සාගර තරංගා – 34

0
3721

තරංගා මේධංගගේ දුරකතනයට අරගත්තේ සාගරගේ ඒ ඉල්ලීම මතය.එහෙත් දුරකතන ඇමතුම ගන්න මේධංගගේ අංකය හොයන අතරවාරයෙත් සාගරගෙන් අහන්න දේවල් තරංගාට තිබුණාය.

“මේධංග ඇයි සනුකිව අරගෙන යන්නෙ? එයා ආදරේ නෑනෙ සනුකිට. අනික අනික සනුකිට පුරුදුත් නෑ මේධංගව. අනෙ මගෙ දරුවා දෙයියනේ”

“තරංගා තරංගා කලබල වෙන්න එපා. මේ අහන්න මේ අහන්න. ඔයා මේධංගට කෝල් කරලා බලන්න  ඉස්සෙල්ලා. සනුකිව එහෙම අරගෙන යන්න වෙන්න අපිට හිතන්න පුලුවන් වෙන කෙනෙක් නෑනෙ. මේධංග නම් බබාව අරගෙන ගිහින් තියෙන්නෙ අපිට බයවෙන්න දෙයක් නෑ නේද?”

“නෑ නෑ නෑ එහෙම වෙන්නෙ කොහොමද? මේධංග මොකටද එක්කරගෙන යන්නෙ සනුකිව. අනික අනික එයා මෙච්චර දවසක් සනුකි දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නැතුව මෙහෙම හොරෙන් ඇවිත් අරගෙන යන්නෙ ඇයි? එයාට ඇයි බැරි මට කියන්න. අනේ මගෙන් පලිගන්න මගෙන් දරුවව ඈත් කරන්න හදනවද දන්නෙ නෑ ඩොක්ටර්.අනේ දෙයියනේ මං ඩිවෝස් එක දැම්මයින් තමයි මේ ඔක්කොම. මේධංග මගෙන් පලිගන්න හදන්නෙ ඒකයි. එයා හොඳටම දන්නවා ඒක කරන්න තියෙන හොඳම විදිය සනුකිට මොකක් හරි කරදරයක් කරන එක කියලා” තරංගා මේධංගට දුරකතන ඇමතුමක් ගත්තත් මේධංග ඒ ඇමතුම එක්ක සම්බන්ද වුණේම නැත. තරංගා දිගින් දිගටම ඇමතුම් දුන්නත් ඒ එක ඇමතුමක්වත් මේධංග සමග සම්බන්ද උනේ නැත.තරංගා වඩ වඩාත් කලබල උනේ ඒ වෙලාවේය. මේධංග දුරකතන ඇමතුමට සම්බන්ද උනේ නැති එකත් සනුකි කින්ඩර්ගාට්න් එකෙන් අතුරුදහන් වීමත් අතර සම්බන්දයක් තිබෙන්නට හැකි බව තරංගාට හිතුනේ ඒ නිසාය.

සාගර උන්නේ හිත ඇතුලෙන් කලබල වී නමුත් ඒක එලියට පෙන්වන්නේ නැතුවය.කලබල වී ඉන්න අවස්තාවක ප්‍රතිචාර දක්වන්න යන එකෙන් තේරුමක් නැති බව දන්න හන්දාම සාගර වේගයෙන් නමුත් පරිස්සමෙන් රිය පදවාගෙන අවුත් සනුකිගේ කින්ඩර්ගාට්න් එක වෙච්ච ලිට්ල් බඩ්ස් ආයතනය ලඟ නතර කලේය. 

තරංගා කාරෙකෙන් බැස්සා නොවේ එලියට පැන්නාය. ඒ කලබලයම හිතේ තිබ්බ සාගරගේ චර්‍යාවේ තිබුනේත් එයට වෙනස් දෙයක් නොවේ. ලිට්ල් බඩ්ස් ආයතනය ඒ වෙලාවේ පිරී තිබුනේ පාසල් ඇරුණු දරුවන්ව අරගන්න ආ මව් දෙමව්පියන්ගෙන් ය. තරංගා දුවගෙන දුවගෙන ගියේ ඒ අතරින්‍ ය. ඇඟේ හැප්පුනේ කාගේද, තමන් පසුකලේ කවුරුන්ද කියන එක ගැන දැනගන්න උවමනාවක් තරංගාට තිබ්බේ නැත. තිබිච්ච එකම උවමනාව නම් සනුකිට වෙච්ච දේ දැනගන්න එකය. සනුකි ඉගෙනුම ලැබූ කොරිඩෝවේ පලවෙනි පංති කාමරය අසල සනුකිගේ පංති භාර ආන්ටි වුණු මෙවිනිත්, ලිඩ්ල් බඩ්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ඇතුලු තවත් කිහිප දෙනෙකුත් කතා කරමින් උන්නේ කලබලයෙන් බව තරංගා ඈත තියාම දුටුවාය.

කොරිඩෝව දිගේ කලබලයෙන් දුවගෙන දුවගෙන එන තරංගාව දැක්ක විධායක නිලධාරිතුමිය ඉදිරියට ආවේ ඇයව අස්වසන්නට මෙනි.

“තරංගා ඔයා ආව එක හොඳයි, මම ඒත් කල්පනා කලා පොලිසියට”

“කෝ මගේ දරුවා? මං උදේ මගෙ අත් දෙකෙන්ම මෙතනට වඩාගෙන ඇවිත් දාලා ගිය දරුවට මොකද උනෙ? මෙහෙම දරුවෙක්ව අන්තරස්දාන වෙනකම් ඔයාලා ඇස් කටේ දාගෙනද මැඩම් හිටියෙ?” 

“තරංගා මීට කලින් මෙහෙම දෙයක් වෙලා නෑ මෙතන. ඇත්තටම අපිටත් හිතාගන්න බෑ කොහොමද මෙහෙම දෙයක් උනේ කියලා. මොකද අපේ සිකියුරිටි සර්විස් එක හොඳයි. එතනට හොරෙන් කාටවත් එහෙම එන්න විදියක් නෑ”

“එහෙම නම් කොහොමද දැන් ඔය ඇවිල්ලා මගෙ දරුවව අරගෙන ගියේ? මොකද්ද ඔයාලා මේ කියන්නෙ? ඔච්චර හොඳ සිකියුරිටි සිස්ටම් එකක් යටතෙත් මගෙ දරුවා එහෙනම් මෙහෙම අතුරුදහන් උනේ කොහොමද මේ මහ දවල්” තරංගා ඇස්වලින් වැක්කිරිච්ච කඳුලු ඇයව අඩපණ කරන බව තේරිච්ච හන්දාම සාගර තරංගාව වත්තන් කරගෙන එතන තිබිච්ච බංකුවක වාඩි කෙරෙව්වේය. තරංගාට නිදහසේ අඬන්න ඉඩ දී සාගර එතන උන් විධායක නිලධාරිතුමිය එක්ක කතා කරන්න හිතුවේ ඒ නිසාය.

“මෙතන සීසීටිවි තියෙනවනෙ මැඩම්? අපිට ඒව චෙක් කරන්න පුලුවන් නේද?”

“අපි ඒක චෙක් කරා. එන්න මම සර්ටත් පෙන්නන්නම්. ඇත්තටම සනුකිව අරගෙන යන ජෙන්ට් කෙනෙක්ව තමා අපි දැක්කෙ. මම ඊට කලින් ඒ ජෙන්ට්ව දැකලා නෑ. හැබැයි පොඩ්ඩක් විතර බයෙන් වගේ හිටියට සනුකි ඒ ජෙන්ට් එයාව වඩාගනිද්දි මුකුත් රියැක්ශන් එකක් පෙන්වන්නෙ නැතුව ඉන්නවා. මට ඒකයි හිතාගන්න බැරි”

“මට ඒ සීසීටීවී ෆුටේජස් බලන්න පුලුවන්ද?” තරංගා ඇඬිල්ල පැත්තක තබා ඉඳගෙන උන් තැනින් නැගිට අවුත් ඇහුවාය. 

මේධංග උන්නේ මහා සටනක් කල රාජ්‍යයක් අයිතිකරගත්ත මිනිහෙකුගේ සිතුවිලි එක්කය. නොනවත්වා එන තරංගාගේ දුරකතන ඇමතුම් උවමනාවෙන් මග හැර ගනිමින් මේධංග උන්නේ කුරිරු හිනාවක් එක්ක සනුකි දිහා බලමිනි. තරංගා සනුකිව රැගෙන ගෙදරින් පිටවෙද්දී සනුකිට අයත්ව තිබූසෙල්ලම් බඩු වලින් අරගෙන ගොස් තිබුනේ ගෙනියන්න පුලුවන් ප්‍රමාණයේ ඒවා විතරය. ගෙදර ඉඩ තිබ්බ කාමරයක මෙච්චර දවසක් ගොඩගසා තිබ්බ තරංග අරගෙන ගියේ නැති ඒ සෙල්ලම් බඩු වලින් කිහිපයක් ගෙනවිත් ගෙදර සාලයේ බිම ඉන්දවා තිබූ සනුකි ඉස්සරහින් අත හැරියේය.

සනුකි උන්නේ අඬන්න ඔන්න මෙන්න මොහොතකය. ඉස්කෝලේ ඉන්න අතරවාරයේ මීට කලින් දවස් කිහිපයක් තිස්සේම තාත්තාව එතනදී දැක්කත් අම්මා උන්නු හන්දා තාත්තා ලඟට එන්නේ නැති බව පුංචි උනත් සනුකිගේ හිතට තේරුනාය. එහෙත් අම්මාට ඒ බව කියන්න, වචන ගලපාගන්න විදියක් සනුකි දැන උන්නේ නැත. අද කවදාවත් නැතුව සෙල්ලම් කරන්නට ප්ලේ ඒරියා එකට යන්නට පෝලිම හැදී ටීච පස්සෙන් යද්දී තාත්තා ඇවිත් දික්කරපු අත් දෙකටමැදිවෙන්න ඕනද නැද්ද කියාවත් අදහසක් ගන්න වෙලාවක් සනුකිට හම්බුනේ නැත.

“යන් බබා” කියා තාත්තා බලෙන්ම වගේ තමන්ව වඩාගෙන  ‍යද්දී තමන් අඬන්න ඕනද නැද්ද කියාත් හිතාගන්න බැරුව සනුකි කලේ කල්පනා කල එකය. තාත්තා තමන්ව වාහනයේ දාගෙන තාත්තාගේ ගෙදර එක්කරගෙන එද්දිත් සනුකි උන්නේ ඒ තිගැස්මේය. ආච්චි අම්මා එවෙලේ ගෙදර උන්නෙ නැති වෙලාවෙ තාත්තා තමන්ව බිම වාඩි කර සෙල්ලම් බඩු ටිකක් විසි කල වෙලාවේ සනුකි උන්නේ ඇත්තටම අම්මව ඕන වෙලාය. ඒ වගේම දැඩි බඩගින්නකය. 

ඉස්සරට වඩා දැන් තමන්ට දැනෙන හැඟීම් වචන කරන්න පුලුවන්කමක් තිබ්බ හන්දා සනුකි හීන් සැරේ “බයියං ඕන” කියා කිව්වත් තරංගාගෙන් එක පිට එන දුරකතන ඇමතුම මග හරින ගමන් ෆෝන් එකේ තිරය දිහාම උන්මත්තක ආකාරයට බලාගෙන උන්නු මේධංගට ඒ වචන ඇසුනේවත් සනුකි ඉන්නේ අඬන්න ඔන්න මෙන්න මොහොතක බව කියන එක පෙනුනේවත් නැත.

“බැල්ලි, දැන් ඒකිට බඩගාගෙන එන්න වෙනවා මං ලඟට ළමයව ඉල්ලගන්න. ඕකිට මං හොඳ පාඩමක් උගන්නනවා මේ පාර. ඩිවෝස් කේස් එක අයින් කරගනින් කිව්වමනෙ නෑ කිව්වෙ. දැන් ලමයා වෙනුවෙන් ඕකි කොහොමත් හොර දොස්තරවයි ඩිවෝස් එකයි දෙකම අතෑරල යස අගේට ඒවි. මෙච්චර දවසක් මට සද්දෙ දැම්මට මම ඕකිට නියම පාඩම උගන්නනවා” කියා දුරකතනය අතේ තියාගෙනම ඇවිද ඇවිද මේධංග කිව්වේ තමන්ටමය.

ගෙදර උයමන් කරන්න උවමනා කරන්න බඩු බාහිරාදිය අරගෙන එන්න මාර්කට් එකට ගිහින් උන්නු කුසුමලත ගෙදර ආවේ ඔන්න ඒ මොහොතේය. ත්‍රී රෝද රියෙන් බිමට බැස, එලවලු මාලු පිරිච්ච බෑග් එකත් අතට ගත්ත කුසුමා රියදුරාට සල්ලි ගෙවා ගෙට එන අඩියට දෙකටත් ඇඟ පුරාම වතුර ඉහිරුවාක් වගේ දාඩිය වක්කරගෙන උන්නාය. 

පුතා වැඩට ගොස් බව දන්න හන්දා, කුසුමා හෑන්ඩ් බෑග් එකෙන් දොරේ යතුර අරගන්න අත දැම්මාය. යතුර අරගෙන යතුරු හිලට දමා කරකවන්නට හදද්දී දොර විවර වෙච්ච එක ගැන කුසුමා ඇත්තටම බය වුනේ හොරෙක් හතුරෙක්වත් ඇවිත් ද කියාය.

යාන්තම් දොර තල්ලු කර බලද්දී ගේ ඇතුලේ සාලයේ එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නු මේධංගව ඇස් දෙකට අසුවෙද්දී කන් දෙක පිරුණේ පොඩි එකෙක්ගේ හඬකිනි. දෙනෙත සනුකි වෙත යාවුනේ ඒ හැඬිල්ලට සංවේදී වූ හන්දාය.

“තරංගා ආවද පුතා?” කියාගෙන ගෙට ඇතුලුවෙච්ච කුසුමා බෑග් මලු බිම තබා මේධංග දෙස බැලුවේ කුතුහලයෙනි. සනුකි උන්නේ ඉකි ගසා අඬමින් බිම වාඩි වී එක අතක සෙල්ලම් බඩුවක් තද කරගෙනය.

“ආවෙ නෑ, හැබැයි දැන් ඒකිට එන්නම වෙනවා” කියමින් මේධංග අම්මා දිහාව බැලුවේත් අර කුරිරු හිනාව මූණ පුරා විසිරුවාගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here