බිරිඳ ගැබ්බර නිසා අනියම් සබඳතාවයක පැටලුණු සැමියෙක්..

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“අනේ ඇයි තේමිය ඔයා මට එහෙම කලේ. මම මේ බඩේ දරාගෙන ඉන්නෙ ඔයාගෙ දරුවෙක් නේද? ඔයාට අඩු ගානෙ ඒ ගැනවත් හිතන්න තිබුනා නේද මෙහෙම සම්බන්ධෙකට යන්න කලින්”

ලවනි උන්නෙ පුදුමාකාර වේදනාවකින්. එක පැත්තකින් මාස තුනක පුංචි දරුවෙක්ව කුසේ දරාගෙන ඉද්දි තමන්ගෙ හස්බන්ඩ් මෙහෙම වෙන අෆෙයාර් එකක් පටන් අරගෙන කියල දැනගන්න ලැබෙන එක කොච්චර ලොකු වේදනාවක්ද?

කඳුලු ගංගාවක් හැලුවට පස්සෙත් තේමියට නම් කියන්න තිබුනෙ එකම එක දෙයයි.

“ඔයා හන්දා තමා මම එහෙම කලේ”

“මං හින්දා? මං හින්ද ඇයි මිනිහො තමුසෙ වෙන ගෑණියෙක් එක්ක යාලු උනේ?” කියාගෙන ලවනි තේමියගෙ බෙල්ලෙන් අල්ලගන්න පැන්නෙ බඩේ දරුවෙක්වත් ඉන්නව කියල අමතක කරල වගේ. හිතට ආව කේන්තිය, වේදනාව, දුක එක්ක තේමියගෙ බෙල්ල මිරිකල දාන්න පුලුවන් නම් හොඳයි කියල තමයි ලවනිට එවෙලෙ හිතුනෙ.

“ඔව් තමුසෙ කිව්වෙ ප්‍රෙග්නන්ට් කාලෙ මාත් එක්ක එකට ඉන්න බෑ තමුසෙට අමාරුයි කියලා. මම වෙන ගෑණියෙක්ට ලං වෙච්ච එක වැරදි නෑ ඕයි”

තේමියව මරල දැම්මත් ඒ කිව්ව වචන, ඒ වචන එක්ක හිතට ඇතුලු වෙච්ච වේදනාව ජීවත්වෙලා ඉන්න තාක්කකල් හිතෙන් අස්කරගන්න පුලුවන්ද කියල හිතිච්ච හන්දමයි ලවනි මාව හොයාගෙන ආවෙ මානසික උපදේශනයට.

මං ලඟට එද්දිත් ලවනි උන්නෙ හරිම වේදනාව. ශාරීරික සහ මානසිකව දෙකෙන්ම පීඩාවට පත්වෙල. හරිම දුක්බර අවස්තාවක්.

“මම කවදාවත් හිතුවෙ නෑ තේමිය එහෙම කරාවි කියල. අපි බැන්දෙත් යාලුවෙලා. මට කවදාවත්ම කිසිම වෙලාවක සැකයක්වත් හිතුනෙ නෑ තේමිය ගැන. එයාගෙ වෙනසක්වත් මට තේරුනේ නෑ. මම අහම්බෙන් එයාගෙ ෆෝන් එකට ආව ඒ මැසේජස් දැක්කෙ නැත්තම් මම හැමදාම රැවටෙනව.

අනේ ඇයි මැඩම් එයාට බැරිඋනේ මම ප්‍රෙග්නන්ට් කියල හිතලවත් අඩුමගානෙ දරුව ගැන හිතලවත් එහෙම නොකර ඉන්න. දෙයියනේ මම මේ බඩේ තියාගෙන ඉන්නෙ මගෙ දරුවෙක් විතරක් නෙවෙයි එයාගෙත් දරුවා. එයාගෙ ලේ වලින් හැදිච්ච දරුවා”

ලවනිගෙ ප්‍රශ්නෙ විසඳන්න ලවනි ඉන්න තත්ත්වෙ එක්ක තේමියගෙ සහයෝගයත් අවශ්‍ය බව තේරිච්ච හන්දමයි අපි තේමියටත් මානසික උපදේශනය සඳහා සහභාගි වෙන්න කියල කිව්වෙ. ප්‍රෙග්නන්සි එකක් කාලෙ අම්මා කෙනෙක් ශාරීරිකව වගේම මානසිකවත් ගැටලුකාරී සහගත තත්ත්වයක ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ නිසාමයි ඒ කාලෙදි ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ව ශාරීරිකව වගේම මානසිකවත් නිරෝගීව, සාමකාමීව තියන්න අපි ඕනම කෙනෙක් උත්සහ කරන්න ඕන.

මොකද ප්‍රෙග්නන්ට් කාලේ අම්මට දරන්න වෙන ශාරීරික සහ මානසික පීඩාවන්වල අයහපත් තත්ත්වය සමහරවිට දරුවට ඉතාම අයහපත් ලෙස දැනෙන්න පුලුවන්.

“මට ඇත්තටම ලවනිව රවට්ටන්න උවමනාවක් තිබුනෙ නෑ. එයා හින්ද තමයි මේ හැමදේම උනේ කියල මම ඇත්තටම එවෙලෙ කිව්ව මට තරහ ගිය හන්ද. ලවනි එවෙලෙ තරහ අරන් කෑ ගහගෙන රණ්ඩුවට ආව හන්ද. ඒ ඇරෙන්න මම කල වරදකට එයාගෙ කිසිම සම්බන්ධයක් නැ.

ඇත්ත එයා කිව්ව ප්‍රෙග්නන්ට් කාලෙ පොඩ්ඩක් එයා සෙක්ස් කරන්න බයයි කියල. ඒ උනාට කිසිසේත්ම ඒක මට වෙන අෆෙයාර් එකක් පටන් ගන්න නිදහසට කාරණාවක් නෙවෙයි කියල මම දන්නවා”

තේමිය හිටියෙ තමන් ගෙ අතින් වරදක් අතපසුවීමක් වුන බව තේරුම් ගනිමින්. මේ ප්‍රශ්නෙදි අපි මුලින්ම කරන්න ඕන දරුවෙක්ව කුසේ දරාගෙන ඉන්න ලවනිව සනසන එක, කම්ෆර්ට්බල් ස්පේස් එකක තියෙන එක අපි අපි තේරුම් කරද්දි තේරුම් ගන්න තේමියට පුලුවන්කම ලැබුනා.

විවාහ ජීවිතයක් එහෙම නැත්තම් ෆැමිලි එකක් ආරම්භ කරන්න යද්දි අපි ඒ අදාල තීන්දු තීරණ අරගන්න ඕන ඉතාම හොඳින් හිතල බලල. ප්‍රශ්න ඇතිවෙනව. ඒක ඇත්ත, ඒත් සමහර ප්‍රශ්න ඇත්තටම අපි විසින්ම දුරදිග හිතල බලන්නෙ නැතුව ගන්න තීරණ හන්දා ඇතිවෙන ප්‍රශ්න. ඒ වගේම ඒ ප්‍රශ්න නිසා අපි නොහිතපු විදියෙ ගැටලුකාරී තත්ත්ව අනාගතයෙදි මතුවෙන්න පුලුවන්.

උදාහරණයක් විදියට ගත්තොත් ලවනි මේ ප්‍රශ්නෙට මූන දෙන්න උන මුල් කාලෙම මානසික උපදේශනයට ආව හන්දා එයාට වගේම දරුවටත් මේ ප්‍රශ්නෙ අහිතකරව බලපාන්න පුලුවන් කම තිබුන අවස්තා හැකිතාක් අඩුකරගන්න අපිට පුලුවන් උනා. මොකද ලවනිට තනියම දුක්විඳින්න වැඩි කාලයක් අපි ඉඩ තිබ්බෙ නැති නිසා. ඒත් වෙන තැනක, තනිවම මේ හැමදේම දරාගන්න ගියානම් සමහරවිට ඒක ඉපදෙන්න ඉන්න දරුවට ඉතාම නරක විදියට බලපාන්න තිබුන අවස්තාවක් නැතුවම නෙවෙයි.

ප්‍රශ්නයක් කියන්නෙ ගින්නක්. හැබැයි අපි කරන්න ඕන ඒ ඇඉලෙන ගින්නට පිදුරු දාන එක නෙවෙයි. ගින්න නිවන්න උත්සහ කරන එක.

විශේෂයෙන්ම අම්මා කෙනෙක් වෙන්න ඉන්න කාන්තාවකට පවුල් ජීවිතයේ ඇතුලෙ ප්‍රශ්නයක් උනොත් එයාගෙ වටේ ඉන්න පවුලෙ අයට යුතුකමක් වගකීමක් තියෙනව එයා ශාරීරිකව ඉන්න අපහසුතාවයෙන් මිදෙනකම් මානසික ප්‍රශ්න ඇති නොකර ඉන්න.

ඉතින් අමතක කරන්න එපා. තමන්ගෙ අතින් වරදක් උනොත් ඒ වරද වහගන්න වෙන කෙනෙක් පිට වරද පටවන්න උත්සහ කරනවට වඩා පහසුයි සහ වඩා යහපත් ඒ වරද පිලිගන්න එක. ඒ වෙනුවෙන් සමාව ගන්න එක.

වරද වහන්න, වෙන කෙනෙක් පිට වරද පටවන්න යන එකෙන් වෙන්නෙ ගින්න තව තව ඇවිලෙන එක. ඒ ගින්න නිවාලන හොඳම විදිය සමාව ගැනීම සහ වරද පිලිගැනීම වෙන්න පුලුවන්.

ඉතින් හැම තිස්සෙම උත්සහ කරන්න ගින්නක් ඇවිලෙද්දි ඒ ගින්න නිවන්න. ගින්න නිවුනට පස්සෙ අපිට හෙමින් සැරේ හොයල බලන්න පුලුවන් ගින්න ඇවිලෙන්න මූලික උන හේතුව. අපි නිවන්න, නතරකරන්න උත්සහ කරන්න ඕන අන්න ඒ හේතුව!

Related Articles

Don't Miss


Latest Articles