බිත්තර නැතුව හදන බටර්ස්කොට්ච් අයිස්ක්‍රීම් 

වෙනස් වෙනස් කෑම වර්ග ගෙදරදීම අත් හදා බලල රසවිඳින්න කැමති ඔබ වෙනුවෙන්ම ඔන්න අදත් රසම රස කෑමක් හදන විදිහ අරගෙන smart lady අපි ඔබත් එක්ක එකතු වුණා. 

අතුරුපසක් විදිහට ලංකාවෙ ජනප්‍රිය වුනත් අයිස්ක්‍රීම් කියන්නෙ ලොකු කුඩා ඕනැම කෙනෙක් ඕන වෙලාවක කන්න කැමති කෑමක්නෙ. 

එහෙනම් අපි අද බලමු ගෙදරදීම හරිම ලේසියෙන් රසම රස බරට්ස්කොට්ච් අයිස්ක්‍රීම් හදාගන්නෙ කොහොමද කියල? 

මුලින්ම, අවශ්‍ය කළමණා සූදානම් කරගමු 

අවශ්‍ය ද්‍රව්‍ය 

සීනි කෝප්ප ¼ ක් 

වතුර මේස හැඳි 01 ක් 

බටර් තේ හැඳි 01 ක් 

කජු කෝප්ප ¼ ක් 

විපින් ක්‍රීම් (whipping cream) කෝප්ප 01 ක් 

රසකල ටින්කිරි (condensed milk)  කෝප්ප ½ ක් 

කහ පාට ආහාර වර්ණක තේ හැඳි ½ ක් 

වැනිලා රසකාරක තේ හැඳි 01 

තෙල් කඩදාසියක් 

අවශ්‍ය කළමණා මේ විදිහට සූදානම් කරගත්තට පස්සෙ අපි බරට්ස්කොට්ච් අයිස්ක්‍රීම් හදාගන්නෙ කොහොමද කියල බලමු. 

සාදාගන්නා ආකාරය

මුලින්ම, තෙල් කඩදාසිය පැතලි මතුපිටක් මත අතුරා සූදානම් කර තබන්න. 

භාජනයක් ලිප තබා එයට සීනි සහ වතුර එක්කර රන්පාට වනතුරු හැඳිගාමින් තබන්න. 

මිශ්‍රණය ලා රන්වන් පාට වනවිට එයට බටර් ද එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

බටර් දියවී හොඳින් කලවම් වූ පසු කජු එකතු කර නැවත හොඳින් හැඳිගා භාජනය ලිපෙන් ඉවත් කරගන්න. 

භාජනයේ ඇති පැණි සහ කජු මිශ්‍රණය එ ගමන්ම අතුරාගත් තෙල් කඩදාසිය උඩට දමා තෙල් කඩදාසිය මත එක සමාන ලෙස තුනීකර ගන්න. 

දැන් මේ මිශ්‍රණය සවිවෙන තුරු තබාගන්න. 

මිශ්‍රණය සවිවූ පසු එය තෙල් කඩදාසියෙන් ගලවා ඉවත්කර කැබලි වලට කඩා ගන්න. 

කඩාගත් කැබලි බ්ලෙන්ඩරයට දමා කුඩා කැබලි සිටින සේ කුඩුකරගන්න. 

වෙනම භාජනයක් ගෙන එයට විපින් ක්‍රීම් දමා විපින් ක්‍රීම් ටික කුඩා පෙණ නගින ක්‍රීම් එකක් බවට පත්වන තුරු බීට් කරගන්න අවශ්‍යයි. 

එයට ටින් කිරි, වැනිලා සහ කහ වර්ණක එකතු කර නැවත හොඳින් බීට් කරගන්න. 

කුඩුකරගත් පැණි සහ කජු ටිකත් එයට දමා හැන්ඳකින් හොඳින් කලවම් කරගෙන ප්ලාස්ටික් පෙට්ටියකට මේ සාදාගත් මිශ්‍රණය දමාගන්න. 

පෙට්ටියේ එක සමාන ලෙස විසිරී යන පරිදි මිශ්‍රණය අතුරා භාජනයේ පියන වසා ශීතකරණයේ උඩ කොටසේ පැය හයක් හෝ රැයක් එළිවෙන තුරු තබා බර්ට්ස්කොට්ච් අයිස්ක්‍රීම් සාදාගන්න පුළුවන්. 

පැණි, චොකලට් හෝ ස්ට්‍රෝබෙරි සෝස් එහෙමත් නැත්නම් කජු වගේ ඔබ කැමති ඕනැම දෙයක් සමඟ රසවිඳින්න එහෙනම් මේ විදිහට බටර්ස්කොට්ච් අයිස්ක්‍රීම් හදල බලන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles