රන් මල් දම් – 17

0
3517


නිම්නාවී හිස එසෙව්වේම නැත. මන්දාරම් මෝටර් රිය නැවැත්වූ පසු ඕ වහා ඉන් බැස ගත්තාය. රිදුම් දෙන පාදය ගැන නොසිතාම නිවෙස තුලට ගියේය. දැනෙන්නේ මන්දාරම් සීමා කඩාගෙන තමා අතික්‍රමණය කර ආ බවය. ඒ මදිවාට, පොත් කාමරයේ විදුලි බල්බය අසල ලියූ සටහන අල්වා දෙපැත්ත කැපෙන සේ වන වදන් කිහිපයක්ද කිව්වේය.
” දැල්වූවානම් නිවා යන්න කිව්වට, නිවන එක නම් ලේසි නෑ වගේ…”
ඔහු එලෙසින් කීවේ මෝටර් රිය වෛද්‍ය මධ්‍යස්තානයෙන් පිටතට ගන්නා අතරේ බව නිම්නාවීට මතකය.
ඒ මදිවාට වෙන්න නෝනා යැයි කිසි වගක් නැතිව කීවේය.
එවෙලෙහි කොහොම දැණුනාද මතක නැති වුවද, දැන් ඒවා ගැනද දැනෙන්නේ ලැජ්ජාවකි. එනිසාම තමා මෙහි ඉන්නේ ඇයිදැයි යන කාරණාවෙන්ද අපගමනයන් ඇයට දැනෙන්නේය. කිතියක් හිත හිරි වට්ටන්නේය.
මන්දාරම් අම්මාටද කතා කර නිම්නාවී සොයා ගියේය. ඕ උන්නේ කුස්සිය අසල වූ පුටුවක හිඳගෙනය. එවෙලෙහි නැටූ නාඩගම නිසා දැන් තමාට මුහුණ දෙන්නටද නොහැකිය යන ලැජ්ජාව නිසා ඕ මෙලෙස කොන් ගැසී ඉන්නවා විය යුතුයැයි මන්දාරම් කොහොමටත් සිතා තිබුණි.
” ලෑස්ති වෙන්න .. මම ගෙදර ගිහින් ඇරලවන්නම් ….”
මන්දාරම් ගේ හඬ ඇසෙද්දී නිම්නාවී අසුනෙන් වහා නැගිට්ටාය. එහෙත් ඉදිරියටවත්, ආපස්සටවත් යා ගටහ් නොහී ගල් ගැසී මෙන් උන්නාය. මන්දාරම් ඒ වගක් නැතිව, ඇයට පසෙකින් වූ ශිතකරණයෙන් වතුර බෝතලයක් ගෙන ඇය දෙස බලාගෙනම ඉන් අඩක් පානය කලේය.
ඉන් පසුව හෙලුවේ නිම්නාවීට නොවැටහෙන වර්ගයේ සිනහවකි. එහි අරුත චානක උන්නා නම් ඇතැම් විට කියවාගන්නට ඉඩ තිබුණි. ඇස් වලින් පවා කතන්දර වල ශේෂ වැටෙන බව අනිවාර්‍යෙන්ම චානක කියවාගන්නට තිබුණි. එහෙත්, නිම්නාවී උන්නේ ඇස් කියවන්නට හැකි මානසිකත්වයක නොවේය. නිම්නාවී වහා ඔහුගේ දෑස් වලින් ගැලවුණාය.
” පුදුම සද්දේ.. ආයේ ඉතින් එතනින් හදිසියකට බෙහෙතක් අරගෙන ඉවරයි මාත් .ගිය ආත්මේ රිදී සීණූ දුසිම් ගානේ පූජා කරන්න ඇත්තේ … අර නර්ස් ගේ අත රතු වෙලා අතට ගහපු පාර …”
මන්දාරම් කලකට පසු සැහැල්ලුවෙන් සිටින වග ඔහුටම දැනුනේය. එහෙත් තවම මේ සැහැල්ලුව පිළිගන්නට මන්දාරම් මැළි වන්නේය. නිම්නාවී එරෙව්වේ පොළවටය.
” මොකද එච්චර බය ..කෙයාර් ගිවින් කරලත් ..?…”
මන්දාරම් ඉන් පසුවද විමසුවේය. නිම්නාවී හුස්ම හිර කරගෙනම උන්නාය. පිළිතුරු නැත. අහිංසක මුහුනක් තැනුවාය.
ඇගේ කෑ ගැසීමද, දැඟලීමද ඔහුට තවම ඇසෙන්නේය. දැනෙන්නේය. ඕ උන්නේ තම කුසට මුහුණ ඔබාගෙන බව සිහිවෙද්දී මන්දාරම්ගේ කුසෙහි අමුතු කැළඹීමක් නැගුණේය. එක්වරම එලෙස කැළඹුමක් හිතෙහිද නැඟුණේය. යමක් සිදු වන බව පිළි නොගන්නට තරම් මන්දාරම් දැඩිව උන්නේය. තමා ඇගේ දෑත් තදින් අල්ලා ඇය නතු කරගෙන උන් බව සිහි කරමින් මන්දාරම් වතුර බෝතලය ඉතා තදින් අල්ලා ගත්තේය.
ගතවුණු පැය කිහිපය තුළ ඇය ගැන යම් දිලිසෙන හැඟීමක් දැනෙන බව මන්දාරම්ට වැඩි කල් නොගොසින්ම පිළිගන්නට තරමේ වන තත්පර එකා පසුපස එකා නැගෙමින් ඇළෙමින් තිබුණි.
” මට ගෙදර යන්න තරම් අමාරුවක් නෑ …….”
නිම්නාවී ඉඩක් ලැබුන ඇසිල්ලේ එලෙස කියා දැම්මාය. මන්දාරම් දෙතොල් එකිනෙක පටලවා, ඇහි බැම ඔසවා නිම්නාවී දෙස සරදම් බැල්මක් හෙලුවේය. නිම්නාවී යළි අමනාපයෙන් ඉවත බැලුවාය. මන්දාරම්ට මෙතරම් වෙලා මෙතනට වී සිටින්නට තරම් හේතුවක්ද නැත. එහෙත් ඔහු යන්නේද නැත.
” ලතා ඒවි දැන් … එයා උයාවි … ලෑස්ති වෙන්න මම ඇරලවන්නම් .පණ්ඩිත වෙන්න එපා ..”
” ඕනි නෑ …”
නිම්නාවී මේ පැයට දෙකට මන්දාරම් ඉක්මවා යන වචනද කියන්නීය. ඇය මෙහි ඉන්නේ ඇයි දැයි දැන් ඇයට යළි යළි සිහිපත් කරවා, මතක තබා ගන්නට වන තරමට වන තත්පර අහුරක්ම ගොඩ ගැසී අවසන් ය.
” ඔහොම කකුල තියාගෙන තියාගෙන දැනගත්තොත් අම්මාගෙන් මට බැණුම් .. මම අද අම්මාව නාවන්නම් … ඊට කලින් මම ඇරලවලා එන්නම් ඔයාව ..ඒක ලේසියි මට….”
” ඕන් නෑ මන්දාරම් මහත්තයා … මට අමාරුවක් නෑ … කකුල තෙමාගන්න එපා කිව්ව නිසා ඔයා අද මිස්ව නාවන්න එහෙනම් ….”
නිම්නාවී ගේ හඬ උස්ව නැඟුණි. මන්දාරම් මොහොතකට ගල් ගැසුනේය. ඇයට මෙලෙස වෙස් පෙරලා ගන්නට තරම් දෙයක් වීද ?. අනෙක් අතට තමාට අණ දෙන්නට ?.
” මන්දාරම් මහත්තයා කියන්න එපා කිව්වා නේද ?…”
මන්දාරම්ද අනෙක් පසට ඇසුවේය. ඇයට මෙවන් වේශයක්ද තිබීම එක අතකින් මනරම් ය.
” ඒකද මෙතන වැදගත් ?…”
නිම්නාවීගේ ඉවසීම සහ රඟපෑම මදකින් අපගමනය වූ බව ඇයම වටහා ගත්තාය. ඕ එය ක්ෂණිකවම වටහාගෙන ඊළඟ තත්පරය වෙනුවෙන් සූදානම් වූවාය. එහෙත් මන්දාරම් යටත් වූවේය. ඇය දවසම නිවසේ සිටීම ගැන උද්දාමයක් දැනෙන බව පිලිගන්නටම ඔහුට සිදුවේ.
” ඕකේ … සොරි …”
මන්දාරම් එතැනින් නික්මුනේ සිනාසෙමිනි. අම්මාගේ කාමරයට ගිය ඔහු අම්මා නාවන්නට සූදානම් කරවූයේය. නිම්නාවී රෝහලට රැගෙන යෑමෙන් පසු සිදුවූ සියල්ල යලි යලි පවසමින් මහ හඬින් සිනාසුනේය. ස්වර්ණාද පුතුගේ සිනහව නිසා වඩ වඩා සැහැල්ලු වූවාය.
නිම්නාවීට සිදුවී ඇති අනතුර නිසා ඇය ගැන සොයා බලන්නට මන්දාරම්ට කීවාය. නිම්නාවී දොඩම් වීදුරුවක්ද රැගෙන කාමරයට පැමිණෙද්දී මන්දාරම් වහා යළි රෝහලේ සිදුවීම අම්මා සමඟ කියන්නට පටන් ගත්තේය. ස්වර්ණා මන්දාරම්ට නෝකාඩු පවසමින් නිම්නාවීට ඉඳගන්නා ලෙස කීවාය.
” තව දොඩම් තියෙනවා … ගේන්නද ?…”
නිම්නාවී මන්දාරම්ගේ කතාව පරයමින් විමසුවාය. මන්දාරම් එය වගකට හෝ නොගෙන දිගින් දිගටම නිම්නාවීගේ කෑ ගැසීම රඟපාමින්ම උන්නේය. නිම්නාවීද එයට එක් වූයේ ස්වර්ණා ගේ සැහැල්ලුවද සමඟින් ය.
සවස නිම්නාවී තනිව පිටත් වන්නට සූදානම් වෙද්දී මන්දාරම් බලෙන්ම ඇය කඩවතට ඇරලුවේය. නිවෙසට ඇරලවන්න උත්සාහ කලද, ඇය නගරයේ කටයුතු කිහිපයක් පිළිබඳව පවසමින් කඩවතට ඇරලවාගන්නට මන්දාරම් එකඟ කරවා ගත්තාය.
” මං උදේට කිරි බොන්නේ නෑ නිම්නාවී .. අනෙක සෙනසුරාදා ඉරිදා මම නවය දහය වෙනකල් අනිවාර්‍යෙන්ම නිදාගන්නවා … ඒ වගේම , මම ලෝ සුගර් ප්‍රිෆර් කෙනෙක් …. මතක තියාගන්න …”
නිම්නාවී චානකට හෙණ ඉල්ලුවේ සිතිනි. සැබැවින්ම ඔහු සියල්ල සැලසුම් කර තමා මුලාවේ හෙලා ඇත.
ඒ සියල්ල පසෙක තබා ඇය මන්දාරම්ට හිස සැලුවාය.
” මං මොන එකකටද ඒවා මතක තියාගන්නේ ?”
සිතින් එහෙමද සිතුවාය. ඉන් පසුව ඔහුට පෙනෙන්නටම නිමි ඇඳුම් වෙළඳසැලකට රිංගා ගත්තාය.
” ඔය චානකයාට නම් හොඳම පාඩමක් උගන්නන්න වෙනවා.. ඌට අදාලම නැති වැඩක්නෙ .. චානකට විතරක් නෙවෙයි, ඔය මන්දාරම්ගෙත් කට වහන්න වෙනවා….ඒකාට අදාලම නෑනේ එච්චර කියව කියව නටන්න …. අනෙක අද සෑහෙන්න ටූ මච් …ඇයි යකෝ .මුං දන්නේ නෑ නිම්නාවී අලහකෝන් කියන්නේ කවුද කියලා…..”
නිම්නාවී හඬ නොනැගෙන්නට දෙතොල් මතින් මුමුණමින් රෙදි රාක්ක අතරේ ඇවිද්දාය.
ඇය මල්ලිගේ මිතුරාගේ නිවෙසට ගොස් මෝටර් රිය ගෙන නිවෙසට ගියාය. පවන් පසුදා විදෙස් ගතවීමට නියමිතව තිබූ බව සිහි වුවත් ඇය ඔහුට ඇමතුමක්වත් නොදී මඟ හැරියේය. ඇගේ පාදයේ කැපුම ගැන විමසන්නට සිහියක් වූ කිසිවෙක් නිවසේ උන්නේ නැත. සති අන්තයේ දිලුම් සහ රන්දුලාද කොළඹින් පිටව යන බව ඇයට පවසා තිබුනි.
ඉරිදා දිනය ඇගේ නිවාඩු දිනය බව මන්දාරම් පැහැදිලිවම පැවසූ නිසා ඕ පසු දින ඇහැරුනේ ප්‍රමාද වීය. දිලුම් එවා තිබූ සේයාරූපයට ස්ටිකරයක් යැවූ ඕ, ඔවුන් දෙදෙනාට හඬ පණිවිඩයක් තැබුවාය. ඉන් පසුව පසන්ගේ පණිවිඩයට පිළිතුරු යැව්වාය. අම්මා සහ තාත්තා පසන් මුණ ගැසෙන්නට ගොස් ඇති බව දුටුවේ පසන්ගේ වට්සැප් ස්ටේටස් තුලිනි.
නිම්නාවී පාදයේ රිදුම දෙස බැලුවේ ඉන් පසුවය. හෙට දිනයේද බෙහෙත් දැමීම සඳහා පැමිනෙන ලෙස රෝහලේ හෙදිය කී වග මතකය . හෙට කඩවතින් බෙහෙත් දමාගෙන යන්නට ඕ ඉටා ගත්තාය.
අපේක්ෂා ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here