රාත්‍රියෙහි ආයු නින්දෙන් හඬන්නට පටන්ගත්තේ ය. එය සාමාන්‍ය හැඬීමක් නොවේ. ඔහු නලවාගන්නට ආර්ය ට බැරි තැන හෙතෙම හඬන දරුවා වඩාගෙන පහළ මහළට ආවේ ය. මණී ද උපුල් ද දන්නා ශිල්ප ක්‍රම යොදමින් ඔහු නලවාගන්නට යත්න දැරී ද ඒ උත්සාහයන් සාර්ථක වූයේ නැත. ශා බාප්පි ද පූ බාප්පි ද රූ බාප්පි ද ඔවුන් දන්නා විහිළු කරමින් දරුවා සන්සුන් කරන්නට තැත් කළ ද ඒ සියල්ල අසාර්ථක විණි. අඩු තරමින් ආයු හඬන්නේ ඇයි කියා හෝ කිසිවෙකුට වටහා ගත නො හැකි විණි. නපුරු හීනයක් දැක යයි මුලින් ඔවුහු සිතූහ. නමුත් ඒ තරම් වෙලාවක් හීනයක් නිසා හැඬිය නො හැකි ය. උදරාබාධයක් හෝ වෙනත් අසනීපයක් විය හැකි ද යන දෙගිඩියාවෙන් මණී ග්‍රයිප් වෝටර් ද පැනඩෝල් සිරප් ද දුන්නා ය. නමුත් ඒ කිසිත් දරුවා ගේ හැඬීම නතර කළේ නැත.
“මාගිට අඬගහමුද…”
කියා බැරි ම තැන මණී ඇසුවා ය.
“අම්මට පිස්සුද…”
වහාම ඊට එරෙහි වූයේ ශාක්‍යයි.
“ළමයි හතර දෙනෙක් හදපු අම්මටත් මේ ළමයව නලෝගන්න බැරිනං ඒ පොඩි කෙල්ලට පුළුවන්ද… අනිත් එක අපේ පොඩි එකාගෙ හැම ආවතේවෙකටම අඬගහන්න ඒ ළමය ආයුගෙ ආයා නෙවේනෙ”
ඔහු ගේ වචන පිහි තුඩු සේ ආර්ය ගේ පපුවේ වැදිණ. ශාක්‍ය ගේ විරුද්ධත්වය එතරම් දැඩි වූයේ ය. ඇතැම් විට අමාගී දැනටමත් ශාක්‍ය ගේ පෙම්වතිය විය හැකි යයි ආර්ය ට සිතිණ. නැතහොත් ඔහු ඇය ගැන අදහසක් හිතේ තියාගෙන ඉන්නවා හෝ විය හැක.
“ඩොක්ටර් ගාවටවත් ගෙනියමුද අම්මෙ…”
ආර්ය අසරණ ලෙස ඇසුවේ ය.
“ඒක තමයි නේද… එහෙනං එහෙමවත් කරල බලමු”
ඒ රාත්‍රියෙහි ඇරඹුම පමණි. අඩු තරමින් මල්වත්තගේ ගෙදර අය රාත්‍රී ආහාර ගෙන නිම වී තිබුණේ හෝ නැත.
“ආයු නැළවෙන්නැතුව අඬනව වගේ නේ… මං චුට්ටක් බලල එන්නං”
අමාගී කෑම මේසයෙන් නැගී සිටින්නට ගියා ය.
“ඔන්න ඔය බත් ටික කාල ඉන්නව”
වහා විරුද්ධත්වය පෑවේ සාන්වී ය. අමාගී ට යළි අසුනෙහි හිඳවිණ.
“ළමයගෙ අම්ම ගාණක් නැතුව දාල ගියේ… ඔයා ආයුගෙ අම්ම නෙවේ සුදූ… ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න ඔළුව උඩ දාගන්න එපා. පුළුවන් වෙලාවට ළමයව ටිකක් බලල දුන්නට කමක් නෑ. හැබැයි ඒක ඔයාගෙ වගකීමක් කරගන්න ඕන නෑ”
සාන්වී තව දුරටත් අවධාරණ කළා ය. අශ්විනී හෝ දුරේශ් කිසිත් නොකියා සිටියහ. නමුත් ඔවුන් ගේ සිත් වල සිතිවිලි සංසරණය වෙමින් තිබෙන්නට ඇත.
“පව් අනේ… දැං කොච්චර වෙලාවක් තිස්සෙ අඬනවද… මං වඩාගත්තනං ආයු නැලවෙයි සමහර විට”
නිරෝෂා ගිය දින වල අහේතුකව අමාගී ඔහොම හැඬු අවස්ථා දුරේශ් ගේ මතක ඉතිහාසයේ වේ. එහෙම වෙලාවක පිහිටට ආවේ මණී ය. ඉතිහාසය නැවත සිදු වීම යනු අහඹුවක් සේ ම විශ්මයකි.
“සුදු පුතා ගිහිං දරුවව නලවල දීල එන්න”
දුරේශ් ගේ තීරණය අවසාන තීරණයයි. කිසිවෙකු ඔහු ට එරෙහිව වචනයක් කියන්නේ නැත. අමාගී කඩිනමින් අසුනෙන් නැගිටගත්තා ය.
“තැන්ක්‍යු තාත්ති”
ගේට්ටු දෙකක් ඇරගෙන ඇය එහි දිව ගියේ හුස්මක්වත් නොගනිමි.
“තනියම ළමයව හදාගන්නව කියල පණ්ඩිතකං කියෙව්වට ඒක කරන්න බෑ කියන්නෙ ඕකයි. වෙච්ච දේවල් අමතක කරල නිධීට ආයෙ එන්න කියන්නයි තියෙන්නෙ. මේ ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම ඒක”
අමාගී යත්දී පූජන එසේ කියමින් සිටියේ ය. ආර්ය පුතු වඩාගෙන ඔහු නලවාගනු වස් සක්මන් කරමින් වුව පූජන ගේ වචන නිසා හිත රිදවාගත්තේ ය. ගෙදර හැම කෙනෙකුට ම ඔහු වදයක්, කරදරයක්, අමතර බරක් වී ද? ඔවුන්ට කරදරයක් නොවී, ඔවුන්ගේ උදව් ඉල්ලන්නේ නැතිව ආයු ඇති දැඩි කරගන්නට මගක් තිබිය නො හැකි ද? කෙසේ වෙතත් මේ ඒවා ගැන සිතිය හැකි වෙලාවක් නොවේ.
මාගි දුටු විට මණී සැනසුම් සුසුමක් හෙළුවා ය. නමුත් ශාක්‍ය ට නො රිස්සුමක් දැනිණ. පූජන කේන්තියෙන් ඉවත බැලුවේ ය. නිධී ආපසු එනවා නම් ඔවුන් දෙදෙනා ම කැමති, එතකොට අමාගී ආයු වෙතින් දුරස් වන බැවිනි. ඔවුන්ගේ වී සිටි ඇය අහිමි වී යතැයි අදිසි බියක් දැන් ශාක්‍ය, පූජන දෙදෙනාට ම දැනෙමින් තිබේ.
“අනේ අයි සුදු මැණික මේ අඬන්නෙ…”
කියාගෙන අමාගී ආර්ය වෙතට සමීප වී ආයු ට දෑත පෑවා ය. ඔහු වහා ම ඇය වෙතට විත් උරහිසෙහි කම්මුලක් තියා ගත්තේ ය. ආයු ට ඉකිගැසේ. හීල්ලේ. අමාගී දෙපසට පැද්දෙමින් දරුවා නැලවූවා ය. නමුත් ඔහු ගේ ඉකිය වරින් වර නැඟිණි. එලෙස අඩ හෝරාවක් පමණ ඇවිදිමින් සිටිනා විට සන්සුන් වී ආයු ට නින්ද ගියේ ය.
“දැං අපි වඩාගන්න ගියොත් ආයෙ ඇහැරෙයි. මාගි අනේ දුවේ ඇඳ උඩින් තියලම එන්න”
මණී කීවා ය. ආර්ය පියගැට පෙළෙහි ඉස්සර වී ගියේ කාමරයේ විදුලි පහන දල්වන්නටයි. ඔහු ඉක්මනින් ඇඳ ඇතිරිල්ල ද සකස් කළේ ය. යහන මත තැබූ විට ආයු යළි දෑස් ඇරියේ ය. අමාගි ගේ ගෙල බදාගත්තේ ය.
“මං යන්නෑ පැටියො. මගෙ මැණික දොයියන්න”
ඈ කෙරේ විශ්වාසයෙන්දෝ ආයු යළි දෙනෙත් පියාගත්තේ ය. ඇගේ උණුහුම ඔහු ට දීගෙන අමාගී මඳ වෙලාවක් ආයු ළඟින් වැතිරීගෙන සිටියා ය. ආර්ය කාමරයෙහි කල්පනා සක්මනක නිරත විය.
“අනේ ලොකයියෙ ආයු ගැන හිතල නිධීට එන්න කියන්න. මට බයයි ආයු ගැන”
එහෙම නො කියා ඉන්න හිත හදා ගන්නට අමාගී ට නො හැකි විය. ආර්ය සමගින් වන ඇගේ ඉතිහාසගත නොහොඳ නෝක්කාඩුව පවා අමතක කොට ඈ එසේ මිමිණුවේ ආයු වෙනුවෙනි. සැබවින් ඔහු ගැන ඇගේ පපුව පුරවන, රිදවන ආදරය වෙනුවෙනි. ආර්ය සුසුමක් හෙළමින්, සක්මන් කිරීම නවතා යහන ළඟ හිටගෙන දෑත් පපුවෙහි බැඳගත්තේ ය.
“ඔයාට තාම තේරෙන්නෑ නංගි මේව”
අමාගී ඒ කී දේට නම් කැමති නොවූවා ය. ආර්ය කතා කරන්නේ ඔහු මහ ලොකු මිනිසෙකු හා ඇය කුරු කුහුඹු කෙල්ලක ගාණට දමා ය. අතීතයේදීත් ඔහු ඇයට සැලකුවේ එසේ ය. ඇගේ කුඩා බව කෙරේ නොසැලකිලිමත් ලෙස ය.
“නිධීට මාව එපා වුණ එක ගැන කිසිම ගැටළුවක් නෑ. හැබැයි එයාට පුතාව අරං යන්න තිබුණ. ආයු කියන්නෙ මගෙ පණ තමයි. ආයුව අරං ගියානං මට නැතිවෙන්නෙ මගෙ පණ. හැබැයි එහෙම වුණානං මං තේරුං ගන්නව කොතනක හරි මගෙ වරදක් ඇති කියල. මොනා වුණත් නිධී පුතාට ආදරෙයි කියල. එයාට පුතා නැතුව බෑ කියල. හැබැයි එයා ගියේ එයාගෙ ඇඟේම කොටසක් විදිහට ඉපදිච්ච මේ සුවඳ ගුලියත් එපා කියල. එතකොට එයා අම්ම කෙනෙක්ද… තමන්ගෙ දරුවට ආදරයක් තියන අම්ම කෙනෙක්ද… එයා දරුවත් අරං ගිහිං අද ඔය විදිහට කතා කළානං වචන දෙකක් නෑ… මං එයාට මේ ගෙදර දොර අරිනව. මගෙ පුතා වෙනුවෙන්. එයාට අම්මයි තාත්තයි දෙන්නම ඕනෙ කියන සාධාරණ ඇත්ත වෙනුවෙන්. හැබැයි මේ අසරණයව දාල ගිය අම්ම කෙනෙක් එයාට ඕන නෑ. අමාගි අම්මල දරුවො වෙනුවෙන් මොනාද නොකරන්නෙ… දරුවො හින්ද සල්ලාල බේබදු පිරිමි එක්ක ජීවිත කාලයක් ඉන්න හිත් හදාගන්නව. නිධීට මොනාද මං අඩු කළේ… එයාට පවුලක් දුන්න. ගෙදරක් දුන්න. දරුවෙක් දුන්න. තව මොනා මගෙන් ඉල්ලුවත් දෙනව. හැබැයි දැං මං එයාට සමාවවත් දෙන්නෑ. ඒ මගෙ පුතාව මෙච්චර අසරණ කරල ගිය වරද නිසා. එහෙම නැතුව සමාව ලයිසන් එකක් කරං ආයෙත් එයා වැරදි කරයි කියන බය නිසා නෙවෙයි. මගෙ පුතාට නිධී වගේ අම්ම කෙනෙක් ඕන නෑ. ඒක එච්චරයි”
ආර්ය ඒ දිග කතාව කීවේ නිසංසලේ ය. නමුත් ඔහු ගේ හිත් වේදනාව ඒ නැවතිලි අතරේ මැනවින් තැවරී තිබි බව අමාගී ට දැනිණ. ඔහු කොහොම බරක් පපුව මත තියාගෙන ඉන්නවා විය හැකි ද? ආයු ඉක්මනින් තද නින්දකට පිවිසි බව ඔහු ශබ්ද නැගෙන සේ හුස්ම ගැනීම අනුව සිතා ගත හැකි විය. අමාගී හෙමිහිට යහන මතින් නැගී සිටියා ය. දෑත් පපුව මත බැඳගත් වන ආර්ය ආයු දෙස ම බලා හිඳී. අමාගී ට තාත්තා සිහි විය. දරුවන් හතර දෙනෙකු සමගින් එදා ඒ සම්මා සම්බුදු තාත්තා කොහොම හිත් ගින්නක් උහුලා දරාගන්නට ඇත්ද?
“මං යන්නං ලොකයියෙ”
ඇය හෙමිහිට එහෙම කියාගෙන කාමරයෙන් නික්මුණා ය. ආපසු හැරී ඈ යන දෙස බලා සිටි ආර්ය ආයු ළඟින්, යහන මතින් හිඳගත්තේ ය. සුසුමක් ගිලිහුණේ නිරායාසයෙනි. ඔහු එකතකින් රැවුල් කොට වැවී ඇති නිකටත් කම්මුලුත් පිරිමැද ගත්තේ ය.
“නැනී යනවද…”
අමාගී පිටත් වන විට පූජන නොරිස්සුමෙන් ඇසුවේ ය. අමාගී ගාණක් නැතිව “ඔව්” කීවා ය.
“ඉන්න ගේට් එක ළඟට එක්කං යන්න”
කියමින් ශාක්‍ය පස්සෙන් යන්නට හැදුවේ ය.
“අනේ මේ ඕන නෑ. මට මොන තනියක්ද”
කියමින් අමාගී ඔහු නොතකා අඩියට දෙකට නික්ම ගියා ය. ඈ යන විට දුරේශ් බරාඳ පුටුවකට වී රාත්‍රිය දෙස බලාගෙන සිටියේ ය. රාත්‍රී ආහාරයෙන් පස්සේ බොහෝ විට ඔහු එහෙම මානසික සුවයක් ලබයි. වැඩිමල් ගෑනු ළමයින් දෙදෙනා මුළුතැන්ගෙය අස් පස් කොට උදයට පිසින ආහාර සඳහා අඩුවැඩිය සකසති. ඒ වෙලාවට මාගී කරන්නේ බුදු පහනෙහි මල් අස් කොට අක්කලා සමගින් කොඩමළු වී හිඳිනා එකයි.
මුළුතැන්ගෙට නොගොස් අමාගී දුරේශ් ළඟ නතර වූවා ය.
“තාත්තිට කෝපි එකක් ඕනෙද…”
“පස්සෙ බොමු. දරුව නිදාගත්තද…”
“හ්ම්. අනේ මට හරි පව් හිතෙනව තාත්ති ආයු”
ඇය දුරේශ් ළඟ බිමින් හිඳගත්තා ය.
“තාත්තිට මල් තියල වැන්දත් මට හිතට මදි. අනේ දෙයියනේ ලෝකෙ කිසිම තාත්ත කෙනෙක් දරුවො නිසා අසරණ වෙන්න එපා”
අමාගී දුරේශ් ගේ දණමඬල මතින් නිකට තියාගත්තා ය.
“ආයුගෙන් මට පේන්නෙ මාවමයි තාත්ති. මාත් ඒ දවස්වල තාත්ති එක්ක කොච්චර දුකක් විඳින්න ඇද්ද… අක්කලයි අයියයිනං ටිකක් හරි ලොකුනෙ. තාත්ති වගෙ තාත්තලට කිසීම ලෙඩක් දුකක් කරදරයක් වෙන්නනං එපා. හිසරදයක්වත් හැදෙන්නෙපා දෙයියනේ… තාත්ති වගේ තාත්තල තමයි දවසක බුදුවෙන්න ඕනෙ”
දුරේශ් ගේ අතක් අමාගි ගේ හිස මත රැඳිණි.
“සුදු පුතා”
ඔහු ගේ හඬ වෙව්ලා ගියේ ය.