Intermittent fasting කරන ඔබ නොකළ යුතු වැරැදි

අනවශ්‍ය බර අඩු කර ගැනීම සඳහා බොහෝ දෙනා භාවිතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස intermittent fasting හැඳින්වෙනවා. මෙය නිසි  අවබෝධයක් ඇතිව කළ යුතු දෙයක්. මෙම ක්‍රමය අත්හදා බලන බොහෝ දෙනා අතින් සිදුවන වැරදි අඩුපාඩු බොහොමයක් තියෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම. 

ඔබේ ජීවන රටාව සැලකිල්ලට නොගැනීම 

intermittent fasting ක්‍රමය අනුගමනය කිරීමේදී කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවන රටාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඔබේ කාල සටහන ,ඔබේ රැකියාවේ ස්වභාවය , ඔබ දිනකට ගන්නා ආහාර ප්‍රමාණය , ඔබ කොතරම් දුරට ක්‍රියාශීලි පුද්ගලයෙකු ද යන කරුණු පිළිබඳව වගේම ඔබ කොතරම් දුරට සමාජශීලී පුද්ගලයෙකුද යන කාරණාවත් මෙහිදී වැදගත් වෙනවා. රැකියා වේලාවෙන් පසුව ඔබට රැස්වීම් , මිතුරු හමුවීම් හෝ වෙනත් කාර්යයන් නිතර යෙදෙනවානම් intermittent fasting ක්‍රමය අනුගමනය කරන කාලසීමාව තීරණය කිරීම පිළිබඳව ඔබ සැලකිල්ලක් දැක්විය යුතුයි.

ආහාර ගතයුතු කාලය ඇතුළත ප්‍රමාණවත් තරම් ආහාර ලබා ගැනීම අනිවාර්යය වනවා. එම කාලය තුල ඔබ පරිභෝජනය කරන ආහාර වලින් ඔබ දෛනික පෝෂණ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ශරීරයට ලබා ගත යුතු නිසා සමබල ආහාර වේලක් වගේම නැවුම් පළතුරුද ආහාරයට ගත යුතුයි. 

ඕනෑවට වඩා ආහාර ගැනීම

බොහෝ වේලාවක් නිරාහාරව සිටින නිසා ඔබට ආහාර ගැනීමේ වැඩි අවශ්‍යතාවයක් දැනීම ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් බර අඩු කර ගැනීම සඳහා උත්සාහ කරමින් intermittent fasting අනුගමනය කරන ඔබට එසේ ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. එයින් සිදුවන්නේ පෙර තිබුණාටත් වඩා අධික ලෙස ඔබේ ශරීරයේ බර ප්‍රමාණය වැඩි වීමට ඇති හැකියාව වැඩි වීමයි.

වැරදි ආහාර තෝරා ගැනීම 

ඔබට ආහාර ගැනීමට ලැබෙන කාලය තුළ ඕනෑම ආහාරයක් භුක්ති විඳිය හැකි වුණත් ඔබ මේ කාලය ඇතුළත ආහාරයට ගැනීම සඳහා තෝරාගත යුත්තේ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන සහ ශරීරයට හිතකර වන ආහාර පමණයි.සැකසූ ආහාර , තෙල් අධික ආහාර , සීනි අධික ආහාර , ක්ෂණික ආහාර වැනි දේවල් ඔබ පරිභෝජනය නොකළ යුතු අතර නැවුම් එළවළු සහ පලතුරු , ධාන්‍ය වර්ග , සෞඛ්‍ය සම්පන්න මේද ආහාරයට ඇතුළත් කරගත යුතුයි.

සජලනය නොවීම 

intermittent fasting ක්‍රමය අනුගමනය කරන ඔබ නොකළ යුතුම වැරැද්දක් ලෙස මෙය දක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ ආහාර නොගෙන සිටින කාලය තුළ ඉතා හොඳින් ජලය පානය කිරීමට වග බලා ගත යුතුයි. එසේ නොවුණහොත් හිසරදය , කරකැවිල්ල , වමනය , තෙහෙට්ටුව , ඔක්කාරය , සහ මලබද්ධය වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. හොඳින් ජලය පානය කිරීමෙන් ඔබේ ශරීරය සජලීයව තබා ගැනීමට උපකාරී වනවා පමණක් නොව පූර්ණ බවක් දැනීමෙන් ඔබට ආහාර ගැනීමේ අවශ්‍යතාවය අඩු කරනවා .  ඊට අමතරව ඔබේ ශරීරය හොඳින් සජලීයව තැබෙන විට වඩා හොඳින් ක්‍රියා කිරීමද සිදුවෙනවා. 

ව්‍යායාම නොකිරීම 

ඔබ intermittent fasting ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබේ බර අඩුවීම සිදු වෙනවා. නමුත් ඔබේ ශරීරයේ බර අඩුවීම සඳහා එය පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබ ඉතා හොඳින් ව්‍යායාම වල නිරත වීම ද සිදු කළ යුතුයි. ඔබේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට , කැලරි දහනය කිරීමට සහ ඉන්සියුලින් සංවේදීතාවය වැඩිදියුණු කිරීමට ව්‍යායාම කිරිම උපකාරී වෙනවා. 

ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම

ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීම ඔබේ ශාරීරික සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයටද වැදගත් වෙනවා. ඒ වගේම ඔබේ ආහාර රුචිය නියාමනය කිරීමට මෙයින් හැකියාව ලැබෙනවා. ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නා විට ඔබේ ශරීරය ග්‍රෙලින් හෝමෝනය වැඩිපුර නිපදවනවා.මෙය ඔබේ ආහාර රුචිය වැඩි කරන අතර කැලරි සහිත ආහාර වලට ද වැඩිපුර රුචියක් දැක්වීම සිදුවෙනවා.

intermittent fasting කරන ඔබ මේ වැරදි අඩු පාඩු සිදු කරනවා නම් ඒවා වළක්වා ගෙන මෙහි උපරිම ප්‍රතිඵල ලබාගත හැකියි. කෙසේ වෙතත් මෙම ක්‍රමය අනුගමනය කිරීමට පෙර මේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගෙන ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හා සාකච්ඡා කිරීමට සැලකිලිමත් වන්න. 

Related Articles

Don't Miss


Latest Articles