හිතලු

” අනේ මන්දා පියුමි… රක්ශිත ගේ චරියාව නම්  මගේ හිතට අල්ලන්නේම නැහැ… දැක්කද ඊයේ උදේ දාලා තිබුණ ෆොටෝ එක  මං ඒ ගෑනිට මැසේජ් කරාලා බැන්නා කියලා එයා මට කෑ ගැහුවා.. එයාට ඒ ගෑනි තමා මට වඩා වටින්නේ……..”

ඉවසීමක් නැතිම තැන චන්දුලී කාර්‍යාල සගයාට කිව්වේ ඇස් වල කඳුලු පුරවගෙන. පියුමි කරමින් උන්න වැඩේ නවත්තලා මිතුරිය දිහා බැලුවා. 

” මොකක්ද දැන් එයා කියන්නේ ?”

” එයාගේ ඔලුව නොකා ඉන්නලු.. ඉන්න බැරි නම් කැමති තීරණයක් ගන්නලු… තමන්ගේ ස්පේස් එකේ ජිවත් වෙන්න බැරි ගෑණු එක්ක එයාට කතාවක් නෑලු ..”

එහෙම කියනකොට චන්දුලීට ඇඬුණා. එච්චර වෙලා නවත්තගෙන හිටපු කඳුලු වාන් දාලා ගියා. පියුමි මිතුරිය දිහාව බලාගෙන හිටියේ අනුකම්පාවෙන්.  වරද රක්ශිතගේද, එහෙම නැත්නම් චන්දුලීගේද කියලා පියුමිට වැටහෙන්නේත් නැහැ. ඒත්, දෙන්නගේ ආදර කතන්දරේ ගලාගෙන යන විදිය දෙන්නාටම මානසික වදයක් බව නම් පියුමි දන්නවා. 

“අනේ මන්දා චන්දුලී… මට ඔයාව අහගෙන ඉන්න විතරයි පුළුවන්. කරන්න ඕනි මොකක්ද කියලා තීරණය කරන්න ඕනි ඔයා…අද රක්ශිත ගැන ඔහොම කිව්වට, හෙට උදේ වෙනකොට ඔයාට එයා තරම් කෙනෙක් නැහැ… රක්ශිත මතක් කරනකොටත් මනමාල හිනා වැටෙනවා ඔයාට…කවුද හරි වැරදි මම දන්නේ නෑ..”

චන්දුලී ඒකටත් හිස සැලුවා. ඒ කියන කතාවෙත් වරදක් නැති බව චන්දුලී දන්නවා. රක්ශිත එක්ක තමන් මොන තරමට ඇදිලා යන අමනාපයක උන්නත්, ඉතා ඉක්මනින් නිවන වචන රක්ශිත දන්නවා. කොච්චරක් හිතාගෙන හිටියත්, ඒ වචනවල තියෙන නිවුම්කාරක ගතියෙන් මිදෙන්න චන්දුලී ට බැහැ. අනෙක් පැත්තට තමන් මවාගෙන ඇති කරන ප්‍රශ්න ඇරුණම රක්ශිත කිසිම වෙලාවක ප්‍රශ්න ඇති නොකරන බවත් චන්දුලී දන්නවා. 

“හිතුනොත් මේ ඔක්කොම මඟුල් අතෑරලා දාලා යන්නම යනවා අප්පා මම…”

පියුමි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට, චන්දුලී එහෙම කියලා එතැනින් පිටවුණා.

චන්දුලී හවස බෝඩිමට ගියේ තෝන්තුවෙන් වගේ.  පියුමි බලෙන්ම දවල් බත් කටවල් දෙකක් කැව්වා  නිසා මිසක් චන්දුලී උන්නේ වේල් කිහිපයක් තිස්සේ කුසගින්නේ. දවස් එක හමාරක් තිස්සේ රක්ශිත තමන්ව ඇමතුම් වලිනුත් අවහිර කරලා දාලා, අන්තිමේදි පණිවිඩයක් වත් නොදෙන විදියටම සියලු ගිණුම් අවහිර කරලා දාලා තියෙන බව මතක් වෙනකොට ඇගේ නෙත් තෙතට බර වෙන එක නැවතුණේ නැහැ. 

කාර්‍යාල ඇඳුමෙන්ම එහෙමම නින්දට වැටිලා උන්න චන්දුලී එකපාරටම ඇහැරුණේ මැදියම් රැයේ. ජංගම දුරකථනය අතට අරගත්තේ නිකමට. මඟ ඇරුන ඇමතුම් එකසිය තිහක්. ඉන් ඇමතුම් එකසිය දහයක්ම රක්ශිත ගෙන්. චන්දුලී ට විදුලියක් වැදුණා වගේ නැගිට්ටුණා. වෙවුලන ඇඟිලි අග්ගිසි නිසා ඇමතුමට සම්බන්ධ වෙන්න තත්පර ගාණක් ගියා.

“කොහේද දෙය්යනේ ඉන්නේ ?”

රක්ශිත ගේ වෙවුලන හඬට උත්තර දෙන්න චන්දුලී ට එක පාරටම පුළුවන් වුනේ නැහැ. රක්ශිත ඊළඟ වතාවේ ඊටවඩා සද්දේට කෑ ගහලා අහනකොට නම් චන්දුලී පියවි ලෝකෙට වැටුණා. 

“බෝ..බෝඩි..මේ…”

“ෆෝන් එක කොයි ලෝකෙද තිබුණේ…?”

” ම ..මම… බෙහෙත් වගයක් බීලා නිදාගත්තා රක්ශිත … මට…නින්..ද ගියා….”

චන්දුලී හරි ඉක්මනට කියලා දැම්මා.  

” මං විනාඩි දෙකෙන් බෝඩිම ලඟ… එලියට එන්න…”

රක්ශිත එහෙම කියනකොට චන්දුලී ඇඳෙන් බිමට පැන්නා. ඒ ඇහුණේ මොකක්ද කියලා නෑහුණ ගානට ආයෙම ඇහුවා. රක්ශිත කලින්ටත් වඩා සද්දෙන්  කරන්න ඕනි දේ කියලා, ඇමතුම විසන්ධි නොකරම පහලට එන්න කිව්වම චන්දුලී බිත්ති ඔරලෝසුව දිහා බැලුවා.

මැදියම් රැය පහු වෙලා විතරයි. ඒත් රක්ශිත ගේ හඬ ආයෙම ඇහෙනවා. චන්දුලී කාමරේ දොරෙන් එලියට බැස්සා. ගේට්ටුව ඇරගෙන ආයෙම අඟුළු දැම්මා. ඊටත් පස්සේ තමන් ළඟ නැවතුණු සුදු පාට කාර් එකේ ඇරුන දොරෙන් ඇතුලට ගොඩ වුණා.

ඊට පස්සේ හුස්ම හිර වෙන ගානට රක්ශිත ගේ දෑත් අතරට හිරවුණා. හිස් මුදුනට වෙන්න රක්ශිත ඉඹිනකොට නම් චන්දුලී ට ඉහිළුම් නැතුව ගියා.

“කෝල් කරලා කරලා බැරිම තැන මම පියුමිට ගත්තේ… පියුමි කිව්ව කතාව ඇහුවම මට උතුර දකුණ අමතක වුණා… සනියාගේ අය්යගේ කාර් එක ඉල්ලගෙන මම එහෙමම ආවේ මේ ..”

රක්ශිත ගේ හඬේ තියෙන්නේ නම් කෝපයක් නෙවෙයි වග චන්දුලී ට වැටහෙනවා. චන්දුලී කිසිම පැහැදිලි කිරීමක් නැතුව ඉකි බින්දා විතරයි. 

“මොකද්ද වුණේ චන්දුලී…?”

රක්ශිත එහෙම ඇහුවේ ටික වෙලාවකට පස්සේ. 

“ඉන්න බැරි නම් ඉතින් ඔයා යන්න කිව්වේ … මට … යන්න … හිතුණා ඉතින් …. ඒත් මං එහෙම මුකුත් කලේ නෑ…”

චන්දුලී හෙමින් කිව්වා. රක්ශිත චන්දුලී ව පැත්තකට කරලා ඇය දිහාව බැලුවා. 

“වචන වල එල්ලෙන පුරුද්ද කවදද නවතින්නේ කෙල්ල ?”

රක්ශිත එහෙම අහනකොට චන්දුලී කලේ මුනිවත රැකපු එක.

“ජනවාරි පළවෙනිදා අකිලා එක්ක දාපු ෆොටෝ එක ද හේතුව ?”

රක්ශිත එහෙම ඇහුවම චන්දුලී ඉවතක් බැලුවා. රක්ශිත දිගින් දිගටම කාලෙක ඉඳන් චන්දුලී තමන් එක්ක අමනාපකම් හදාගත්ත හේතු එකින් එක කිව්වා. 

කවුරු හරි මිතුරියක් එක්ක දාපු ෆොටෝ එකක්, කමෙන්ට් එකක්, එහෙම නැත්නම් ඇමතුමක රැඳී සිටීමක් වගේ නේක විද කාරණා එකින් එක රක්ශිත ට මතක තිබුණා.

“ඔය ඔක්කොම ඔයා මවාගත්‍ත මනස්ගාත කියලා මට ඔයාට ඔප්පු කරන්න පුළුවන්. ඒත් ඒකෙන් වෙන්නේ අපි දෙන්නම ඒ එක එක මිනිස්සු ඉස්සරහ නෝන්ඩි වෙන එක… ඔයා ඔය හිතාගන්න හිතලු ඇරුනම මම ඔයාගේ විශ්වාසේ කඩලා තියෙනවද?”

චන්දුලී හිස සැලුවා.

” මට සමාවෙන්න .., මං ඔයාට එච්චර සැරෙන් කතා නොකර ඉන්න තිබුණේ.. ඒත්  ඔයා අර අකිලාට මැසේජ් කරලා බැන්නා කියලා ඒකි ඇවිල්ලා කිව්වම මට තරහ ගියා.. ඒ ගෑනුන්ව ඇයි අපි දෙන්නා අතරට ගේන්නේ  ?”

“මට ඉතින් …”

චන්දුලී උත්සාහ කලේ කොහොමම හරි පැහැදිලි කිරීමක් ගලපා ගන්න. ඒත් උත්සාය සාර්ථක වුණේ නැහැ.

” ඉස්සෙල්ලාම මාව විශ්වාස කරන්න යම් තරමකින් හරි.. ඊට පස්සේ ආදරේ කරන්න පුළුවන් …”

රක්ශිත එහෙම කිව්වම චන්දුලී දෙතොල් පෙරළ ගත්තා. 

” දැන් ඉතින් බෝඩිමට යන්න බැහැනේ.. මෙහෙමම රවුමක් දාලා ඉමු…”

රක්ශිත එහෙම කිව්වා චන්දුලී සැනසුම් සුසුමක් හෙලුවා. දැනට හිත  පිරිලා බව දැනෙනවා. රක්ශිත ට ආදරේ කරන්න, ඒ ආදරේ එක්ක ජීවත් වෙන්න ආශාවෙන් හිත පිරෙනවා. 

“රක්ශිත…, ඔයාට පුළුවන් ද මාව කවුන්සලින් එක්කන් යන්න ?  සමහරවිට මට එහෙම මඟ පෙන්වීමක් ඕනි ඇති කියලා හිතෙනවා…”

චන්දුලී එහෙම කිව්වම රක්ශිත ඒ ඉල්ලීමට එකඟ වුණා. අතැඟිලි අස්සෙන් හරි හය්යෙන් අත් පැටලුණා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles