තේජා දානය වෙනුවෙන් අවශ්‍ය වූ කෑම වර්ග සාදන්නට පටන් ගත්තේ පෙරදා සවස සිටය.ඈ වම්බොටු මෝජුවකුත්, සිංහල අච්චාරුවකුත් සෑදුවාය.කට්ලට් බෝල සාදා අධි ශීතකරණයේ දැමුවාය.අතුරුපස සඳහා පුඩිං වර්ගයකුත්, එළකිරි යොදා සකස් කළ කිරි ටොෆිත් විය.
දානය සඳහා තවත් සැකසිය යුතුව තිබුණේ පොළොස් ව්‍යංජනයත්, කෙහෙල් මුව සීනි සම්බෝලයකුත්, වැටකොලු,පතෝල, කඩල පරිප්පු ව්‍යාංජනය, ගොටුකොළ සම්බෝලය සහ හතු බැඳුම පමණි. ඇයට උදව් වීමට අසල නිවසක තරුණියකද පැමිණ සිටියාය. කුමාරි නමින් හඳුන්වන ඇගේ සැමියා ඇයව අතහැර වෙනත් විවාහයක් කරගත්බව පැවසූයේ ප්‍රියංකාය.දහවලටත් ඕ සචින්ගේ වැඩ කටයුතු සඳහා උදව්වට පැමිණේ.
දිනාරා සූදානම් වූයේ අඟහරුවාදා දවසේත්, බදාදාත් නිවාඩු ලබාගන්නටය
කාර්යාලයට පැමිණි දා සිට ඕ එකඳු නිවාඩුවක්වත් ලබා තිබුණේ නැත. එනිසාවෙන්ම තමාට නිවාඩු අනුමත නොකර සිටීමට හේතුවක් නැති බව දිනාරා දැන උන්නාය.එහෙත් ප්‍රියංකා ඊට දැඩිව විරුද්ධ විය.
“ එපා පුතේ… මේ වැඩ කොටස මට කරගන්න පුළුවන්.අනිත් එක ඔයා ඕන කරන බඩු ගොඩක් ගෙනල්ලනේ තියෙන්නේ. අහල පහල අයත් මගේ උදව්වට ඉන්නවනේ පුතේ.හේතුවක් නැතිව නිවාඩු දාලා අපි මහින්ද මහත්තයලගේ තියෙන විශ්වාසය නැති කරගන්න ඕන නෑ. පුතාට නිවාඩු ඕන වෙන්නෙ දැන් නෙමෙයි ඉස්සරහට. එක්සෑම් කාලෙට.”
අවසන දිනාරාට සිදුවූයේ ප්‍රියංකාගේ වදන් පිළිගන්නටය.එනිසා ඕ නිවාඩු දැමුවේ බදාදා දින පමණි.
කොළඹ පැමිණ යළි නුවර ගිය අත්තම්මා කතා කලේ හිත් හොඳකින් නොවේ. ප්‍රියංකා ආන්ටි පිළිබඳවවත් , මේ නිවස පිළිබඳවවත් , කොළඹ පිළිබඳවවත් ඈ සිතේ පැහැදීමක් වූයේ නැත.
“ ඔය ගෑණි මහා කපටි අම්මණ්ඩි කෙනෙක්.කතාවෙන් තේරෙනවනේ..සුදු මැණිකේ ඔය රස්සාව කරලා ගන්න පඩියට මොකද කරන්නේ.ඔය අම්මණ්ඩි ගන්නවද..”
අත්තම්මා දිනාරාගෙන් ඇසුවේ එක් සවසකය.
“ අනේ නෑ අත්තම්මේ.එක සතයක් ගන් නෑ..මං කැම්පස් එකේ වැඩ වලට කීයක් හරි ගන්නවා විතරයි.ඒවා එකවුන්ට් එකේ ඉතුරු වෙනවා.ගෙදරට පොඩි දෙයක් ගෙනාවත් මට බනිනවා..”
“ එහෙනං වෙන මොනව හරි බලාපොරොත්තුවක් ඇති..”
දිනාරා බොහෝවිට අත්තම්මා පවසන දෑ අසා සිටියා මිස ඊට පිපිළිතුරු දෙන්නට නොගියාය.ඒ ඇගේ සිත රිදේයැයි බියටය.
“ අත්තම්මගේ සමහර තීරණ තද වැඩියි.සමහර තීරණ හරිම නෑ..ඒත් ඉතින් අපිට ඉවසන්න වෙනවා.අපිට අපේ කියන්න ඉන්න එකම කෙනා තමයි ඔය..”
කේතකී දිනාරා හා එසේ පවසා තිබුනේ දවසක් දෙකක් නොවේ.
“ මං ඉවසන ගෑණියෙක් උනේ ජයසුන්දර වලව්ව ඇතුලෙදි…”
ඇය බොහෝ දිනවල තම අතීත කතා දියණිය හා පවසන්නේ යෙහෙළියකට යමක් පවසා සිත සන්සුන් කර ගැනීමට වෙර දරන්නා සේය.
බාප්පාගේ දියණියගේ විවාහ උත්සවය සඳහා ලහි ලහියේම වලව්වේ ඇත්තන් සූදානම් වනවායැයි දිනාරාට පැවසුවේත් අත්තම්මාය.
“ සුදු මැණිකෙට කියන එකක් නෑ මයේ හිතේ..”
දිනාරාට දුකක් හෝ සතුටක් දැනුනේ නැත.කොහොමටත් ඕ ලොකු නැන්දා , බාප්පා , පුංචි අම්මා සහ ඒ දරුවන් හදවතින් අත්හැරියේ අද ඊයේක නොවේ.
“ සුදු මැණිකේ මං මෙහෙන් ගෙයක් හොයන්නම්.වත්තේ.ගෙදර ඉන්න තනිනම් වැඩ කාරියෙක් හරි තියා ගන්න බැරිය.කොළඹ ඉන්න ඕනේ නෑ..”
තවත් වරෙක ඕ පැවසුවේ දැඩි හඬකින්ය.එතේ දිනාරා අධ්‍යාපන කටුයුතු පිට දමා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
සැබවින්ම තමා මානසිකවත් කායිකවත් සුවයෙන් සිටින බව අත්තම්මා හා පවසන්නට දිනාරා ඉස්සර නොවූවාය. ප්‍රියංකා ආන්ටි දැනටමත් නිවස අසල පාසලකට මාරුවක් ලබා ගැනීමට සූදානමින් සිටී. වසර ඇය යළිත් සේවයට යද්දී මල්ලීගේ වයස වසර දෙකහමාරකට ආසන්නය.ඔහුව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුලත් කල හැක.කුමාරි අක්කා දැනටමත් දහවල ඔහුව බලා ගැනීමේ වගකීම තමා වෙත පවරාගෙන සූදානමින් සිටී.සියල්ල විසදෙන්නේ ඈ සිතුවාටත් වඩා හොඳින්ය. අනාගතයක් ගැන තබා ගෙවෙන වර්තමානය ගැනවත් සිතන්නට බයෙන් සැකයෙන් උන් යුවතිය ජීවිතයට සිහින එකතු කරන්නට පටන් ගෙන සිටී.
***——-********———*******——***—–
අකලංක එදින කාර්යාලයට පැමිණියේ මදක් ප්‍රමාදවය. වෙනදා තමා පිළිගන්නට ඉදිරියට එන පිච්චමල් සුවඳ එදා ඉස්සර නොවීය. මේසය මත මල් බඳුනෙහි වූ සුදු පැහැ ලිලී මල මැලවී තිබිණ. තරුණයා සිය සුවපහසු අසුනෙන් අසුන් ගත්තේ උදාසීන අයුරකින්ය. මහා පාළුවක් ඔහුට දැනෙන්නට විය.පෙරදා දිනාරා විසින් සකස් කර තබා ගිය ලියකියවිලි කිහිපයක් මේසය මත විය. ඒවා අත්සන් කොට ගිණුම් අංශය වෙත යැවීමට තිබූ ඒවාය. උදෑසනම ඈ කෙටි පණිවිඩයකිනුත් දවසේ කලයුතු වැඩ කොටස මතක් කර තිබිණ.
තම අසුන මඳක් පසුපසට කරගත් අකලංක ඊට බර වූයේ සුවපහසු ඉරියව්වකින්ය.කිසිවක් කරන්නට සිතක් නොවේ. පසුගිය දින කිහිපය තුළ තම ජීවිතයේ සිදු වූ බොහෝ වෙනස්කම්වලට හේතුව දිනාරාමදැයි ඔහු සිතුවේ ප්‍රථම වරටය.ඇය තම ජීවිතයේ මෝටිවේෂන් එක වී ඇතැයි අකලංකට සිතුනේ හිස් බැල්මෙන් ඔහේ බලා සිටියදීය.කිසිදා යුවතියක ලඟ සසල නොවූ සිත ඇගේ රුව දකින්නට , ඒ සුවඳ විඳින්නට , ඒ සිනහව දකින්නට ප්‍රිය වී සිටී. උදෑසන නැගිට කාර්යාලයට පැමිණෙන පැය කිහිපය තුල ඔහු දරන්නේ පුදුමාකාර නොසන්සුන් බවකි.වාහන තුනක වුවත් තිදෙනාම නිවසින් පිට වන්නේ එකම වෙලාවකය.දියණිය ළදරු පාසලට යන නිසා සොයුරා දැන් වෙනදාට වඩා ඉක්මන්ය. කෑමට , සූදානම් වීමට තාත්තාත් , විශ්වත් ගතකරන කාලය ගැන විටෙක අකලංක කෝප ගනී.මේ සියල්ල ඔහුටත් හොරා සිය ජීවිතය තුල වල පරිවර්තනීය වෙනස්කම්ය.
පුදුමයනම් ඔහු ඒ වෙනස්කම් වලට ප්‍රිය කරමින් උන්නේය.
ඇයට වූයේ එකම බැල්මකින් සිත ඇදගැනීමට හැකි රුවකි. ඒ රුවට ඒ සිනහවට ඒ පිළිවෙලට තරුණයන් ආකර්ෂණය වීම පුදුමයක් නොවේ. පසුගිය දින කිහිපයේදී ඔහු ඈ ගැන උන්නේ ඕනෑවටත් වඩා විමසිල්ලේය. ඇය සතුව ජංගම දුරකථනයක් වුවත් කාර්යාලය තුළ කිසිම විටකදී එම දුරකථනය භාවිතයට ගන්නා අයුරු අකලංක දැක තිබුණේ නැත. බොහෝ දිනවල ඇය හිමාශා සමඟ නගරයට ගොස් මරදාන හරහා යන බස් රථයකට නගිනු අකලංක දැක තිබේ. ඒ තනිවමය.
නිදහසේ හැසිරුණු සෙල්ලක්කාර තරුණයෙකු වුවත් අකලංක ප්‍රේමය විෂයෙහි ආගන්තුකයෙකු විය.මෙලොව ඔහු දැක තිබූ සුන්දරම , ආදරණීයම යුවල තම සොයුරාත් නෑනන්ඩියත්ය. අදත් උදෑසන ඔහු ඇයව විසිත්ත කාමරයේ සිට තම කාමරයට කුඩා දරුවෙකු සේ ඔසවාගෙන යන අයුරු අකලංක බලාගෙනය.ඒ ආදරය ඔවුන්ගේ ජීවිතවලට එකතු කර තිබුනේ සතුට පමණය.
මෑතක සිට තමා වගකීම් දරන්නට ප්‍රිය කරන මිනිසකු වී ඇතැයි අකලංක සිතුවේය. කාර්යාලයේ තමාගේ අංශය සතු වැඩ කොටස දැන් කිසිසේත්ම ඔහුගෙන් පැහැර හැරෙන්නේ නැත. උදෑසන තමා කළ යුතු කාර්යයන් සියල්ල පැහැදිලි අත් අකුරෙන් සටහන් කොට තමාගේ මේසය මත තැබීම දිනාරා පුරුද්දක් කරගෙන උන්නාය. තමාට වගකීම් වලින් මිදී යාමට වුවමනා වුවත් ඊට ඉඩක් දීමට ඇය සූදානම් වූයේ නැත.අකලංකගේ මුහුණට නැගුනේ මද සිනහවකි.ඒ සිනහව ආදරණීයය.
ඒ සිනහවෙන්ම ඔහු වටපිට බැලුවේ තමා දෙස කවුරුන් හෝ බලා සිටිනවාදැයි සැකයෙන්ය.
තමාගේ මේසයට හිස ඔබාගෙන ඈ කුමක් හෝ වැඩකි.එසේත් නැතිනම් ලැප්ටොප් තිරය දෙස බලාගෙනය.කිහිප වරක්ම ඈ හිස ඔසවා තමාගෙන් යමක් අසන්නට තැත් දරද්දී ඇගේත් ඔහුගේත් නෙතු එකිනෙක යා වෙයි.ඒ සෑම වරකම වරදක් කර හසු වූවා සේ බිම බලා ගන්නට ඉන්මන් වනුයේ අකලංකය.
නිවසේදී යහළුවන් හමුවන මිතුරු සාදයකදීත් බැලූ බැලූ අත අකලංකට මැවී පෙනෙන්නේ යුවතියගේ රුවය.තමාට තමාවම අහිමිව යන්නට ඉඩ දී ඔහු බලා සිටියේ කැමැත්තෙන්මය.
ඇය තමාගේ වෘත්තිය ජීවිතයට පමණක් නොව පුද්ගලික ජීවිතයටත් අවැසි වූ අයකු යැයි අකලංක තීරණය කළේ එවේලෙහිය.
සිත මේ මේසා පාළුවකින් කාන්සියකින් පිරී ඇත්තේ පුද්ගලික ලේකම්වරිය කාර්යාල කාමරයේ නොමැතිකමින් නොවන බවත් සිතෙහි ඇඳී උන්, හදවතෙහි ඉඩක් අත්පත් කරගෙන උන් යුවතිය දෑස්මානයේ නොමැති නිසා බවත් ඔහු ස්ථිරවම වටහා ගත්තේ එවේලෙහිය.
දිනාරා නිවාඩු ලබාගෙන තිබුණේ දානමය කටයුත්තකට යනවා යැයි පවසමින්ය.ඒ කොහෙදැයි අසන්නටවත් තමාට මතකයක් නොවූ බව අකලංකට පසක් වූයේ එවේලෙහිය.
හිමාෂා පැමිණ වීදුරු දොරට තට්ටු කරන තුරුම තරුණයා වූයේ ඒ සිතුවිල්ලේය.
“ ගුඩ් මොර්නින් සර්..”
“ ගුඩ් මෝර්නින් හිමාෂා….”
“සර්..අර පෲට්ස් ගෙන්නන කම්පැනි එකට යවන ලෙටර්ස් දෙක සයින් කලාද.දිනාරා රෙඩි කරලා ගියා කිව්වා.විශ්ව සර් කිව්වා ඒක ඉල්ලන් එන්න කියලා”
“ ඒක රෙඩි කරලා ගිහින් තියෙන්නේ.සොරි මට අමතක වුනා.”
“ සර් අසනීපෙන්ද….”
එවර හිමාෂා ඇසුවේ අකලංක දෙස විමසිල්ලේ බලමින්ය.වසර කිහිපයක් තිස්සේ ඈ මෙම කාර්‍යාලයේම රැකියාවෙහි නිරත වේ. සේවා කාලය අනුව බැලුවහොත් අකලංක රාජකාරී බාර ගත්තේ ඇයටත් පසුවය.දිනාරා පැමිණෙන්නට පෙර අකලංකගෙන් අතපසු වන වැඩ කොටස හැකිතාක් තමා යටතට පවරා ගනිමින් ඔහුව නිදහස් කලේ ඈය.එනිසාම දෙදෙනා අතර වූයේ ලෙංගතු සබඳතාවයකි.
“ ඇයි හිමාෂා එහෙම අහන්නේ.”
“ සර්ගේ මූණත් එක්ක මැලවෙලා ගිහිල්ලා.පේන් කිලර්ස් මොනවා හරි ගෙනත් දෙන්නද සර්..”
“ අනේ එපා හිමාෂා.එහෙම අසනීපයක් නැහැ.මට ටිකක් කම්මැලි හිතුනා..”
අකලංක ලිපි දෙක සඳහා අත්සන් තැබුවේ හිමාෂා බලා සිටියදීමය.ඇගේ මුහුණෙහි වූයේ සරදම් සිනහවකි.ඔහුගේ වූයේ සැබෑම වෙනසකි.
“ හිමාෂා “
“ සර්..”
“ දිනාරා දානයක් කියල නේද නිවාඩු ගත්තේ ..මට අහන්නත් බැරි උනා ඒ ගැන විස්තර.”
“ ඔව් සර්..දිනාරාගේ අම්මා නැති වෙලානේ.එයාගේ දානේ..”
“ මේ ළමයා හරි ළමයෙක්නේ. මට නිකමටවත් ඒ බවක් කිව්වේ නෑනේ හිමාෂා.ෂහ්…”
අකලංක ස්ය නළලත මිරිකා ගත්තේ මහත් වූ පසුතැවීමකින්ය.
“ ලොකු සර් දන්නවා…මං හිතන්නේ පිරිකර වලට සල්ලි දීලා තිබුණා.”
“ ඒකනේ මං ඒ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැ. එතකොට එයා දැන් නතර වෙලා ඉන්න ගෙදරද ඒ දානේ තියෙන්නේ.”
“ නැහැ සර්.. දසසිල් මාතා ආරාමයකට තමයි දානෙ දෙනවා කියලා කිව්වේ.”
“ හරි හිමාෂා ඔයා යන්න.අයියට කියන්න මම හවසට චුට්ටක් එළියට යනවා කියලා…”
“ හරි සර් මං කියන්නම්.අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න සර්. පර්සනල් ලොන් ෆයිල් ටික දිනාරා ඊයෙම රෙඩි කරලා ගියපු නිසා ඒ තරම් ලොකු වැඩක් නෑ සර්..”
“ හරි හිමාෂා … මම උවමනාවක් උනොත් කතා කරන්නම්..”
අකලංකා එසේ පැවසූයේ යළිත් තම සුවපහසු අසුනට බර වෙමින්ය.හිමාශා කාර්යාල කාමරයෙන් නික්ම ගියේ ඒ අවසරයෙන්ය.
( යළිත් හමු වෙමු ආදරයෙන්….)