“ඩොක්ටර් ශ්‍යාමනී රට ගියයින් පස්සෙ සනූව පෙන්නන්න වෙන හොඳ ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්න වෙයි නේද නංගි?” කියා තරංගා විමසන ගමන් නර්මදා අතේ තිබ්බ තේ කෝප්පයෙන් උගුරක් රස බැලුවාය.
කොහොමත් සති දෙකකට වතාවක්වත් තරංගාවත් සනුකිවත් බලා යන්න ගෙදර වත්තේ වැවෙන එලවලු, පොල්, පලතුරු ආදිය අරගෙන දෙණියායෙ හිඳ කොළඹ එන්න භානුකත් නර්මදාත් අමතක කරන්නේ නැත.
“අනේ නංගි ඔයා ඕන තරම් කල් මහගෙදර ඉන්න” කියා නර්මදා කොච්චර කිව්වත් තමන්ට කියා ඉන්නෙ අයියාත් අක්කත් විතරක් වෙච්ච එකේ ඒ මිනිස්සු දෙන්නටත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න හිතාගෙන සනුකිත් එක්ක තරංගා කොළඹ ඇවිත් දැන් මාස කිහිපයකි.
භානුකටත් නර්මදාටත් දරුවන් නැති හන්දාම භානුකගේ මහ ගෙදර තනියම ඉන්න දෙන්නාත් සනුකිට සලකන්නේ තමන්ගේම දරුවෙක් විදියටය. සනුකි අසනීපෙන් ඉන්න එක ගැන තරංගා තරමටම දුක්වන්නී නර්මදාය.
“අනේ ඔව් අක්කෙ, ඩොක්ටර් ශ්‍යාමනී කිව්වා අලුත් ඩොක්ටර් කෙනෙක් එනව ඉන්ග්ලන්ඩ් වල ඉඳලා, එයාට රෙකමන්ඩේශන් එක දෙන්නම් කියල. ඒ උනාට ඉතින් සනුකි ගැන මටත් වඩා හොඳට දන්නෙ ඩොක්ටර් ශ්‍යාමනී වෙච්චි කොට මට නිකන් හිතට හරි මොකද්ද වගේ ඒ මනුස්සය යන එක ගැන”
“ඒක නම් එහෙම තමයි. ඒ උනාට ඉතින් එහෙම කියල මොකෝ වලක්වන්න යැ ඒ මනුස්සයගෙ ගමන්. බයවෙන්න එපා මං හිතන්නෙ නෑ ශ්‍යාමනී නොහොඳ කෙනෙක්ව රෙකමන්ඩ් කරාවි කියල. අපි බලමුකො” කියන ගමන් නර්මදා බලන්නේ සනුකි එක්ක අම්මාවත්, නැන්දාත් තියා භානුක තමන්ගේ කැමරාවෙන් ගත් ජායාරූප රාමු කර එල්ලා ඇති බිත්තියයි. ඒ පින්තූර වල සනුකි අම්මා එක්ක හිනාවෙමින්ද, මාමාගේ සහ නැන්දාගෙ අතට මාරුවෙමින්ද උන්නට තාත්තා කෙනෙකු නැති හිස්බව ඒ පින්තූරවල ඇති එක නොදැක ඉන්න නර්මදාට නොහැක.
මොන දේ වුණත් දරුවෙක් ඉන්න අම්මෙක් උනත්, ඒ අසනීප දරුවා බලාගනිමින්, උපයමින්, සියල්ල සමබරව ගෙනයන්න වෙහෙසන ගැහැණියක වුණත් තරංගා තවමත් ඇත්තටම ලස්සන, තරුණ පෙනුමක් තියෙන කෙල්ලෙකි. එහෙම කෙල්ලෙක්ට සැමියාගෙන් වෙන් වී මෙහෙම තනියම දරුවෙක් හදාගෙන සන්තෝසෙන්, කරදරයක් නැතුව ජීවත්වෙන්න සමාජය ඉඩ තියන්නේ නැත.
“මං නම් තාම නංගිට කියන්නේ” කියා නර්මදා කතාව පටන් ගත්තට තරංගා ඒ වචන පේළියට එහයින් කිසිවක් කියන්න නර්මදාට ඉඩ දෙන්නේ නැත.
