“මෙහෙමයි ඔයා මොන කතාව කියං ආවත් මම බය නෑ මේධංග. අපි දෙන්න අතරෙ වුනේ මොනවද, ඔයා මට කිව්වෙ කරේ මොනවද කියන එක මට තරම්ම ඔයාටත් හොඳටම මතක ඇතිනෙ. දවසක් දෙකක් වෙච්ච දේවල් නෙවෙයිනෙ. අවුරුදු දෙකක්, දරුවට අවුරුදු දෙකක් වෙනකම් මම ඔයයි ඔයාගෙ අම්මයි කියන කතන්දර අහගෙන හිටියා. මං දරුවා හම්බුනාට පස්සෙ ගෙවිච්ච කාලෙ ඇතුලෙ නිදහසක් කියල දෙයක් වින්දෙ, කනක් ඇහිල උන්නෙ ඔයාගෙනුයි ඔයාගෙ අම්මගෙනුයි නිදහස් වුනයින් පස්සෙ විතරයි.
මං ආශ්‍රය කරන මිනිස්සු පස්සෙ ගිහින් රටේ නැති කතා හදන එක ඔයාට මහ ලොකු දෙයක් නෙවෙයි කියලා මං දන්නව මේධංග. තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවට කරන්න පුලුවන් උපරිම අපහාස කල මිනිහෙක්ට මට කතා හදන එක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයිනෙ.
ඔයා මොන විදියෙ සාම ගිවිසුමක් ගහන්න ආවත් මට කියන්න තියෙන්නෙ සොරි කියලා තමයි ආයෙ කවදාවත් මමවත් මගෙ දරුවවත් ඒ ඉඳපු අපායට නම් එන්නෙ නෑ. ඔයා මොන ලැජ්ජාවක් මට කරනවා කිව්වත්, සමාජෙන් කතා අහන්න වෙන එක මට නම්බුයි සහ මට මගෙ හිත හදාගන්න පුලුවන් මගේ කියලා හිතන් උන්නු මිනිස්සුන්ගෙන් මගෙ දරුවා කතන්දර අහනවා අහන් ඉන්නවට වඩා”
මේධංග ඇවිත් වීරසිංහ පවුල එක්ක කතා කර කර ඉන්නවා දුටු වෙලාවේම මොකක් හරි ගිනිගෙඩියක් පත්තු කරන්නට ඇති බව තේරුම්ගන්න තරංගාට අපහසු උනේ නැත. හිතට දුකක් දැනුනේ මේධංග මොනවා කිව්වාද කියා හිතිච්ච හන්දා නොවේ, අවුරුදු දෙක තුනක් ආදරේ කර, කසාද බැඳත් කාලයක් ගත් වුණාට පස්සේ සතාගේ ඇත්ත ස්වරූපය දකින්න වෙච්ච එක ගැන ය.
“අපේ පුතා ඔය ඔය ළමයාගෙන් පිට කරන්නෙ ඔයා ළමයා එක්ක තියෙන තරහක් නෙවෙයි අර ලෙඩ ළමයා ගැන තියෙන තරහා”
“ඉතින් ළමේක් ලෙඩ වෙන එකට තාත්තා කෙනෙක් තරහා ගන්නෙ මොකටද? අනික ඕටිසම් කියන්නෙ ලෙඩක් නෙවෙයි. ඒක කන්ඩිශන් එකක්. හරි ට්‍රීට්මන්ට් වලින් හරියට ට්‍රීට් කරොත් සාමාන්‍ය ලමයෙක් විදියටම උඩට යන්න පුලුවන් දෙයක්. එහෙම නැතුව මේ මෙලෝ දෙයක් කරගන්න බැරි දරුවෙක් නෙවෙයිනෙ. ඒකට තරහා ගත්තා කියලා වැඩක් වෙන්නෙ නෑනෙ. මේධංග හරිහමන් මිනිහෙක් නම් කරන්න ඕන තරහා අරගෙන මේ මටයි දරුවටයි බනින එක නෙවෙයි මට උදව් කරන එක මේ දරුවව ගොඩ දාගන්න”
“ඔහොම කතා ඇත්ත වෙනවා ඇති පොත්වල. මොන පිරිමියටද උහුලන්න පුලුවන් තමන්ගෙ දරුවාට ඔහොම දෙයක් උනාම. මිනිස්සු හිතනවා ඇති අපේ මේ පරම්පරාවලින් එන ලෙඩ කියලා” නැන්දම්මා කියද්දි මෙච්චර කාලයක් කතන්දර අහගෙන ඉන්න වෙච්ච එකේ මෙන්න මේටිකත් කියනවා කියලා තරංගා හිතුවේ රතු කට්ට ඉවසිල්ලේ අන්තිම ඉරත් පැන්නුවයින් පස්සේය.
“නෑ අම්මෙ, මේ වෙච්ච දේවල් දන්න මිනිහෙක් නම් දන්නවා කීයටවත් ඕක මේ මේධංගලගෙ පැත්තෙන් ආව ප්‍රශ්නයක් නෙවෙයි කියලා” තරංගා කිව්වෙ ගා අවසන් වෙච්ච පොල් අඩලය කුණු බක්කියට විසි කරන ගමන් ය.
“ඇයි එහෙම කිව්වේ?” කියා කුසුමලතා ඇහුවේ තරංගා ඒක කිව්ව විදියේ වෙනදාට නැති අමුත්තක් දකින්න ලැබිච්ච හන්දාය.
“මේධංගගෙන් ආව ලෙඩක් නම් එන්නෙ මානසික ලෙඩක් බව මේධංග මටයි දරුවටයි බැණ බැණ යනවා ඇහිච්ච හැමෝම දන්නවනෙ” කියා තරංගා සුද්ද කරපු ගොටුකොල ටික ලියන්න අතට අර ගන්න ගමන් කියද්දී කුසුමලතා නිශ්ශබ්ද උනේ කියන්න දෙයක් නැති හන්දාමය. ඒත් එවෙලේ කට වැඩ නොකරට හිත නම් බොහොම හයියෙන් වැඩ කරන්නට ඇති බව තරංගාට අදටත් විශ්වාසය.
“තරංගා මේ පිට තැනක් හන්දා මං කට වහගෙන ඉන්නෙ. තමුසෙව ඔය වාහනවල නග්ග ගෙන යන මිනිස්සුන්ගෙ හයිරංකාරකම ඔලුවට අරගෙන ඒ සද්ද මට දාන්න එන්න එපා. මට මේ මෙතන කටවහගෙන ඉන්නෙ තමුසෙ තාමත් මගෙ කසාද ගෑණි හන්දා. තමුසෙ හිතන් ඉන්න ලේසියට මම තමුසෙට දික්කසාද දීල තමුසෙව වෙන පිරිමින්ට පුදන්න තරමෙ පිරිමිකමක් නැති එකෙක් කියලා හිතන්න එපා.
තමුසෙට ඔප්ශන් දෙකක් දෙනවා මං.එක්කො සද්ද වහගෙන තමුසෙ ගෙදර එනවා. එහෙම නැත්තම් හැමෝම ඉස්සරහා, තමුසෙගෙ හොර මිනිස්සු ගැන මං උසාවියෙදි එලියට ඇද්දම ලැජ්ජ වෙන්න බලාගෙන ඉන්නවා. ආයෙ මං මේක කියන්නෙ නෑ. තමුසෙ කැමති තීරණයක් ගන්නවා. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්නව. මගෙ නම චාටර් කරන්න හිතාගෙන හිටියට ඒක නම් එච්චර ලේසි වැඩක් කියලා හිතන්න එපා”
මේධංග ඔය කතාව කියා ගියාට පස්සෙත් තරංගා උන්නේ දෙලොවක් අතර හිරවෙලාය. අනෙක් අතට වීරසිංහ ආන්ටිලගේ මූන බලන්න බැරි අපහසුවක්ද තරංගාට නොතිබ්බා නොවේ. මේධංග පැමිණ මොන මොනවා ඒ මිනිස්සුන්ට කිව්වාද කියන කතාවත්, ඒ මිනිස්සු තමන් ගැන මොනවා හිතාගෙන ඉන්නවද කියන එකත්, තමන්ට මේ අමාරුවෙන් හොයාගත්ත නවාතැන නැතිවේද කියන එකත් ගැන නොසිත ඉන්න පුලුවන්කමක් තරංගාට තිබ්බේ නැත. සනුකි උන්නේ සුවපහසු නින්දකට වැටීය. එහෙත් වෙනදා වගේ ඇය සුවපහසුවෙන් නිදන දිහා බලාගෙන හිත සනසගන්න අද තරංගාට පුලුවන්කමක් තිබ්බේ නැත. හිත යකාගේ කම්මල වගේ එහෙන් මෙහෙන් ප්‍රශ්න විසි කරයි.ඒ ප්‍රශ්නවලට දෙන්න ඕන උත්තර මොනවද කියා හිතාගන්න අමාරුය. හිත බර වැඩි හන්දාම තරංගා කරේ සාලයේ ෆෑන් එක ඔන් කර සීතල ටයිල් පොලොව උඩ හාන්සි වෙච්ච එකය. ගිනි අරගෙන තියෙන හිත නිවන්න ටයිල් එකෙන් උඩට මතුවෙන හීතලත් ෆෑන් එකෙන් පල්ලෙහට වැගිරෙන හීතලත් අතර සැන්විච් වෙන්න තරංගාට උවමනා උනාය.
තමන් කොච්චර මොන විදියට හිතුවත් මේධංග කියන්නෙ අමුතුම සතෙක් බවත්, ඒ සතාගේ ඊලඟ පියවර කුමක් වෙන්න හැකිද කියන එකත් ගැන ඇත්තටම හිතාගන්න තරංගාට බැරිය. මේධංග මොන දේ උනත් කරන කරදරයක් කරන්නෙ තමන්ට මිසක් දරුවාට යමක් කරන්න පෙළඹෙන එකක් නැතැයි තරංගා හිතුවාය. මොක උනත් ඒ දරුවා තමන්ගේ ලෙයින් උපන්න දරුවෙක් බව කොච්චර තිරිසන් ගති තිබ්බත් මේධංග අමතක කරන එකක් නැතැයි තරංගා හිතුවාය.
“මට මොනවා හරි උනොත්, අක්කයි අයියයි මගෙ දරුවව බලාගන්න” ඕන කියා ගෙදරින් එන දවසේ අක්කාට වඳින වෙලාවේ තමන්ට කියවුණේ මෙහෙම කරදරයක් වෙන්න තිබෙන බව යටි හිතට තේරිච්ච හන්දාද කියාත් තරංගා හිතුවාය.
“දරුවට ඉන්න දීල මේධංග මට මොන දෙයක් කරත් කමක් නෑ. අයියයි අක්කයි මට පිටුපාන්නෙ නෑ, මගෙ දරුවට පිටුපාන්නෙත් නෑ.” කියා ටයිල් පොලොව උඩ හීතලේ සැන්විච් වී ඉන්න ගමන් හිත ගින්දර නිවාගන්න තරංගා එහෙමත් හිතුවාය.
සාගර උන්නෙ ඔය අතරවාරයේ අම්මා එක්ක දුරකතන සංවාදයකට එළඹිලාය. එදා ගෙදර ගොස් ආ දවසෙන් පස්සේ අම්මාට සාගරගෙන් අහන්න තිබුනේ එක එක ප්‍රශ්නයක් පමණකි.
“ඔයා අර ළමයා ගැන මොකද හිතන්නේ?” කියාය. එක පැත්තකින් සාගර උන්නේ අම්මා ගැන දුකකිනි. කොච්චර හිතවත් විදියට රඟපෑවත් ශ්‍රියානි මිස් තමන්ගේ නෑ වෙන දියණිය වන දුල්මිණී ජීවිතයේ තිස් ගණන්වලදිත් විවාහයකට එළඹුනේ නැති ඇත්ත හේතුව අම්මාට කියා නැති බව සාගර තේරුම්ගත්තේ එදා දුල්මිණීලා ගෙදරින් පිටවෙලා ගියාට පස්සෙ අම්මා ඒ ගැන කියපු දේවල් වලින් ය.
“ඒ ළමයා අවුරුදු තිස් ගාණක් වෙනකම් කසාදයක් කරගෙන නැත්තෙ ඔය කොළඹ රස්සාවට යන කාලේ යාලුවෙච්ච පිරිමි ළමේක් බොරුවක් කර හන්දලු. මේ ළමයා එක්ක යාලුවෙලා තියෙන්නෙත් තමන් කසාද බැඳලා ඉද්දිලු. හිත කඩාගෙන රස්සාවත් අතෑරල තමා ඒ ළමයා අයෙ ගෙදර ඇවිත් තියෙන්නෙ. ඒ අම්මලා හොයන්නෙත් අර දන්නම තැනක දන්න කියන පිරිමි කෙනෙක්වලු මෙයාව දරුවෙක් වගේ බලාගන්න. කන්නෙ බොන්නෙ නැතුව ඉඳලා ටික ටිකලු හරි ගියේ. දැන් නම් අපූරුවට ඉන්නවා. පුතා එක්කත් හිනාවෙලා කතා කරනව මං බලාගෙන” කියමින් අම්මා අහිංසක විදියට හිනාවෙද්දී හැමතැනකම දරුවන්ගෙ ගිනි උහුලන්නේ අම්මලා බව සාගරට හිතන්නෙ නැතුව ඉන්න පුලුවන් උනේ නැත.
“මට එහෙම ආයෙම කසාදෙකට යන්න උවමනාවක් නෑ අම්මෙ. අනික කවුද දන්නෙ ආයෙ එහෙම දෙයක් කරගත්තත් ඕක හරියාවිද කියල. එහෙම එකේ අන්තිමේ ඒ ගෑණු ළමයට මං හින්දත් හිත කඩාගන්න උනොත් පව් නේද” කියා සාගර කිව්වේ දුල්මිණී තමන්ට කිව්ව ඇගේ ජීවිතේ ඇත්ත කතාව තමනුත් ඇයත් අතර වෙච්ච කතාවක් පමණක් විය යුතු බව මතක තබාගෙනය.
“ළමයො, ජීවිතේ එකපාරක් වැරදුනා කියන එකෙ තේරුම් මේ ආයෙ මනුස්සයෙක්ට කසාදයක් කරගන්න බෑ කියන එක නෙවෙයිනෙ. අනික උඹලා මේ පිරිමි. ඔන්න ගෑණුන්ට නම් කසාදෙ කැඩුණයින් පස්සෙ ආයෙ එහෙම දෙයක් ගැන හිතන එක අමාරුයි. ඒ උනාට දැන් ඔය නිලියො එහෙමත් ඉන්නෙ දෙතුන් විඩේ කසාද බඳින. එහෙව් එකේ පිරිමියෙක්ට මොකෝ බැරි ආයෙම කසාදයක් කරගන්න.
අනික උඹ එකපාරක් කසාදෙ කැඩිච්ච මනුස්සයෙක් නිසා ඒ වගේම කසාදෙ කැඩිච්ච ගෑණියෙක්වම බඳින්න ඕන කියල එකක් නෑ. එහෙම මේ නට්ටං වෙච්ච ගෑණුන්ට වඩා මෙහෙම ළමේක් හොඳයි. උඹට කොහොමත් මිනිස්සුන්ගෙ හිත සැනසෙන්න කතා කරන්න ඇහැක් එකේ ඒ වගේ ළමේක්ට පිහිට වෙන එකත් හොඳයිනෙ”
“පිහිට වෙන්න නම් ඉතින් කසාද බඳින්නම ඕන නෑනෙ අම්මෙ” කියා නොකිව්වට සාගර එය හිතෙන් හිතුවේය.