අවස්ථාවාදියෝ

මින්දාරා ෆේස්බුක් කාන්තා සමූහය ඇතුලේ ඒතරම් සක්‍රීය සාමාජිකාවක් නෙවෙයි. ඒත් ෆේස්බුක් සැරිසරනකොට ඒ කාන්තා සමූහය ඇතුලේ කතා බහ වෙන ප්‍රශ්න දැකලා තිබුණා. සමූහයේ අනෙක් අය ඒ ප්‍රශ්න වල ඉන්න අයට ගොඩ එන්න දෙන උපදෙස් , යෝජනා කියවලා තිබුණා.

අවිශ්ක තමන්ට පිටින් තවත් ගැහැණියක් එක්ක සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා කියන සැකය දැන් මින්දාරාට ඉවසගන්නම බැහැ. අවිශ්කගෙන් ඒ ගැන අහලා රණ්ඩු කරන හැම වතාවකම අවිශ්ක කරන්නේ, නොකා නොබි නිදාගන්න එක. ගොඩක් දවස් වල රෑට අවිශ්ක නිදාගත්තේ කන්නේ නැතුව. මින්දාරටත් රෑට කෑමක් නැහැ. ඒ හින්දාම දෙන්නම පහුවෙනිදා උදේ නැගිටින්නේම තෝන්තුවෙන්. ඔෆිස් එකේ වැඩ පවා දෙන්නාම අවුල් කරගෙන ඉන්නේ.

අවිශ්ක කිහිප වතාවක්ම උපදේශනයකට යමු කියලා යෝජනා කරත් මින්දාරට ඒකටඑකඟ වෙන්න හිතෙන්නේම නැහැ. අවිශ්ක එතනදීත් අපූරුවට රඟපාන්න සූදානම් වේවි කියලම මින්දාරාට හිතෙනවා. ඒ නිසා මින්දාරාගේ සැකේ අලු යට ගිණි පුපුරු වගේ  පුපුරන වෙලාවක් වෙනකල් හැංගි හැංගි තිබුණා.

අන්තිමේදී දවසක් රෑ මින්දාරා ෆේස්බුක්  සමූහයක හිතේ තිබුණ ප්‍රශ්නේ පල කරා.

“ස්තූතියි ඇඩිමින්වරුන්ට… මේ සමූහයේ මිතුරු මිතුරියන් ගොඩක් අයට උදව් උපකාර කරගන්නවා දැකලා තියෙනවා. ඒ නිසයි මම මගේ ප්‍රශ්නේත් මෙහෙම බෙදාගන්න සූදානම් වෙන්නේ. මම විවාහ වෙලා අවුරුදු දෙකක්. ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වුනේ. මහත්තයි මමයි දෙන්නම පෞද්ගලික ආයතන වල සැලකිය යුතු වැටුප් ලබන රැකියා කරනවා. මට තියෙන ප්‍රශ්නේ, මහත්තයා ගේ අනියම් සම්බන්ධතාවයක්. දැනට මාස කිහිපයක් තිස්සේ එයාගේ හැසිරීම් වෙනස් කියල තේරෙනවා. ඔෆිස් යන්න හරිම උනන්දුයි. සති අන්තේ සෙනසුරාදා පවා වැඩ දාගන්නවා. කොයි වෙලාවේ බැලුවත් ෆෝන් එකට හිනාවෙන එකමයි වැඩේ… මං ඒ ගැන ඇහුවම මුකුත් නෑම කියනවා. ඊට පස්සේ මුණ හංගගෙන කාමරේට යනවා.. ඕක හැමදාම වෙනවා..

මට ඔයාලගෙන් දැනගන්න ඕනි මං කොහොමද මේ ගැන හොයාගන්නේ… මට මේක හොයාගන්න පුලුවන් උනොත් ඊළඟට මොකක්ද මම කරන්නේ..?”

පැය භාගයක් යන්න කලින් පෝස්ටුව අනුමත වෙලා සමූහයේ පල කෙරුණා. මින්දාරාට එහෙමම නින්ද ගියා. පහුවෙනිදා උදේ මින්දාරා ඇහැරෙනකොට කොමෙන්ටු හතලිස් පහක්. මින්දාරා එහෙමම එකින් එක කියෙව්වා.

සමහරු යෝජනා කරලා තිබුණේ දෙන්නා එක්කම කතා බහකරලා උපදේශනයට යන්න කියලා. ඒ අතරේ තවත් සමහරු වට්සැප් හැක් කරම විදි, ෆෝන් එක හැක් කරන විදි කියලා තිබුණා. තවට් සමහරු කියල තිබුණේ නොකියාම ඔෆිස් එකට ගිහින් බලන්න කියලා. ඒ අතරේ හරිහමන් එක උත්තරයක් නොදීපු, ඒත් හිත සුවපත්වෙන විදියේ දිග කොමෙන්ටුවක් මින්දාරා ගේ ඇහැ ගැටුණා. මින්දාරා  දෙවතාවක් විතරම ඒ කොමෙන්ටුව කියෙව්වා. ව්‍යාජ ගිණුමෙන් පල කරලා තිබුණ ඒ ප්‍රශ්නය ට එතරම් සැලකිල්ලක් ලැබුන එකම මින්දාරාට මහ වටින දෙයක් වුණා.

උදේ ඔෆිස් ගියාට පස්සේත් මින්දාරා වැඩිපුරම කලේ පෝස්ටුවට වැටුණ කොමෙන්ටු කියවපු එක. ඒ අතරේ අර විශේෂ කොමෙන්ටුව දාපු කෙනා තව කොමෙන්ටු කිහිපයක් දාලා තිබුණා.

“ඉන්බොක්ස් එන්න.. අපි කතා කරමු..”

එක කොමෙන්ටුවක් අග එහෙමත් තිබුණා. මින්දාරා උන්නේම අවිශ්ක ඇරෙන්න මේ ලෝකේ අනෙක් හැම කෙනෙක්ම යහපත් මිනිස්සු කියන මතේ. ඒ හින්දා ඔෆිස් වෙලාවේදීම නන්නාඳුනන ඉන්බොක්ස් එකට එබුණා. 

හරි අපූරුවට කතා බහ ගෙතුණා. ඒ ගිණුමත් ව්‍යාජ ගිණුමක්. ඒ නිසා දෙන්නා බොහෝම සැහැල්ලුවෙන් කතා බස් කලා. මින්දාරා පැයදෙක තුනක් යනකොට ව්‍යාජ ගිණුමේ හිමිකාරයාට තමන්ගේ ජීවිතේ සෑහෙන්නම තරමේ සත්‍ය සිදුවීම් කියලා ඉවරයි. ව්‍යාජ ගිණුම් හිමිකාරයත් තමන්ගේ තුරුම්පු  ගානට බස්සලා ඉවරයි. 

දවස් තුන හතරක් යනකොට දෙන්නාට දෙන්නා දවසෙන් වැඩි කාලයක් කලේ මැසෙන්ජරය කාර්‍යබහුල කරගෙන ඉන්න එක. මින්දාරා ජීවත් වුනේ අමුතු පුම්බගත්ත ලෝකෙක. අවිශ්ක ගැන වගේ වගක් තිබුණේ නැහැ. කොටින්ම අවිශ්ක එක්ක රණ්ඩු කරන්න හිතක් තිබ්බේත් නැහැ

සතියක් විතර ගියාට පස්සේ නන්නාඳුනන ගිණුමේ හිමිකාරයට මින්දාරාගේ මූණ බලන්න ඕනි වුනා. දිගින් දිගටම ඒ වෙනුවෙන් යෝජනා ඉල්ලීම්, බැගෑපත් වීම් අඩු නැතුව ආවා. ඒත් මින්දාරා ට ෆොටෝ එකක් යවන්න හිත හදාගන්න පුළුවන් වුනේම නැහැ. ඒ නිසා ව්‍යාජ ගිණුමේ හිමිකාරයා දවසට දෙතුන් වතාවක්ම මින්දාරා එක්ක අමනාපකම් පෙන්නුවා. පිළිතුරු නොඑවාම හිටියා.

මින්දාරා මේ ව්‍යාජ ගිණුමට කොච්චරක් ඇබ්බැහි වෙලා හිටියාද කියනවා නම්, අවිශ්ක නැති පාලුවට වඩා පාලුවල් ඒකෙන් දැනෙන්න ගත්තා. අන්තිමේදී මින්දාරා ඔෆිස් එකේදී ෆොටෝ එකක් අරගෙන යැව්වා. ඒකෙන් පස්සේ ව්‍යාජ ගිණුමේ හිමිකාරයාගේ ආදරේ තව වැඩි වුණා. ඔහුත් තමන්ගේ කියලා පෙන්නන්න පින්තූර එව්වා. ඒකෙන් වුනේ මින්දාරා තව තව බැඳුණ එක.

ඒ අතරේ ව්‍යාජ ගිණුම් හිමිකාරයා අවිශ්ක ගැන මින්දාරාට ඉවසගන්නම බැරි තරමේ තරහක් හැදෙන කතා කිව්වා. ඇය ඉතාම අසරන බව වැටහෙන නිසා තමයි මෙහෙම කතා බහ කරන්නේ කියලාත් කිව්වා. ඔහු ඉතාම සාදු චර්‍යාවෙන් ඉන්නේ බවත් පෙන්නුවා. මින්දාරා තව තව ඔහුටම ඇලෙන එකයි වුණේ. 

ඔය අතරේ අවිශ්කට දවස් තුනකට කතරගම යන්න වුණා ඔෆිස් එකේ වැඩකට. මින්දාරා ව තනියෙන් දාලා යන්න බැරි නිසා අවිශ්ක අම්මට ගෙදර ඇවිල්ලා ඉන්න කිවත් ඒ වැඩෙත් මඟෑරුණා. ඒත්, මින්දාරා ට තනියක් තිබුනේ නැහැ. මින්දාරා කිව්වා ඔහුට පිටත්ව යන්න කියලා. 

අවිශ්ක ගෙදර නැති බව දැනගත්ත ගමන් ව්‍යාජ ගිණුම් හිමිකාරයා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. වීඩියෝ ඇමතුමක් ගන්න නොසෑහෙන්න උත්සාහ කලා. ඒ ඔස්සේ මින්දාරා එක්ක ලිංගික කතාබස් වෙනුවෙන්  විහිලුවෙන්  ඉඩ ඉල්ලුවා. එක දවසක් මුණ ගැහෙන්න ආස බව කිව්වා. මේ හැමදේම අතරට අවිශ්ක මේ යන්න ඇත්තේ හොර ගමනක්  කියන දේ ආයෙම මතක් කලා.

මින්දාරා අන්තිමේදී ඔහු එක්ක මුණ ගැහිලා කතාබස් කරන තීරණය කලා. පහුවෙනිදා උදෙන්ම ලෑස්ති වෙලා යන්න හදනකොටමයි අවිශ්ක ගේ ඔෆිස් එකෙන් කෝල් එකක් ආවේ. 

“අවිශ්කලා ගියපු වෑන් එක ඇක්සිඩන්ට් වෙල..අවිශ්කව කරාපිටියේ එවනවා…”

මින්දාරාට අකුණක් ගහපු සැරට ඒ කතාව දැනුණා. අය්යාවත් කතා කරගෙන කරාපිටි යන්න පිටත් වුණා.

අවිශ්ක ඒ වනකොට හිටියෙත් විශේෂ ප්‍රතිකාර ඒකකයේ. අවිශ්කගේ ඔෆිස් එකේ සෑහෙන්නම අය ඇවිල්ලා හිටියා. ඒ අතරේ හිටපු පොඩි ගෑණු ළමයෙක් ඇවිල්ලා මින්දාරා ගේ අතේ එල්ලුණා.

“ඔයාද මින්දාරා ? “

“ඔව්…”

“අවිශ්ක අය්යා කියනවා වගේම ඔයා හරි ලස්සනයි අනේ… බයවෙන්නෙපා.. අය්යට කරදරයක් වෙන්නේ නෑ. අපේ කසින් මෙහෙ ඉන්නේ ඩොක්ටර් …ප්‍රශ්නයක් නෑ කිව්වා..”

මින්දාරා ගේ සැකේ උඩ පැන්නා. මේ එහෙනම් එයාද.? ඒත් එක්කම එතනට තව පිරිමිකෙනෙක් ආවා.

“ආහ්… අරූ අර තනියෙන් නැහීගෙන කරගෙන සිහින මාලිගාව හදන්නේ මේ කුමාරිටද ?”

ඒ පිරිමි ළමයා එහෙම අහනකොටම, අනෙක් ගැහැණු ළමයා ඔහුව නැවැත්තුවා. එතකොටයි ඔහුටත් මතක් වුනේ ඒක අවිශ්ක ගේ රහසක් බව.

ඒත් මින්දාරා දිගින් දිගටම පෙරැත්ත කලා. 

“නෑ නෑ අක්කේ.. අපේ තාත්තා ගේ කන්ස්ට්‍රක්ශන් එකෙන් තමා ඔයලගේ ගේ හදන්නේ.. ඔයාගේ ඊළඟ බර්ත්ඩේ ගිෆ්ට් එක ඒ… ඔයා ආස විදියටම ඒ ගේ හදන්න අවිශ්ක අය්යා පට්ට කට්ටක් කන්නේ…. වීකෙන්ඩ් වල විතරනේ ඉතින් ඒ වැඩ බලන්න පුලුවන් … ඔයා දැන් ඕක දැනගෙන නොදන්නවා වගේ ඉන්න…හරිද ??”

මින්දාරාගේ ඔලුව පුපුරන්න වගේ දැනෙන්න ගත්තා. අය්යව බඳාගෙන ඇඬුවා. හැමෝම හිතුවේ ඒ අවිශ්කව දකිනකල් කියලා. 

“ශෝක් කුරුළු කූඩුව…”

සමහරු එහෙම කියනවා ඇහුණා. අය්යගෙන් පොඩ්ඩක් එහාට ගිහින් මින්දාරා ව්‍යාජ ගිණුම අවහිරම කරලා දැම්මා. 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles