මා හද මට නැති විට – 10

“මං ලීව් එකක් දැම්මා තේජ. මේ ඩොකියුමන්ට්ස් බලලා තියන්න.”

අනුත්තරා තේජ වෙත ආවේ එසේ කියාගෙන ය. තේජ බැලුවේ අනුත්තරාගේ මුහුණ දෙස ය. ඇය කලබලයෙන් නොවේ. නමුත් හදිසි ගමනක් යන්නට ඕනෑ හැඩයකි.

“ගමේ යන්නද?”

කොළඹ සිට කෑගල්ලට යන්නට තරමක වෙලා ගත වන හන්දා දැනටමත් රෑ බෝ වැඩිදැයි සිතමින් තේජ පැවසී ය. නමුත් අනුත්තරාට රෑ දවල් වෙනසක් ද නැත. ඇය බොහෝ අවස්ථාවලදී මඟට බසින්නේ ඉරට යන්නටම ඉඩ හැරීමෙන් පසුව ය.

“නෑ. ඔයාගෙ ලේන් එකට යන්නෙනම්. ඒත් ඔයා එන්නෙ හයට විතරනෙ. මං දැන් යන්නෝන.”

ඒ ලාවන්‍යාගේ නිවසට බව තේජ දනියි. අසනීපයෙන් හිඳින්නේ අනෝජාදැයි ඔහු ඇසුවේ ලාවන්‍යා ගැන නාසන්නට ප්‍රවේසමෙනි. නමුත් ඇය වතාවක් සියදිවි නසා ගන්නට උත්සාහ කළ බව ඉන්ද්‍රා පැවසූ අන්දම තේජට අමතකව නොයයි. ඔහු දැන් හඹායන්නේ ඒ කතාව පසුපස ය.

“ලාවිගේ නඩුව ඉවරයි”

අනුත්තරා ඒ බව කියන්නේ නිවේදනය කරන හඬකිනි.තේජ හිස ඔසවා මිතුරිය දෙස බැලුවේ ය. දික්කසාද නඩු අවසන් වන්නේ එකෙකු හිරේ විලංගුවේ වැටී නොවේ. දෙදෙනාම හිර ගෙයකින් නිදහස් වීමකිනි. ඒ හන්දා තේජ අසන්නට ගිය ප්‍රශ්නය නාසා ඉන්නට තීරණය කළේ ය. නමුත් අනුත්තරා ඔහුගේ හැඟීම් කියවා ගත්තා ය.

“ලාවි අප්සට් නම් නෑ මං හිතන්නෙ. ඒ හින්දා අපි හිතුවා පොඩියට පාටි එකක් දාන්න.”

තේජ හිනැහිණ. කෞෂිගේ හිනාව කොහෙන්දෝ පැමිණ ඇසෙහි හැපෙන්නාක් මෙන් හැඟීමක් ඔහුට දැනෙයි. කොහොමත් අමුතුවෙන් සිහි වන්නට උවමනා නොවේ. ලියෝන්ට ඇත්තේ ඇගේ සිනාව ය. කෞෂි ද සාදයකින් නිදහස සමරන්නට ඇතිදැයි ඔහු සිතී ය. එහෙත් ලාවන්‍යාට නිදහස සමරන්නට අයිතියක් වේ. නමුත් කෞෂිට එවැනි අයිතියක් ඇත්තටම ඇත්තේ නැත.

“පාටි එකක් දාන්න ලාවන්‍යා කැමති වුණාද?”

මේ අතුරු ප්‍රශ්නවලට උත්තර දෙන්නට කාලයක් නොවුණ ද අනුත්තරා පුටුවක් ඇද තේජ ඉදිරියෙන් අසුන් ගත්තා ය. මනාලියක වන්නට දින කිහිපයකට පෙර ලාවන්‍යාට ලබා දුන් Bride to be සාදය ඇයට සිහි වූයේ අහේතුකව ය. මේ එයට වඩා වෙනස් කතාවකි. දරාගත නොහැකි තරම්  පීඩාවලින් සහ වේදනාවකින් නිදහස් නිදහස් වීමේ සතුට සමරන සාදයකි.

“නෑ. අපි හිතුවා එහෙම දෙයක් කරොත් එයාගෙ මානසිකත්වෙ ටිකක් වෙනස් වෙයි කියලා.”

අනුත්තරා එහෙම කියද්දී තේජ උස්හඬින් හිනැහිණ. අනතුරුව ඔහු ඇසුවේ පුදුමාකාර ප්‍රශ්නයකි.

“අනේ බං! තමුසෙ සයිකොලොජි ඩිග්‍රි එකකුත් පටන් ගත්ත නේද? මං ලාවන්‍යාගෙ යාලුවෙක් වුණානං අද ඒ ළමයට පාඩුවේ ඉන්න දෙනවා. ඔය වගේ බර කන්දක් බිමින් තියපු දවසක මනුස්සයෙකුට  නටලා සින්දු කියලා කාලා බීල සතුටු වෙන්න ඕනේ නෑ. පොඩ්ඩක් නිදහසේ ඉන්නයි ඕනේ. වැරදිච්ච දවස් ගැන මෙතනින් එහාට කරන දේ ගැන ටිකක් කල්පනා කරන්න ඉඩ දෙන එකයි යාලුවෝ කරන්න ඕන.”

ඒ කතාවට එකඟ වන්නට අනුත්තරා අකමැති ය.ඒ ඇය මනෝ විද්‍යාව දන්නා හන්දා නොවේ. ඇය මිතුරිය ගැන හොඳින්ම දන්නා නිසා ය. මෙවැනි මොහොතක තනි වීම ඕනෑ කෙනෙකුට ප්‍රිය උපදවන්නකි. නමුත් එවැනි මොහොතක තනි නොකර හිඳීම මිත්‍රත්වයේ නාමයෙන් කළ යුතුම දෙයකි.

“ලාවි එක වතාවක් දෙකක් ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කරලා තියනවා. අර සතා හන්දා ජීවිතේ මෙතනින් ඉවරයි කියලා එයාට හිතන්න ඉඩ දෙන්න මම ආස නෑ.”

ජීවිතය එසේ අවසන් වන්නේ ද නැත. ලාවන්‍යාගේ ජීවිතයේ වසන්ත මල් පිපෙන්නට ඕනෑ දැන් වග අනුත්තරා විශ්වාස කරන්නී ය. තමන්ගේම කියා පවුලක් ද දරුවන් ද ගැන සිහින දකින්නියකට ඒ සිහින අහිමි විය යුතු නොවේ.

“මට ගෑනු ගැන තේරෙන් නෑ.”

ලියෝන් ආවේ අහසින්දැයි අහන්නට ඕනෑ වුවත් අනුත්තරා එය නෑසුවා ය. ඒ වෙනුවට ඇය තේජට සමු දුන්නා ය.  ලාවන්‍යාගේ නිවසට යන්නට ත්‍රීරෝද රියට නැඟුණු ඇයට නිර්වාන් විජේබණ්ඩාරගේ ෆේස්බුක් ගිණුමේ සංචාරය කරන්නට සිතිණ. ඔහු සැහැල්ලුවෙන් ජීවත් වන කොලුවෙකි. ඔහු ලාවන්‍යා ගැන උනන්දු වන වග කියන්නට උෂාන් ඉක්මන් වූවා වැඩියැයි අනුත්තරා සිතුවා ය. ඇය නැවත නැවතත් නිර්වාන්ගේ සිනාව දෙස බලා සිටියා ය.

තේජගේ බරැති සිනාවේ නැති අවංකකමක් ඇයට නිර්වාන්ගේ සිනාවේ පෙනෙන්නට තිබේ!

බාලිකාවේ ඉගෙන ගන්නා කාලයේ ඕනෑවටත් වඩා හිනැහුණු ජීවිතය කුරුළු පිහාටුවකටත් වඩා සැහැල්ලු වග සිතූ ලාවන්‍යා නිස්කලංක චරිතයක් වී ජීවිතය මහාමේරුවක් වග සිතන්නට වූයේ භවන්තගේ හමුවීම හන්දා බව අනුත්තරා හොඳින්ම දනියි. නැවත ඇය කුරුළු පිහාටුවක් කරන්නට භවන්තගේ ගැඹුරු සිනාවට නොහැකි බව අනුත්තරා තීරණය කළා ය. එය කළ හැක්කේ නිර්වාන්ට ය.

“අපේ ලාවන්‍යා අද ඩිවෝස් එක ගත්තා. පොඩි පාටියක්නම් තියනවා. ඒ වුණාට එන්න එපා. ඒත් ඔයාගෙන් ලැබෙන මල් පොකුරක්,කේක් එකක් ලාවිගේ අතට දෙන්න අපිට බැරිකමක් නෑ.”

සාහිත්‍යමය ඉංග්‍රීසි භාෂාවෙන් ඒ පණිවිඩය නිර්වාන්ට යවා ඇය දුරකථනයේ අන්තර්ජාල සම්බන්ධතාවය නිවා දමන්නට තීරණය කළා ය. තේජට පෙර නිර්වාන් ඉක්මන් විය යුතු වේ. අනුත්තරාට එසේ සිතේ.

“අනුත්තරා ඔය ඩිවෝස් කතාව නිතරම කියන්නෙ ලාවන්‍යා කියන කෙල්ල ඩිවෝස් කියලා උඹට මතක් කරන්න කියලයි මටනම් හිතෙන්නෙ.”

පසන් එහෙම කිව්වේ තේජගේ දුරකථන සංවාදය අසා හිඳීමෙන් අනතුරුව ය. තේජව පඹ ගාලක නොපටලා කතාව ඉදිරියට ගෙන යන්නට ද ඔහු තීරණය කර තිබිණ.

“කොහොමත් උඹලගෙ ඔෆිස් එකට යන එන වෙලාවට මටනම් තේරුණු දෙයක් තියනව. අනුත්තරා ඉන්නෙ උඹ ගැන කැමැත්තෙන්. උඹ එකපාරටම එයාගෙ යාලුවගෙ ගෙදර ගාව පදිංචියට ගිහින් ඒ ළමයා ගැන උනන්දු වෙනවට අනුත්තරා කැමති නෑ.”

පසන් මේ කියන්නේ මොනවාදැයි තේජ සිතන්නට වූයේ ය.

(කොටස් දහයක් පුරා ඔබට හිතුණු හැම දෙයක්ම කමෙන්ට් එකකින් තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles