අවුරුදු විසි පහකට පසු…
තරංගා උන්නේ ලා දම් පාට ඔසරියකින් සැරසී කාමරයේ කණ්ණාඩි මේසය ඉස්සරහා හිටගෙන තමන්ගේ හැඩ බලමිනි. තනියම ගෙදරදීම වත්සුනු තවරා හැඩ වුණත් තමන්ගේ ලස්සනේ අඩුවක් නැති බව කණ්ණාඩිය දිහා බලාගෙන තරංගා හිතුවාය. දම් පාට ඔසරියේ නෙරියේ දාරයේත් පොටේ දාරය දිගේත් යන ලා රෝස, කොල සහ රත්තරන් පාට එම්බ්‍රොයිඩර් මල් වැල බෙල්ලේ පැලඳගෙන ඉන්න මාලයේ තිබෙන රෝස, කොල ගල් වලට මනාව පෑහෙන හන්දාම තමන්ගේ රූපය වඩා සම්පූර්ණ වී ඇති බවක් කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේ රූපය දිහා බලාගෙන තරංගා හිතුවාය.
දෙණියායෙන් ගත්ත තේ වත්තේ බංගලාවේ කාමරයේ හැඩවෙමින් උන් තරංගා වෙත ආ සාගර ඇගේ අත් කැපූ සැට්ටයෙන් මතුව පෙනෙන ඇත්දල පැහැ උරහිස මත කුඩා සිපුමක් තිබ්බේ ආදරයෙනි. මින් මොහොතකට පෙර දුටු තමන්ගේ තනි රුවට වඩා මේ දෙදෙනා එක්ව හිඳින ප්‍රතිබිම්බය වඩා ලස්සන බවත් සනුකිත් මෙතන උන්නා නම් එය වඩා පරිපූර්ණ බවත් තරංගා සිතුවේ සොම්නසිනි.
ජීවිතය වඩා සුවබරව ගෙවන්නට එංගලන්තයේදිත් අනතුරුව ලංකාවේදිත් සේවය කල හරිහම්බ කල මුදලින් සාගර දෙණියායෙන් ගත් කුඩා තේ ඉඩමේ බංගලාවේ තරංගාත් සනුකිත් එක්ක පදිංචි වුණේය. ඒ තරංගා සහ මේධංගගේ දික්කසාදයෙන් වසරකට එකහමාරකට පමණ පසුවය.
“කසාද බැඳල ළමේකුත් හදාගෙන දික්කසාද වෙච්ච ගැණියෙක්ව කසාද බැඳගන්නෙ උඹට මොලේ හොඳ නැද්ද?” කියා අම්මා මුල් ටිකේ කොපමණ සද්ද බද්ද දැම්මත් තීරණය වෙනස් කරන අරමුණය සාගර උන්නේ නැත. ජීවිතේ එක වරක් තමන් ගත්ත තීරණයක් හන්දාම ජීවිතේ තරුණ කාලය වැරදිච්ච බව ඇත්තක් නමුත් ඒ වෙච්ච වැරැද්දෙන් ඉගෙන ගත්ත දේවල් මත ජීවිතේ ඉතිරි භාගය වඩා සතුටෙන් ගෙවන්න හරි තීරණයක් ගන්න බැරිකමක් තමන්ට නැති බව සාගර දැන උන්නේය.
“උඹට ආයෙ කසාදයක් බැඳගන්න එපා කියලා නෙවෙයි මං කියන්නෙ. පිරිමියෙක්ට පුතේ මොන වයසෙදි උනත් අපූරු ගෑණු ළමේක් කසාද බැඳගන්න පුලුවන්. උඹේ පෙනුමයි, රස්සාවයි, අපේ මේ තියෙන දේවලුයි පෙන්නුවම උඹේ වයසයි, උඹ කලින් කසාද බැඳල උන්නු එකයි අමතක කරලා පොඩි කෙල්ලෙක් උනත් කසාද බැඳගන්න පුලුවන්. අච්චර අර දුල්මිණී ළමයා උඹ ගැන සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ අහවල් එහෙකටද උඹ මේ ළමේක් ඉන්න අම්මා කෙනෙක් එක්ක පූට්ටු වෙන්න යන්නෙ” කියා අහන්න අම්මා අමතක නොකරද්දී සාගර කිව්වේ එකම එක දෙයකි.
“එකපාරක් මං වරද්දගත්තා අම්මෙ. දෙවනි වතාවෙ වැරැද්දක් නොවෙන්න තමයි මම ඒ තීරණේ ගත්තෙ. ඒ නිසා දෙවනි වතාවෙ අම්මා වරද්දන්න අඩියක් ඉස්සරහට තියන්න එපා” කියලා. වීරබාහු මාතාව කොච්චර අමනාපකම් පෙන්නුවත් සාගර තරංගාවත් සනුකිවත් හඳුන්වා දෙන්න වතාවක ඔවුන්ව ගම එක්කරගෙන ආ වෙලාවේ ඒ අමනාපකම් මදක් එපිටහින් තියන්න වීරබාහු මාතාවට පාර කැපුවේ ඒ වෙද්දී සෑහෙන දුරට වෙනස් වී, දියුණු වී, වර්ධනය වී උන්නු සනුකි ය. තරංගා දෙස මුලින් නොමනාපය මුසු වෙච්ච බැල්මක් හෙලන්න වීරබාහු මාතාව සුපුරුදු නපුරු නැන්දම්මා වේශයට ඉඩ දුන්නට සනුකි දිහා එහෙම බලන්න සනුකිගේ හුරතලයත්, කිරිකැටි මුහුණත් ඉඩක් තිබ්බේ නැත. සාගර ලඟින් එන සුවඳම විහිදෙන ආච්චි අම්මාගේ අතට වී හීන් සැරේ පුරුදු වෙච්ච සනුකි කියන්නේ “පතාගෙන ආ සංසාර බැඳීමක්” බව වීරබාහු මාතාව හීන් සැරේ තේරුම් ගත්ත එකම හිත අස්සේ වූ කුඩාම ප්‍රමාණයේ අමනාපයක් පවා ගිලිහෙන්න හේතු කාරණා සැපයුවාය.
“අපේ අම්මයි තාත්තයි නැති හන්දා ඇත්තටම සනුකිට ආච්චි කෙනෙක්ට කියලා උන්නෙ මේධංගගෙ අම්මා විතරයි. එහෙ අම්මත් කවදාවත් සනුකිව එහෙම වඩාගෙන හුරතල් කරලා නැති හන්දම වෙන්නැති සනුකි ඔච්චර ඩොක්ටර්ගෙ අම්මටයි තාත්තටයි ආදරේ” කියා තරංගා කිව්වේ එහෙම ගෙදර ගිය වෙලාවක සනුකි තමන්ගේ ලඟටවත් එන්නෙ නැතුව ආච්චිත් සීයත් එක්ක බිම වාඩි වී මොන මොනවදෝ කරමින් ඉන්න වෙලාවකය.
“ඩොක්ටර්ගෙ අම්මයි තාත්තයි නෙවෙයි” කියමින් සාගර තරංගා දෙස බැලුවේ ආදරයත්, ආදරය ගෑවිච්ච අමනාපයකුත් එක්කය. තරංගා උන්නේ ඒ ගැටපදේ ලෙහාගන්න බැරුවය.
“එහෙනම්”
“සාගරගෙ අම්මයි තාත්තයි” කියා කියද්දී ඒ වනාහී “දැන්වත් ඉතින් ඩොක්ටර් කියන එක නතර කරමු නේද?” කියන කාරණාව වෙනස් විදියකට කීමක් බව තේරුම්ගන්න තරංගාට අපහසු වුනේ නැත.
වසර විසි ගණනක් ගෙවුණේ ඒ ආදරයත් රැකවරණයත් මැද්දේය. සාගරගේ අම්මාත් තාත්තාත් වයසට ගොස් එකතැන් වෙද්දී තමන්ගේ අම්මා තාත්තා ලෙස සිතා ඒ මිනිස්සුන්ට ළඟම හිඳගෙන සලකන්න තරංගා සනුකිවත් අරගෙන සාගරගේ මහගෙදර ගොස් පදිංචි උනේ “අපි ඇටෙන්ඩන්ට් කෙනෙක්ට තියමු තරංගා, ඔයා කොහොමද ඕව කරන්නෙ” කියා අහද්දීම. ආදරේ ලබන්න නම් ආදරේ දෙන්න ඕන බව සාගරගෙන්ම ඉගෙන ගත්ත තරංගා ඒ නිසාම ඒ කතාව කණකට ගත්තේ නැත. ආච්චිත් සීයාත් මිය ගිය පසු අලුත් තාත්තා මහ ගෙදර කුලියට දුන්නයින් පස්සේ අරගත්ත කොළඹ ගෙදර, ආදරේ පිරිච්ච වටපිටාවක උස් මහත් වෙච්ච සනුකිට පුංචි කාලයේ වෙච්ච දේවල් අමතක කරන කර දමා සුන්දර මලක් සේ පිබිදෙන්න අපහසු උනේ නැත.
තරංගාගේ දයාබරිත ආදරයත්, අලුත් තාත්තාගේ ගැඹුරු ජීවන දර්ශනයත් එක්ක ජීවිතේ ඉස්සරහට ගිය සනුකි සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග වඩා හොඳින් සමත් වී කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ චිත්‍රපට හා රූපවාහිනී අධ්‍යයන අංශයේ උපාධියක් ලබාගත්තේ අවසානයේ එහි ඉහළම ලකුණු ලබාගත් සිසුවිය වෙමිනි. ඒ අනුව ඉන්දියාවෙ විශ්ව විද්‍යාලයක ඉහලට සිනමා අධ්‍යයනය පිළිබඳව ඉගෙනුම ලබන්න ශිෂ්‍යත්වයක් ලබාගත්ත කෙල්ලව තනියෙන් රට යවන්න අම්මා පොඩ්ඩක්වත් බය නොවුණත් තාත්තා නම් කිව්වේම“මං කියන්නෙ අපි දෙන්න ගිහිල්ලා පොඩි තැනක හරි නතර වෙමු, කොහොමද දරුවව තනියෙන් ඔය නොදන්න රටවල යවන්නේ” කියාමය.
ජීවිතේ ගෙවුණේ රැකවරණය තියෙන්නේ නොඅඩුවම බව ඕනෑවටත් වඩ අහොඳින් පවසමිනි. ඒ රැකවරණය මැද ආදරෙන් කාලය ගෙවන්න සනුකිටත් සාගරටත් තරංගාටත් උවමනා තරම් නිදහස තිබුණි.
උසාවියෙන් අවසානයට දුන්නු තීන්දුව අනුව මේධංග ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුවද සනුකිව බලන්න එන්න හෝ ඔවුන්ව කිසිම අයුරකින් සම්බන්ධ කරගන්න උත්සහ නොකිරීමම තරංගාගේ හිත සැනසීමට පත් කරන්නට හේතුවක් විය. පාසලේ දරුවන්ගේ දෙමව්පියන් සනුකි සම්බන්ධ සිදුවීම එලියට ඒමත් සමග දරුවන්ව පාසලෙන් ඉවත් කරගැනීමත් සමගම ලිට්ල් බඩ්ස් විශේෂ අවශ්‍යතා පාසල වැසී ගියේ කාලයාගේ ඇවෑමෙනි. මේධංගට සනුකිව පැහැරගන්න උදව් කල මෙවිනි ගැන කිසිත් දෙයක් හොයාගන්න අවශ්‍යතාවයක් තරංගාට තිබුනේ නැත. “වඩා හොඳ දෙය අත හැර දැමීම බව” තරංගා ඉගෙන ගත්තේ ජීවිතයෙන්මය.
“ඩොක්ටර් තාත්ති” යැයි මුලින් සාගරව ඇමතූ කෙල්ලට ඒ වදන් පෙලින් ඩොක්ටර් කතාව හලන්න මහ දවසක් ගියේ නැත. අද ඒ විදියට තාත්තාගේ අතේ එල්ලී, දෙණියායේ බංගලාවේ තේ කඳු වලින් වට වූ මනහර ගෙවත්තේ තණ කොල උඩින් අඩි තියා, ලා රන් පැහැ සාරියකින් සැරසී සුදු මල් කළඹ අත දරා පෝරුව වෙත ගමන් කරමින් තමන්ගේ පැත්තකින් ඇවිද යන කෙල්ල දිහා බලන් හිතන්න තරංගාට තිබුණේ එකම එක දෙයකි.
ඒ,
මේ ආදරය මහ සාගරයකටත් වඩා වැඩි බව ය.
——————————————————————————————————————————
“සාගර තරංගා” එක්ක මෙපමණ දවසක් රැඳී උන්නාට ස්තුතියි. මේ ආදරණීය කතාව හැමදාමත් වගේ අපේ ආදර කෞමදී අක්කගෙ අදහසකට අනුව ලියවුණ එකක් බව කියන්නම ඕන.
කෞමදී අක්කා තමයි හීන් සැරේ අපිව දවසින් දවස ඉස්සරහට යන්න පුරුදු කරන්නෙ. ඉතින් කෞමදී අක්කට ස්තුතිවන්ත වෙනවා වගේම හැමදාම හැම කොටසම කියවලා හොඳ නරක කමෙන්ට් එකක අමුණගෙන යන්න කාලෙ වෙන් කරන, ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙන්නත් මං අමතක කරන්නෙ නෑ.
ඒ වගේම අවවාද අනුශාසනා එක්ක මේ කතාව තව හැඩකරන්න තමන්ගෙ වෘත්තිය දැනුම බෙදාගන්න හසිතානි අක්කටයි කිත්මා අක්කටයිත් අනෙක වරක් ස්තුතියි!
Smartlady අපි ඔයාලට සාගරයක් තරම් ආදරෙයි!