිත් පැමිණියේ නර්මදා ප්‍රිය කරන මිල අධික චොකලට් අයිස් ක්‍රීම් වර්ගයක්  රැගෙනය. 

“ අයියගේ,  අක්කගේ සතුට තමන්ගෙ කරගෙන හිටියට කමක් නෑ.ඔයත් දැන් පිළිවෙලක් වෙලා තමන්ගෙම  සතුටක උරුමක්කාරයෙක් වෙන්න කාලෙ හරි “

තේජා පැවසූයේ රාත්‍රියේ ආහාරයෙන් පසුව විසිත්ත කාමරයේ සුවපහසු අසුන්වලට වී කතා කරමින් සිටියදීය. විශ්ව ඇසක් ඉඟි මරා තම බිරිඳ දෙසත් අකලංක දෙසත් බැලුවේ මාරුවෙන් මාරුවටය.

“ ඇහෙන්නෑ වගේ ඉන්නේ පොඩි පුතා ඔයාටයි මං මේ කියන්නේ..”

අම්මා පැවසූ සියල්ල හොඳින්ම ඇසුනත් තම උකුල මත සිටින කුඩා දියණිය සමග සෙල්ලම් කරමින් උන් අකලංක සිටියේ ඒ කිසිවක් නෑසුණු ගණනටය.

“ එයි පොඩි පුතා….උඹට කියන්නේ “

විශ්ව එවර පැවසූයේ අවඥාවෙන් සිනහසෙමින්ය.

“ මොකක් ගැනද අම්මා කියන්නේ.”

“ අම්ම කියන්නේ දැන් උඹ මැරි කරන්න ඕනෙ කියලා..”

“ මේ මම…”

“ ඔව් ඉතින් මට මැරි  කරන්න බෑනේ ආපහු..”

“ පිස්සුද අම්මා..මං තාම පොඩි එකා. මගේ ඔලුවට ඕවා දාන්න එපා. කියන්නකො තාත්තා.”

“ ඔයා ගෙදරට පොඩි එකා බව ඇත්ත.ඒ උනාට දැන් ඔයාගේ වයසින් ඔයා පොඩි නැහැ. සුදුසු කාලයකදී දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු කරලා දෙන එක දෙමාපියන්ගේ වගකීමක් කියලා තමයි කියන්නේ.අම්මගේ යෝජනාවේ වරදක් නෑ “

“ අයියෝ ඔයාලා මාව බරක් කරගන්න එපා අනේ..”

“ ඒක බරක් නෙමේ පුතා ඒක අපේ වගකීමක්, යුතුකමක්..”

“ අයියෝ… අප්පා…”

“  හිතේ කවුරුහරි ඉන්නවනම් කියන්න පුළුවන්..නේද අම්මා…”

එවර නර්මදා පැවසූයේ සිය දෙතොල්පට හපාගෙනය.ඇයත් සොයුරාත් වරින් වර එකිනෙකා දෙස බලමින් ව්‍යාංගාර්ථයෙන් යමක් පවසණු අකලංක බලාගෙනය.

“ මේ නැන්දම්මයි ලේලියි තමයි ඔක්කොම කරන්නේ.දවල් තිස්සේ කුටු කුටු ගගා ඔක්කොම ප්ලෑන් ගහලා පිස්සු විකාර කියවනවා..දැනට මගේ හිතේ ඉන්නේ මෙන්න මෙයා විතරයි..මට වෙන කවුරුවත් එපා…”

එවර අකලංක පැවසූයේ තම උකුලෙහි උන් සිඟිති දියණියව තදින් වැළඳගෙන.බාප්පාගේ මුහුණෙහි වන රැවුල් කොට ඇනී කිති  කැවී ගිය දියණිය එහෙටත් මෙහෙටක් ඇඹරුනේ මහ හඬින් සිනහසෙමින්ය.

ඒ හා සමඟම ඇයව  ඔසවා සොයුරාගේ ඔඩොක්කුවෙන් තැබූ තරුණයා උඩුමහලට යන පඩිපෙළ නැග්ගේ අඩියට දෙකටය.

“ පේනව නේද අපි කාටවත් නොදැනෙන්න ලිස්සල ගියපු හැටි.මං කියන්නේ එහෙම හරියන්නේ නෑ මහින්ද.”

“ එයාට තව කල් තියෙනව තේජා.බල කරන්න එපා “

මහින්ද අසුනෙන් නැගී සිටියේත්  එසේ පවසමින්ය.ඊයේ පෙරේදා සිට ඔහු මහත් උනන්දුවෙන් කාර්‍යාලීය වැඩ වල නිරත වේ.මහින්දට ඕනෑ වූයේ තව දුරටක් ඔහු ව්‍යාපාරවලට අවතීර්ණ වනවා දකින්නටය.

අවසන විසිත්ත කාමරයේ තනිවූයේ නර්මදාත් , විශ්වත් පමණි.

“ ඔයා එක්ක මල්ලි අර ගර්ල් ගැන මුකුත්ම කියල නැද්ද..”

“ නෑ…..හැබැයි දිනාරා  ගැන කතා කරද්දි මල්ලිගේ මූණෙ  ලොකු වෙනසක් තියෙනවා විශ්ව.මං සමහර වෙලාවට උවමනාවෙන්ම එයාගෙන් ඔෆිස් එකේ වැඩ ගැන අහනවා.”

“මං ඔයාට කිව්වේ ඊයෙත් මම මුගේ  ඔෆිස් රූම් එකට යද්දි මූ ඒ කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය පිස්සු වැඩ කලාට උගේ එහෙම රිඇක්ෂන් මම දැකලා නෑ.”

“ ඒ ළමයා කොහොම කෙනෙක්ද විශ්ව….කපටියි වගේද…”

“ පෙනුමෙන් වත්,  වැඩ වලින් වත්, උගත්කමෙන්වත් කිසි වරදක් නෑ. ප්‍රියංකා ආන්ටිගේ  රිලේෂන් කෙනෙක් කියන්නේ කොහොමටවත් වරදක් වෙන්න විදිහක් නෑනේ.”

“ මං මල්ලිගෙන් අහන්නද…”

“ එහෙම කොහොමද අහන්නේ..යාළුවෝ විහිළුවක් කරනවා ඇහුණු පලියට එයා ඒ ගර්ල් දිහා බලනවා දැකපු පලියට එහෙම අහන එක  වැරදියි බබා. මගෙත් හිත කියනවා මූ පිළිවෙලක් උනේ දිනාරා නිසා කියලා.උගේ අඩුපාඩු ගැන ඌටම ලැජ්ජ හිතෙන්න ඇති. ඔළුවේ නැති දෙයක් අපි උගේ  ඔළුවට දැම්මා වෙනවා එහෙම උනොත්.”

“ එහෙම දෙයක් එයාගේ හිතේ තියෙනවානම්  කාට හැංගුවත් මට හංගන්න බෑ විශ්ව..ඇත්තටම එහෙම දෙයක් උනොත් ඔයා ඒකට කැමතියිද.”

“ මං මගේ ආදරේ ලං කරගෙන ජීවිතේ සතුටින් විදිද්දී උගේ සතුට නැති කරලා දාන්න මට බෑ බබා.ඌ එහෙම ජොලියට කෙල්ලෝ ආශ්‍රය කල කෙනෙක් නෙමෙයිනේ..”

“ ඒකනේ කිව්වේ එයාගේ ජීවිතේ එයාට වටිනවා කියලා “

“ ඔයා එහෙනම් ෂේප් එකේ වචනෙ දාලා බලන්නකෝ.යමු…..දැන් ඕනවට වඩා නිදි මරන්න එපා..ඩොක්ටත් කිව්වා නේද ටිකක් රෙස්ට් කරන්න කියලා. මම තාත්තට කියන්නම් ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් එවන්න කියලා දවල්ට.ඔයා ඩ්‍රයිව් කරන්න එපා.”

“ අනේ විශ්ව….එච්චර මං ගැන වද වෙන්න එපා. මේ පළවෙනි වතාව නෙමෙයිනේ.මම පරිස්සම් වෙන්නම්. ඔන්න දහසක් නීති දාලා අම්මටයි තාත්තටයි නම් කරදර කරන්න එපා.”

“ මේ පලවෙනි වතාව දෙවැනි වතාව නෙමෙයි දහවෙනි වතාව වුණත් මං ඔයා ගැන වද  වෙනව බබා. ඒක තමයි මගේ සතුට. හැම දාමත්  ජීවිතේ අංක එක ඔයා. ඉතින් මගේ අම්මියි පුතු  පැටියයි දෙන්නම පරිස්සම් වෙන්න ඕනේ..මං පරිස්සම් කරන්න ඕනේ “

විශ්ව එවර පැවසූයේ සිය බිරිඳගේ නළලත සිප ගන්නා ගමන්ය. තේජාත් මහින්දත් සමඟ ඔවුන්ගේ කාමරයට ගිය දියණියගේ උස් සිනහ  හඬ කාමරය දෙසින් ඇසේ. ඔහුව කසාද බඳින්නට ගත් තීරණය ජීවිතයේ ගත් නිවැරදිම තීරණය යැයි නර්මදාට සිතේ. ඇයට ලැබුණේ සැමියෙක් පමණක් නොව. මේ නිවස ඇයට සියල්ල ලබා දුන් සුරපුරයක් බඳුය.එහි තිබුනේ සතුට විතරමය.

( යළිත් හමු වෙමු දයාබරව )

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here