සාගර තරංගා – 39

0
6565

“මෙම නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ලබා දුන් සාක්ෂි හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසු, ඔබ ඔබේ දියණියගේ පාසල් කාර්ය මණ්ඩලය නීති විරෝධී ලෙස ඇයගේ නීත්‍යානුකූල භාරකරුගේ භාරකාරත්වයෙන් ඉවත් කිරීමේ අරමුණින් හිතාමතාම රැවටූ බව නිසැකවම තහවුරු වේ.

ඔබේ ක්‍රියාවන් දණ්ඩ නීති සංග්‍රහයේ 354 වැනි වගන්තිය යටතේ වරදක් වන අතර, එය ඔවුන්ගේ නීත්‍යානුකූල භාරකරුගේ භාරයෙන් වයස අවුරුදු 16ට අඩු බාල වයස්කරුවෙකු පැහැරගෙන යාමට අදාළ වේ. තවද, ඉදිරිපත් කරන ලද වෛද්‍ය සාක්ෂි මගින් සනාථ වන පරිදි, මෙම නීති විරෝධී ක්‍රියාව අතරතුර ඔබේ දියණියට ඇති වූ මානසික කම්පනය, ඇයගේ ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්ම කෙරෙහි දැඩි ලෙස නොසලකා හැරීමක් ඉස්මතු කරයි.

ඒ අනුව, මෙම අධිකරණය පහත සඳහන් දඬුවම් නියම කරයි:

දණ්ඩ නීති සංග්‍රහයේ 354 වගන්තිය යටතේ නියම කර ඇති පරිදි වසර තුනක දැඩි සිර දඬුවමක්.

රුපියල් 200,000 ක දඩ මුදලක් ගෙවීම, දරුවාගේ වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක සත්කාර සඳහා දරන ලද වියදම් සඳහා වෙන් කරනු ලැබේ

.

අධීක්ෂණය නොකළ පැමිණීමේ වරප්‍රසාද අවලංගු කිරීම. ඕනෑම ඉදිරි පැමිණීමේ වරප්‍රසාදයන්හි අයිතිය මෙම අධිකරණයේ අනුමැතිය මත සහ අධීක්ෂණ කොන්දේසි යටතේ පවත්වනු ලැබේ”

“ගුරුවරයෙකු වශයෙන්, ඔබ භාරයේ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ පරම වගකීම ඔබ වෙත පැවරී ඇත. කනගාටුවට කරුණක් නම්, ස්ථාපිත ප්‍රොටෝකෝල පිළිපැදීමට අපොහොසත් වීමෙන් සහ පියාගේ හිමිකම් පෑමේ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම නොසලකා හැරීමෙන්, ඔබ බාලවයස්කරුවෙකු සම්බන්ධ පැහැර ගැනීමේ ක්‍රියාවකට පහසුකම් සලසා ඇත.

ඔබගේ ක්‍රියාවන් දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය උල්ලංඝනය කිරීමක් සිදු කරයි, එය වරදක් සිදුකිරීමට ආධාර කිරීම සහ අනුබල දීම, මෙම අවස්ථාවෙහිදී, බාලවයස්කාර දරුවෙකු පැහැර ගැනීම ආමන්ත්‍රණය කරයි. මීට අමතරව, දණ්ඩ නීති සංග්‍රහයේ 328 වගන්තිය යටතේ දක්වා ඇති පරිදි, වගකීම ක්‍රියාත්මක කිරීමට ඔබ අසමත් වීම සාපරාධී නොසැලකිල්ලට සමාන වේ.

එබැවින් මෙම අධිකරණය පහත සඳහන් දඬුවම් නියම කරයි:

දණ්ඩ නීති සංග්‍රහයේ 328 වගන්තිය යටතේ නියම කර ඇති පරිදි රුපියල් 100,000 ක දඩ මුදලක් ගෙවීම.

දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ වසර තුනක කාලයක් සඳහා අත්හිටුවන ලද වසරක සිර දඬුවමක්. මෙම කාල සීමාව තුළ ඔබ යම් වරදක් කළහොත්, අත්හිටුවීම අවලංගු කරනු ලබන අතර, දඬුවම ක්රියාත්මක කරනු ලැබේ”

මේධංගගේත් මේධංගට සනුකිව බලහත්කාරෙන් අරගෙන යන්න උදව් කල මෙවිනිගේත් දෛවය ඒ විදියට තීරණය වෙද්දී සනුකිව තවත් පරිස්සම් කරගන්න බලාපොරොත්තුවෙන් තරංගා සනුකිවත් රැගෙන දෙණියායේ මහගෙදර ගියාය.

“ඩිවෝස් එක ගත්ත හන්දා ඔයා දැන් බයවෙන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ. ඒ උනාට අම්මා කෙනෙක් ඉතින් දරුවෙක් ගැන බයවෙන එක සාධාරණයිනෙ, ඒ හන්දා ඔයා අයියයි අක්කයි ලඟට යන එක හොඳයි. සතියෙ දවස්වල එහෙ ඉඳල අර්ලි ඉන්ටර්වෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට විතරක් වීකෙන්ඩ් එකේ ආව නම් ඇතිනෙ’

“කේතකී මැඩම් කිව්වා ලිට්ල් බඩ්ස් එකෙනුත් ඇපොලොජයිස් කරන්නයි, කම්පන්සේශන් එකක් දෙන්නයිත් කැමතී කිව්වා කියලා”

‘ඒ නම් සමහරවිට ඔයාගෙ පැත්තෙන් එයාලට විරුද්ධව මොකක් හරි ඇක්ශන් එකක් ගනීවි කියලා හිතලා වෙන්නැති. කොහොමත් වෙච්ච සිද්දිය සෝශල් මීඩියාවලට ආව එකෙන් ලිට්ල් බඩ්ස් එකේ ගුඩ් නේම් එකට සෑහෙන ලොකු ප්‍රශ්නයක් උනා නේ. ඒ මිනිස්සුන්ට ඒකත් දැන් ප්‍රශ්නයක් ඇති. ඔයාට සල්ලි දීලයි සමාව අරගෙනයි එයාලා හොඳ මිනිස්සු වෙන්න හදනවා වෙන්නත් පුලුවන්”

“මං හිතන්නෙ මං මුකුත් ඇක්ශන් එකක් ගත්තත් නැතත් දැන් එයාලට වෙන්න ඕන උපරිම හානිය නම් වෙලා තියෙන්නෙ. එක පැත්තකින් ඉතින් ඒ මිනිස්සුන් පව්. එක මනුස්සයෙක් කල වරදට අන්තිමේ සම්පූර්නයෙන්ම එයාලගෙ නමට කතා හැදුනනෙ”

“කේතකී කිව්ව දේම තමයි මට තරංගාට කියන්න තියෙන්නෙ. හිත හොඳකම තමයි තරංගා සමහරවිට අපිට හෙනේට හිටින්නෙ. එක මනුස්සයෙක් නිසා මුලු ඉස්කෝලෙකම ගුඩ් නේම් එක නැති උනා කියලා ඔයා හිතුවට ඒ මිනිස්සු දැනගන්න ඕන එයාලා එක්ක වැඩකරන මිනිස්සුන්ව හරියට මොනිටර් කරන්න. මොකද තව පොඩ්ඩක් එහා මෙහා උනානම් කාටවත් කිසිම වරදක් කලේ නැති අහිංසක දරුවෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්නත් තිබුනා. හරිනම් තරංගා මං කියන්නෙ ඔයා මොන්ටිසෝරි එකට විරුද්ධවත් ලීගල් ඇක්ශන් ගන්න ඕන. අපේ දරුවා බේරිච්ච එක ඇත්ත, අපි දන්නවද ඉස්සරහට ඔය මිනිස්සුන්ගෙන් අතෙන් මොන මොන විදියෙ වැරදි අඩුපාඩු සිද්ද වෙයිද කියලා” කියා සාගර කියද්දී තරංගා මොහොතකට හිත ඇතුලෙන් වෙව්ලා ගියාය. ඒ එක කාරණාවක් හන්දා නොවේ. කාරණා දෙකක් හන්දාය. එකක් ඇත්තටම ඒ වනාහී වෙන්න තිබුන දෙයක් බව මතක් වෙද්දී මොක උනත් තමන් නීතිය ඉදිරියට ගිය එක ගැන තරංගා සන්තෝස වුණාය. මේ දරුවා තමන්ගේද නැද්ද කියන එකට වඩා මෙතනදී වැදගත් වෙන්නෙ ඒ දරුවෙක් කියන කාරණාව පමණක් විය යුතු බව තරංගා හිතට කිව්වාය.

අනෙක නම් සාගර සනුකිව අපේ දරුවා කියා කිව්ව එකය. එහෙත් ඒ සිතුවිල්ල ඔස්සේ වැඩිදුර යන්න තරංගා හිතට ඉඩක් දුන්නේ නැත.

දෙණියායේ අක්කලාගේ ගෙදරදී තමන් ලැප්ටොප් පරිගණකය දිග ඇරගෙන වැඩ රාජකාරිවල නිරත වෙද්දී අක්කා සනුකිව බලාගන්නට, ඇය එක්ක සෙල්ලම් කරන්නට උදව් කල එකම තරංගාට මහත් අස්වැසිල්ලක් වුණාය.

අනෙක් අතට වැඩි සද්ද බද්ද නැති, බොහෝ නිස්කලංක, නිහඬ දෙණියායේ මහගෙදර වාතාවරණය සනුකිට හීන් සැරේ නිහඬ, නිසසල, සාමකාමී ළමා කාලයක් ගෙවා දමමින් උස් මහත් වෙන්න අවශ්‍ය සියලුම සාධක ඕනවටත් වඩා ලබා දුන්නාය. සති අන්තයේ අර්ලි ඉනට්‍ර්වෙන්ශන් ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් මාමාගේ වාහනයේ නැග අම්මාගේ හෝ නැන්දාගේ උකුල උඩ වාඩි වී කොළඹ යන ගමන ඉස්සරට වඩා විඳගන්නටත්, ඒ සතුට අම්මාත් නැන්දාත් මාමාත් එක්කත් බෙදාගන්නට සනුකිට වැඩි කල් ගත වුණේ නැත.

“ඩොක්ටර්ගෙ උදව් හන්දා තමයි මේ ඔක්කොම” කියා තරංගා සාගරට කිව්වේ ඇත්තටම සනුකි වෙච්ච කිසිම දේකින් තමන් හිතුව අන්දමින් හිත කරදර කරගත්තේ නැති එක ගැන සන්තෝසෙනි. කොලඹ යන එන ගමන් වලදී සාගරව හමුවන්නට ලැබීම සාගරත්, භානුකත්, නර්මදාත් අතර වඩා හොඳ සබඳතාවයක් ඇති කරන්නට ශක්තිමත් අත්තිවාරමක් විය. සාගර ඉඳ හිටක සති අන්තයක තරංගාවත් සනුකිවත් බලන්නට දෙණියායට ගියේත් ඒ හිතවත්කම මත ය.

“මෙහෙ හරි නිස්කලංකයි නේද?” කියා සාගර දවසක් ඇහුවේ එහෙම ආ වෙලාවක භානුක එදා රෑ ආපහු කොළඹ නොයා දෙණියායේ නතර වෙන්න යැයි කියූ දවසකය. නර්මදා අතට ගෙනවිත් දුන්නු ඉඟුරු තේක බොන ගමන් සාගර උන්නේ දෙණීයායේ මහ ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වී තරංගා එක්ක කතා කරන ගමන් අහස පුරා බැබලෙමින් තිබූ සඳ දිහාව බලාගෙනය. 

“වෙච්ච දේවල් එක්ක බලද්දි මට දැන් මේ නිස්කලංක ජීවිතයක් තියෙනවා කියන එකත් නිකන් හීනයක් වගේ ඩොක්ටර්. මං ඇත්තටම හැමදාම රෑට කල්පනා කරනවා මම මේ ඇත්තටම ගෙවන්නෙ ඇත්ත ජීවිතයක්ද එහෙම නැත්තම් මේක තාම හීනයක් ද කියලා”

“සමහර වෙලාවට අපි ඇත්ත ජීවිතේ ඇතුලෙ ගෙවන්නෙත් හීන ලෝකවල ජීවිත තමයි තරංගා. ඒකට හොඳම උදාහරණෙ තමයි මං හිතන්නෙ මේධංග. ගෑණියෙක් කිසිම වෙලාවක පිරිමියෙක්ට වඩා ඉහලට යන්න දෙන්න බෑ,  ගෑණියෙක් උනාම මිනිහා කියන දේ අහගෙන ඔලුව නවාගෙන ඉන්න ඕන කියලා හිතන එකත්, විශේෂයෙන්ම මේ වගේ කාලෙක, මේ වගේ දියුණු කාලෙක එහෙම හිතන එකත් විහිලුවක්, හීන ලෝකෙක ජීවත් වීමක් තරංගා.

නිස්කලංක ජීවිතේ ගැන කිව්ව එකටනම් කියන්න හිතෙන්නෙ, පොඩි කාලෙකට හරි මේ වගේ නිහඬ, නිස්කලංක පරිසරේක ඉන්න ලැබෙන එකත් හරි වාසනාවක්. හරියට කාලාන්තරයකට පස්සෙ දකින හරිම පොසිටිව් හරි ලස්සන හීනයක් වගේ”

“ඩොක්ටර්ට හිතුනද කොලඹ අතෑරලා ඇවිල්ලා මෙහෙ පදිංචි වෙන්න?”

“තරංගා කැමතිද?”

“මොකටද ඩොක්ටර්?”

“මං වගේ කෙනෙක් එක්ක මේ වගේ නිස්කලංක පලාතක දරුවා බලාගෙන ජීවත්වෙන්න?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here