මල් බිඟුන් – 2

කෑම මේසයට වාඩි වී සිටියේ දුරේශ් මල්වත්තගේ පමණකි. ගෑනු ළමයි තිදෙන ගෙයි තැන් තැන් වල ද මිදුලේ ද ගේට්ටුවෙන් පිටත පාරේ ද සන්දේශ් ව සොයා බැලූහ. නමුත් ඒ කිසිදු තැනෙක ඔහු පෙනෙන්නට සිටියේ නැත.

“කෝල් එකක් අරං බලන්න”

ඉවසීමෙන් යුතුව දුරේශ් එසේ කීවේ සන්දේශ් ගේ යතුර පැදිය ද නොමැති බව දැන ගැනීමෙන් පසුයි. ඒ කියන්නේ ඔහු ගෙදරින් පිටතට ගොස් තිබෙන බව සහතික ය. ගැටළුව නම් කිසි දාක නොවූ ලෙස ඔහු කාටවත් නො කියා යාමයි. අක්කාගේත් නංගිලා දෙන්නාගේත් හිස කේ අවුල් කොට යනවායි  කියා මිස ඔහු ගෙදරින් දොට්ට බහින්නේ නැත. ආමන්ත්‍රණයක් නැතිව වුව “මං යනව” යි කියන්නේ තාත්තා ට ඇහෙන සේ ය. ඒ සියල්ල කාලයක් තිස්සේ පැවත ආ පුරුදු ය. නමුත් යම් කිසි මොහොතක ඕනෑ ම කෙනෙකුගේ පුරුද්දක් බිඳ වැටිය හැකි බව දුරේශ් දනී. එකවර ම එවැන්කට මුහුණ දීමේ අසීරුව දැන් සන්දේශ් ගේ සහෝදරියන් තිදෙනා තුළ වේ. නමුත් සන්දේශ් දැන් පොඩි ළමයෙකු නොවේ. කාටවත් නොකියා ළඟ පාතකට ගිහින් එන සිතිවිල්ලක් ඔහු තුළ ඇති වීම වුව අස්වාභාවික නැත.

සිය ජංගම දුරකථනයෙන් සාන්වී අයියා ට ඇමතුමක් ගන්නට හදත්දී ම ඔවුන්ගේ ගෙදරට දකුණු පසින් වන තාප්පය දෙසින් මණී ගේ හඬ ඇසිණ. මණී යනු අල්ලපු ගෙදර මහානාම මහතාගේ බිරිඳයි. මේ පවුල් දෙක සම්බන්ධතා පවත්වන්නේ ඔවුන් මේ ඉඩම් දෙකෙහි යන්තම් එක කෑල්ලක් දෙකක් හදාගෙන, කපරාදු නොකොට, බිමට සිමෙන්ති නො දමා කොංක්‍රීට් තට්ටුවක් පමණක් දමාගෙන පදිංචි වූ මීට දශක දෙක හමාරකට එපිට කාලයකදී පටන් ය. අසල්වැසියන්ට වඩා මේ පවුල් දෙක අතරේ වන්නේ ඥාති බැඳීමක් සේ ය.

“අනේ දුරේ පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තට එන්නකො. පොඩි කරදරයක්”

තාප්පයෙන් හිස දමා බලා එහෙම කියත්දී කලබල වැඩිකමට මණී ට හැඬෙන්නට ආවේ ය. කිරිබත් මේසය ඉඳුල් කරන්නට අවස්ථාව ලැබුණේ නැත. පුටුවෙන් නැගිටගත් දුරේශ් වහ වහා ගේට්ටුව දෙසට ගියේ ය. ගෑනු ළමයින් ගේ හදවත්, අහේතුකව, දෙමෝලෙන් පිටි කොටන්නා සේ ගැහෙමින් තිබිණ. දුරේශ් කෙතරම් වේගයෙන් ඇවිද්දේ ද යත් සරම් පට කකුලේ ගැටෙමින් දිගට ම හඬක් නැගුවේ ය.

“මං බලල එන්නං මොකද වෙලා තියෙන්නෙ කියල”

අමාගී අඩියක් පෙරට තැබුවා ය.

“මෙන්න මෙහෙට වෙල ඉන්නව”

ඒ විරෝධය සාන්වී ගෙනි.

“මෙයා නැතුව ඒ ගෙදර ප්‍රශ්න විසඳගන්න බෑ වගේ”

ඈ සිය විරෝධයට හේතු ඉදිරිපත් කළා ය.

“ඒ වුණාට මොකද දන්නෑනෙ”

අමාගී පොඩි අක්කා ගේ විරෝධය ගැන සැලකිලිමත් වූවා නොවේ. සාන්වී ද එසේ කළේ පුරුද්දට මිස ඇගේ හඬට නංගී නතර නොවන බව නො දැන නොවේ. ඒ ගෙදර ප්‍රශ්නය හා සන්දේශ් කොහේ ගියාදැයි නොමැති වීම අතර සම්බන්ධයක් ගොඩනගා ගන්නට සාන්වී ට හෝ අශ්විනී ට උවමනා වූයේ නැත. නමුත් සන්දේශ් ගේ දුරකතනයෙහි ප්‍රතිචාරයක් නොමැති වීම ඔවුන් ගේ හද ගැස්මෙහි වෙනසක් ඇති කරන්නට සමත් වී තිබිණ.

“චුට්ටක් බලමුද අපිත්…”

කියමින් අශ්විනී ද මහානාම නිවස වෙතට යන්නට මිදුලට බැස්සා ය.

ඒ ගෙදර සාලය මැද මුළු පවුල ම එක් රැස්වී සිටිති. අනපේක්ෂිත හදිසි මරණයක් සිදු වූවා සේ ඔවුන් ගේ මුහුණු තුෂ්ණිම්භූත ය. උපුල් මහානාම බරැති කල්පනාවකින් දුරේශ් ළඟට විත් ඔහු ගේ උරහිසක් මත අතක් තබා කතා කළේ ය.

“දුරේ ඉඳගන්න”

“මොකද්ද මහා වෙලා තියෙන්නෙ… ඇයි මේ ඔක්කොමල කලබලෙන් වගේ…”

“දුරේ. සන්දේශ් ගෙදර නෑ නේද…”

“අයිය ගෙදර නෑ අංකල්. අපි මේ කිරිබත් මේසෙ ලෑස්ති කරගෙන හැම තැනම එයාව හොය හොය හිටියෙ. අනේ අපේ අයිය කෝ අංකල්…”

දුරේශ්ටත් කලින් ඒ උත්තරයත් ප්‍රශ්නයත් දෙක ම අමාගී ගෙනි. උපුල් මහානාම පිළිතුරක් දෙන්නට පමා වූයේ ය.

“මගෙ කොල්ලට… මුකුත්… කරදරයක්ද මහා…”

ඒ තරම් අසීරු පැනයක් සිය දීර්ඝ වූ ජීවිත සංචාරය තුළ මීට පෙර කිසි දාක දුරේශ් ගේ මුවින් ගිලිහී නැත. සැබවින් ඔහු ඒ වචන පිට කර ගත්තේ උගුරේ තැන් තැන් වල හිර වෙන්නට හදත්දී අමාරුවෙනි. බලයෙනි. ඒ හින්දා ම වේදනාවෙනි.

“අනේ එහෙම නෑ නේද අංකල්…”

අමාගී හැඬුම්බර වූවා ය. ශාක්‍ය සන්දීප් මහානාම වහා ඇය වෙතට ලං වී ඇගේ උරහිස වටා අතක් දමා ගත්තේ ය. පූජන දෙව්ජිත් මහානාම අමාගී ගේ හිස් මුදුන පිරිමැද්දේ ය. රුසිරු මන්සිත් මහානාම ඇය ළඟට ම විත් සිටගත් අතර අමාගී ඔහු ගේ උරහිසක එල්ලුණා ය.

“අනේ ඇයි කවුරුත් මුකුත් කියන්නැත්තෙ…”

අමාගී ගේ උගුරෙන් කෙඳිරිලි හඬක් පිට විය. තව සුළු මොහොතකින් ඇය හැඬුම්බර වන බව පිරිමි ළමයි තුන් දෙනා ම දනිති.

“කලබල වෙන්නෙපා මාගි”

තුන් දෙනාගෙන් කවුරු එහෙම කීවා ද කියා අමාගී ට දැනුණේ නැත. අයිය මලෝ තිදෙනාට ම තියෙන්නේ එක ම ආදරණීය හඬ ය. ඔවුන් තිදෙනා ම ඇයට පණ ඇරගෙන ආදරේ ය. ගෑනු සහෝදරියක නැති මහානාම පවුලේ කාලයක් තිස්සේ ම සුරතලිය අමාගී ය. පොඩි කාලේවත් ඔවුන් ඇයව හඬවා නැත.

“දුරේ. මේක බලන්න”

දුරේශ් අසුනක වාඩි කරවමින් ම උපුල් ඒ කඩදාසි කැබැල්ල ඔහු වෙත පෑවේ ය.

“මාව හොයන්නෙපා. මට ආයෙ එන්නත් බෑ. මං සන්දේශ් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න යනව”

දුරේශ් ගේ දෙබැම අතරේ රැල්ලක් නැංවෙමින් හැකිළිණ. ඔහු ට කිසිත් පෙරපර ගලපාගත හැකි වූයේ නැත.

“මොකද්ද මහා මේ… කවුද මේක ලියල තියෙන්නෙ…”

අමාගී පමණක් නොව අශ්විනී හා සාන්වී ද ඒ වෙලාවේ තාත්තා පිටුපස හිඳ ඒ කුඩා ලියුම් කැබැල්ලට එබී ගත්හ. ලියුමක් කීවාට එහි ආමන්ත්‍රණයක් ඇත්තේ නැත. ලියන්නෙකු ගේ නමක් වන්නේ ද නැත. තාත්තා ට කෙසේ වී ද ගෑනු ළමයින් තුන් දෙනාට නම් මේ පද කිහිපය ඔස්සේ යමක් දැනෙමින් නො දැනෙමින් තිබිණ.

“දුරේ… නිධී සන්දේශ් එක්ක ගිහින්”

උපුල් මහානාම ඒ ටික කියා ගත්තේ අපමණ ශක්තියක් යොදා ය. මහානාම පවුලෙන් මල්වත්තගේ පවුලට ගෙවිය නො හැකි වරදක් සිදු වූ හද බරෙනි.

“මල්… ලි… මල්ලි නිධී එක්ක ගිහින්…”

ඒ කම්පිත ස්වරය අශ්විනි ගේ ය. රිදී සීනුවක් වන් ඇගේ හඬ බිඳී ගියේත් ඉකිබිඳුමක් ඇවිත් ඇගේ උගුර හිර කළේත්, ඇය දෝතින් ම මුව වසාගත්තේත් එකට ම ය. අක්කා නොව ඈ ඔහු ට අම්මා ය. අශ්විනි ට වැඩිය සන්දේශ් බාල වන්නේ දෙවසරකට පමණි. නමුත් අම්මා ඔවුන් ගේ පවුල අතැර ගිය පසු පවුලේ වැඩිමල් ළමයින් දෙදෙනා වශයෙන් ඔවුහු එක්ව වගකීමෙන් වැඩ කළහ. අක්කා ගේ හයියට හිටියේ මල්ලී ය. ඇය ඔහු ට අම්මා කෙනෙකු වෙත්දී සන්දේශ් ඇයට මල්ලියෙකු නොව අයියෙකු වී ඇති අවස්ථා අපමණ ය. ගැටවර වියේදී ඔහු රස්තියාදු මිතුරු කල්ලි වලට වැටෙන්නට නොදී රැක ගත්තේ ඇයයි. තාත්තා ගේ බත් පතත් සමග ගෙදර අනිත් කාටත් කලින් ඇය සන්දේශ් ගේ බත්පත බෙදන්නී ය.

“මන්නෙ පොඩි. මට ඉස්සෙල්ලම දෙන්න”

පොඩිකමට එතකොට අමාගී රණ්ඩු වන්නී ය.

“එහෙම බෑනෙ සුදූ. තාත්ත ඇරුණහම අපේ ගෙදර පිරිමියෙකුට ඉන්නෙ එයානෙ. ගෙදරක පිරිමි අයට තමයි මුලින්ම බත් බෙදන්නෙ”

“එයා ලොකු මිනිහෙක් නෙවේනෙ”

“ලොකු මිනිහෙක් නෙවේ තමයි. ඒත් මට එයා කොච්චර ලොකු මිනිහෙක්ද කියල මං විතරයි දන්නෙ සුදූ. තාත්තව අසරණ නොකර අපේ පවුල තව ටිකක් ඉස්සරහට ඇදං යන්න මට තියන ලොකුම හයිය එයා. මගෙ මල්ලි මට රජෙක් වගේ සුදූ”

“මෙයා ඉතිං අපිට වඩා එයාටනෙ ආදරේ”

ඒ වෙලාවට අමාගීත් සාන්වීත් එක පැත්තක් ගෙන අක්කා ට ආඩපාලි කියති. අශ්විනී කරන්නේ මුව මඳහසක් නගාගන්නා එකයි.

ඔහු මෙහෙම දේකට පැටළුණ බවට ඉඟියක් හෝ අශ්විනී ට දැනී තිබුණා නොවේ. නො එසේ වී නම් ඇය මේ විනාශය වන්නට ඉඩ දෙන්නේ නැත. ඇය හැමදාමත් සන්දේශ්ගෙන්   ඇසුවේ දැනටමත් ඔවුන්ට ලස්සන නෑනා කෙනෙකු  ඉන්නවා ද කියා ය. “පිස්සුද මන්ද” කියමින් ඔහු මගහැරියා විතර ය. ඇයට හුස්ම වගේ ළඟින් උන් මල්ලී විවාහක ස්ත්‍රියක සඟවාගෙන පැන ගියා කියා කෙසේ විශ්වාස කරන්න ද? ඔහු තමන්ට ම එහෙම හානියක් කරගත් පාපය ඇය කොහොම දරාගන්න ද? අශ්විනී නැගණියන් දෙදෙනා වැළඳගෙන ඉකිබිඳ හඬන්නට වූවා ය. සාන්වී හා අමාගී හරි හරියට ඒ කඳුළු සමගින් එක්වෙමින් සිටියහ. ශාක්‍ය ද පූජන ද රුසිරු ද ඉමහත් වූ සන්තාපයකින් ද නො සන්සුන් බවකින් ද යුතුව ගෑනු ළමයින් අසලට වූහ.

අසුන් ගතව සිටිනුයේ දුරේශ්, උපුල් හා මණී පමණකි.

“අනේ… මගෙ කොල්ල කොහොමද එහෙම කළේ කියල මට තේරෙන්නෑ මණී. ඌත් අම්ම නැති දුක විඳගෙන හැදිච්චි එකෙක් වෙච්චි…”

ඉතිරි ටික කියාගන්නට බැරිව දුරේශ් හිස පහළට කඩාගත්තේ ය.

“අපිට සමාවෙයං දුරේ. මෙහෙම දෙයක් ගැන හාංකවිසියක් දැනං හිටියනං කොල්ලට මෙහෙම දෙයක් කරගන්න ඉඩ තියන්නෑ”

“මායි සමාව ඉල්ලන්න ඕනෙ. මං දැං කොහොමද මහා ආර්ය පුතාගෙ මූණ බලන්නෙ…”

නිධී තබා ගිය සටහන යළි යළිත් කියවීමෙන් පස්සේ ආර්ය සිය සිඟිති පුත් ආයු තුරුලු කොටගෙන ඉකි ගසා හැඬුවේ ය. සිය ලෙයින් බිහි වූ කිරිකැටියා මේ තරම් බිළිඳු වියකදී අම්මා අහිමි අසරණයෙකු වෙතැයි ඔහු හීනයකින්වත් සිතුවේ නැත. සැබවින් මේ කඳුළු කිසිසේත් නිධී වෙනුවෙන් නොවේ. ආයු වෙනුවෙනි!

පුතු වඩාගෙන ආර්ය නිර්වාන් මහානාම, මේ පවුලේ වැඩිමලා පියගැට පෙළ බැස එන විට පහළ මහලේ ආලින්දයේ කතා බහ මුළුමනින් නතර විය. මුළු ගෙදර ම අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇහෙනා තරමට නිශ්ශබ්ධ විය. ඇහුනේ පියගැට පෙළෙහි ගැටෙනා ඔහු ගේ සපත්තු අඩි හඬ පමණි.

ආයු ආර්ය ගේ ගෙල දෑතින් බදාගෙන හිඳී. කුමක් සිදු වී දැයි නො දනිතත් යමක් සිදු වී ඇති බව ඒ පුංචි හිතට දැනේ. ඔහු කෙතරම් හඬමින් ‘අම්ම කුක්කු’ ඉල්ලා සිටිය ද ඒ ලබා දෙන්නට අම්මා නො පැමිණියෙන් ළපටි හිත තැලී රිදී පෑරී තිබේ!

අමාගී දුටුවන ආයු “මා” යි කියමින් ඇය වෙතට ඔහු ගේ ළපටි දෑත් පෑවා ය. ගෙදර අය ඇයට ‘මාගී’ කියන නිසා ආයු අමාගී අමතන්නේ ‘මා’ යනුවෙනි. අම්මා හැරුණු විට ඔහු දිවා කාලයේ දී වැඩි ම කැමැත්තකින් ගැවසුණේ අමාගී සමග යි.

“මැණික් කැටේ”

කියමින් ආර්ය අතින් ආයු ව ගත් අමාගී, බිළිඳාව ළයෙහි හොවා සිපගත්තා ය. දෙපැත්තට පැද්දෙමින් ඇගේ ළයට උණුහුම් ව ඔහු ට සුවෙන් ඉන්නට සැලැස්සුවා ය.

“පුළුවන් තරං ඉක්මනට මං සන්දේශ්ව කන්ටැක්ට් කරගන්නං. අපේ එකාගෙ කනට දෙකක් දීල ගෙදර ඇදං එන්නං. මහා…”

බඳුණු හදැති දුරේශ් මල්වත්තගේ උපුල් වෙතට නැඹුරු වූයේ ය.

“අපි ඉක්මනටම මේ වරද හරිගස්සමු මහා. මේ ගෙදර නොදරුවෙක් ඉන්නවනෙ දෙයියනේ. අම්ම කෙනෙක් නැතුව දරුවො හදන එක මොන තරං ගින්දරක්ද කියල මං තරං දන්න තාත්ත කෙනෙක් නෑ ආර්ය පුතා. මේව ලෝකෙ මිනිස්සු දැනගන්න කලිං…”

“එපා”

ඒ තනි වචනය මහානාම නිවසෙහි අස්සක් මුල්ලක් නෑර දෝංකාර දෙමින් හමා යන්නට ඇත. ඒ අකුරු දෙකේ තියුණු වචනය තුළ පුදුම ස්ථිරසාර බවක් විය. තව වචන කෝටි ගණනක් කතා කළ ද ඒ තනි වචනයෙහි තෙද බිඳිය නො හැකි ය. එහි විධානය වෙනස් කළ නො හැකි ය.

ඒ වචනය පිට කළ ආර්ය ගේ හකු තද වූයේ ය. කම්මුල් පේශි සංකෝචනය වී හකු ඇට ඉල්පී පෙනිණ. අශ්ව කුර හඬක් නංවමින් ඔහු එක තැනක නො සිට එක තැන සක්මන් කරමින් සිටියේ ය.

“නිධීව ආයෙ මේ ගෙදර හතරමායිමට ගන්න බෑ. ඒක එච්චරයි. මට ළමය හදාගන්න පුළුවං”

ඊට එරෙහි ව වචනයක් හෝ කියන්නට තරම් හයියක් කිසිවෙකුට වූයේ නැත!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles