සාගර තරංගා – 17

0
7239

“ඉතින් තරංගා එදයින් පස්සෙ අල්ලපු ගෙදර අය සද්ද බද්ද දැම්මෙ නැද්ද?” කියා සාගර ඇසුවේ තරංගා සනුකිත් එක්ක ආයෙම වතාවක් ඩොක්ටර් විසිට් එකකට ගිය දවසෙමය. වෙනදාටනම් අම්මාගේ උකුලේ වාඩි වී මේසෙ උඩ තබා තිබෙන සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරමින් ඉන්න කෙල්ල දැන් දැන් සාගරව දකින හැම වෙලාවක කුණු කුණු ගා සාගරගේ තුරුලට පනින්නේ බොහෝ සන්තෝසයකිනි. සාගරත් සනුකිව උකුලේ තබාගෙන එක අතකින් ඇගේ සිඟිති බඳ වටා අත යවා අනෙක් අතින් තමන් තරංගාගෙන් අසන සනුකි පිළිබඳ විස්තර ලැප්ටොප් පරිගණකයේ සනිටුහන් කරගනී.

“ඉන්පස්සෙ නෑ ඩොක්ටර්” කියා තරංගා හිනා උනත් වෙනදා මෙන් ඒ හිනාව සම්පූර්ණයෙන්ම එලියට ආවෙ නැති බව සාගර ඇසිල්ලකින් තේරුම්ගත්තේය. එහෙත් ඒ ඇයි කියා විමසන්න සුදුසු තැන මෙතන නොවන බව දන්න හන්දාම සාගර වැඩිකතා බහකට මුල පිරුවේ නැත.

“තරංගාට ඩොක්ටර් ශ්‍යාමනී කියන්න ඇතිනෙ නේද ස්ටෙප්ස් පහක් හයක් වගෙ දරුවත් එක්කම ඔයාට ප්‍රැක්ටිස් කරන්න පුලුවන්?”

“ඔව් ඩොක්ටර්, අර සෙල්ලම් කරද්දි එයා කරන දේවල්ම කරල

පෙන්නන්න, සර්ප්‍රයිස් රිඇක්ශන්ස් වගේ පෙන්න්න කියන දේවල් ටික මම මුල ඉඳලම කරා. සෙල්ලම් කරද්දි එයා රැට්ල් එකක් වගේ අතට අරගෙන හොලවද්දි මාත් ඒකම කරලා පෙන්නනවා.”

“ඉයා, දැට්ස් රයිට්. ඒවගේ දේවල් තමා මම කිව්වෙ. දැන් සනුකි එක්ක වැඩිපුරම කාලයක් ගෙවන්නෙ ඔයානෙ. එතකොට ඔයාට තේරිලා තියෙනවද ඉස්සරට වඩා එයාගෙ මොනවහරි ඉම්පෘව්මන්ට් එකක් තියෙනවා?”

“ම්ම්ම් ඉස්සර එයා හරිම අඩුවෙන් තමයි එක්ස්ප්‍රෙශන්ස් එලියට දැම්මෙ. ඒ කියන්නෙ අර හයියෙන් සද්ද ඇහෙන කලබල වෙලාවක කෑගහලා අඬනවා ඇරෙන්න වෙන මුකුත් එක්ස්ප්‍රෙශන්ස් එයා එලියට දැම්මෙම නැති තරම්. අර මොන දේ උනත් ඒක

දිහා දිගටම බලාගෙන ඉන්නවා ඇරෙන්න. 

හැබැයි අර සෙල්ලම් කරද්දි ටෝයිස් යූස් කරල ඩොක්ටර් ශ්‍යාමනී එක එක එක්ස්ප්‍රෙශන්ස් පෙන්නන්න කිව්ව ඇක්ටිවිටීස් කරද්දි එයා පොඩ්ඩක් පොඩ්ඩක් ඒව තේරුම් ගත්තා කියල මං හිතනවා”

“ගුඩ්. එහෙම තමයි ඉතින් අපි ඕනම කෙනෙක් දෙයක් ඉගෙන ගන්නෙ ස්පෙශලි පොඩි කාලෙදි අපේ අම්මල තාත්තල දිහා බලලනෙ නේද? මම තව ඒ වගේම ඇක්ටිවිටීස් ටිකක් ඔයාට කියන්නම් කරන්න පුලුවන්. ඔයා අපේ වීකෙන්ඩ් අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම්ස් වලට එනවාද?”

“ඔව් එනවා ඩොක්ටර්. සැටඩේ සෙශන් එකට එන්නෙ”

“ගුඩ්. හරි දැනට ඔය කන්ටිනිව් කරගෙන යන විදියටම අපි කරමු තරංගා. ඔයා කරාම වගේම හැමතිස්සෙම ඔයාගෙ එක්සයිට්මන්ට් එක පෙන්නන්න, එයාව ඉන්වෝල්ව් කරගන්න. ඒ කිව්වෙ අර තනියම සෙල්ලම් කරන්න එහෙම දාලා ඔයාගෙ වැඩ කරගන්න වගේ දේව්ල

ගොඩක් අඩු කරන්න ඕන මේ වගේ බබෙක් එක්ක ඉද්දි” කියා සාගර ලැප්ටොප් පරිගණකයෙන් දෙනෙත් ඉවත් කර තරංගා දෙස බලා හිනැහුණේය.

එදා සනුකිව වඩාගෙන ගෙදර එනගමනුත් කුලි රියෙදි තරංගා කල්පනා කලේ ඇත්තටම සනුකිට ආදරය කරන සනුකිව තේරුම්ගන්න තාත්තා කෙනෙකු ලැබුණානම් මේ ජීවිතය මෙච්චර අමාරු වෙන්නෙ නෑ නේද කියාය.

සනුකිව ඩොක්ටර් විසිට් වලට අරගෙන එන හැම වෙලාවකම සනුකිට උවමනා කලේ සාගරගේ උකුලේ වාඩි වී ගුලි වී උකුලු මුකුලු කරමින් ඉන්නටය. ඒ සමහරවිට තාත්තා කෙනෙකු ලෙස මේධංග කවමදාකවත් එවන් හැසිරීමක් සනුකි එක්ක බෙදා හදාගත්තේ නැති නිසා වෙන්නට හැකි බව තරංගාට නොසිතුණා නොවේ. 

“තාත්තගෙ ආදරෙයි කරුණාවයිත් ලොකුවටම බලපානවලු මේධංග මේ වගේ බබාලට උඩට එන්න. හැම පැත්තම බැලන්ස් කරගන්න පුලුවන් නම් ඇත්තටම ඒ වගේ බබෙක්ට ඉම්පෘව් වෙන එක ටිකක් ඉක්මන් වෙනවා කියලා මං අද කියවපු ආටිකල් එකක තිබ්බා” තරංගා කිව්වේ සනුකි නින්දට ගියයින් පස්සේ කාමරයට වී වේලා ගෙට ගත්තාට නවන්නට වෙලාවක් තිබ්බේ නැති තමන්ගේත් මේධංගගේත් ඇඳුම් නවා අල්මාරියට දමන අතරවාරයේය. හොඳින් කම්ෆර්ට් දමා වොශින් මැශින් එකේ සෝදාගත් ඇඳුම්වලින් එන්නේ මිහිරි සුවඳකි. ඒ මිහිරි සුවඳ ඇඳුම් වලින් නික්මී කාමරය පුරා විහිදෙන්නකි.

“ඕටිසම් බබාලට ඇටෙන්ශන් එක දෙන තරමට, එයාලත් එක්ක අම්මලා තාත්තලත් ඉන්ටරැක්ට් වෙන තරමට එයාල ඉම්පෘව්මන්ට්ස් පෙන්නනවා කියල ඩොක්ටර්ටත් කිව්වනෙ. ඔයාට දවල් වරුවෙ ඔෆිස් එකේ වැඩ එක්ක ඉතින් බබා එක්ක සෙල්ලම් කරන්න තියා කතා කරන්නවත් වෙන්නෙ නෑනෙ මේධංග. ඒ හන්දා හවසටවත් ඇවිල්ලා පොඩ්ඩක් එයා එක්ක ඉන්නකො. ඔයාගෙ ආදරෙත් ලැබුණොත් අපිට ඉක්මනට එයාව සනීප කරගන්න පුලුවන් වෙයි” කියා කිව්වාට මේධංග ඉන්නේ තමන් කියන කිසිම වචනයක් ඇහෙන මානසිකත්වයක නොවන බව තරංගා තේරුම්ගත්තේ ඇඳේ බාගෙට ඇලවී ෆෝන් එකේ මොකක් හෝ ටික්ටොක් එකක් බලන ගමන් හිනාවෙවී ඉන්න මේධංගව දැක්කමය. තමන් මෙච්චරවෙලා කතාකර දේවල් ඔහොම හිනාවෙන්න හේතු සපයන්නේ නැති බව දන්න හන්දාම මේධංග ඉඳලා තියෙන්නේ මෙලෝ දෙයක් අහගෙන නොවන බව තේරුම්ගන්න තරංගාට අමාරු උනේ නැත.

“ඔයා අහගෙන නෙවෙයිද මේධංග උන්නෙ මං මෙච්චර වෙලා කිව්ව දේවල්?” හිත ඇතුලේ වචන නාස්තිවෙච්ච එක ගැන මද නොරිස්සුමක් තිබ්බත් තරංගා ඇහුවේ අන්තිම ඇඳුම් කට්ටලයත් නවා අල්මාරියට දමා දොර වසා දමන අතරවාරයේය. 

“මොකද්ද කිව්වෙ. මට ඇහුණෙ නෑ” කියන වචන ටික පවා මේධංග කටෙන් එලියට දැම්මේ ඕනවට එපාවට වුණත් තරංගා සනුකිගේ අසනීපය ගැන දැනගත්ත දවසේ පටන් එතුවක් කාලයට ඇය ළඟ තිබ්බේ නැති අන්දමේ ඉවසීමක් ළඟා කරගෙන හන්දා මේධංගගේ මේ නොරිස්සුම් සහගත වචන ඉදිරියෙත් තරංගා ඉවසුවාය.

“මට හෙණේට හිටියෙත් ආන් ඒ ඉවසිල්ල අක්කෙ” කියා පස්සෙ කාලයක නර්මදා ඉස්සරහ කියන තරමටම ඉවසුවාය.

“මං කිව්වෙ මම අද ආටිකල් එකක කියෙව්වා කියලා ඕටිසම් තියෙන බබාලට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ආදරේ ලැබෙන එක එයාලට ඉක්මනට ඉම්පෘව් වෙන්න දේවල් තේරුම් ගන්න උදව්වක් වෙනවා කියල” තරංගා ආයෙම වතාවක් කලින් කිව්ව වචන කෙටිකර කතාව කිව්වාය. 

“ඉතින්” 

“ඉතින් ඔයාටත් මං කිව්වෙ ඔෆිස් එහෙම ඇරිලා ඇවිල්ල කාමරේට ඇවිත් ෆෝන් එකම බල බල ඉන්නෙ නැතුව පොඩ්ඩක් බබා එක්ක සෙල්ලම් කරන්න, එයා එක්ක ඉන්ටරැක්ට් වෙන්නකො” තරංගා එහෙම කිව්වේ බැගෑබර දෑසකින් මේධංග දෙස බලමින් මහත් බලාපොරොත්තු හිත අස්සේ දල්වාගෙනය.

“තරංගා මේ මම මුලු දවසෙම ඔෆිස් වල නැහිලා ගෙදර එන්නෙ ආයෙ මේ ළමයි එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි. අනික පොඩි උන් එක්ක සෙල්ලම් කර කර ඉන්න මම පොඩි එකෙක් නෙවෙයිනෙ. අනික ඔය ඉන්ටනෙට් වල තියෙන හැම රෙද්දම කියවල ඒව මේ ඇත්ත වෙයි කියල බලන් ඉන්න මෝඩ ගෑණියෙක් වෙන්න එපා. ඔහොම ඉතින් ලෙඩ හොඳ වෙනවනම් ළමයි එක්ක සෙල්ලම් කර කර හිටියම ඉස්පිරිතාල ඕන නෑනෙ මේ ලෝකෙට. දොස්තරලට වෙන රස්සාවක් හොයාගන්න වෙනවා.

ගෑණුත් අනේ මන්දා. ඉස්සර කාලෙ උන්නු ගෑණු ප්‍රශ්න ආවම දෙයියො පස්සෙයි දේවාල පස්සෙයි ගියා. දැන් ඉන්න ගෑණු ඉන්ටර්නෙට් එකෙන් මොනවහරි මගුලක් අල්ලගෙන ඒව මේ සහතික ඇත්ත වගේ හිතන් ඉන්නවා. කැම්පස් ගිහින් ඉගෙන ගත්ත ගෑණියෙක් නේද? බයිලා කියවන්නෙ නැතුව ඉන්නව ඕයි” කියමින් මේධංග ආයෙම වතාවක් දෙනෙත ෆෝන් එකට ඔබා ගනිද්දි හිත කොච්චර බිඳුණත් තරංගා වචනයක් කියන්නේ නැතුව කණ්ණාඩි මේසය ඉස්සරහ වාඩි වී කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම මුහුණ දිහා ඇසට ඇසක් බලාගෙන කල්පනා කලාය. ජීවිතය තමන් ඉදිරියට ගෙනවිත් තියෙන්නේ මෙහෙමත් ඉරණමක් බව එසේ බලාගෙන ඉන්න අතරවාරයේ තරංගා ආයෙ ආයෙ කල්පනා කලාය. එක එක ටික්ටොක් බලමින් හිනාවෙමින් උන් මේධංග ගේ සිහින් හිනාහඬ පිහිතුඩක වේදනාවෙන් විත් පපුවෙ ඇණෙද්දී ඒ දරාගන්න බැරි හන්දාම තරංගා ඉඳගෙන උන් තැනින් නැගිට කාමරයේ දොර කිට්ටුවට ආවේ එලියට යන්න හිතාගෙනය.

“ආදරෙන් සලකන්න කියන්නෙ ඉතින් ආදරේ කරන්න හිතෙන එකෙක්ද ඔය ළමයා”

මේධංගගේ ඒ වදන් පිහි තුඩු සිය දහසක් ව පැමිණ තරංගාගේ මුලු සිරුරේම ඇනුනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here