රන්වන් කැරළි කෙස් ඇති මිණිපිරී කාගෙද? 

සලකුණු ඉතිරි කර නිමවෙන කතන්දර තියෙනව කියල ඔබ දන්නවද?

ඒ සමහර සලකුණු ඒ සලකුණු දරන්නන්ගේ මරණයෙන් පමණක් මැකීයන බව ඔබ දන්නවද? 

එවන් සලකුණු ඇති කරන්නට ඔබත් වගකිව යුතු නම් ඔබට සුවදායී නිදි නොලබන රාත්‍රීන් හිමිවන බව ඔබ දන්නවද? 

මේ කතාවත් එවන් කතාවක් බව පවසමින්ම මම ආරම්භය ගන්නම්. මේ කතාව ඔබ හමුවේ දිගහරිමින් මම බලාපොරොත්තු වෙන්නේ සමාවද නැත්නම් සැනසුමද කියල මමත් නොදන්නව වුනත් අද මා පත්ව සිටින තත්වයට ඔබ කිසිවෙක් පත් නොවිය යුතුයැයි මම විශ්වාස කරන බව පමණක් මුලින්ම ලියා තැබිය යුතුමය. 

මගෙ පුතා මයිකල් සාමාන්‍ය නමුත්, හොඳ ජීවිතයක් ගත කරන්න තරම් මුදල් උපයන බොහොම ලස්සන බිරිඳක් සහ හරිම හුරතල් දූවරු තුන්දෙනෙක් ඉන්න වාසනාවන්ත මනුස්සයෙක් විදිහට ඔහුගෙ පවුල හෙමිහිට ගොඩනගා ගත්ත. 

අඩුම ගානෙ මම එහෙම හිතාගෙන හිටිය. 

මයිකල් ජීවත් වුනේ ඔස්ට්‍රියාවේ නිසා මයිකල්ගෙ දරුවො උපදිනව, උපන්දින සමරනවා, දණගානව, වැටි වැටි ඇවිදිනව, ඉස්සල්ලම අම්ම කියනව වගේ වැදගත් මොහොතවල් ගොඩක් අත්තම්ම විදිහට මට මඟහැරුණා. 

මම මගෙ මිණිපිරියො නිතරම දකින්න ආස වුනත් රටවල් දෙකක් අතරෙ නිතරම සංචාරය කරන්න තරම් මුදලක් මටවත් මයිකල්ටවත් තිබුනේ නෑ. 

අන්න ඒ නිසාම, මයිකල්ගෙ දෙවෙනි දුව, ලින්ඩ්සේව මන් දකින්නෙ එයා ඉපදිලා මාස 06 කට පස්සෙයි. 

කුඩා දරුවො දිහා ආදරෙන්ම විතරක් බලන්න පුරුදු වෙලා හිටිය මට ලින්ඩ්සේව දැක්කම පොඩි තිගැස්මක් ඇතිවුණා කියල ලැජ්ජාවෙන් වුනත් මම ඔබට හෙළිකරන්න කැමතියි. 

ඒකට හේතුව ලින්ඩ්සේ අපිට වඩා සහමුලින්ම වෙනස් කෙනෙක් වුණ එකයි. 

මට මයිකල්ට මයිකල්ගෙ තාත්තට වගේම මම දන්න කියන අපේ ඥාතීන්ටත් මයිකල්ගෙ බිරිඳගේ පවුලේ මම දන්න හඳුනන හැමෝටමත් වගේ තිබුණේ කළු පාට කූරු වගේ වැවෙන ඍජු හිසකෙස්. 

මයිකල් ලිලීව අපේ පවුලට හඳුන්වල දෙද්දිත් අපි ඒ ගැන විහිළු තහළු කරා මට තාම මතකයි. හැමෝම කීවෙ මේ දෙන්න කොණ්ඩෙ බලල විවාහ වෙන්න තීරණය කරා කියලයි. 

මේ ආභාෂය මයිකල්ගෙ අනිත් දරුවො දෙන්නටම ලැබිල තිබ්බත්, ලින්ඩ්සේ ඊට වසා සහමුලින්ම වෙනස් කෙනෙක් විදිහට ඉපදිලා තිබ්බ. 

ඇයට තිබ්බෙ රත්තරං පාට පුංචි කැරළි තියෙන මෘදු ලස්සන කොණ්ඩයක්.

ලින්ඩ්සේ ඇත්තටම බෝනික්කෙක් වගේ හරි ලස්සන පුංචි දරුවෙක්. දකින ඕනැම කෙනෙක්ගෙ ආදරය සහ ආකර්ෂණය දිනාගන්න පුළුවන් සුන්දර දරුවෙක් විදිහට ලින්ඩ්සේ හැදී වැඩුණා මම බලාගෙනයි හිටියෙ. 

කොච්චර උත්සහ කලත් ලින්ඩ්සේගේ මේ වෙනස ගැන මට අමතක කරන්නම බැරිවුණා. ඇත්තටම මන් ඒ ගැන ලැජ්ජා වුණා. මේ දරුවා දකින ගානේ ඒම හිතනව කියන කාරණාව නිසා මට ළඳරුවෙක් වුණ ලින්ඩ්සේ දිහා බලන්නත් අපහසු වුණා. 

ඒ අතරේ මයිකල් තමන්ගෙ පවුලත් එක්ක ආපහු ඇමෙරිකාවෙ පදිංචියට එන්න තීරණය කරල තිබ්බ. 

ලින්ඩ්සේ ගැන මන් හිතපු විදිහ වෙනස් කරගන්න මට අවස්ථාවක් ලැබුනේ ඒ නිසයි. මේ පුංචි මිණිපිරී අනෙක් දරුවො දෙන්නටම වඩා එයාගෙ අත්තම්ම වුණ මන් එක්ක සමීප වුණා. 

ලින්ඩ්සේ වෙනස්. ඒත් ඒ වෙනස මැද මොකක්දෝ මහා බලගතු බැඳීමක් මට ඇයත් එක්ක තියෙනව කියලත් මට දැණුනා. 

ජාන. මන් ඒ හැමදේම ජාන නිසා කියල හිත හදාගත්ත. 

“සමහරවිට අපේ පරම්පරාවල් වල මේ වගේ කොණ්ඩෙ තියෙන මුතුන් මිත්තන් ඉන්න ඇති. අනික මයිකල්ගෙ බිරිඳ ලිලීගෙ පරම්පරාව ගැන අපි දන්නෙ නෑනෙ. සැඟවී තිබ්බ ඒ වගේ ජානයක් ලින්ඩ්සේට හිමිවෙන්න බැරි නෑ.”

විද්‍යාවෙන් ලැබෙන පැහැදිලි කිරීම් ගැන දැනගත්තට පස්සෙ ඒ සිතුවිල්ල මගෙන් ටික ටික ඈත්වෙමිනුයි තිබ්බෙ. 

මේ සිතුවිල්ල මගෙන් ඈත් වුනත් තව කෙනෙක්ගෙ හිතේ හෙමි හෙමින් ඒ සිතුවිල්ල දළුදානව කියල කවුරුත් දැනන් හිටියෙ නෑ. 

“අත්තම්ම ඇයි මම වෙනස් “ යාන්තන් අවුරුදු හයේදී ලින්ඩ්සේ දවසක් මගෙන් එහෙම ඇහුවා. එයා අහන්නෙ හරියටම මොකක් ගැනද කියල දන්නව වුනත් ඒ බව නොහඟවාම “ඒ කීවෙ?” කියල මම ආපස්සට ඇගෙන් ඇහුව. 

“අම්මයි තාත්තයි අත්තම්මයි අක්කයි නංගියි හැමෝගෙම කොණ්ඩ එකවගේ ඇයි මගෙ විතරක් වෙන පාටක්” ලින්ඩ්සේ ආයෙමත් ඇහුව. 

අපි දෙන්න බල බල හිටපු පින්තූර කතා පොත පැත්තකින් තියල මම ලින්ඩ්සේව මගෙ පපුවට හේත්තු කරගත්ත. 

“දවසක අපේ පවුලේ පින්තූරයක් ගද්දි ඒ මුළු පින්තූරෙම එළිය කරන්න ඉරක් වගේ ලස්සනට ඔයා පායන්න ඕන කියල දෙවියෝ තීරණය කරල ලින්ඩ්සේ. ඔයා වෙනස් නෑ. ඔයා තමා ලස්සනම. එච්චරයි” 

මම එදා ඒම කියල ඒ ප්‍රශ්නෙ මඟ ඇරියත් ටික ටික ලොකු වෙද්දි ලින්ඩ්සේ පවුලෙ අනිත් අයට වඩා වෙනස් නිසා ඉස්කෝලේ ළමයි අතරෙත් විහිලුවක් වෙනව කියල ඇය කීවෙ හරිම දුකින්. 

ඇය අරන් හදාගත්ත ළමයෙක් බව ඔවුන්ට හොඳටම විශ්වාස බව කියමින් ළමයි ඇයට විහිළු කරපු දවසක ආයෙ ඉස්කෝලෙ යන්න බෑ කියල මුළු ගෙදරම දෙවනත් වෙන්න ඇය කෑගැහුව විදිහ මට අදටත් මතකයි. 

මේ විදිහට ලින්ඩ්සේට අවුරුදු 16 ක් වෙනකන් දිගින් දිගටම කීපවතාවක්ම දරුව මේ මුහුණ දෙන ගැටළුව ගැන  මම මයිකල් සහ ලිලී එක්ක කත කරන්න ගත්ත උත්සහයන් ව්‍යාර්ථ වුනේ ඔවුන් ඒ කතාව පටන් ගද්දිම “ලින්ඩ්සේ කියන්නෙ අපේ දරුව. එච්චරයි. අම්ම අම්මගෙ වැඩක් බලාගන්න. අනවශ්‍ය දේවල් හොයන්න එපා” පිටත් වෙලා යන නිසයි. 

ලින්ඩ්සේ මේ ප්‍රශ්නෙන් කොච්චර විඳවනවද කියල සමහරවිට මයිකල් හෝ ලිලී නොදන්නව ඇති. ඒත් මට කියාගන්න බැරි මොකක්දෝ අමුතු සැකේකුත් ඔවුන්ගේ මේ හැසිරීම නිසා මගෙ හිතේ ඇතිවෙමිනුයි තිබ්බෙ. 

ඊට පස්සෙ ලින්ඩ්සේට ඕන කරා ඇයගේ DNA පරීක්ෂාවක් සිදුකරන්න. ඒත් ඒකට මයිකල් හෝ ලිලී කොහොමත් කැමති වුණේ නෑ. ලින්ඩ්සේ හිටියෙ හරිම පීඩාවෙන්. DNA පරීක්ෂණය කරන්න ඉඩදීල ඇගේ හිතේ තියෙන සැක සංකා ඉවත් කරල ඒ දරුවට නිදහසේ ඉන්න ඉඩ දෙන්න කියල මම මයිකල්ගෙනුත් ලිලීගෙනුත් ආයාචනා කරා. 

ලෝකයා මොනවා කීවත් ලින්ඩ්සේ ඇත්ත දන්න නිසා ඇය ඒ දේවල් නොහිතා සතුටින් ජීවත් වෙයි කියල මම දැනන් හිටිය. 

ඒත් මයිකල් සහ ලිලී බොහොම හිතුවක්කාර විදිහට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. 

ඇත්තටම, ඇය හදාගත්ත දරුවෙක් නම් ඒකටත් ශක්තිමත්ව මුහුණ දෙන්න පුංචි වුනත් ඇය හිත හදන් හිටිය කියල මම දැනගෙන හිටියෙ. 

ඒත් ඇගේ දෙමාපියන් කිසිමදාක ඇයව තේරුම් ගත්තේ නෑ. 

අන්න ඒ නිසා, මම අවසානයේ තීරණය කරා ඇයට උදව් කරන්න. 

ඇත්තටම මම ඒ තීරණය ගත්තේ මගෙ මිතුරියන් වුණ මාග්‍රට් සහ සාරා එක්ක කතා කරාට පස්සෙයි. කසාඳ, දික්කාසද, බිඳ වැටෙන ගොඩ නැගෙන ජීවිත ගැන මට වගේම දශක හයකට කිට්ටු අත්දැකීම් ඔවුන් දෙන්නටත් තිබ්බ. 

ඕව දැන් කාලෙ අමුතු දේවල් නොවෙන බවත්, මයිකල් සහ ලිලී යම් දෙයක් සඟවන බවත් කීව ඔවුන් මගෙ අදහස නිවැරදියි කියල පිළිඟත්තා. 

අන්න ඒ නිසා මම DNA සාම්පල පරීක්ෂා කිරීමේ කට්ටලය මිලදී අරන් ඒක ලින්ඩ්සේට ගෙනත් දෙන්න හිතුවා. 

හිතුව වගේම මම එහෙම කළා. 

ලින්ඩ්සේ සහ මම එකතු වෙලා ලින්ඩ්සේගේ, මයිකල්ගෙ සහ ලිලීගේ DNA පරීක්ෂාවක් කරන්න තීරණය කරා. ලින්ඩ්සේ නිසි වයසට එළඹිලා හිටිය නිසා ඇයට ඒකට බාධාවක් තිබ්බෙ නෑ. 

ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන්න ගතවුණ සති තුනක කාලය තරම් දීර්ඝ කාලයක් මගෙ මුළු ජීවිතේම තිබ්බෙ නෑ කියල මන් ඔබට කියන්න කැමතියි. ඒ සියල්ල අවසානයේ ප්‍රතිඵල සහිත පත්‍රිකාව අපිට ලැබුණා. ඒත් ඒකෙ තිබුනේ අපි කිසිමදාක බලාපොරොත්තු නොවුණ ප්‍රතිඵලේකුයි. 

ඔව්. ලින්ඩ්සේ කියන්නෙ මයිකල්ගෙ දරුව කියල මයිකල් කීව කතාව ඇත්ත. ඒ වුනත් මයිකල්ගෙ කතාව සම්පූර්ණ සත්‍යකුත් නොවුනේ ලින්ඩ්සේ මයිකල්ගෙ දරුව වුණාට ලිලීගෙ දරුව නොවුණ නිසයි. 

තවදුරටත් සැඟවීමෙන් පලක් නෑ කියල තේරුන් ගත්තට පස්සෙ ලිලී අපිට ඇත්තම කීව. ලින්ඩ්සේ කියන්නෙ මයිකල්ගෙ කාර්‍යාලයේ ඔහුත් එක්ක වැඩකරපු තරුණියෙක් සහ මයිකල් අතර ඇතිවුණ අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් බවත්, ලින්ඩ්සේව ගබ්සා කරන්න ඇය ගත්ත උත්සහය තමා වැලැක්වූ බවත්, දරුවා හදාවඩා ගැනීමටත් තම ස්වාමි පුරුෂයාට සමාව දීමටත් තමා තීරණය කළ බව ලිලී පැවසුවේ හැඬූ කඳුලිනුයි. 

නමුත්, පසුව ඇය දරුවා ඉල්ලා නීති මාර්ගයට යොමුවීමට උත්සහ කල නිසා සියල්ල අතහැර මෙහි පැමිණි බවත් ඇය වැඩිදුරත් කියා සිටියා. 

තමා තම පියාගෙ අනියම් සබඳතාවයක ප්‍රතිඵලයක් බව දැනගත් ලින්ඩ්සේ ඉතා දරුණු ලෙස මානසික කඩාවැටීමකට ලක්වුණා. 

වසර දෙකකට පසුව වුනත් ඇය අදටත් මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්නෙ ඒ නිසයි. 

කාලයේ වැලිතලාවෙන් තමාගෙ වැරදි සැඟවිය හැකියැයි සිතූ මගේ පුත්‍රයා වූ මයිකල් ලින්ඩ්සේට අත්වූ ඉරණමෙන් පසු එහි සම්පූර්ණ වරද තමා පිටම පවරාගෙන මත්පැන් පානය කරමින් දවස ගත කරන්නත් පටන් ගත්ත. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස මයිකල්ට රැකියාව පවා අහිමිවුණා. 

ලිලී සියල්ල උපේක්ෂාවෙන් දරාගමින් අදටත් ලින්ඩ්සේට මවක් තරම්ම සමහරවිට ඊටත් වැඩි ආදරෙන් ඇප උපස්ථාන කරමින් ඇය සුවවන තුරු දෙවියන් ඉදිරියේ කන්නලව් කරමින් දවස ගත කරනවා. 

ඒ වගේම මම, ලින්ඩ්සේට DNA පරීක්ෂණය කරන්න උදව් කිරීම ගැන පසුතැවෙමින් වැඩිහිටි නිවාසයකට වී කාලය ගත කරනවා. 

ඔබටත්, ඔබේ පවුලටත් ශක්තිමත් යකඩ දොරකින් වසා දැමූ රහස් ඇති. ඔබ ඒවා සොයන්න දොර විවර කරන්න තීරණය කරොත් ඒ රහස් කුණාටුවක් සේ හඹායන බව සිහියේ තබාගන්නත්, කුණාටුව රැගෙන යන්නෙ මොනවාද යැයි ඔබ නොදන්නව වුනත් දොර විවර කළ පසු නැවත ආපසු හැරීමක් නැති බවත් මතක තියාගන්නත් කියල මම ඔබෙන් ආදරෙන් ඉල්ලනවා. 

Amomama inspirational stories ඇසුරෙන් දුලානි නවෝද්‍යා    

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles