සාගර තරංගා – 15

0
6530

තරංගා නොදැන උන්නාට මේධංග  උන්නේ තරංගා කුමක් කරනවාද, ඉන්නේ කාත් එක්කද කියා අවදානයෙනි. “ඩිවෝස් වෙන්න ලෑස්‍තිවෙන්න” කියා මහ ලොකුවට කිව්වාට තමන්ට ඇත්තටම තරංගාව ඩිවෝස් කරන්න උවමනාද කියන කුකුස මේධංගට තිබුණේය. මේධංගට ජීවිතයෙන් ඉවත් කර දමන්න උවමනාව තිබුනේ සනුකිව මිසක් තරංගාව නොවේ. තරංගා වනාහී තමන්ගේ සියලු අවශ්‍යතාවයන් තමා බලාපොරොත්තු වූ ආකාරයටත් වඩා ඉහලින් මුදුන්පත් කල ගැහැණියකි. ඇයට කරන්නට බැරිවෙච්ච එකම දේ තමන්ට නිරෝගී දරුවෙකු බිහි කර දෙන එක පමණකි. 

“දැන් ඇත්තටම මොකද්ද ළමයො වෙන්නෙ? දික්කසාදෙකට යනවනම් ඒකට ඕන කරන කටයුතු සූදානම් කරගන්න ඕන නේද?” කියා අම්මා ඇවිත් අහද්දීත් මේධංග කල්පනා කරමින් උන්නේ තරංගා සම්බන්දයෙන් කුමක් කල යුතුද කියාය.

“අම්මට මොකද්ද ඔච්චර තියෙන හදිස්සිය මාවයි තරංගවයි ඩිවෝස් කරන්න?”

“හදිස්සිය? මට තියෙන හදිස්සිය? යකෝ උඹලම නේද මෙතන නයයි මුගටියයි වගේ කෙහෙ වලු පටලවගෙන ඩිවෝස් වෙනවා කියල උඩ දාගෙන කෑගැහුවෙ? මං ඇහුවෙ ඒක ගැන. හරියට නිකන් මේ මං කරලා දීල, මංම ආපහු කඩන්න බලනව වගේනෙ උඹ කතාකරන්නෙ.දැන් උඹ තරංගව ළමයා එක්ක පිටත් කලේ දික්කසාද වෙනව කියලනෙ. මං ඇහුවෙ ඒක ගැන”

“අම්මට වැඩක් නෑනෙ ඒක. මම බලාගන්නම් ඒක ගැන. මං අනික කිව්වනෙ මම ඩිවෝස් වෙනවා කියලා තරංගවයු අරකිවයි මෙහෙන් යැව්වෙ ඩිවෝස් වෙන්නම නෙවෙයි. පාඩමක් උගන්නන්න හිතාගෙන. ගෑණියෙක් උනාම දැනගන්න ඕන මිනිහගෙ ගෙදර වැටිලා ඉන්නවනම් ඒ විදියට ඉන්න. උඩ දාගෙන මාත් එක්ක හරි වැරැද්ද කතා කරන්න ආවට හොඳ වැඩේ”

“දැන් උඹ හිතන් ඉන්නෙ උඹ තරංගාට කිව්ව කරපු දේවල්වල හැටියට තරංගා ආයෙ ළමයව උස්සගෙන උඹ එන්න කිව්වම එන්නයි යන්න කිව්වම යන්නයි ලෑස්තිවෙලා ඇති කියලද. අනෙ මේ ගොනෝ. ඒකි උඹට නිකමට කෝල් එකක්වත් දීලා අඬා වැලපුණාද? කොටින්ම උඹ ඩිවෝස් එක ඕන කිව්වමවත් ඒකි ඇඬුවද? නෑ. ඒකිටත් ඕනවෙලා තිබ්බෙ මයි හිතේ මෙතනිනුයි උඹෙනුයි තොලොංජි වෙලා යන්න. උඹ ගොනා වගේ පණින රිලවට ඉණිමං බැන්දා”

ඇත්තටම වුනේ ඒකද කියා මේධංග පවා හිතන්න ගත්තේ කුසුමලතා ඕන් ඔය කතාව කිව්වයින් පස්සේය.

තමන් බලාපොරොත්තු උනේ තරංගාට හොඳ පාඩමක් උගන්වන්න උනත් උනේ ඒකෙ අනිත් පැත්තද කියා මේධංග කල්පනා කරන්න පටන් ගත්තේ ඉන්පස්සේය. මේධංග තරංගා කුමක් කරනවද, ඉන්නේ කොහෙද කියා හොයන්න පටන් ගත්තේ ඉන්පස්සේය.

තරංගා ඉන්නේ නිවසක් කුලියට අරගෙන දරුවා එක්ක තනියම බවත්,රැකියාවෙන් අස් වී දරුවා ලැබුණයින් පස්සේ තරංගා යැපුනේ තමන්ගෙන් වුනත් දැන් ඇය පූර්ණ කාලීන රැකියාවක් මෙන්ම අර්දකාලීන රැකියාවන් කිහිපයක්ද කරමින් ජීවත්වෙන බවත් මේධංග දැනගත්තේ ඒ හෙවිල්ලේ ප්‍රතිඵල අනුවය. තරංගා නැවතී හිඳින්ව් ඇනෙක්සිය අයිති මහලු යුවලගේ දරුවන් පිටරට සිටින නිසාවෙන් ඔවුන්ද තරංගාට දරුවෙක්ට මෙන් සලකන බවත් මේධංග ඒ හෙවිල්ලෙන් හොයාගත්තේය.

ඒ හෙවිල්ලේ ප්‍රතිඵල අනුව මේධංගට උවමනා උනේ තරංගාට ආපහු වතාව්ක තමන් ලඟට එන්නට හේතු කාරණාවක් සපයන්නටය. තමන්ගේ නිවසින් පිටවී ගිය මාස කිහිපයටම තරංගා ඇමතුමක් දුන්නේ තමන් ආපසු වතාවක් කොළඹ පදිංචියට ආ බව කියන්නට පමණි. එදාද තමන් ඇයට සමච්චල් සහගත ලෙස කතා කල නිසාවෙන්දෝ ඉන්පසු ඇය කෙටි පණිවිඩයක තරමේ දෙයක් තමන්ට එව්වේ නැත.

“ඕකිගෙ ඉස්සර ඉඳලම පුදුම ලොකුකමක්නෙ තිබ්බෙ. මට වඩා ක්ලාස් එකක් වැඩිපුර ඩිග්‍රී එකේ ගත්ත හන්දයි, මට කලින් මාස්ටර්ස් ඉවර කල හන්දයි, මට කලින් ජොබ් එකේ ප්‍රමෝට් වෙච්ච හන්දයිත් ඒකි හිතන් ඉඳියෙ ඒකි මේ හෙන බඩුව කියලා. පුකට පයින් ගහලා ගෙයින් එලියට ඇදලා දැම්මයින් පස්සෙත් ඒකි නෙවෙයි අඬාගෙන ආවෙ. ඒ තරම් ලොකුකම. අනික දෙණියායෙ මහ එවුන් දෙන්නත් ඉන්නවනෙ හැම මගුලටම උඩ ගෙඩි දෙන්න”

“උඩගෙඩි දෙන්න මොකා උන්නත් භාරගන්න මොකෙක්වත් නෑනෙ. ලෙඩ ළමේක් එක්ක ගෑණියෙක් භාරගන්නෙ මොන මෝඩයද?” මේධංග කිව්වේ කට ඇදකර එතන නැති තරංගා කෙනෙකු ඉන්නවා කියා හිතෙන් මවාගෙන සමච්චලේට හිනාවෙමිනි. 

“ඇයි උඹ ඉන්නේ” කියා කියන්න හිතුණත් කුසුමලතා කරේ සද්ද නැතුව එතනින් පිටත් වී යන එකය. ලෙඩ ළමේක් එක්ක ගෑණියෙක් කියන එකටත් වඩා කුසුමලතාට තරංගා පෙන්නන්න බැරි හේතුව මේධංග දෙමව්පියන් කියන දේ අහන්නෙ නැතුව තමන් කැමති ගැහැණියක කසාද බැඳගත්ත එකය. විවාහයෙන් මද කලක් යද්දී ඒ නොරිස්සුම හිතේ අඩියේම තැන්පත් වෙන්න කාලය හේතුවක් උනත් නොසිතූ ලෙස සනුකි ලෙඩ දරුවෙකු බව දැනගන්නට ලැබීම ආයෙම වරක් තරංගා දෙස වපරැහින් බලන්න කුසුමලතාට හේතු කාරණා සැපයුවාය.

මේ කිසිත් නොදත් තරංගා උන්නේ ඊලඟට කල යුත්තේ කුමක් ද කියා හිතාගන්න බැරුවය. සාගර එදා තමන්ගෙන් අරහෙම ප්‍රශ්නයක් අහද්දීවත් තමා උන්නේ ඇත්තටම කිසිවක් ගැන පැහැදිලි අදහසක් නැතුව බව දැන උන්නේ තරංගා පමණකි.

“ඔයා ඩිවෝස් කියන ටර්ම් එක යූස් කරේ ඒ ගැන තීරණයක් අරගෙනනෙ. ඒ කියන්නෙ අපිට තව ඒ ගැන කතාකරන්න දෙයක් නෑනෙ. මම ඇත්තටම ඇහුවෙ බබා ගැන. ඔයා ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?”

“ඕටිසම් හැදිච්ච දරුවෙක් සාමාන්‍ය දරුවෙක් වගේ ඉස්සරහට යාවි කියල බලාපොරොත්තු වෙන එක හරිද වැරදිද කියන එකවත් හිතාගන්න බැරුව ඩොක්ටර් මම ඉන්නෙ. මට ඇත්තටම හිතේ ලොකු බයක් තියෙනවා මම අපේ අයියයි අක්කයි නැති දවසක සනුකිට කාත් කවුරුවත් නැතිඋනොත් කියලා”

“ඔයා ඔහොම කියන එක ගැන මම ඇත්තටම පුදුම වෙන්නෙ නෑ තරංගා. ලංකාවෙ විතරක් නෙවෙයි යූකේවල උනත් අම්මල තමන්ගෙ දරුවො ගැන හිතන්නෙ, එයාලා ගැන කතාකරන්නෙ එකම විදියට, එයාලා ගැන හිතන්නෙ පතන්නෙ එකම විදියට කියන එක මම හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. එකම වෙනස අපේ රටවල ඒ රටවලට වඩා ඔහොම හිතන අම්මලා වැඩි එක විතරයි.

ඕටිසම් කියන්නෙ ලෙඩක් කියලා හිතන්නෙ මේ අපේ වගේ රටවලනෙ වැඩිහරියක්. ඇත්තටම ඒක කන්ඩිශන් එකක්. අපි ඕනම කෙනෙක් කැමතියි ඉතින් අපේ දරුවා පොඩිවත් ප්‍රශ්නයක් නැතුව ඉපදෙනවට. ඒ උනාට ඉතින් අපි හිතන පතන හැමදේම ඒ විදියටම වෙන්නෙ නෑනෙ තරංගා. දැන් අපි කරන්න ඕන හීන් සැරේ දරුවව තේරුම් අරගෙන ඉස්සරහට යන එක.

ඕටිසම් හැදුණ දරුවෙක්ට උනත් තියෙන්නෙ ජීවිතයක්නෙ තරංගා. අනිත් සාමාන්‍ය දරුවන්ට වඩා එයා ජීවිතේ පටන්ගන්නෙ ඉස්සරහට යන්නෙ හෙමින් වෙන්න පුලුවන්. හැබැයි ඒ උනත් එයාලට තියෙන්නෙ ජීවිතයක්. අපිට චුට්ටක් මහන්සි වෙන්න පුලුවන් නම් අනිත් අම්මලට වඩා මේ වගේ දරුවන්ව උනත් ජීවිතේ ඉස්සරහට අරගෙන යන එක අමාරු දෙයක් නෙවෙයි”

“මං දැනුවත්ව කවදාවත් කිසිම කෙනෙක්ට වරදක් කරපු කෙනෙක් නෙවෙයි ඩොක්ටර්. එහෙම එකේ මගේ දරුවටම මෙහෙම උනේ ඇයි කියන ප්‍රශ්නෙන් ගැලවෙන්න මට කවදාවත් පුලුවන් වෙයි කියල මං හිතන්නේ නෑ”

“ප්‍රශ්න තියෙන්නෙ ගැලවෙන්න නෙවෙයිනෙ තරංගා. උත්තර දෙන්න. අනික දැන් ඔයා කිව්වනෙ ඔයාගෙ දරුවටම මෙහෙම උනේ ඇයි කියන එකයි ඔයාට තියෙන ප්‍රශ්නෙ කියලා?” සාගර ඇහුවේ ආපසු යන්නට මෙන් වාඩි වී ගෙන උන් බංකුවෙන් නැගිටින අතරවාරයේම තරංගා දෙස නෙත් යොමා බලමිනි. 

සනුකි ඒ වෙද්දී උන්නේ සාගරගේ පුලුල් උරහිසේ ගැඹුරු නින්දකට වැටීය. රාත්‍රියේ ගාලු මුවදොර පිටියේ සිහිල් හුලඟත්, නිහඬතාවයත්, සාගරගේ උරහිසේ තිබූ යම් සුවබර හැඟීමකුත් ඒ සුව නින්දට පාර කැන්දා තිබුණි.

“සනුකිට නැතුව වෙන කෙනෙක්ගෙ බබෙක්ට මේ තත්ත්වෙ ආවනම්, අද මෙතන ඔයා වෙනුවට එයා හිටියනම් කියලා හිතන්නකො.ඔයා දැන් මේ විඳින දුක වෙන අම්මා කෙනෙක්ට විඳින්න උනා නම් කියලා හිතන්නකො

හිතට සැනසීමක් එනවද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here