බිහිසුණු අපරාධකරුවෙකු ලුහුබැද ගිය දෑස් නොපෙනෙන තරුණිය දුර්ගා

දෑස් නොපෙනී වුවත් අසාධාරණය වෙනුවෙන් පෙනී සිට, අපරාධකරුවෙකු ගේ ග්‍රහණයට ලක්වූ තරුණියන්ගේ ජීවිත බේරාගත් ඇය ” දුර්ගා “

2021 වසරේ අගෝස්තු දහතුන් වන දින නිකුත් වන Netrikan ( තෙවනි ඇස ) නම් මෙම චිත්‍රපටිය මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වෙමින් තිබෙනවා

Lady Super Star ලෙස හැඳින්වෙන නයනතාරා ” දුර්ගා ” නැමති මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ගෞතම් ලෙස ශරන් ශක්ති ද , ආචාර්ය ජේම්ස් ලෙස අජ්මාල් අමීර් ද රංගනයෙන් දායක වනවා.

CBI නිලධාරිනියක ලෙස සේවය කරන දුර්ගා හැදීවැඩුණු ළමා නිවාසයේ ඇගේ සහෝදරයා ලෙස සිටි ආදිත්‍ය සමග රාජකාරි රථයෙන් යමින් සිටියදී හදිසි අනතුරකට ලක් වනවා. එම අනතුරෙන් ආදිත්‍ය මියයන අතර දුර්ගාගේ ඇස් පෙනීම අහිමි වනවා.

එතැන් පටන් රැකියාවට සමු දීමට සිදු වන නිසා ඇයට මග පෙන්වීම සඳහා සිටින්නේ ” කන්නා” නැමති සුරතලෙක් පමණයි.

දිනක් රාත්‍රියේ දී කැබ් රථයක් එනතුරු බලා සිටින දුර්ගා ට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවනවා.එම සිදුවීමෙහි යම් යම් සැක සහිත දේවල් නිසා දුර්ගා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කරනවා. එම කුලී රථ රියදුරා අපරාධකරුවෙක් විය හැකි බවටත් ,ඔහු තමාව පැහැර ගැනීමට උත්සහ කල බවටත් දුර්ගා ප්‍රකාශ කළත් දෑස් නොපෙනෙන ඇයගේ කතාව කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැහැ .

මේ අතර එම ප්‍රදේශයේ සහ ආසන්න ප්‍රදේශවල නිතර නිතර සිදුවන ගැහැණු ළමුන්ගේ අතුරුදහන් වීම් පිළිබඳ පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබෙනවා. ඒවා සහ දුර්ගා ගේ කතාව අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි සැක කරන පොලිස් පරීක්ෂක මනිකන්දන් දුර්ගාගේ පැමිණිල්ල කෙරෙහි විශේශ අවධානය යොමු කරනවා.

අදාල දිනයේදී දුර්ගා ගමන් කළා යැයි කියන කුලී රථය සොයා ගැනීමට පොලිස් පරීක්ෂකවරයා තැත් කලත් එම උත්සාහය අසාර්ථක වනවා .මේ අතර ඩිලිවරි සේවාවක රැකියාව කරන ගෞතම් නැමති තරුණයෙකු දුර්ගා ට අදාල සිදුවීමෙහි සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වනවා . අදාළ මෝටර් රථය කුලී රථ සේවාවක නොවන බවත් එය පෞද්ගලික වාහනයක් බව තමන් දෑසින් දුටු බවත් ඔහු තරයේම ප්‍රකාශ කරනවා .නමුත් පොලිස් පරීක්ෂකවරයා මුල්තැන දෙන්නේ CBI නිලධාරිනියක ලෙස සේවය කළ දුර්ගාගේ ප්‍රකාශයට නිසා ගෞතම් කෝපයට පත්වෙනවා

රාත්‍රී කාලයේ දී ගෞතම් තමන්ගේ නිවස බලා ගමන් කරමින් සිටින විට කිසියම් පුද්ගලයෙක් තමාව හඹා එන බව ඔහුට දැනෙනවා . එලෙස තමන්ව හඹා එන්නේ තමන් සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වූ සිදුවීමට අදාළ මෝටර් රථයේ හිමිකරු බව ගෞතම් හඳුනාගන්නවා .ඔහුගෙන් බේරීම පිණිස ගෞතම් පලායන අතර , ඔහුව සොයාගෙන දුර්ගා සහ පොලිස් පරීක්ෂක මනිකන්දන් පැමිණෙනවා.

අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි ගෞතම්ව රෝහල් ගත කිරීමට අසල්වාසීන් විසින් ඒ වන විට වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා . තමන් එම අනතුරට ලක්වීමට හේතුව දුර්ගා බව සිතන ගෞතම් ඇය කෙරෙහි කෝපයෙන් පසු වෙනවා . කරුණු පැහැදිලි කිරිමට දුර්ගා උත්සාහ කලත් ගෞතම් එයට ඉඩ නොදී දුර්ගාව මගහරිනවා.

ගෞතම් තම මිතුරෙකු සමග දුම්රියපොළෙහි වාඩි වී සිටින විට දුර්ගා දුම්රියට නගින ආකාරයත් , තමන්ම හඹා ආ මිනිසා ඇය අසල සිටින ආකාරයත් ගෞතම් දකිනවා. කලබලයට පත් වන ගෞතම් වහාම දුර්ගා ට වීඩියෝ ඇමතුමක් ගෙන ,තත්වය පැහැදිලි කර පලා යාම සඳහා ඇයට මඟ පෙන්වනවා.

අදාළ පුද්ගලයා ගෙන් බේරී පලා යාමේදී අනපේක්ෂිත අවස්ථාවලට මුහුණ දෙන දුර්ගාට තමාගේ සුනඛ සුරතලාවද අහිමි වනවා .

අතුරුදහන් වූ තරුණියකගේ මිතුරියකගෙන් ප්‍රශ්න කරන විට , එම මිතුරිය නියෝජිතයකු හරහා ගබ්සා කිරීමක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වූ බව හෙළි වනවා .

අදාල රාත්‍රියේ දී සිදු වූ සිදුවීම් වලට අනුව කරුණු ගොනු කරන දුර්ගා අදාළ පුද්ගලයා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු බව හඳුනා ගන්නවා.එදින රාත්‍රියේදී තමාව පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයාත්, තරුණියන්ගේ අතුරුදහන්වීම් වලට සම්බන්ධ පුද්ගලයාත් එක් අයකු යැයි දුර්ගා සහ පොලිස් පරීක්ෂක මනිකන්දන් මෙන්ම ගෞතම්ද නිගමනය කරනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා කොටු කර ගැනීම සඳහා ඉදිරිපත් වන දුර්ගා මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් , අතුරුදහන් වන තරුණියන් පිටුපස ඇති කතාව සහ සියලු සිදුවීම් වලට හේතු වූ පුද්ගලයා වටා ගෙතුණු මෙම නිර්මාණය විනාඩි 146 ක් පුරා දිවෙනවා

මිලින්ද් රාවු අධ්‍යක්ෂණය කර මෙම ඇති චිත්‍රපටිය විග්නේශ් සිවන් සහ හියුන්වෝ තෝමස් විසින් නිෂ්පාදනය කර තිබෙනවා .

2011 වර්ෂයේ නිකුත් වූ දකුණු කොරියානු සිනමා නිර්මාණයක් වන Blind නැමැති චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් ලෙසයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

අපරාධකරුවා ඉදිරියට යන දෑස් නොපෙනෙන දුර්ගාට සිදු වන්නේ කුමක්ද ?

අපරාධකරුවා විසින් පැහැරගත් තරුණියන්ගේ ඉරණම කුමක් වේවිද ?

දුර්ගා ගේ සහායට පැමිණෙන පොලිස් පරීක්ෂක මනිකන්දන් සහ ගෞතම්ට කුමක් සිදුවෙයිද ?

තරුණියන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වන දුර්ගාගේ උත්සාහය සාර්ථක වෙයිද ?

මේ සියල්ලම දැන ගැනීමට නම් ඔබට මේ අපූරු සිනමා නිර්මාණය නරඹන්නට ම සිදු වනවා.

Related Articles

Don't Miss


Latest Articles