පෙමාතුර -05

මම දිව ගොස් පැති ගේට්ටුව විවර කළෙමි. ඔහු ඇවිත් තිබුණේ ඔහු ගේ කළු පාට ඇක්වා රියෙනි. අම්මා රෝහලකට ගෙන යනවා නම් මෝටර් රථයක් අවැසි බව මට සිහි වූයේ එවෙලේ ය. ගමනක් බිමනක් යනවා නම් අම්මා රියදුරු සමග ආයතනයෙන් වාහනයක් ගෙන්වා ගත්තා ය. මා මුල සිට ම රිය පදවන්නට බිය වූයෙන් අයියා කොතෙක් කීවද පුහුණු වී රියදුරු බලපත්‍ර ලබා ගත්තේ නැත. මගේ ගමන් බිමන් සිදු වූයේ වැඩිපුර කුළී රථ වල ය. නැත්නම් බස් වල ය. 

“කෝ කොහෙද අම්ම…”

ඔහු කලබලයෙන් ඇසුවේ ය. මගේ උගුරෙන් වචන පිට වූයේ නැත. මා උඩු මහළේ යි සංඥා කළේ අතිනි. ඔහු මටත් කලින් පියගැට පෙළ දිග දිව ගියේ ය. මම ඔහු පසු පස දිව්වෙමි. නමුත් පිය ගැට පෙළ කෙලවර ඔහු නතර වූයේ අම්මා සිටින්නේ කොතැනක දැයි නො දන්නා නිසා ය. මම අම්මා ගේ කාමරය තුළට දිව්වෙමි. 

“මං එනකොටත් අම්ම මෙහෙම වැටිල…”

මම හඬමින් ම කීවෙමි. ඔහු එක බැල්මක් පමණක් මවෙත හෙලා අම්මා ව දෑතින් ගත්තේ ය. ඉන් පසු පහළට බැස්සේ ය. මගේ පපුවට දැනුණ සැනසිල්ල කුමක්ද කියා ඒ මොහොතේ නොව ඉන් පසුව වුව මට වැටහුණේ නැත. ඉන් මොහොතකට පෙර තිබූ අසරණකම තුනී ව ගොස් මම ශක්තිමත් වෙමින් සිටියෙමි. අම්මා ව කෙසේ හෝ සුව කර ගත යුතු ය. හැකි ඉක්මනින් ඇය ව රෝහලකට ගෙන යා යුතු ය. 

මම පිටුපස අසුනෙහි හිඳ අම්මා ගේ හිස මගේ උකුළෙහි තබා ගතිමි. ඔහු කෙතරම් වේගයෙන් රිය පැදවූයේ ද යත් මට දැනුණේ මා මෝටර් රථයක ගමන් කරමින් හිඳිනා බව නොවේ. ගිලන් රථයක ගමන් කරමින් හිඳිනා බව ය. හෝන් ගසමින් ද ලයිට් ගසමින් ද පාරේ ඉඩ ඉල්ලමින් ඔහු පවනට බඳු වේගයෙන් රිය පැදවූයේ ය.

“ළඟම කියන ප්‍රයිවට් හොස්පිට්ල් එකට යමු. තලවතුගොඩ තමයි ළඟම මං හිතන්නෙ”

මම සිහි එළවා ගනිමින් කීවෙමි.  එතකොටත් රිය පන්නිපිටියෙන් බත්තරමුල්ල පාරට අවතීර්ණ වෙමින් තිබිණි. ඉතිරි දුර යන්නට විනාඩි පහක්වත් ගත වූවා යයි මා සිතන්නේ නැත. 

වහ වහා අම්මා ව ට්‍රොලියකට දමා ගැනිණ. රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ට්‍රොලිය තල්ලු කරගෙන ඉක්මන් අඩි තබා ගියේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ය. මම පිස්සියක සේ ට්‍රොලියත් එක්ක ඇදී ගියෙමි. මට උදව් කරන්නට පැමිණි අසල්වැසියා ද මගේ පසෙකින් හිඳිනු මා දුටුවේ ඒ වෙලාවේ ය. 

“අනේ තෑන්ක් යූ”

මා ඉක්මන් කොට කීවේ ඔහු නික්ම යා යුතු බව දන්නා නිසා ය. නමුත් ඔහු හැරී යනු වෙනුවට මාත් සමග ම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වූයේ ය.

“මේ ෆෝම් එක ෆිල් කරන්න”

කවුදෝ මන්දා මා වෙතට ෆෝම් එකක් පෑවා ය. මම අන්ද මන්ද ව එය අතට ගතිමි. අම්මා ව ට්‍රොලියෙන් ගිලන් යහනක් වෙත මාරු කරමින් තිබිණ. වෛද්‍යවරු කිහිප දෙනෙක් ද හෙදියන් කිහිප දෙනෙක් ද ඒ යහන වහා රොක් වූහ. වහ වහා ඇය ගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම ද ඊසීජී ගැනීම ද සිදු වූයේ ය. 

“මොකද්ද වුණේ…චෙස් පේන් එකක් ගැන කිව්වද…”

ප්‍රශ්න කෙරුණේ ඔහු ගෙනි. 

“නෑ. ගෙදර හිටියෙ අම්ම විතරයි. මං ගෙදර එනකොට අම්ම බිම වැටිල හිටිය. වොමිට් කරගෙන..”

“ඊසීජී එකේ අවුලක් තියනව. ඇඩ්මිට් කරන්න වෙයි”

“ඔය ෆෝම් එක ෆිල් කරල දෙන්න”

මගේ හිස බමනවා සේ මට දැනිණ. සැබවින් ඒ වගේ බියක් ඉන් පෙර කිසි දා ක මා විඳ තිබුණේ නැත. උගුර කට වියළී යමින් ද හෘද ස්ඵන්දනය උත්සන්න වෙමින් ද තිබිණ. වෛද්‍යවරු හා හෙද කාර්ය මණ්ඩලය යුහුසුළු ව කටයුතු කරමින් අම්මා ට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියහ. ඔවුන් වෙතින් විද්‍යමාන වූ කලබලය හා මුහුණු වල වූ බැරෑරුම් පෙනුම මගේ බිය දෙගුණ තෙගුණ කරවන ලදී. 

“බය වෙන්න එපා. අම්ම දැන් හොස්පිට්ල් එකේනෙ ඉන්නෙ. එයාල ඉක්මනට ට්‍රීට්මන්ට්ස් කරනව. අම්මට ඉක්මනට හොඳ වෙයි”

ඔහු මගේ තත්වය තේරුම් ගෙන ද මන්දා ඍජු බැලුමකින් මදෙස බලා ගෙන කීවේ ය. මම එකඟතාවය හඟවනු වස් හිස සලමින් පෑනක් ගෙන ෆෝම් එක පුරවන්නට ගතිමි. මගේ හිතට ම සුභවාදී බවක් ඒත්තු ගන්වන්නට මට ඕනෑ වී තිබිණි. නමුත් පෑන අල්ලා ගත් මගේ අතැඟිලි වෙව්ලන්නට වූයේ ය. අඩු තරමින් රෝගියා වශයෙන් මගේ අම්මා ගේ නම හෝ ලියා ගන්නට මට අකුරු මතක් වූයේ නැත.

මඳ වෙලාවක් මදෙස බලා උන් ඔහු මා අතින් පෑනත් කොළයත් ගත්තේ ය.

“අම්මගෙ නම මොකද්ද…”

“අනෝජා සිරිවර්ධන”

“මට ඔයාගෙ අයි ඩී එක දෙන්න”

හැඳුනුම්පත තබා මා කිසිත් ගෙන විත් නැති බව දැන ගත්තේත් ඒ වෙලාවේ ය. කිසිත් නොකී ඔහු රෝගියා ගේ භාරකරු වශයෙන් ඔහු ගේ නම ඇතුළු විස්තර යොදා ෆෝම් එක පුරවා භාර දුන්නේ ය. 

විසල් මල්වැන්න!

සියල් පිරිපත අතරේ ඒ නම මගේ හදවතෙහි ලියැවුණේ ගලේ කෙටූ අකුරු පරිද්දෙනි. ඒ නමට ම ගැලපෙන විසල් හදවතක් ඔහු ට තිබිණ.

“කාට හරි  ඉන්ෆෝම් කරන්න ඕන නේද…”

තවමත් තිගැස්සී ගෙන හිඳිනා මගෙන් ඔහු විචාළේ ය.

“පුංචිට..”

මට ඒ බවක් කල්පනා වූයේ පවා ඔහු කී ඉක්බිති ය. මම ඉක්මනින් ඩෙනිම් කලිසම් සාක්කුවේ වූ ජංගම දුරකතනය ගෙන සනෝජා පුංචිට කතා කළෙමි.

“කිසා..කියන්න”

“අම්මව හොස්පිට්ල් ඇඩ්මිට් කළා. තලවතුගොඩට එන්න”

“ඇයි අක්කට මක් වෙලාද..”

“මන්දා…මට තේරෙන්නෑ පුංචි. අම්මට කොහොමද එහෙම වුණේ…මට දැනෙනව…ඩොක්ටර්ස්ල නොකිව්වට මට දැනෙනව…අම්මට හාට් ස්ට්‍රෝක් එකක් ඇවිත් වගේ. අනේ මට බයයි පුංචි”

“අනේ දෙයියනේ…මං එනව කිසා”

“අයියට කියන්න”

රෝහලට ඇතුළත් කෙරෙනා ලිය කියවිලි සකස් කෙරුණාට තව දුරටත් හදිසි ප්‍රතිකාර ඒකකයේ තබා ගෙන අම්මාට ප්‍රතිකාර කරන්නට විය. වෛද්‍යවරු යහන වට කොට ගෙන සිටි බැවින් මට ඊට සමීප විය හැකි නොවිණ. වඩා වැදගත් වන්නේ මා නොව වෛද්‍යවරුන් ය. නමුත් මා පසු වූයේ දැඩි අසහනකාරී බවක ය. 

“මිස්ල එළියෙං ඉන්න. අතනිං”

හෙදියක රිදී පැහැති පුටු පෙළක් පෙන්වූවා ය. එතැනට වුව  අම්මාට ප්‍රතිකාර කෙරෙනා යහන පෙනුණත් මට එතැනට යන්නට සිතුණේ නැත.

“එන්න. අතනට යමු”

විසල් ඇරයුම් කළේ ය. මම ඒත් පාෂාණිභූත වූ දෙපයකින් ඔහේ සිටියෙමි.

“අපි මෙතන ඉන්න එක එයාලට ඩිස්ටර්බ්. යමු”

එවර ඒ හඬ විධානයක් දුන්නා සේ ය. ඔහු සිය ඇස් වලින් මා ඉස්සර කර ගෙන රිදී පැහැති අසුන් පෙළ වෙත ගියේ ය. මම ඒ අසුනකට බර වීමි. අප අතරේ එක අසුනක පරතරයක් තිබෙන සේ ඔහු ද හිඳ ගත්තේ ය. 

“ඔයා බය වෙලා ඉන්නෙ. ඒත් මේ වෙලාවෙ වීක් වෙලා බෑ නේද…ම්..ස්ට්‍රෝං වෙන්න”

“අම්මට මුකුත් වෙන එකක් නෑ නේද…”

ඒ මොහොතේ මොන තරම් අසරණ හැඟීම් සමුදායක් රළ පෙළක් සේ මා වට කොට ගෙන සිටියේ ද යත්, මම අතකින් මුව වසා ගෙන හඬන්නට පටන් ගතිමි. ඔහු මහා කරුණා දෑසකින් මදෙස බලා හිඳිනා බව දැනුණේ ය. 

“එහෙම වෙන්නෙ නෑ. බිලීව් මී. මට ශුවර් එහෙම වෙන්නෙ නෑ කියල”

මේ වගේ මොහොතක ඒ වගේ හිත හදනා ඕනෑ ම කෙනෙකු මිනිසෙකු නොව දෙවියෙකු සේ පෙනෙනු ඇත. මම ඔහු විශ්වාස කරන්නට වඩාත් කැමති වීමි. අම්මාව යළිත් ට්‍රොලියක දමා ගනු මට පෙනුණේ ඒ වෙලාවේ ය. මම සීතල ව ගියෙමි. මට නැගිට ගන්නට හෝ පණක් තිබුණේ නැත. නමුත් විසල් නැගිට ඉදිරියට ගියේ ය. මම ඔහු පසු පස අසීරුවෙන් පිය තැබුවෙමි.

“ඇයි මිස්…මොකද වෙන්නෙ..”

ඔහු හෙදියකගෙන් ඇසුවේ ය.

“අයිසීයූ දානව පේශන්ට්ව”

මට දැනුණේ මා කැරකෙන්නට ගන්නවා මෙනි. යන්තම් අත ඔසවා මම විසල් ගේ වමතේ වැලමිට ළඟින් ඇල්ලුවෙමි. ඔහු වහා මා අල්ලා ගත්තේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles