විනාඩි කිහිපයක් ප්‍රියංකා දෙස බලා උන් දිනාරා තම කාමරයට ගියාය .දින කිහිපයක සිට සිතට ඒකාකාරීව වද දුන් සිතුවිල්ලක් ඇයව රිදවමින් තිබිණ..ඇගේ දෑස් ඉදිරිපිට යළි යළිත් මැවී නොපෙනී ගියේ උත්සවය අවසානයේ වූ සිදුවීමයි.ඔහු තමාව සිය පවුලේ අයවලුන් සමඟ වේදිකාව මත එකට රැඳෙන්නට ඉඩ සැලැස්වීම කලින් සැලසුම් කළ එකක් යැයි දිනාරාට සිතුනේ හිමාශා හා කතා කරමින් සිටියදීය.
“ ඔයාට දෙන්න ඕන හැම ගෞරවයක්ම දෙන මනුස්සයෙක්ව ඇයි මේ විදිහට ප්‍රතික්ෂේප කරන්නේ දිනාරා.ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා මහ ලොකුවට හිතන් ඉන්න ඔය එක හේතුවක්වත් අකලංක සර්ට ඔයාව ප්‍රතික්ෂේප කරන්නේ තරම් හේතු නෙමෙයි කියලා.දිනාරා ඔයා එක්ක ප්‍රියංකා ටිච හැමතිස්සෙම ඉන්නවා.මල්ලිගේ හැම වගකීමක්ම එයා එයාගේ කරගෙන.ඔයාට දැන් කොහොමටවත් ප්‍රියංකා ආන්ටිගෙන් මල්ලිව ඈත් කරන්න බෑ .ඒ මනුස්සයටත් පිස්සු හැදෙයි.ඇයි ඔයාට හිතෙන්නෙ නැත්තේ ඔයයි අකලංකයි දෙන්නම එකතු උනාට පස්සේ ප්‍රියංකා ආන්ටිව , මල්ලිව ඔයාගේ අත්තම්මව ආදරෙන් බලා ගන්න පුළුවන් කියලා..
දෙනෝ දාහක් සෙනඟ මැද්දේ තමන් ආදරය කරන කෙනාට ගෞරවයක් ලබාදෙන මනුස්සයා ඒ කෙනාට ආදරේ කරන්නේ මුළු ජීවිතෙන්මයි.ඒ හිතේ හිස්තැන් නෑ..ගිය වතාවෙත් ඊට කලින් වතාවෙත් ඔය ඉවෙන්ට් එකේදී මං ඔතන හිටියා.ඇත්තමයි දිනාරා මේ තරං ලස්සන වුණේ නෑ කවදාවත්.බලන්න මිනිස්සුන්ගේ හිත්වල ඉතුරු කරපු මතකය.ඒ වීඩියෝ එක දකින ඒ වීඩියෝ එක ශෙයා කරන කිසිම මනුස්සයෙක් තමන්ගේ පවුලෙන් පිට ජීවිතයක් ගැන හිතන එකක් නෑ.ඇයි දිනාරා ඔයා ඒ ටික තේරුම් ගන්නේ නැත්තේ..අකලංක සර් ඔයාට විතරක් නෙමෙයි ඒ ගෞරවය දුන්නේ එයාගේ අම්මට නෑනට …හොඳට මතක තියාගන්න දිනාරා එයාගේ ජීවිතේ අංක එක වෙච්ච පවුල ඇතුලට එයා ඔයාවත් කොහොම හරි ගෙනිච්චා..ඇයි ඇයි ඔයා තවත් මේ විදිහට අකලංක සර්ව ප්‍රතික්ෂේප කරන්නේ..ඔයාට මේ නැතිවෙන්නේ ලෝකෙ තියෙන වටිනම දේ දිනාරා….ඒ වටිනාකම ඔයාගේ අම්මටවත් ,තාත්තටවත්, මල්ලිටවත් ,ආත්තම්මටවත් සම කරන්න බෑ.ජීවත් වෙලා ඉන්න ඒ හැමෝටම තමන්ගේ ලෝක තියෙනවා. කවද හරි දවසක ඔයා මේ ජීවිතේ තනි වෙනවා.එදාට ඔයා සෑහෙන්න පසුතැවෙයි..ප්ලීස් එකම එක වතාවක් මං කියන දේ අහන්න.