ඔබත් අලුත් අවුරුද්දේ නෑගම් ගිහින් හිත් රිද්දන කෙනෙක් ද?

අලුත් අවුරුදු කාලෙට නෑගම් යන පුරුද්ද අපි කා අතරත් තියෙන දෙයක්. නෑදෑ ගෙවල්, ළඟම හිතවතුන්ගේ නිවෙස් වලට අපි යන්නේ කදමලු බැඳගෙන.

මෙහෙම නෑගම් යද්දී අපි අතින් නොහිතාම වෙන වැරැදි බොහෝ තිබෙනවා.. ඔබ නිකමටවත් ඒ ගැන හිතුවද?

කාලෙකින් හමුවන නෑදෑ හිතවතුන් එක්ක අපි තොරතුරු, ඕපාදුප , අපේ විස්තර බෙදා ගන්න හරිම ආසයි. ඒ අයගේ දේවල් දැන ගන්නත් හරිම කැමතියි. ඒත් මේ දේවල් කරන්න ඕන හරිම ප්‍රවේසමෙන්.

“අනේ නංගි හරීයට කෙට්ටු වෙලා” එහෙමත් නැත්නම් “අනේ අක්කා දවසින් දවසම මහත් වෙනවා නේද” වගේ කතන්දර නැතුව ඔබේ හිතවත්කම ප්‍රකාශ කරන්න ඔබට බැරි ද? කෙට්ටුවීම,දවසින් දවස මහත් වීම, කොණ්ඩෙ යාම, කෙළවරක් නැති පිම්පල්ස් කියන්නේ කාන්තාවක් දැඩි ලෙස මානසිකව බිඳ වට්ටන දේවල්. ඇයට එවන් ගැටලු ඇති බව ඔබ දුටු බව පෙන්වීම හිතවත් කම නෙවෙයි.

ඒ වගේම ඒ නිවසේ දරුවන්ගේ ළකුණු මට්ටම් දැනගන්න, කුඩාම දරුවන්ගේ ආහාර පුරුදු වෙනස් කරන්න, සිරිත් විරිත් උගන්වන්න ඔබ උත්සාහ කරන්න එපා. ළඟම නෑදෑකමක් හෝ මිතුරුකමක් මත වුණත් එවැනි දේ ඔබ වෙතින් විය යුතු නැහැ. ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම හා සිරිත් විරිත් ගොඩ නඟන්නට දෙමාපියන් සිටිනවා. ඔබ ඒවාට අත දැමිය යුතු නැහැ.

ඒ වගේම “තවම වෙනසක් නැද්ද?” කියලා දරුවෝ හදන්න මතක් කරන්නත් “දැන් ඉතින් පුතාට නංගියෙක් ගේන්න හොඳ කාලේ” කියමින් පවුලේ සාමාජිකයන් ගණන වැඩි කරගන්නට ඔවුන්ට සිහි කැඳවන්නට යන්නත් අවශ්‍ය නැහැ. දරුවෙකු වෙනුවෙන් සිහින දකිමින් ඒ සිහින බොඳව යෑම ගැන හූල්ලන නිවසක ඒ වගේ කතා කීවොත්  ඔබ සමඟ ඇති  හොඳ හිත තවදුරටත් පවතින එකක් නැහැ.

“දුව දැන්ම බඳින්නේ නැද්ද?” කියලා ඔබ අහද්දී ඒ නිවසේ යුවතිය තමන්ගේ බිඳුණු ප්‍රේමය අමතක කරන්න නොහැකිව විඳවමින් ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා අනවශ්‍ය බව හිතෙන කිසිම දෙයක් අහන්න උවමනා නෑ.

ඒ නිවසේ අයගේ දේශපාලන මතය ඔබට බොහෝ වෙනස් වෙන්න පුලුවන්. ඒවා ගැන තර්ක අවශ්‍ය නැහැ. ඔබේ මිතුරිය හෝ ඥාතිවරියගේ කණ්නාඩි මේසයේ ඇති රූපලාවණ්‍ය නිශ්පාදන, ඇය ඉවීමට පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල බ්‍රෑන්ඩ් වෙනස් කරන්නට ඔබ බල කළ යුතු නැහැ. අදහසක් දීම මිස බල කරන්නට කිසිසේත්ම උත්සාහ කරන්න එපා.

එක ගෙදරකින් අහුලා ගත් අඩුපාඩු තවත් ගෙදරකදී කියන්නත් එපා.

ඒ වගේම මල් අතු මල් පැළ ඉල්ලමින් කරදර කිරීම, රෑට කන්නත් බත් ඔතා ගැනීම වගේ කැත පුරුදු ඔබට තියෙනවා නම් වහාම වෙනස් වෙන්න.

අපි අලුත් අවුරුද්දේ නෑගම් යා යුත්තේ ආදරය හා හොඳ හිත පමණක් අරගෙන. ඒ දේ සිහි තබා ගන්නවා නම් ඔබේ අලුත් අවුරුද්ද බොහෝ ලස්සන වේවි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles