ඔබේ නිවස ඔබව ලෙඩ කරනවාද?

අපි වැඩියෙන්ම ඉන්න කැමතිම තැන අපේ නිවසයි. නමුත් ඔබේ ආදරණීය නිවසට ඔබව ලෙඩ කරනට හැකි බව ඔබ දැනසිටියාද? පිළිවෙළක්‌ නැතිව හදපු ගෙදරක ඉන්න විට හැදෙන බරපතළ රෝගයක්‌ ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය හඳුන්වන්නෙ Sick Building Syndrome (SBS) ලෙසයි. ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ රෝගය පිළිබඳවත් එයින් මිදී ජීවත්වීම ගැනත් දැඩි අවධානයක්‌ යොමු කර ඇතත් තවමත් එවැනි දැනුවත්භාවයක්‌ හෝ සූදානමක්‌ නොමැති  අපට මෙය තවමත් ආගන්තුක රෝගයක්.

අලුත් රෝගයක්‌ නොවන මෙය ලෝකයේ වෙනත් රටවල වගේම දීර්ඝ කාලයක සිට අපේ රටේත් තිබෙන රෝගයක්‌. නමුත් නොදැනුවත්වම මේ රෝගය නිසා විවිධ රෝගාබාධයන්ට ලක්‌වෙලා දීර්ඝ කාලයක්‌ දුක්‌විඳින ඇතැම්විට ඒ නිසාම ජීවිතයෙන් සමුගන්න සෑහෙන පිරිසක්‌ අපේ රටේත් සිටිනවා.

අපට ජීවත්වෙන්න ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකය ඔක්‌සිජන්.  හරිහැටි වාතාශ්‍රය නොලැබීමෙන් ශරීරයට අවශ්‍ය පමණට ඔක්‌සිජන් නොලැබීම නිසා වගේම නිවාස සහ කාර්යාල ගොඩනැගිලි ඇතුළත තිබෙන තිර රෙදි කාපට්‌ ආදියේ වැඩෙන විවිධ විෂබීජ හේතුවෙන් නිවැසියන් රෝගීවීම නිසා මෙම තත්ත්වය ඇතිවේ.

බාහිර පරිසරයට වඩා මේ තත්ත්වය තිබෙන්නේ ගොඩනැගිලි සහ නිවාස තුළ. අද අපේ රටේ බොහෝ තැන්වල බාහිර පරිසරයට වඩා අධික වේගයෙන් නිවාස සහ කාර්යාල ඇතුළත වායු දූෂණයට ලක්වේ. මේ තත්ත්වය නිසාම ඔක්‌සිජන් අඩුකම, කාබන්ඩයොක්‌සයිඩ් වැඩිවීම සහ දූවිලි හේතුකොටගෙන බොහෝ නිවාස සහ කාර්යාල තුළ සිටින අය විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවේ. මේවා හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයන්ගේ සිට හෘදයාබාධ, පිළිකා වැනි තත්ත්වයන් දක්‌වා පැතිර යන්න පුළුවන්. වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ගන්නා විට රෝගී තත්ත්වයන් පහව ගියත් නිවසේ හෝ කාර්යාලයේ සිටින විට නැවත රෝගී වෙනවා. මෙම ලෙඩ රෝගවලට මූලික හේතුවක්‌ හඳුනා නොගත්තද, එම පරිසරය වෙනස්‌ කළවිට මෙම ලෙඩරෝග තත්ත්වය වෙනස්‌ වෙනවා.  දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට SBS ප්‍රධානතම හේතුවක්‌.

ලෝව පවතින ප්‍රධානතම ස්‌වභාවික විෂබීජ නාශකය හිරුඑළියයි. හිරුඑළිය නිවස තුළ වඩාත් නිවැරදිව හසුරුවා ගනු ලබන්නේ කෙසේද යන්නත්, අනවශ්‍ය පරිදි නිවස උණුසුම් වීම වළක්‌වා ගන්නේ කෙසේද යන්නත් පිළිබඳව නිවැරදි අවබෝධයක්‌ අත්‍යාවශ්‍යවේ.

තවද ස්‌වභාවිකව සුළං රැල්ල නිවස තුළට ගන්නේ කෙසේද එය නිවසින් පිට කරන්නේ කෙසේද යන්න තේරුම් ගත යුතුයි. මීට අමතරව ගොඩනැඟිල්ල තුළ පැවතිය යුතු සේවාවන් (ජලය, විදුලිය, දුරකථන, වැසිකිළි කැසිකිළි අපහරණ නළ, ආරක්‌ෂක කැමරා, ස්‌වභාවික ආලෝකය නිවස තුළ කළමනාකරණය ආදී) පිළිබඳව අවධානය යොමුකිරීමත් ඉතාමත් වැදගත්. එහෙම නැතිව වාස්‌තු විශේෂඥයකුට ලවා නිවාස සැලසුමක්‌ ඇඳගත් පමණින් නවස ඉදිකිරීමට හදිසි නොවන්න.  වාස්‌තු විශේෂඥයා, ඉදිකිරීම් ඉංජිනේරුවරයා, ප්‍රමාණ සමීක්‌ෂකවරයා නිවැරදි ලෙස මෙහෙයවා ගත හැකි, ගොඩනැගිල්ලට අවශ්‍ය සේවාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක්‌ සහිත Building Services Engineer කෙනකුගේ සේවාව රෝග වහනයෙන් තොර සුවබර නිවසක් ලබා ගැනීමට යොදාගත හැකියි.

මතක ඇතිව ඔබේ නිවසත් SBS රෝගයට බඳු රෝගවලට නිරාවරණය වී ඇති දැයි ඉක්මනින්ම සොයාබලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles