සඳක් තනියම – 30

0
6140

තේජා හදිසියේම ප්‍රියංකා බැලීමට පැමිණ ගියේ දහවලේය.ඒ රෝගී යෙහෙළියක බැලීම සඳහා මරදාන ආසන්නයේ පිහිටි පුද්ගලික රෝහලකට පැමිණි ගමන්ය. ඇය හදිසියේම පැම්ණෙනවායැයි පවසා දුරකතන ඇමතුමක් දුන් වේලේ සිට ප්‍රියංකා හදිසියේම සූදානම් වූයේ නර්මදා වෙනුවෙන් දිවා ආහාරය සකසා දීමටය. කුමාරිත් පැමිණ හැකි අයුරින් කුඩා සචින්ව බලා ගන්නා අතරේම ප්‍රියංකාට  උදව් වූවාය.අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද එන දරුවාට දැන් කරන්නට වැඩ රාජකාරි ඕනෑ තරම්ය.ඔහු ගැන ඇස ගසාගෙන සිටිය යුත්තේත් මේ අවධියේය.

කොහොමටත් නිවස සම්පූර්ණයෙන්ම ඔහුගේ පහසුවටත් ආරක්ෂාවටත් පිළිවෙල වී තිබිණ. එක් කෙලවරක වූ පුටු සැටිය පවා විසිත්ත කාමරයට ඇද්දේ තේජා පැමිණෙනවායැයි පැවසුවාට පසුවය.

ප්‍රියංකා ලහි ලහියේම කීරි සම්බා බතක් විදුලි උඳුනේ තබා  පරිප්පු හින්දුමකුත්, මුකුණු වැන්නා  මැල්ලුමකුත්, මාළු ඇඹුල් තියලකුත්, අඹ වෑංජනයකුත් සැකසුවාය.පෙරදා රාත්‍රියේ සකසා තිබූ පොළොස් හින්දුමට  පදමට තුන පහ අල්ලා තිබිණ.ඒ අතරේම  ත්‍රී වීලර් අංකල් යවා ගෙන්වාගත් කෙසෙල්  කොලය හොඳින් සෝදා වියළා ගත්තාට පසුව ගෑස් ලිපටම අල්ලා පදම් කර ගත්තාය.

තේජා පැමිණියේ මේ වැඩ කටයුතු සියල්ල නිමාවද්දීය.

“ ප්‍රියංකා අක්කා  එහෙනම් කෑම ටික බෙදලා දීලා ඒ මැඩම්  එක්ක කතා කරන්න.මම සචීන්ව  අපේ ගෙදර තියා ගන්නම්.නැත්නම්  වැඩක් කරගන්න නිදහස හම්බවෙන්නේ නෑනේ..මෙයා දැන් හරි දඟයි..”

කුමාරි පැවසූයේ සචින් ගේ ඇඟ සෝදා අලුත් ඇඳුමක් ඇන්ද වූවාට පසුවය. මේ උළුවස්ස ඉදිරිපස නිවසට පුතණුවන්  රැගෙන යාම ප්‍රියංකාට බිය වන්නට කාරණයක් වූයේ නැත.මෑතක  සිට ඔහු හදිසියට වෙළඳසැලකට , බැංකුවකට  පවා යද්දී දරුවා බලාගන්නේ කුමාරිය.

“ දැන් නිදා ගනියි  නංගි සමහර විට.”

“ ඒක තමයි. මං එහෙමම නිදි කරන්නම්..අක්ක වැඩ ටික කරගන්න..”

තේජාට සංග්‍රහ කරන්නට ප්‍රියංකා දිවුල් කිරි සකසා ශීතකරණයට දැමුවේ කෑම සකසන්නට පෙරය.

“ කොහොමද ප්‍රියංකා ටීච..මේ වගේ හදිසියක දුවලා යන්න ආවොත් මිසක් මට එන්න වෙලාවක් නැහැනේ.”

“ අපි හොඳින් ඉන්නව තේජා.මහින්ද මහත්තයා දරුවෝ හැමෝම සනීපෙන් නේද.”

“ හැමෝම සනීපෙන්. ප්‍රියංකාව  මතක් කරනවා ඒ හැමෝම නිතරම. මේ දවස්වල මහත්තයයි දරුවොයිනම් ටිකක් කාර්යබහුලයි.”

“ මට දුව විස්තර කියනවා. මේ සැරේ අකලංක පුතා නේද ඒ ඉවෙන්ට් එක සංවිධානය කරන්නේ.”

“ අනේ ඔව්… ඇත්තටම ප්‍රියංකා ටීචර් කිව්වා වගේ දරුවෙක්ට නිදහසේ තීරණ ගන්න කාලයක් ඕනේ.අපි බලෙන් එයාගේ ඔළුවට  ඒ දේවල් පැටෙව්වනං එයා මෙච්චර ලස්සනට ඒවා කරන එකක් නෑ.දිනාරා දුවත් ලොකු සපෝට් එකක් දෙනවා කියලා මහත්තයයි ලොකු පුතයි දෙන්නම කියනවා..”

“ දුවත් මේ දවස්වල මහ රෑ වෙනකල් ඇහැරගෙන ඔෆිස් එකේ වැඩ කරනවා.එයා ඉතින් හරි සතුටින් මේවා කරන්නේ.කෙල්ලගේ පාළු ජීවිතේට එහෙම හරි කැමැත්තෙන් කරන්න වැඩක් ලැබුන එක හොඳයි..”

“ පුතාටත් හොඳ තැන් දෙක තුනකින්ම යෝජනා ඇවිත් තිබුණා.නර්මදා  දුව වගේම මහින්දත් කිව්වා මේ වැඩ කටයුතු ටික ඉවර වෙනකල් ඉන්න කියලා.මං කෝකටත් දේශප්‍රිය මහත්තයට කියලා හදහන බලව ගත්තා.ඒවායෙත් නොගැලපීමක් නෑ.”

“ හැමදේම හොඳම විදිහට හරියයි තේජා. ගුණවත් දෙමව්පියෝ යටතේ හැදුණු දරුවෝ නරක වෙන්න විදිහක් නෑ. තේජා දන්නවනේ  මට පිරිමි ළමයි ඉන්න ඉස්කෝල කිහිපයකම වැඩ කරන්න ලැබුණා. ගොඩක් වෙලාවට නරක,  වැරදි දේවල් කරන්න පෙළඹුණු දරුවන්ගේ පවුල ඇතුලෙන්ම තමයි ඒවට උත්තේජන ලැබිලා තිබුණේ.අපිට පිටතින් පේන්න ප්‍රශ්න නැති උනාට දරුවන්ගේ හිත්වලට තදින් බලපාන පුංචි පුංචි දේවල් ඒ පවුල් ඇතුලේ තිබුණා..ඒකයි හැමතිස්සෙම අපි කියන්නේ දරුවෙක්ගෙ වැඩීමට  පෝෂණය විතරක් නෙමෙයි පවුලකින් ලැබිය යුත්තේ කියලා

 එකමුතුකම , ආදරය , සංවේදීකම විතරක් නෙමෙයි ගුණධර්මත් දරුවෙකුට දෙන්න පුළුවන් පවුලෙන්.. එක පුංචි තැනක් ඇති තේජා  අපිට දරුවෙක් අතෑරෙන්න.ඒක අපිටත් නොදැනෙන තැනක් වෙන්න පුළුවන්.හැබැයි දරුවෙක්ගේ ජීවිතේ මහා විශාල පරිවර්තනයක් වෙන්න අන්න ඒ පුංචි කරුණ විතරක් හේතුව වෙන්න පුළුවන්.විශේෂයෙන්ම යොවුන් වියේ ඉන්න දරුවෙක්ගේ. “

ප්‍රියංකා තේජාට දිවුල් කිරි පිළිගැන්වූයේ කතාබස් කරනා  අතරේමය.

“ අපි තව ටිකකින්  කෑම ටිකක් කමු තේජා. මම දුවට ගෙනියන්නත් එක්ක ඉක්මනින් කෑම ටිකක් ලෑස්ති කලා.”

“ අනේ ප්‍රියංකා ටීචර් ඇත්තටම අද මට ප්‍රමාද වෙන්න පුළුවන් කමක් නෑ.එහෙම නැතුව ප්‍රියංකා ටීචර්ගේ කෑමක්නම් මග හරින්න කැමති කෙනෙක් නෙමෙයි මම.මට  පන්සලට යන්නත් ලොකු උවමනාවක් තියෙනවා.මම එළියට බහින්නෙ වැඩ කීපයක්ම එකට යොදාගෙන.ගෙදර සර්වන්ට්ස්ලා හිටියත් මේ දවස්වල නර්මදා දුවව  තනිකරල ඉන්න හොඳ නැහැනේ.පන්සලේ අලුතින් බෝධි ප්‍රාකාරේ  තීන්ත ගානවා.ඒකට වියදම් කරන්නේ අපි.මහින්දට මේ දවස්වල ඇත්තටම ඒ වැඩ ගැන බලන්න වෙලාවක් නැහැ.ඉතින් මට කියල ගියා චුට්ටක් ඒ පැත්තට ගිහිල්ලා අඩුපාඩුකම් හොයලා බලන්න කියලා.”

“ අනේ ඒක  කොච්චර දෙයක්ද තේජා..එහෙනම් මම දෙතුන් දෙනාටම සෑහෙන්න කෑම ටිකක් බෙදලා දෙන්නම්.මං ඒකටත් ලෑස්ති පිටම තමයි හිටියේ..”

“ ඇයි එච්චර මහන්සි උනේ.නර්මදාට විතරක් බෙදලා දෙන්න.එයා නං හරි කැමති වෙයි ප්‍රියකා ටීචර්ගේ කෑම කන්න.”

“ නැහැ මං වැඩිපුර ටිකක් ඉව්වා..තේජා ඔහොම ඉන්නකෝ මං ඒ ටික පිළිවෙලක් කරනකල්..”

“  මමත් එන්නම් ප්‍රියංක ටීචර් එක්ක..මටත් මොනව හරි වැඩක් තියනවනම් දෙන්න.ඇයි මේ සෙල්ලම් බඩු ගේ හැමතැනම…”

“ අපිට දැන් හුරතල් පුතෙකුත් ඉන්නවනේ.මේ එයාගේ ඒවා..”

“ අනේ මට අහන්නත් බැරි උනා.දිනාරා දුවගේ කසාද කටයුතුවලට මොකද වෙන්නේ.”

“ දිනාරාගේ බාප්පගේ දුවගේ වෙඩින් එක තිබුණෙ මීට ටික දවසකට කලින්.ඒ වැඩ අස්සේ දිනාරාගේ  අත්තම්මට ඒක අමතක වෙලා ගියා  මං හිතන්නේ.හැබැයි ඉතින් හෙට අනිද්දම කවුරුහරි මේ දරුවාට හොයයි.මොකද ඔය දිනාරාගේ මැරිකරපු කසින් සිස්ටර් දිනාරාටත්  වඩා අඩු වයසේ කෙනෙක්.”

“එහෙමද….”

“ මේ දරුවා වෙඩින් එකට ගියේ නැද්ද.”

“ ඒ  මහා පුදුම මිනිස්සු තේජා.තමන්ගේ කම් සහෝදරකම් වලින් ඒ මිනිස්සුන්ට වැඩක් නෑ.මේ දරුවා ඒ දවස් ටිකේ හරි හිතේ අමාරුවෙන් හිටියේ. වෙඩින් එක හෙටයි කියලා තියා අද හැන්දෑවෙත් බලාගෙන හිටියා එයාට කතා කරයි කියලා. කොහොමත් දිනාරාගේ තාත්තා එයාලව දාල  ගියාට පස්සේ බාප්පලා නැන්දලා එක්ක එක  ගෙදරක හිටියත් එයාලා දිනාරත් එක්ක  තියෙන සම්බන්ධකම් අතෑරලා  දැම්මා.ඒවා මහා විසාල ගෙවල්නේ..එයාලට ජීවත් වෙන්න වෙන වෙනම පැති තිබුණා. එයාලා අදටත් කැමති නැහැ වලව්වේ තියෙන ඒ දේපළවලින් දිනාරාගේ තාත්තගේ කොටස වෙන් කරනවට. ඒක දිනාරාට අයිති වෙනවට..”

“ අනේ මහ පුදුම මිනිස්සු…”

“ ඒක තමයි තේජා මං කිව්වේ දරුවන්ගේ හොඳ නරක ආකල්ප වැඩෙන්න දරුවා හැදෙන පරිසරය තමයි බලපාන්නේ. එහෙම පුංචි පුංචි වෙනස්කම් වෙද්දි දිනාරාගේ  අම්මා එයාවත් අරගෙන ඒගොල්ලන්ගෙ වත්තේ තිබුණු වෙනමම ගේකට ගියා.ඔය අත්තම්මානම්  දිනාරාට හරි ආදරෙයි.එයා තමයි ඉතින් මෙයාලව බැලුවේ.”

“ පව් කෙල්ලට හොඳම වයසෙදි අම්මත් නැති වෙලා තියෙන්නේ.”

“ ඒ ගැන කතා කරල වැඩක් නෑ තේජා.”

“ ඒ දරුවාගේ වාසනාවට තමයි ප්‍රියංකා වගේ කෙනෙක් ළඟට එන්න ලැබුණේ.මං දන්නවනේ ඉතින් ඔය හිතට අඩුවක් නැතුව හැමෝටම ආදරේ බෙදන්න පුළුවන් කියලා.”

“ දිනාරි දැන්  මට මගේ දරුවෙක් ගානයි.මට දැනෙනවා මං එයාලා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා.”

“ ඒකට කමක් නෑ. ප්‍රියංකා ටීචර්ගේ පාළුවත් නැතුව ගියා.ජීවත් වෙන්න ආසාවක් බලාපොරොත්තුවකුත් ලැබුණා.දරුවෝ ජීවිතයේ උනහම දෙමව්පියන්ට ඊට වඩා සතුටක් නෑ..”

ප්‍රියංකා වෙන වෙනමම කෙසෙල් කොලවලට බතුත් මාළු පිනිත් බෙදුවේ තේජා හා කතා කරනා අතරේදීමය.

“ ඒ දරුවාට තියෙන්නේ හරි අමුතු ලස්සනක්.හරි නිවිච්ච පින් පාටක්. හරි ආදරේ හිතෙන පෙනුමක්.මහින්ද කියනවා ඒ වගේම තමයිලු වැඩිහිටියන්ට දක්වන ගෞරවයත්..”

“  දිනාරාගේ අත්තම්මා දිනාරව ඒ ඩිසිප්ප්ලීන් එක්ක  හොඳට හැදුවා.දිනාරාගේ අම්මා හැම පුංචි දෙයක්ම කළේ එයාගේ නැන්දම්මගෙන් අහලා. “

“ ඒ  දරුවට හරියන්න ඕනේ.මමත් ඉන්නවා අපි දෙන්නම එකතුවෙලා එයා ගැන බලමු.” 

“ තේජා ප්‍රියංකාගේ නිවසින් නික්ම ගියේ තවත් අඩ හෝරාවකට පමණ පසුවය.ඇය හා  තට්ටු නිවාසය පහළ වාහනය නවතා ඇති තැනටම ගිය ප්‍රියංකා කුමාරිගේ නිවසට එබුනේ ආපසු එන අතරේය. ඇය උන්නේ බිම වාඩිවී සිය දෙකකුල් දිග හැරගෙන සචින්ව ඒ මත තබාගෙනය.”

“ ඒ මැඩම් ගියාද ප්‍රියංකා අක්කේ ..පුතාව උකුලේ දාලා නලවද්දි නින්ද ගියා.මං ඇහැරෙයි කියලා එහෙමම තියාගෙන හිටියා..”

“ මේ දැන් ගියේ.කාල යන්න කිව්වට ඒ තරම් ප්‍රමාද වෙන්න බෑ කිව්වා.වැඩ රාජකාරි දහසක් තියෙන මිනිස්සුනේ.මං බත් ටික බෙදලා දුන්නා.අංකල් කෙහෙල් කොළ වැඩිපුරත් එක්ක ගෙනත් තිබ්බනෙ..” 

“ ඒක හොඳයි.කෙහෙල් කොළවල ඔතලා ටික වෙලාවක් තියෙද්දි හරි රසයි නේ.”

“ මං ඔයාටත් අන්න බත් එකක් කෙසෙල් කොලේ කෙතුවා.දෙන්න මං පුතාව ඇඳෙන් තියන්නම්.ඒක ගෙනත් ටිකක් වෙලා තියලා කන්න..”

එවර කුමාරි හිස වැනුවේ  ප්‍රියංකාට එකඟවය.මඳක් පහතට නැඹුරු වූ  ඈ සචින්ව සිය දෝතට ගත්තාය.

සැබවින්ම දැන් ඇගේ ජීවිතය වී ඇත්තේ මේ කුඩා පුතුත් දිනාරාත්ය. සතුට වී ඇත්තේත් ඔවුන්ය. ජීවිතයේ බලාපොරොත්තුව වී ඇත්තේත් ඔවුන්ය.එය හාස්කමකි..මෙම නිවසට පැමිණි මුල් කාලයේදී මෙන් නොවේ දැන් කාර්යාලයේ සිට නිවසට ආවේලේ පටන් දිනාරා සිටින්නේත් ප්‍රියංකා අසලට වීගෙනමය.සිතෙහි වූ පාළුව කාන්සිය දුරු වූයේ සිතුවාටත් වඩා ඉක්මනින්ය.

“ කේතකී….මොනවා හරි දෙයක් දැනගෙන එහෙම නැත්නම්  මොනවා හරි දෙයක් දැනිලා ඔයා මට එහෙම කිව්වද මන්දා.ඔයා හැමතිස්සේම කිව්වා මට මොනවා හරි උනොත් දිනාරව ආදරෙන් බලා ගන්න කියලා. ඔයා මට මේ හැම සතුටක්ම දීලා කොහේට හරි වෙලා අපි දිහා බලාගෙන ඇති. 

අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ පවුලක ආදරය ,  සෙනෙහස , රැකවරණය නැතුව හැදුණු  අපි දෙන්නා කාලයක් යනකල්ම හොර රහසේ අඬ අඬා  දුක බෙදා ගත්තා.ඒ ලස්සන දවස්වල ඔයාට කසුන් අයියා මුණ ගැහුනම  ඇත්තටම අපි හිතුවේ අපේ ජීවිතයේ නැතිවෙලා තිබුණු හැම දෙයක්ම එක පාරම අපිට ලැබුණා කියලා.ඔයා හිටියෙ ලොකු සතුටකින්.ඔයාගේ ජීවිතේට හොඳක් වෙන්න කියලා මම හැම වෙලාවකම ප්‍රාර්ථනා කළේ.අපිට බලාපොරොත්තු තිබුණා.අපි හීන දැක්කා.ඔයාට ඕන වුණේ ඒ හීනෙට තනියෙන් යන්න නෙමෙයි.හොස්ටල් එකේ තිබුණු දැඩි පාලනයෙන් හෙම්බත්වෙලා ඉඳපු අපි හැමතිස්සෙම එළියේ පේන ලස්සන ලෝකෙ දිහා බලාගෙන හීල්ලුවා..ඔයා කසුන් අයියා ළඟට ගියේ ‘උඹවත් මං පුළුවන් තරම් ඉක්මනට මේ අපායෙන් ගලවගන්නවා ‘  කියලා මට පොරොන්දු වෙලා.ඒත් අපි අපාය කියලා හිතපු දිව්‍යලෝකයෙන් පිටවෙලා ගිහිල්ලා ඔයා වැටිලා තිබුනෙ ඇත්තම අපායකට. වයසින් දැණුමෙන් පරිණත වෙද්දි තමයි මට තේරුනේ සිස්ටර්ස්ලා  අපිව ඒ තරම් දැඩි නීති මැද තියාගෙන පාලනය කරන්නේ මේ ලෝකෙ ගැන නිසි අවබෝධයක් අපිට ලබාදෙන්න ඕන නිසා කියලා.කොතැනක ගිහිල්ල වැටුනත් පැලවෙන්න අපිට ශක්තිය දෙන්න ඕන නිසා කියලා.සමාජෙත් එක්ක ගැටෙන්න ඉඩක් නොවුණු අපිට නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වයස එනකල් කියලා..ඒත් ඔයාට වැරදුනේ  ඒ ටික අවබෝධ කරගන්න කලින් ජීවිතය හොයාගෙන ගියපු නිසා..ඔයාට ඒ ගමන යන්න උදව් කරපු මට මේ තරම් පසුතැවීමක් දැනෙන්නේ ඒ නිසා.මං කවදාවත් දිනාරාට  ජීවිතය වරදින්න දෙන්නේ නෑ කේතකි..මං එයාව රකිනවා…”

කුඩා සචින්ව ඇඳෙන් තබා ආපසු විසිත්ත කාමරයට පැමිණි ප්‍රියංකා  විසිත්ත කාමරයෙහි වූ තම යෙහෙළියගේ සේයාරුව සිය පපුවට තබා තද කර ගත්තාය..ඇගේ දෑස් දෙපසින් ගලා ගිය කඳුළු පිසලන්නට කිසිවෙකු වූයේ නැත.එනිසාම ඕ විනාඩි කිහිපයක් ගතවන තුරුම හඬා වැටුණාය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here