ඒ මිනිස්සු ඒ ලස්සන ගෙදරට ඔයාව පිළිගන්න අත් දෙක දිගෑරගෙන බලාගෙන ඉන්නවා.එකම එක වතාවක් ඔයා ආදරේ කරන්න උත්සහ කරන්න.දුක පුරවගෙන ඉන්න ,වේදනාව පුරවගෙන ඉන්න ඔය හිතට ඕපන් වෙන්න ඉඩ දෙන්න..දිනාරා උත්සහ කරන්න..එහෙම නැති උනොත් මුළු ජීවිත කාලෙම කඳුළක් එක්ක විතරක් ජීවත් වෙන්න ඔයාට සිද්ධ වෙයි.ප්ලීස් දිනාරා…ඔයා ඉස්ටේජ් එක උඩදී වැටෙන්න නොදී අල්ල ගත්තනම් අකලංක සර්ට තිබුණා ඔයා කෙලින් කරලා එයාගේ පාඩුවේ එයාගේ ගමන යන්න.ඔයාගේ කකුල් දෙක ළඟ පහත් වෙලා මුළු ලෝකෙටම පේන්න තමයි එයා සපත්තුවේ බකල් එක දැම්මේ.ඒ වෙලාවේ මනුස්සයෙක්ගේ ඇස්වලට කඳුළක් ආවෙ නැත්තං ඒ මනුස්සයෙක් වෙන්න බෑ දිනාරා. නර්මදා මිස් මැඩම්ගේ අත්දෙකම අල්ලගත්තේ ‘ අනේ අම්මා මල්ලි ඒ තරම් ආදරේ කරනවද කියලා අහගෙන..’ ඔයාට ඒ ආදරෙන් පැනලා යන්න බෑ දිනාරා එහෙම හිතන්නවත් එපා..අකලංක සර් ඔයාට ආදරේ කරනවට වඩා ඔයා අකලංක සර්ට ආදරෙයි.ඒ ඇත්ත ඇයි හංගන්නේ…
ඔයා එකම එක සැරයක් උත්සාහ කලේ නැත්නම් ඇත්තමයි ඔයා මහා පුදුමාකාර පවක් කරපු ගෑණු ළමයෙක්.මං දන්නෙ නෑ ඊට වඩා පවක් මේ ලෝකෙ මනුස්සයෙක් කරලා තියෙනවද කියලා..”
දිනාරි දෙසවන් වසා ගත්තේ විනාඩි කිහිපයකට ඉහතදී හිමාශා පැවසූ ඒ යළි යළිත් සවන්පත් අතර දෝංකාර දෙද්දීය..අවසන ඕ ජංගම දුරකථනය ගෙන සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙකු නරඹා තිබූ වීඩියෝව දෙතුන් වරක්ම නැරඹූයේ දෑස් වල එක්ව තිබූ කඳුළු නිදහසේ ගලා යන්නට ඉඩ සලස්සවමින්ය.ඇයට ඕනෑ වූයේ තමන්වම රිදවා ගන්නටය.තමන්ටම වේදනා දී ගන්නටය.
“අකලංක සර් ඔයාට ආදරේ කරනවට වඩා ඔයා අකලංක සර්ට ආදරේ කරනවා..ඒක තමයි ඇත්ත….”
හිමාෂාගේ ඒ වදන් ඕ යළි යළිත් තමාටම මුමුණා ගත්තේ වරක් දෙවරක් නොවේ.
“ මගේ අඩුපාඩු ඉස්සරහ කවදාවත් ඔයාව මට නැති වෙන එකක් නැද්දක් අකලංක සර්…එහෙම උනොත් මට ජීවත් වෙන්න බැරි වෙයි..ඒකමයි මං බය”
ජංගම දුරකථනය මත සිය ඇඟිලි තුඩු ගෙන යමින් විසල් කරගත් ඔහුගේ සේයාරුව දෙස බලාගෙන යුවතිය මිමිනූයේ සිහින් සරින්ය.යුවතිය දෑස් පියාගෙන ඇඳෙහි වැතිරුණේ ජංගම දුරකථනයත් පපුවට තුරුළු කරගෙනය.හඬමින් නිදි වරමින් හෙම්බත්වී තිබූ දෑස් පියවී ගියේ ඇයත් නොදැනුවත්වමය.
******======*******======****=====
පැය කිහිපයක් කල්පනාබරව සිටියාට පසුව තේජා උඩුමහලට නැගුනේ නර්මදා සොයාගෙනය. හිතු මතයට අකලංක මේ යන ගමනේදී ඔහුට යම් අනතුරක් වේයැයි සාධාරණ බියක් තේජාගේ සිතුවිලි රිදවන්නට වූයේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය.සමහර තරුණයන් වරදට පෙළඹෙන්නේ සිත් රිදීම් දහසක් මැද තනිව සිටියදීය.නිවසට පැමිණෙන්නයැයි කොපමණ බල කලත් ඔහු ඊට අවනත නොවන වග විශ්වාසය.බීමත්කමට හුරු වූ තරුණයන්ගේ ජීවිත ඕනෑ තරම් විනාශ වී යන අයුරු තේජා දැක තිබේ.එසේම සල්ලාල ජීවිත ගත කරන්නට හුරු වූ තරුණ ජීවිත සිය දෙමව්පියන්ගේ ගෞරවය පවා විනාශ කරන්නට දෙවරක් සිතන්නේ නැත..අකංක වුවද මේ දරන තනිකම නිසා වරදට පෙළඹෙන්නට ඇති ඉඩ කඩ වැඩිය.
නර්මදා නිදා උන්නේ කොට්ටයකුත් තුරුළු කරගෙනය.ඇය එහා පසින් කුඩා දියණියත් වැතිර උන්නාය.ඇයත් සුව නින්දකය. මහින්දත් , විශ්වත් දෙදෙනාම කාර්යාලයේය.
අවසන ලේලිය සමඟ කතා කිරීම පසෙක තබා ඕ අකලංක වාසය කළ තුන්වන මහලට පැමිණියාය. තුන්වන මහළේ විසිත්ත කාමරයේ බිත්ති පුරා තිබුණේ ඔහුගේ විසල්කල සේයාරූය.තේජා අකලංකගේ කාමරයට ඇතුලට පිවිසියේ අඩවල් කර තිබූ දොර විවර කරමින්ය.
මෙතෙක් වේලා සිරකර ගෙන උන් කඳුළ දෑස් වලින් පිට පැන්නේ ඇයත් නොදැනුවත්වමය.තේජා ඉකිබිදිමින් ඇඬුවේ කුඩා මේ මේසය මත වූ අකලංකගේ සේයා රුව සිය පපුවට තුරුලු කරගෙනය.විනාඩි කිහිපයකට පසු කඳුළු පිසදාගත් ඈ තම ජංගම දුරකථනයේ වූ ඔහුගේ අංකයට ඇමතුමක් ලබා ගත්තාය.දින දෙකක් පුරාව විසන්ධි වී තිබූ ජංගම දුරකථනය වාසනාවකට මෙන් නාද විය.ඇයට ඇවැසි වූයේ කෑ ගසා හඬන්නටය.කුමකට නැතත් තම කඳුළට ඔහු මෙල්ලවනබව විශ්වාසය.
“ අම්මා…”
“ ඔයා කොහෙද පුතා ඉන්නේ..”
“මම ඉන්නෙ හරි ලස්සන තැනක අම්මා.නිදහසේ ඉන්නවා”
“”අපිව දාල ගිහිල්ලා ඔයාට එහෙම නිදහසේ ඉන්න පුලුවන්ද…”
“ ඔයාලව මතක් වෙනවා අම්මා… ඒ උනාට ඔයාලා ළඟට ඉක්මනට එන්න ඕන නිසා තමයි මම මේ විදිහට නිදහසේ ටිකක් ඉන්න ආවේ.මට මාව ආයේ ඕන අම්මා..”
“‘පුතේ මම තීරණයක් ගත්තා..”
“ තීරණයක් කිව්වේ..”
“ මම අද යනවා ප්‍රියංකා ටීචයි දිනාරාවයි මුණ ගැහෙන්න..මං අහනවා දිනාරාගෙන් ඇයි මෙහෙම තීරණයක් ගන්න හේතුව කියලා..පුතේ එයාගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා හරි ඔයාගේ සතුට ඔයාට ගෙනත් දෙන්න පුළුවන් නම් මං ඒක කරනවා…”
තේජා ඉකිබිඳ හැඩුවාය.
“මොනවද මේ කියන්නේ..”
“ ඔයා මොන විදිහට හංගන්න හැදුවත් ඔයා ඔහොම ගිහිල්ලා අපි හැමෝගෙන්ම හැංගිලා ඉන්නේ හිත හදාගන්න ඕන නිසා නෙමෙයි දුක දරාගන්න ඕන නිසා කියලා මම දන්නවා.කවද වෙනකල් ඔයා ජීවිතෙන් හැංගිලා ඉන්නද පුතේ.මුළු ජීවිත කාලයක්ම ඔයාට ඒක කරන්න පුළුවන්ද..ඊට වැඩිය හොඳයි පුතේ අපි අපේ ලොකුකං පැත්තකින් තියලා අපිට ඕන දේ අපේ ළඟට ගන්න එක.ඔයා වෙනුවෙන් මට ඊට වඩා දෙයක් වුණත් කරන්න පුළුවන්..”
යළිත් වරක් තේජාට හැඬුනේ දුරකථනය සිය සවනතෙහි තබාගෙන සිටියදීමය.
“ ප්ලීස් අම්මා ඒ දේ කරන්න එපා…එයාව තවත් අසරණ කරන්න එපා.එයා කිව්වා වගේම එයාට සාධාරණ හේතුවක් තිබිල අම්මේ…”
“ මොකක්ද ඒ සාධාරණ හේතුව මොකක්ද ඔයාල දෙන්න අතර උනේ.. ඇයි දෙයක් දැනගත්තා නම් ඒක අපිට කියන්නෙ නැත්තේ. ඔයාට තේරෙන්නේ නෑ පුතා මේ ප්‍රශ්න වලින් අපි මොන තරම් අසරණ වෙනවද කියලා..දවස් ගානක් තිස්සේ ඔයාගේ තාත්තා හරියට කන්නෙත් නෑ.අයියා ඉන්නේ කොයි වෙලාවෙත් කේන්ති ගත්ත ගමන්.අර දරුවටත් සැර වෙනවා මම අහගෙන.අක්කගේ ඇස්වල කඳුළු පිරිච්ච ගමන්.එයා එහෙම වෙන්න හොඳ නෑ..ඔයාට කොහොමද පුතා අපි හැමෝටම වඩා මේ දේවල් වැදගත් වුනේ..”
“ අනේ අම්මා ප්ලීස් අඬන්න එපා…”
“ අඩුගානේ අපිට හිත හදාගන්න හේතුවක් කියලා ඉන්න දරුවෝ..”
“ අම්මා දිනාරාටවත ප්‍රියංකා ටීචටවත් කතා කරන්න කලබල වෙන්න එපා.ඇත්තටම මෙහෙම කරන්නේ එයාලට හේතුවක් තිබුණා.අම්මා
.. දිනාරා අම්ම කෙනෙක්…”
“ මොනවද පුතා ඔයා මේ කියවන්නේ..”
“ ඒක ඇත්ත අම්මා දිනාරාට චූටි පුතෙක් ඉන්නවා.මම දන්නෙ නැහැ. එයාට කොතැනද වැරදුනේ කියලා..ඒක ඇත්ත අම්මා මගේ ඇස් දෙකෙන්ම මම ඒක දැක්කා.ප්ලීස් මේ දේවල් අම්මයි මමයි විතරක් දැන ගත්තහම ඇති.මං ආයෙ ඉක්මනට එනවා අම්මා. මට ඕනේ හිත හදාගන්න චූටි කාලයක් විතරයි.මං කැමති නැහැ න මට මාවම කරගෙන ජීවත් වෙන්න..අම්ම බය වෙන්න එපා.කොතනක ගියත් අම්මගේ චූටි පුතා පරිස්සං..”
“ මෙච්චර ලොකු හේතුවක් කොහොමද පුතේ එයාල අපෙන් හැංගුවේ.ප්‍රියංකා ටීච එයා කොච්චර හොඳ මනුස්සයෙක්ද..මං දවසක් ඒ ගෙදරට ගියපු වෙලාවේ සෙල්ලම් බඩු ගොඩක් තිබුණා.ඒත් මං ඇහුවා කාගෙද මේ සෙල්ලම් බඩු කියලා ප්‍රියංකා මට කිව්වේ අපිට දැන් චූටි පුතෙක් ඉන්නවා කියලා.මං හිතුවා පුතා ඒ ළඟ ගෙදරක දරුවෙක් කවුරුහරි ඒ ගෙදරට එනවා කියලා..වැඩිදුර විස්තර අහන්න මට ඕන උනෙත් නෑ. වැඩි දුර විස්තරයක් ප්‍රියංකා ටීච කිව්වෙත් නැහැ..ටීච අවුරුදු දෙකක් නිවාඩු දාන්න හේතුව මේක තමයි පුතා..අපි කොහොම හරි හිත හදාගමු.”
“ නෑ අම්මා …මම හිත හදාගන්න ගමන් තමයි ඉන්නේ.මම හිතනවා අම්මා දිනාරාගේ හොඳ ගැන.මොකක් හරි හේතුවකට එයා මේ දේවල් අපිට හැංඟුවාට එයා කවදාවත් වැරදි වැඩක් කළේ නෑ.මං එදා ඉඳලම දැනගෙන හිටියා දිනාරා මට අකමැති වුණේ මගේ වැරැද්දකින් නෙමෙයි කියලා.එහෙම අකමැති වෙලා මට වඩා එයා දුක් විඳිනවා කියලත් මම දැනගෙන හිටියා.දිනාරාට පුළුවන්කම තිබුණා මේ හැම දෙයක්ම හංගලා මමත් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න.ඒත් එයා එහෙම කළේ නෑ.”
එවර අකලංක පැවසූයේ සන්සුන්වය.
“ ඒක හරි පුතා..”
“ සමහරවිට ජොබ් එකක් ලැබෙන්න එකක් නැති වෙයි කියන බයට.මිනිස්සු එයාව වැරදි විදිහට තේරුම් ගනියි කියන බයට එයා මේ ඇත්ත හංගගෙන ඉන්න ඇති අම්මා.එයා කොහොමත් ආයේ ඔෆිස් එකට එන එකක් නැහැ.”
“ දිනාරා දන්නවද පුතා මේ ගැන දැනගත්තා කියලා..”
නෑ අම්මේ… එහෙම දැනගන්න ඕනෙත් නෑ.එයා අපිට ගොඩක් උදව් කළා.අපි එයාට ගෞරවාන්විත විදිහට සමුදෙමු.එයා හංගන රහස අපි දැනගත්තා කියන එක එයා දැනගන්න ඕන නෑ.අඩු තරමින් මේ දේවල් තාත්තා ,අයියා ,අක්කාවත් දැනගන්න ඕනේ නෑ අම්මේ.මේ ලෝකේ සිද්ධ වෙන හැමදේකටම හේතු තියෙනවා…”
“ හරි පුතේ ඉන්න තැනක පරිස්සමට ඉඳලා එන්න.ඔයා එක්ක අපි හැමෝම ඉන්නවා.අපේ ජීවිත වලට මොනමම විදිහකින් හරි නොලැබෙන්න ඕන දේවල් තමයි අපිට අහිමි වෙන්නේ.”
“ නෑ අම්මා දැන් ඒ ගැන මගේ හිතේ දුකක් නෑ..පරිස්සමට ඉන්න අක්කාව බලාගන්න.. අර කබරගොයාට ටොක්කක් අනින්න අක්කට සැරකලොත්.”
“ ඉක්මනට එන්න පුතේ මේ ගෙදර හැම කෙනෙක්ම සතුට ඔයා.ඒක තේරුම් ගන්න මේ ගෙවිලා ගියපු දවස් කිහිපය හොඳටම ඇති…”
තේජා අවසන එසේ පැවසුවේ සුසුම්ලමින්ය
( යළිත් හමුවෙමු දයාබරව )