සාගර තරංගා – 27

0
6933

තරංගා මේධංග ගැන විස්තරේ සාගරට කියන්නට හිතුවේ කාරණා දෙකක් හන්දාය. එකක් මේධංග ඔය විදියට තමන් දෙදෙනා පස්සෙන් ආවා වගේ ඉස්සරහට මොනවා කරන්න කියන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නැති හන්දාය. අනෙක් කාරණාව මේධංග තමන් සග සාගර අතර සම්බන්දයක් තියෙනවා යැයි හිතීම නිසා සාගරට මොන විදියේ අකරතැබ්බයකට මුහුණ දෙන්න වේද යන හිතුවිල්ල නිසාය.

“මං හින්දා ඩොක්ටර්ට මෙහෙම කතාවක් අහගන්න වෙච්ච එකට ඇත්තටම මට සමාවෙන්න ඩොක්ටර්. මටත් දැන් තමයි තේරෙන්න මම සනුකි හන්දා ඩොක්ටර්ට එහෙම කතා බස් කර එක ඇත්තටම වරදක් බව”

“මට නම් ඇත්තටම ඒකෙ වරදක් පේන්නෙ නෑ තරංගා. ඒ වගේ සිටුවේශන් එකක් ඉන්න ඕනම කෙනෙක් ඒ වගේ දෙයක් කරනවා. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. වරද තියෙන්නෙ ඉතින් අපි දිහා බලන් ඉන්න මිනිස්සු හිත ඇතුලෙන් ඒ දකින දේවල්වලට වෙනම කතන්දර හදාගන්න එක තමයි. මට දැන් තියෙන ගැටලුව ඔය මනුස්සය මේ වැරදි දෙයක් හිතේ තියාගෙන ඔයාට මොකක් හරි කරදරයක් කරන්න පෙළඹෙයිද කියන එකයි.

මමත් වැරදි තරංගා ඇත්තටම ඔයා ඩිවෝස් එකකට යන්න බලාගෙන සෙපරේශන් එකක් ඉන්න වෙලාවක ඔයා එක්කයි බබා එක්කයි එලියට හෙම ගිය එක. මට හිතන්න තිබුනා ඒක අර මනුස්සය දැක්කොත් ඔයාට හොඳ නෑනෙ කියන එක. අයෑම් සොරි. අයෑම් රියලි වෙරි සොරි”

“අනේ ඩොක්ටර් ඇත්තටම මමයි සොරි කියන්න ඕන. ඩොක්ටර් නෙවෙයි. දැන් වෙච්ච දේ ඉවරනෙ. මම ඇත්තටම කතා කරේ ඔය මනුස්සය මොන විදියට ඕකට රියැක්ට් කරාවිද කියලා දන්නෙ නැති හන්දා ඩොක්ටර්ට පරිස්සමෙන් ඉන්න කියන්න. මං නිසා නිකන් ඩොක්ටර් අහක යන කුණු ඇඟේ ගාගන්න ඕන නෑනෙ”

“අපි ඒව එතකොට බලමුකො. ඔයා අර මම කිව්ව තැනට කතා කරලා බැලුවද?”

“ටෙඩීස් කාස්ල් එකටද ඩොක්ටර්? ඔව් මං කතා කරා. මම අපොයින්ට්මන්ට් එකක් දාගත්තා ඩොක්ටර් එයාලව හම්බෙන්න යන්නම. මම ඩොක්ටර්ටත් එන්න පුලුවන්ද කියල අහන්නයි ඇත්තටම උන්නෙ. ඒ උනාට දැන් මේ වෙච්ච දේවල් එක්ක මං හිතන්නෙ නෑ ඩොක්ටර් මාත් එක්ක එන එක හොඳයි කියලා. මං ගිහින් ඇවිත් ඩොක්ටර්ට කියන්නම් මොකද වුනේ කියල”

“ඔව් අපි එහෙම කරමු. එතන මැනේජින් ඩිරෙක්ට්‍රස් ඇන්ඩ් ප්‍රින්සිපල්ව තමයි මම දන්නෙ. ඔයා එතනට ගිහින් එයාව හම්බුනම කියන්නකො ප්‍රසාද් වීරබාහු තමයි ඔයාව එව්වෙ කියල. එයාලා මාව සාගර කියලා දන්නෙ නෑ. ඔතන විතරක් නෙවෙයි තව ඔප්ශන්ස් තියෙනවා තරංගා ඔයාට ඕන නම් චෙක් කරලා බලන්න පුලුවන්. ඩැඩීස් ලංකා ඕටිසම් සෙන්ටර් එක, චිත්‍රා ලේන් ස්කූල් එක, අයාති එකා වගෙ ගොඩක් ඒව. ඔයාට ගූගල් සර්ච් කරලත් හොයාගන්න පුලුවන්. මං කියන හන්දම නෙවෙයි ඔයා ඒ තැන්වලටත් ගිහින් බලන්න තරංගා. හොඳම දේනෙ දරුවන්ට දෙන්න ඕන”

තරංගා ටෙඩීස් කාස්ට්ල් එකට ගිහින් බලන්න අපොයින්ට්මන්ට් එකක් ගත්තෙ සෙනසුරාදා දවසකය. එදා ඇය එහෙ යද්දිත් එහි විදුහල්පතිනියද එහි රැඳී උන්නු එකම තරංගාට තව දුරටත් විස්තර කතා කරගන්න උදව්වක් වුණාය.

“අපි මෙතන ඕටිසම්, හයිපර් ඇක්ටිවි, ඒඩීඑච්ඩී බබාලට තමයි උදව් කරන්නෙ. ඇත්තටම මම මිස්ට වීරබාහුව දැනගත්තෙත් ඒ වගේම කේසස් තියෙන බබාලා කීප දෙනෙක් නිසාමයි. අපි මේක පටන් ගත්ත කාලෙම මිස්ට වීරබාහුගෙ සීනියර් වුන ප්‍රොෆෙසර් කැන්දගොඩ එක්ක සෙශන් එකක් කරා. එතනදි තමයි ඩොක්ටර් වීරබාහුව දැන අඳුනගත්තෙත් අපි. ඩොක්ටර් ගොඩක් බබාලව අපි ලඟට එව්වත් එක්ක. 

බබාගෙ නම සනුකි කිව්වනෙ? එයාට ඔයා දැනට මොනවහරි ට්‍රීට්මන්ට් කරනවද?”

“දැනට මම හොස්පිටල් එකේ අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට යනවා මැඩම්. ඒ ඇරෙන්න ඉතින් ගෙදරදි මම එතනදි කියල දෙන දේවල් කියලා දෙනවා. එයා එක්ක දේවල් ප්‍රැක්ටිස් කරනවා. ඒ ඇරෙන්න මුකුත් ස්පෙශල් ප්‍රෝග්‍රැම් එකකට නම් යන්නෙ නෑ”

“දැට්ස් ෆයින්, අපි මෙතනදි එඩියුකේශනල් තෙරපි, බිහේවියර් තෙරපි, ස්පීච්, ඔක්‍යුපේශනල් තෙරපි විතරක් නෙවෙයි මියුසික් තෙරපි වගේ දේවලුත් කරනවා. මොකද මියුසික් කියන්නෙ ඉගෙනගන්න හොඳම විදියල්.ඔයාලාගෙ බබාලා වගේ ස්පෙශල් දරුවන්ට දේවල් උගන්වන්න හොඳම විදියක් තමයි මියුසික් කියන්නෙ. ඕනම විදියක තෙරපි ඇන්ඩ් ප්‍රැක්ටිකල් ට්‍රේනින් වලට දරුවන්ව පුරුදු කරන්න පුලුවන් හොඳම විදියක් තමයි මියුසික් කියන්නෙ. ඊට අමතරව ෆිසියො තෙරපි, ස්පෙශල් වර්ක්ශොප් වගේ දේවලුත් කරනවා. ඊට අමතරව ඔන්ලයින්. වෝක් ඉන් කන්සල්ටේශනුත් තියෙනවා”

“මට ප්‍රයිසින් තියෙන ඩොකියුමන්ට් එකක් වගේ දෙයක් ගන්න එහෙම පුලුවන්ද මැඩම්?”

“ඉයා ශුවර්” එදා ඒ කතාබහෙන් පස්සේ තරංගා ගෙදර ආවේ තව ටිකක් සාගර එක්ක කතා කරම මේ ගැන තීරණයක් ගන්නවා යැයි හිතාය. තරංගා එදා ගෙදර එද්දීත් මේධංග උන්නෙ තරංගාව හමුවන්න ඇයගේ නවාතැන වෙත යන ගමන් ය. තරංගාව දික්කසාද කරනවානම් කරන්න ඕන හොඳම විදිය ඇයට ලැජ්ජ කරන එක බව මේධංග හිතුවේ තරංගා, තමන් ඇයත් ඇයගේ අලුත් පෙම්වතාත් ගැන දැන දැනම කිසි ලැජ්ජාවක් නැතුව තමන්ට විරුද්ධව ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන්න යන බව දැන ගත්ත වෙලේය. මේ යන ගමනේ තේරුමත් හොඳින් හෝ නරකින් ඕකිට දෙකක් කියා එන්න බව හිතමින්ම මේධංග වාහනය තරංගාගේ නවාතැන අසල නතර කරේය. අනතුරුව වාහනයෙන් බැස්ස මේධංග ගේට්ටුව අසල තිබූ සීනුව නාද කර බලන් උන්නේ කවුරුන් හෝ එලියට එන තුරුය. තරංගා ඉන්නෙ පල්ලෙහ නිවසේද නැත්තන් උඩුමහලේද කියා අදහසක් නැති හන්දාම කවුරුන් හෝ එන තුරු ගේට්ටුව අසලට වී ඉන්න එක නුවණට හුරු බව මේධංග සිතුවේය.

තරංගාව දකින්න බලාපොරොත්තුවෙන් උන්නු නමුත් එලියට ආවේ නවාතැනේ හිමිකරු වූ වීරසිංහ මහතාය. වීරසිංහ මහතා ගේට්ටුව අසලට ආවේ කුතුහලයෙන් කුඩා කරගත් ඇස්වලට මේධංගව එල්ල කරගනිමිනි.

“ඔව් කාව හම්බෙන්නද?”

“මේ ගෙදරද ඉන්නෙ තරංගා කියලා කෙනෙක් නැවතිලා බබෙක් එක්ක”

“ආහ් ඔව්, අපේ ඇනෙක්ස් එකේ ඉන්නෙ දුව. මේ මහත්තයා කවුද?”

“ආහ් මම එයාගෙ හස්බන්ඩ්” කියා මේධංග කියද්දීම ආවේ කවුද කියා බලන්න හිතාගෙන වීරසිංහ මහත්මියත් ගෙයින් පිටතට ඇවිද ආවාය. වීරසිංහ මහතා හිස හරවා බැලුවේ වීරසිංහ මහත්මිය බොරලු පොලව දිගේ ඇවිද එද්දි ආ සද්දයටය.

“මේ අපේ තරංගා දුවග් හස්බන්ඩ් කියලා කියන්නෙ”

“ආහ්” කියා කිව්වාට ඉන්පස්සෙ කියන්න ඕන කුමක්ද කියා අදහසක් වීරසිංහ මහත්මියට ඇත්තටම තිබ්බේ නැත. තරංගා සැමියාගෙන් වෙන් වී දික්කසාදය ලබා ගැනීම පිණිස මෙලෙස වෙනම ඉන්න බව දන්නවා හැරෙන්න ඉන් එහාට ඒ ගැන වැඩියමක් අහන්න තමන් පෙළඹුණේ නැති බව වීරසිංහ මහත්මිය සිතුවාය.

“තරංගා නම් මං හිතන්නෙ බබාගෙ වැඩකට එලියට ගියා.දැන් නම් හැබැයි එනවත් ඇති”

“ඔව්, ම්ම්ම් මහත්තය කැමති නම් මේ ඇතුලට ඇවිල්ල වාඩිවෙලා ඉන්න, මම තරංගාට කෝල් එකක් දීලා කියන්නම් ඇවිත් ඉන්න බව”

“ම්ම් නෑ දැන් එයා එනවත් ඇතිනෙ. ගොඩක් වෙලාද ගිහිල්ලා? තනියමද ගියේ?”

“දැන් නම් පැයක් විතර වෙනවා ගිහිල්ලා, පික් මී එකක් දාල තමයි මං දැක්ක විදියට ගියේ”

“ආහ් හරි, මම ඇවිත් වාඩිවෙලා ඉන්නම් අවුලක් නෑ”

වීරසිංහ මහතා ගේට්ටුව ඇරියේ ඉන් පස්සෙය. මේධංග හෙමින් සැරේ වත්තට පිවිස එක ඇස් බැල්මකින් ගෙදරත් වත්තත් දැකබලාගත්තේය.

“මොකක් හරි හදිසියකට මහත්තය ආවෙ? මීට කලින් ඇවිල්ලම නෑනෙ” කියා අසමින් විරසිංහ මහතා තැනුවේ සුහද කතාබහක් ඇතිකරගන්නය. මොනවා උනත් මේ තමන්ගේ නිවසට ආ මනුස්සයෙකි. ගෙදරට ආව සතෙක්ටවත් නරක විදියට සලකන්න හොඳ නැති බව කියන හන්දාමය.

“හදිසියක් කියන්නෙ අංකල් මම ඇත්තටම ආවෙ තරංගාට ආයම වතාවක් මේ ගැන හිතලා බලන්න කියන්න. හස්බන්ඩ් වයිෆ් අතර ඕන තරම් වචන හුවමාරු වෙනවනෙ. එහෙම එකේ මේ පොඩි දේකට ගෙදරින් අයින් වෙලා ඉන්න එක හරි නෑනෙ. මං කොච්චර ෆෝන් එකෙන් එයාව කන්වින්ස් කරන්න හැදුවත් එයා කියන දේ අහන්නෙ නැතිම තැන තමයි මම මේ මීට් වෙලාම කතා කරනව කියලා හිතුවෙ” මේධංග ඔය වගේ පෞද්ගලික දෙයක් අල්ලගෙන කතාව පටන් ගනීවිස් යැයි හිතුවෙ නැති හන්දාම වීරසිංහ මහතා උන්නෙ කුමක් කියන්නද කියා හිතාගන්න බැරුවය. තරංගා මෙහි ආ නොබෝ දවසකින් තමන්ගේ හිත දිනාගත්ත එක ඇත්තක් වුනත් අපි මිනිස්සුන්ව කාලා බලලා නැති හන්දා එහෙම එකපාර නිගමනයකට එන්න බැරි බව වීරසිංහ මහතා දනී.

“අනික හරියට මේ ප්‍රශ්නෙ ගැන කතා කරලා විසඳගන්නෙ නැතුව, එයා කේස් එකක් ෆයිල් කරපු එකයි, වෙන කෙනෙක්ව හොයාගත්ත එකයි ඇත්තටම වැරදිනෙ අංකල්. මොක උනත් ඒ මගෙ දරුවා. අනික ඒ දරුවා ගෑණු ළමේක්. දැන් කාලෙ තමන්ගෙ මනුස්සයා සහෝදරයා එක්කවත් දරුවෙක්ව දාලා යන්න බැරි එකේ තරංගා පිට පිරිමියෙක්ට ඔහොම දරුවට ලං වෙන්න දුන්නු එක හරි වැරදියි නේද මං අහන්නෙ? මං අද ආවෙත් එයාට කියන්න. මම ඕනම දේකට සමාව දෙන්නම් දරුවා වෙනුවෙන් හරි අපි සෙට්ල් වෙමු කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here