“අක්කා හැමදාම කෙල්ලගෙ ෆොටෝ බලලා ඔය කතාවමනෙ කියන්නෙ. අනේ අක්කේ අදත් ඔය කතාව පටන් ගන්න එපා. කොච්චර කරත් මට හැමදාම අක්කට දෙන්න තියෙන්නෙ එකම උත්තරේ තමයි”
“එහෙම නෙවෙයි නංගි, මොන දේ උනත් අපිත් නැති කාලෙක සනුකිටයි ඔයාටයි කියල නෑයෙක්, හිතවතෙක් ඉන්න ඕන නේද? අපි කොච්චර සින්ගල් මම්ස් ලා, ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්ලා ගැන කතා කරාට අපේ වගේ සමාජ ඇතුලෙ අසනීප වෙච්ච දරුවෙක් එක්ක තනි ගෑණියෙක්ට ඔලුව උස්සන් ඉන්න එක හරි අමාරුයි. වැරදි මිනිස්සු ලංවෙන්න බලනවා. පිරිමියෙක්ගෙ හයිය නැතුව ඔයාට මේ ජීවිතේ එන්න එන්න අමාරුවෙන එක විතරයි වෙන්නෙ. අඩුම නමට හරි පිරිමියෙක් උන්න නම් මේ වැඩවලින් භාගයක් හරි ඒ මනුස්සය එක්කල බෙදාගන්න තිබ්බනෙ. මං කියන්නෙ නංගි අපි තව එකපාරක් මේධංග මල්ලි එක්ක කතා කරලා බලමු කියලා”
“ තමන්ගෙ ලෙයින් ඉපදිච්ච දරුවට දාහක් කතා කියල යන්න පුලුවන් වෙච්ච එකේ අක්කා හිතනවද මේධංග ආයෙ මේ සෙට්ල් වෙන්න කැමති වෙයි කියලා? අනික මොකටද අක්කෙ එහෙම සෙට්ල් වෙන්නෙ? දාහක් කතා අහ අහා මොකටද අක්කෙ මම එහෙම තැනක ඉන්නෙ? හිත සැනසෙන්න වචනයක් ඇහෙන්නෙ නැති තැනක ඇයි මම ඉන්නෙ? අනික දැන් ඒ මිනිස්සු කියන කතා සනුකිට තේරෙන්නෙ නැති හන්දා හොඳයි. තේරෙන කාලෙක ඒ දරුවගෙ හිත කොච්චර කැඩේවිද අක්කෙ තමන්ගෙ තාත්තගෙ කටෙන්ම ඔහොම දේවල් අහන්න වෙන එක? ඊට හොඳයි අක්කෙ මේ වෙච්ච දේවල්. අඩුමගානෙ ඔක්කොම දේවල් අහන් ඉඳලා හිත රිද්දගත්තෙ මං විතරනෙ. ඕනතරම් දරුවො ඉන්නවනෙ අක්කෙ තාත්තල නැතුව ජීවත්වෙන. ඒ හන්දා කමක් නෑ. මේ හොඳයි”
ඒව ඇති අක්කෙ කතා පොත්වල. ඇත්ත ජීවිතේ එහෙම වෙන්නෙ නෑ. දරුවව මොකක් හරි තැනක නතර කරලා මාව විතරක් භාරගන්න නම් මේධංග කැමති වෙයි. හැබැයි දැන් නම් මට ඒකවත් ශුවර් නෑ.” කියා නර්මදාත් භානුකත් හිස් කර මේසය උඩින් තිබූ තේ කෝප්ප අතට ගත්ත තරංගා කුස්සිය දිහාට ඇවිදන් යද්දි නර්මදාත් ඒ පස්සෙන් ගියේ භානුකගේ අතේ නැලවෙමින් ඉන්න සනුකිගේ හිස යන්තමට වගේ අත ගාගෙනය.
“පිරිමින්ගෙ හැටි එහෙම වෙන්නැති නංගි. ඒ උනාට ගෑණියි මිනිහයි අතරෙ ඔහොම ප්‍රශ්න, නොහොඳ නෝක්කාඩු වෙනවා. ප්‍රශ්න නොවන, රණ්ඩු නොවන ජෝඩු ඉතින් මේ ලෝකේ නෑනෙ නංගි. මේධංග උනත් දැන් කල්පනා කරනවා ඇති කලබල උනා කියාල. අනික දරුවෙක්ට ඇත්තටම උස් මහත් වෙන්න අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ආදරේ, රැකවරණය ඕන. සනුකිට උනත් තාත්තගෙ ආදරේ ලැබුනොත් එයාගෙ ඔය කෑගහල අඬන ඒව, තරහ යන ඒව උනත් අඩු වෙන්න පුලුවන්. බලන්න දැන් කෙල්ල භානු අතේ ඉද්දි නැලවිලා ඉන්නවා”
ඔය කතා ඔක්කොම ඇත්ත වුණත් ආයෙ ඒ කරුමක්කාර ජීවිතේට යන්න අදහසක් තරංගාට නැත. මේධංග ජිවීතයේ උන්නේ පිරිමි ගැන උගන්නන්න පුලුවන් හැම නරක පාඩමක්ම උගන්නමින් බව තරංගාට තවමත් අමතක කරන්නට නොහැක. මේධංග දැන් වෙනදාටත් වඩා සැහැල්ලු, සමනල ජීවිතයක් ගත කරන බව එහෙන් මෙහෙන් ආරංචි උනත්, ආරංචි කරන්න හිත මිතුරන් යැයි සිතූ අය උත්සහ කරත් මේධංග ගැන කතාවක් කියාගෙන කවුරුන් හෝ එද්දීම තරංගා කියන්නේ “අනේ අනේ මට නම් එයා ගැන මොකක් වත් කියන්න එපා” කියාය.
තරංගාට මේධංග වනාහී එච්චරටම අපුල පිරිමියෙකි. එහෙම එකේ අක්කා මොන දේ කිව්වත් ආයෙමත් මේධංග දිහා බලන්න අදහසක් තරංගාට නැත.
“මේ ගේ පිට තැනක් උනාට හැබැයි තමන්ගෙ තැනක් වගේ නිස්කලංකයි නේද?” කියා නර්මදා ඇහුවේ කුස්සියේ සින්ක් එක ඉස්සරහින් උද්‍යානය පේන විදියට හදා තිබෙන තනි පලුවේ විසල් වීදුරුව විවර කරමිනි. උයන වෙලාවට ඔය ජනේලේ ඇරගෙන ඉන්න එක සනීප බව කියන ගමන්ම තරංගා අක්කා දිහා බලාගෙන හිනා උනාය.
“මෙහෙ ඇත්තටම මට මේධංගගෙ ගෙදරට වඩා හොඳයි අක්කෙ. වීරමන් අංකලුයි ආන්ටියිත් හරි හොඳයි. හස්බන්ඩ්ට මොකද? ඇයි සෙපරේට්? වගේ පර්සනල් දේවල් අහන්න එන්නෙත් නෑ. දොර ජනෙල් වලින් එබිකම් කරන්න එන්නෙත් නෑ.
මේ ගේ හැදුවෙ එයාගෙ ලොකු පුතාට බැඳලා ඉන්න බවයි, ඒ ළමයි ඔස්ට්‍රේලියාවෙ පදිංචියටම ගියා කියලයි කිව්වා ඇරෙන්න දැක්කම හිනා වෙනවා ඇරෙන්න, ඇයි මං ගෙදරම ඉන්නෙ, ඇයි හස්බන්ඩ් අපි එක්ක නැත්තෙ කියලවත් අහන්න ආවෙ නෑ. මට ඇත්තටම නිස්කලංකයි අක්කෙ. දවස තිස්සෙ වැඩ කරන්න වෙන එක ඇත්ත. ඒ උනාට මේධංගගෙයි, එයාලගෙ අම්මගෙයි කෑ ගැහිලි වලින් නිදහස් වෙන්න ලැබිච්ච එකම මට ඇති අක්කෙ වෙනදට වඩා සන්තෝසෙන් ඉන්න”
සනුකිගේ වෛද්‍යතුමිය වුණ වෛද්‍ය ශ්‍යාමනී එංගලන්තය බලා ගියේ සනුකිව පෙන්වන්න අලුතෙන්ම එන වෛඳ්‍යවරයෙකු ගැන තොරතුරු තරංගා අත පත් කර ය. ඒ භානුකත් නර්මදාත් ඇවිත් සතියකට පස්සේ දවසකය. සනුකිවත් එක්කරගෙනම තරංගා වෛද්‍යතුමිය හම්බෙන්න ගියේ ඇයට ගෙනියන්නට පොඩි තෑග්ගකුත් අරගෙනය. මේ අවුරුදු කිහිපය පුරාවටම ඇය කල උදව්, ලබාදුන් මාර්ගෝපදේශයන් සනුකිව මේ තරම් වත් තත්ත්වයක තබාගන්න උදව්වක් වෙච්ච බවත්, තමන්ට පවා හයියට ඉන්නට හේතුවක් වෙච්ච බවත් අමතක කරන්න බැරි හන්දාම වෛද්‍ය ශ්‍යාමනී ලංකාවෙන් යන එක ගැන දුක් නොවී ඉන්න තරංගාට පුලුවන්කමක් තිබ්බේ නැත.
“තරංගා, මං කලිනුත් කිව්ව වගේ මේ වගේ අසනීපයක් අපිට සහමුලින්ම සනීප කරන්න බෑ. එහෙම පුලුවන්, මිරැකල් එකක් වෙයි කියල බොරු බලාපොරොත්තු තියා නොගන්න තරමට මම හිතන්නෙ අපිට ඇත්තට මූණ දෙන්න ලේසියි.
මේ ඩොක්ටර් වීරබාහු කියන්නෙ මේ සනුකි වගේ බබාලාට හැදෙන ඕටිසම්, ඒඩීඑච්ඩී ගැන හොඳටම ස්ටඩි කරල තියෙන ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් අවුරුදු ගාණක්ම ඉන්ග්ලන්ඩ් ඉඳලා එන්නෙ දිගටම ලංකාවෙ නතර වෙන බලාපොරොත්තුවෙන් නිසා මම හිතන්නෙ ඔයාට බයවෙන්න දේකුත් නෑ.
මම එකට වැඩ කරලා නැති උනාට ගොඩක් මෙඩිකල් කන්ෆරන්සස් වලදි එහෙම මට ඩොක්ටර්ව මීට් වෙලා තියෙනවා. ඒකමයි මම ඔයාට ඩොක්ටර් වීරබාහුවම රෙකමන්ඩ් කරන්නෙ. මම ඩොක්ටර්ටත් ඉන්ෆෝම් කරලා තියෙන්නෙ ඔයා ගැන. ඒ නිසා වොරි වෙන්න හේතුවක් නෑ. මගේ පර්සනල් නම්බර් එකත් තියෙනවනෙ ඔයා ළඟ. ඕන වෙලාවක ඉතින් කතාකරන්න”
තරංගාට වෛද්‍ය වීරබාහුට සනුකිව පෙන්වන්න යන්න තිබුණේ සති අන්තයේ දවසක හවස් වරුවේය. සතියෙ දිනවල කොහොමත් වැඩ රාජකාරි බහුල හන්දා ඩොක්ටර් විසිට්ස් වලට සනුකිව අරගෙන යන්න තරංගා දාගන්නේම සති අන්තයේ දවස් ය. උදේ අට හමාරේ සිට හවස පහමාර වෙනකම් ඔන්ලයින් ඔෆිස් එකට ජොයින් වී වැඩ කරන තරංගා හැන්දෑවේ තවත් ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට් එකක් දෙකක් භාර අරගෙන කරන්නේත් සල්ලි කොච්චර හෙව්වත් මදි බවත්, සනුකිට දුකක් නොදී ජීවත් කරවන්න සල්ලි උවමනා වන බවත් දන්න හන්දාමය.
“මං මොන දුක වින්දත් කමක් නෑ අක්කෙ. මගෙ කෙල්ලට දුකක් විඳින්න මම ඉඩක් තියන්නේ නෑ. තාත්තෙක් නෑ කියල දරුවට අඩුවක් පාඩුවක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ.අසනීප තියෙන දරුවෙක් විදියට ඉපදිච්ච එකම ඇති අක්කෙ ඒ දරුවට මේ ජීවිත කාලෙම විඳවන්නෙ. ඒ හන්දා මං දෙන්න පුලුවන් උපරිම සැප දරුවට දෙනවා” කියා තරංගා අඬමින් නර්මදාට කිව්වේ මේධංගගේ ගෙදරින් එළියට බහින්න වෙච්ච වෙලේ යන්න තැනක් නැති හන්දා දෙණියායේ මහගෙදරට ආ රැයේය.
සනුකිව උකුලෙ තියාගෙන වෛද්‍ය සාගර වීරබාහුගේ වෛද්‍ය කුටියෙන් එළියේ වාඩි වී තමන්ට කැඳවීම ලැබෙන තුරු ඉන්නා අතරේ තරංගා කල්පනා කරේ ඔන්න ඕවාය.
“සනුකි ගුණරත්න” කියා නර්ස් නම කියද්දී සනුකිව වඩාගෙන නැගිට්ට තරංගා එකාතකින් අත් බෑගය කරේ රඳවගත්තාය.
“ගුඩ් ඊව්නින් ඩොක්ටර්” කියාගෙනම මද සිනාවක් එක්ක වෛද්‍යවරයාගේ කුටිය තුලට ගිය තරංගා දුටුවේ දකින්න බලාපොරොත්තුවෙන් උන් අයෙකු නොවේ.
ඔහුව මීට පෙර හමු වී තිබේ.
ඒක ඇත්තකි.
ඒත් ඔහුව මතක තිබුණේ ඇයි කියා තරංගාට හිතාගන්නට නොහැක.