සාගර තරංගා – 31

0
105

කින්ඩර්ගාට්න් යන්න පටන් ගත්තයින් පස්සේ සනුකි උන්නේ වෙනදාට වඩා සන්තෝසයෙනි. ඉස්සර පොඩි දෙයක් දිහා උනත් ලොකු දෙයක් දිහා උනත් එකම විදියට එක එල්ලේ බලාගෙන පැය ගාණක් වුණත් ඉන්න කෙල්ල චුට්ට චුට්ට තමන් එක්ක කතා කරන්න, තමන් කියන දේට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත එක ගැන තරංගා උන්නේ පුදුමාකාර සන්තෝසයෙනි. 

“අම්ම්ම්ම්ම්ම්ම්…ම්ම්ම්ම්ම්ම්ම්…ම්ම්ම්ම්” කියමින් උන්නු කෙල්ල පලමුවතාවට “අම්මා” කිව්ව දවසේ තරංගා ඇත්තටම සනුකිව බදාගෙන ඇඬුවාය. අනතුරුව අක්කාටත් අයියාටත් දුරකතනයෙන් අමතා කතාව කියා ඇඬුවාය. ඉන් අනතුරුව සාගරට කතා කර මේ බව කියා ඇඬුවාය.

“අනේ මට දරාගන්න බෑ ඩොක්ටර් මේ සන්තෝසෙ. මන් කොච්චර කල් බලන්ද ඉඳියෙ සනුකි ඔහොම හරි වචනයක් ගැටගහගෙන කියාවි කියලා.මට පුදුම සන්තෝසයි. ඩොක්ටර් නිසා තමයි ඇත්තටම මේ හැමදේම. ඩොක්ටර් මට දරුවව යවන්න ඕන කින්ඩර්ගාට්න් එක ගැන එහෙම කිව්වෙ නැත්තම් මට ඇත්තටම මේ වාසනාව දකින්න තව සෑහෙන කාලයක් බලන් ඉන්න තිබුණා”

“තරංගා මං ඩොක්ටර් කෙනෙක් වගේම ඊට ටිකක් එහා ගිහින් මගෙයි ඔයාගෙයි තියෙන හිතවත්කම හන්ද පොඩි උදව්වක් කරා විතරයි. ඇත්තටම සනුකි ඔහොම ඉන්න එක ගැන මෙච්චර දුර ආ එක ගැන සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන ඔයාට. ඔයා කොච්චර මහන්සි වුණාද තරංගා මේ තැනට එන්න. ඔයා වගේ අම්මා කෙනෙක් සනුකිලා වගේ කන්ඩිශන්ස් වල ඉන්න හැම බබෙක්ටම ලැබෙන්න ඕන කියන එකයි මගෙ ප්‍රාර්තනාව”

“මේ ටික කාලෙ ඇත්තටම ඉවසගෙන හිටියනම් මේධංගට කොච්චර සන්තෝස වෙන්න තිබුණද කියලා ඇත්තටම මට නොහිත ඉන්න බැරිවුණා ඩොක්ටර්. අපි දෙන්නම එක්කහු වෙලා දරුවව ගොඩගන්න වැඩ කරානන් බාගදා සනුකි මීට කාලෙකට කලින් මේ විදියට රියැක්ට් කරන්න තිබුණා. කාගෙ අවාසනාවද කියන්න මම දන්නෙ නෑ”

“වාසනාව අවාසනාව දෙකම රැඳිලා තියෙන්නෙ අපි හිතන හිතුවිල්ල උඩ තරංගා. ඔයා මුලින් සන්තෝස වුණා මේධංග කියන්නෙ මොන ජාතියෙ මනුස්සයෙක්ද කියලා අඳුරගන්න ලැබිච්ච එක ගැන. හැබැයි දැන් ඔයා දුක්වෙනවා සනුකි කතාකරන්න පටන් ගත්තම මේධංගට ඒක දකින්න වාසනාවක් නෑ කියල. ජීවිතේ එහෙම තමයි. දෙයක් ලැබෙද්දි තවත් දෙයක් නැතිවෙන්න ඉඩක් තියෙනවා. අපි කියනවනෙ තට්ටු කරන්නාට දොර ඇරේ කියලා. හැබැයි අපි තට්ටු කරාම එක දොරක් ඇරෙන්න තව දොරක් වැහෙනවා වෙන්න පුලුවන්. අපි ඒ වෙලාවට හිතන්න ඕන ඇරිච්ච දොරෙන් අපි ඉස්සරහට යනවද එහෙම නැත්තම් ඒ ඇරිච්ච දොර අත් ඇරලා දාලා අර වැහිච්ච දොර ආයෙ ඇරගන්න ඔයා මහන්සිවෙනවද කියලා”

තරංගා සාගර කිව්ව ඒ කතාව උඩ බොහෝ දුර හිතුවාය. අම්මෙක් විදියට බිරිඳක් විදියට තමන් තමන්ගේ සුඛ විහරණය උදෙසා මේ දික්කසාදය ලබා ගැනීම සනුකිට තාත්තා කෙනෙකු අහිමි කරන්නට හේතුවක් වෙනවාය කියන කාරණාව කොච්චර උත්සහ කරත් අමතක කර දමන්න ගැහැණියක් වෙච්ච තමන්ට අසීරු බව තරංගා දැන උන්නාය. උස්මහත් වෙද්දී සනුකි “අනිත් අයගෙ වගේ මගෙ තාත්තා අපේ ගෙදර නැත්තෙ ඇයි?” කියා ඇහුවොතින් කියන්න ඕන මොකද්ද කියා නොහිත ඉන්න තරංගාට පුලුවන් උනේ නැත. 

“නංගි දැන් තීරණයක් ගත්ත එකේ ආයෙම හිත වෙනස් කරගන්න එපා. දැන් මොක උනත් ගත්ත තීරණේ උඩ අපි ගොඩක් දුර ඇවිල්ලනෙ. මං නම් කියන්නෙ දැන් ආය පිටිපස්ස හැරිලා බලන්නෙ නැතුව ඉස්සරහටම යන්න කියලා” නර්මදා කිව්වේ ආයෙ දවසක සනුකිවත් තරංගාවත් බලන්න කොළඹ ආ වෙලාවකය. වාහනයේ පිටිපස්ස පිරෙන්නට ගෙනා එලවලු පලතුරු හාල් මලු අස්සේ වීරසිංහ පවුලේ ඇත්තන් වෙනුවෙනුත් කදමල්ලක් අරගෙන එන්න නර්මදා අමතක කර තිබුනේ නැත.  අම්මෙක් වෙන්න සුදුසුම කෙනා නර්මදා අක්කා බව තරංගා හිතන්නෙ ඔන්න ඔය වගේ චූටි චුටි කාරණා ගැනත් ඇය හිතන හන්දාය. 

“අනේ නැ අක්කෙ මම නම් ආයෙ හැරෙන්න හිතන් එහෙම කිව්වා නෙවෙයි. දරුවා පුංචි කාලෙ හන්දා එයාට ඔය කිව්ව කෙරුව ඒව අමතක වෙලා කවදා හරි ලොකු වෙච්ච කාලෙක උනත් මගෙන් මේධංග ගැන මොනවා ඇහුවත්, මට අමතක වෙන්නෙ නෑනෙ අක්කෙ මටයි දරුවටයි කිව්ව ඒවා. ඒ හන්දා මං කවමදාකවත් මං ගත්ත තීරණේ ආයෙ වෙනස් කරන්නෙ නෑ. අර සමහර වෙලාවට මට මොක උනත් ගෑණුකමට මතක් වෙනවා අක්කෙ කවදහරි දවසක මගෙ කෙල්ල උස් මහත් වෙන්නෙ තාත්තෙක්ගෙ හව් හරණක් නැති වහලක් යට නේද කියන එක”

“තාත්තෙක්ගෙ හව්හරණ නැති වහලවල් යට හැදෙන ඕන තරම් කෙල්ලො මේ ලෝකෙ ඉන්නවනෙ නංගි. ඒ සමහර ළමයි තමන්ගෙ තාත්තලව කවමදාකවත් දැකල නෑ ඇහැටවත්. සමහරුන්ගෙ තාත්තල ඒ ළමයින්ගෙ හොඳ දේවල් දකින්න ජීවත්වෙලත් නෑ. එහෙම එකේ අපේ කෙල්ලට නැති උනේ ආදරයක් නැති තාත්තෙක් කියලා හිතල හරි අපිට සන්තෝස වෙන්න බැරිය නංගි. අනික මං හිතන්නෙ නෑ අපෙ කෙල්ලට නම් එහෙම තාත්තල සීයලා ආච්චිලගෙ ආදරේ අඩුවක් වෙයි කියල. අර බලන්නකො” කියා කුස්සියේ සින්ක් එක ලඟ ජනේලයෙන් පහල වත්ත දිහා බලාගෙන උන් නර්මදා අක්කා හැරී බලා තරංගාට ඇස් දෙකෙන් එන්න යැයි කතා කරාය.

තරංගා නර්මදා ලඟට ආවේ ඇස් කුඩා කරගෙන මොකද්ද කියා අහන ගමන් ය. නර්මදා අක්කගේ ඇස් ඔස්සේ වීරසිංහ ගෙදර ගෙවත්ත දිහා බැලුව තරංගා දුටුවේ භානුකගේ උරහිසේ එල්ලී වීරසිංහ මහතාත් මහත්මියත් එක්ක ඔච්චම් කරමින් සිනාවෙමින් ඉන්න සනුකිවය. ඒ සනුකිව දකිද්දී මේ ඕටිසම් සහිත දරුවෙක් කියා කිව්වත් කිසිවෙක් විශ්වාස නොකරන බව තරංගා හිතුවාය.

“සමහර දරුවන්ට තාත්තගෙ අම්මගෙ ආදරේ නැතිවෙන්න පුලුවන් නංගි. හැබැයි දැන් අපේ කෙල්ලට වගේ තාත්තා කියක කතාකරන්න කෙනෙක් නොඋනට භානුගෙන් උනත් ලැබෙන්නෙ තාත්තා කෙනෙක්ගෙ ආදරේමනෙ. අපිට ළමයි නැති එක ඇත්ත. ඒ උනාට නංගිගෙ දරුවාට උනත් ජීවිත කාලෙම උනත් දෙන්න තරන් ආදරෙයි කරුණාවයි මං ගාවයි අයියා ගාවයි තියෙනව නංගි” කියද්දී නර්මද කටහඬ යාන්තම් ඇඬුම්බර වී තිබුණාය.

“මං දන්නවා අක්කෙ. මං මේ හැම කරදරයක් අස්සෙම ඔලුව උස්සන් ඉන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලත් අක්කයි අයියයි පිහිටට ඉන්න හන්දානෙ”

එදා අක්කාත් අයියාත් ආපහු දෙණියායේ ගියයින් පස්සෙත් තරංගා කල්පනා කලේ ඔය ගැනය.

“මේධංග දිගටම මේ විදියට කෝට්ස් එන එක කල් දැම්මොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් තරංගා. දැන් අපේ සෙකන්ඩ් හියරින් එක තියෙන්නෙ නෙක්ස්ට් වීක් නෙ. අපි හෝප්ෆුලි මේධංග එදාටවත් එයි කියලා හිතමු. මේධංගගෙ ලෝයර් නම් කිව්වෙ එදා එයා ඉමර්ජන්සි එකක් නිසා ආවෙ නෑ කියල. මං ඕනවට වඩා ආගිව් කරන්න ගියේ නෑ. හරිනම් ඒ මිනිස්සු ඉතින් අපේ කාලය වෙලාව නාස්ති නොකර ඒව කලින් දැනුම් දෙන්න දැනගන්න ඕනනෙ” කියා කේතකී මහඉලුක්කුඹුර කතාකර කියද්දිත් තරංගා කල්පනා කලේ මේධංග ගැන තමන් කොච්චර මැදහත් සිතෙන් හිතුවත් නේ වෙලා දණ්ඩෙන් පහර කෑ සර්පයා සේ මේධංග ඉන්නේ තමන්ගෙන් පලිගන්න පුලුවන් හැම විදියක් ගැනම හිතමින් බවය.

තරංගා හිතූ ආකාරයටම මේධංග උන්නේ තරංගාට බොහෝ කාලයක් තිස්සේ මනසට වද දෙන, ඇයව බියපත් කරන දෙයක් කිරීමට අර අදිමිනි. ඒ තාත්තා කෙනෙකුවත් සැමියෙකුවත් පරිද්දෙන් නොවේ, නාසිස්ටික් ගති ලක්ෂණ පෙන්වන මිනිසෙකුගේ චරිත ලක්ශණ අඩුවැඩි වශයෙන් පෙන්වමිනි.

මේධංගගේ නිහඬ බව තරංගාට ප්‍රශ්නයක් වුණත් ඒ නිහඬබව අවසානයේ මහා කුණාටුවක් හමන්න නියමිත බව තරංගා දැනගෙන උන්නේ නැත.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here