සංවිධානාත්මක මවක් වෙන්නෙ කොහොමද?

දරුවො ලැබෙන්න කලින් තිබ්බ නිදහස් සහ සැනසිලිදායක ජීවිතේ දරුවො ලැබුනට පස්සෙ නෑ කියල බොහෝ මව්පියවරුන්ගෙන් නැගෙන මැසිවිලි අපිට නිතරම අහන්න ලැබෙනව. සමහරවිට ඔබත් ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති. 

මව් පදවිය සහ පිය පදවිය කියන්නෙ වගකීම් සහගත දෙයක් කියල අපිට අමතක කරන්න බැරිවුනත් එයින් ඔබ මානසිකව හෝ ශාරීරිකව පීඩාවට පත්විය යුතුත් නෑ.  

මව් පදවිය හෝ පිය පදවිය මෙසේ විය යුතුයි කියල අර්ථකථනය කරන්න අපි කාටවත් හැකියාවක් නැතිවුනත්, අපි එකිනෙකාගේ පෞද්ගලික වගේම සාමාජීය අත්දැකීම් මව් පදවිය හෝ පිය පදවිය අපේ මනසට පීඩාකාරී නොවෙන විදිහට හැඩගස්වා ගන්න උපකාරී වෙන්න පුළුවන්. 

අන්න ඒ විදිහට දරුවො එක්ක ඔබේ එදිනෙදා ජීවිතය සංවිධානාත්මක කරගන්න උපකාරි වෙන කරුණු කීපයක් අරගෙනයි smart lady අපි අද මේ ඔබත් එක්ක එකතු වෙන්නෙ. 

අද අපේ මේ ලිපිය දැනටමත් මවක් හෝ පියෙක් වෙලා ඉන්න ඔබට වගේම ඉදිරියේදි මවක් හෝ පියෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට උපකාරි වෙයි කියල අපි විශ්වාස කරනවා. 

කලින්ම සූදානම් වෙන්න

සාමාන්‍යයෙන් දරුවන්ගෙ වැඩත් එක්ක කාර්‍යබහුල වෙද්දි අපේ කාර්‍යාලීය, සාමාජීය සහ පුද්ගලික ජීවිතයේ වැඩකටයුතු මඟහැරෙන්ඩ තියෙන ඉඩකඩ වැඩියි. 

ඒ වැඩ ගොඩ ගැහුනොත්, මඟහැරුනොත් හෝ අසම්පූර්ණ වුනොත් අපිට එයින් මානසික පීඩයනක් ඇතිවෙන්නත් පුළුවන්. 

ඒ නිසා ඉදිරි සතියට නියමිත විශේෂ වැඩකටයුතු ගැන, ඉදිරි සතියේදී ඔබට, දරුවාට සහ නිවසට අවශ්‍ය කරන දේවල් මොනවද සහ ඉදිරි සතියේදී ඔබේ ආහාර වේල් පිළියෙල වෙන්නෙ කොහොමද කියල කලින්ම සැලසුම් කිරීම ඔබට ඉතාම පහසුවක් වේවි. 

ඉදිරි සතියේ කාර්‍යාලයට අඳින ඇඳුම් දරුවන්ගෙ ඇඳුම් මැද සූදානම් කරතැබීම, විශේෂ වැඩකටයුතු ගැන සටහනක් ඔබේ දුරකථනයේ හෝ නිතර පේන ස්ථානයක තබා තිබීම, ඉදිරි සතියටම අවශ්‍ය ආහාර පිළියෙල කරල ශීතකරණයේ තැබීම (meal prep) වගේ පියවර අනුගමනය කරන්න ඔබට පුළුවන්. 

වැඩ බෙදාගන්න 

ඔබේ ගෙදර ඉන්නෙ ඔබ සහ ඔබේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ පමණක් වෙන්න පුළුවන්. 

සමහරවිට ඔබේ සහයට ඔබේ දෙමාපියන් හෝ අත්වැසියන් ඉන්නත් පුළුවන්. 

දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට ඔවුන් ඔබට උදව් කරන්න සූදානම් නම් ඔවුන්ගෙන් උදව් ලබාගන්න ඔබට පුළුවන්. සමහරවිට ඔවුන් වැඩකටයුතු කරන පිළිවෙලට ඔබ අකමැති වුනත් සිත නොරිදෙන ආකාරයට ඒ ගැන දැනුවත් කරල අදාල පරිදි ඒ සහය ලබාගන්නත් ඔබට පුළුවන්. 

ඔබේ සහකරු හෝ සහකාරියගේ සහයෝගය නම් ඔබට අනිවාර්‍යෙන් අවශ්‍යයි. ඒ නිසා දරුවාගෙ වැඩකටයුතු සහ නිවසේ වැඩකටයුතු බෙදාහදාගෙන කරන්න සැලසුම් කරගැනීම නම් අනිවාර්‍යයි. 

රෙදි සේදීම 

සංවිධානාත්මක මවක් කියන සංකල්පය ගැන කතා කරද්දි බොහෝ මව්වරුන් සතියකට වරක් හෝ දෙවරක් රෙදි සේදීම වෙනුවට දිනපතා එදිනෙදා එකතු වන රෙදි සේදීම වඩා පහසු බව පිළිගෙන තිබෙනවා. 

රෙදි නමන්න රෙදි අසුරන්න ඔබේ දරුවො එකතු කරගන්න පුළුවන් වගේම ඔබේ සහකරු සමඟ එදිනෙදා සිදුවීම් ගැන කතාබහ කරමින් රෙදි නමන්න අසුරන්න රාත්‍රී නින්දට පෙර සුළු වේලාවක් වෙන්කර ගන්න පුළුවන් නම් එය මානසිකවත් ඔබට ඉතාම යහපත් වේවි. 

කලින් දවසෙ රාත්‍රිය

ඔබට පාසල් යන වයසෙ දරුවො ඉන්නව නම්, දරුවන්ගෙ පාසල් බෑග්, නිල ඇඳුම්, සපත්තු පසුවදාට අවශ්‍ය පරිදි සූදානම් කරන්න ඔවුන්ට කියාදෙන්න ඔබට පුළුවන්. 

පසුදා උදෑසන ආහාර පිසගන්න අවශ්‍ය එළවළු, භාජන සූදානම් කරගෙන තැබීමත් ඔබට පහසුවක් වන බව අනිවාර්‍යයි. එය ඔබේ නින්ද වුනත් සුවපහසු කරාවි. 

අනවශ්‍ය දේවල් ඉවත් කරන්න

ඔබේ කුස්සියේ, අල්මාරි වල, ඔබේ මුදල් පසුම්බියේ සහ ඔබේ බෑගයේ පවා ඇති අනවශ්‍ය සහ කල් ඉකුත්වූ ද්‍රව්‍ය ඉවත් කිරීමත් අනිවාර්‍යයි. 

එවිට ඔබේ නිවසේ අනවශ්‍ය පරිදි බඩු සහ අපද්‍රව්‍ය එකතු වීමක් සිදුනොවන නිසා ඔබට ඉතා විශාල සුවපහසුවක් දැනේවි. 

පරණ ඇඳුම්, පොත්, කල් ඉකුත්වූ ආහාර, බිල්පත්, බස් ටිකට් වගේ පුංචි පුංචි දේවල් වුනත් මඟහැරෙන්න දෙන්න එපා. 

ඔබ වෙනුවෙන් ඔබ පෙනී ඉන්න

ඔබට විවේකයක් අවශ්‍ය බව ඔබ හොඳින් මතක තබාගත යුතුමයි. 

ඒ නිසා ඔබ වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න, ඔබ කැමති විනෝදාංශයක නිරත වෙන්න, කැමති ආහාරයක් ගන්න, ටිකක් ඇවිදින්න, යාළුවො මුණගැහෙන්න, තනියම ඉන්න, මොනවත් නොකර ඉන්න, කෙටි නින්දක් ලබාගන්න වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්‍යයි. 

ඒ වගේම ඔබ අකමැති දේවල් වලට අකමැතියි කියන්න, නෑ සහ බැහැ කියන්න කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නත් ඔබ පුරුදු වෙන්නම ඕන. එයින් ඔබට ලැබෙන මානසික සුවය කියා නිමකළ නොහැකි බවත් විශ්වාසයි. 

ඉතිං, මේ දේවල් ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් සහ බැරිවෙන්න ඔබට පුළුවන්. ඒත් හැකි අවස්ථාවල මේ පියවරත් අනුගමනය කරල ඒව ඔබට ගැළපෙනවද බලන්න ඔබට පුළුවන්. 

ඒ වෙනුවෙන් උත්සහයක් ගන්න කියල ඔබට මතක් කරමින්ම අපි අද ඔබෙන් සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles