එකම එක හාදුවක් – 5

0
4108

අඩි හයකට වඩා උස එච්චර ලස්සන මිනිහට තමන් අංකල් කිව්වේ මොන සිහියෙන් ද කියන ප්‍රශ්නෙ ඇත්තටම ශාර්වරීගෙ හිතෙත් තිබ්බාය. තමන් ඒ කතාව කිව්වයින් පස්සේ ඒ මනුස්සයා තමන් දිහා බලාගෙන උන්නේ නිකන් “අංකල්? කවුද අංකල්?” කියන විදියෙන්ය. දැන් දැන් මේ බිග් ෆුට් වගේ ඉන්න මිනිහා තමන්ව අත් දෙකෙන් අල්ලා උස්සා පොලොවෙ ගසාවිය කියන බය ඇත්තටම ශාර්වරීගේ හිතේ තිබ්බාය. ඒ උනාට තමන් ඉන්නේ ඉවෙන්ට් එකක බවත්, ඒ ඉවෙන්ට් එකේ ඉන්න බහුතරයක් මිනිස්සු තමන්ව හොඳින් දන්න හන්දාත් මේක මේ බිම්මලට බනින්න අවස්තාව නොවන බව නෙවින්ට මතක තිබ්බ හන්දා හොඳට ගියේය.

ශාර්වරි මේ ලංකාවෙම ප්‍රසිද්ධ මොඩ්ල්ට අංකල් කිව්ව එක ලෝක නඩුවක් බව තේරිච්ච නමුත් මධුරංග උන්නේ මොනවා කරන්නද කියන්නද කියලා හිතාගන්න බැරුවය. තීකා උන්නේ ඇස් දෙක නලල දිහාවට අරගෙන හිත අස්සෙන් “ගොං ගෑනි” කියා හිතමිනි. 

“What is wrong with you?” කියා නෙවින් තමන්ගේ ගැඹුරු මාධූර්‍ය හඬ අවදිකරද්දී එතන බකතපස් වගේ හිටගෙන උන් ශාර්වරී ආයෙ වතාවක් ගැස්සුණාය. තමන් මේ පෙරලගෙන තියෙන්නේ එසේ මෙසේ බාල්දියක් නොවෙන බව ශාර්වරීට තේරුනේ මෙච්චර වෙලා කොහෙද පැත්තකට වී හිඳිය තීක්ෂණා “වී ආර් එක්ස්ට්‍රීම්ලි සොරි සර්” කියාගෙන දුවගෙන ආ විලාසය දැක්කමය. අනෙක් අතට හිත ඇතුලෙන් ශාර්වරී තමන්ටම බැණ ගනිමින් උන්නේ “මං මොන පිස්සුවක් හැදිලද මේ මනුස්සයට අංකල්” කිව්වෙ කියාය.

“සොරි? එක්ස්කියුම් මී. තාම ඉවෙන්ට් එක පටන් ගත්තෙත් නෑ. ඔයාලා මේ කිසිම පිලිවෙලක් නැතුව වැඩ කරන එකෙන් අන්තිමේ මගේ ඇඳුමත් සවුත්තු උනා” කියා නෙවින් කොච්චර තරහ හිත අස්සේ තද කරගෙන ඉන්න හිතුවත් ඒ වචන ටික එලියට නොදා ඉන්න හැකියාවක් තිබ්බේ නැත. අනෙක් අතට මේ ඇඳුම පිටිපස්සේ කෑම පැල්ලමක් වැදීම වෙන දවසක වුණානම් තමන්ට මෙහෙම තරහා ගන්න හේතුවෙන දෙයක් නොවුණාට තමන්ට ඇත්තටම තරහා ගියේ මේ බටු කෙල්ල තමන්ට අංකල් කිව්ව හන්දා බව යටි හිත කොඳුරන අයුරුත් නෙවින්ට ඇසුණේය. 

“අපි දන්නවා සර්. මෙයා තාම අලුත්. ඒකයි මෙහෙම මිස්ටේක් එකක් උනේ. එක්ස්ට්‍රීම්ලි සොරි සර්. අපි ඇපොලොජයිස් කරනව ඒකට” කියා තීක්ෂණා ඉතාම විනීතව, පැහැදිලිව ඒ මනුස්සයට කියන අතරවාරයේත් ශාර්වරී දිහාවට තමන්ගේ ගිනි රැස් විහිදෙන ඇස් පා කර එවන්න අමතක කරේ නැත.

මේ සියලු දේවල් සහ මිනිස්සු අතරේ තමන්ට කාටවත් නොපෙනෙන විදියට අතුරුදහන් වෙන්න තිබුණා නම් හොඳයි කියා හිතෙද්දී ශාර්වරී උන්නේ අඬන්න තරම් වේදනාවකිනි. අනෙක් අතට තීකා මොන තරම් සමාව ඉල්ලමින් උන්නද ඔහු උන්නේ තමන්ගේ ගැඹුරු හිස් දෙනෙත තමන්ගේ දෙනෙත මතම අලවාගෙනය. ඒ දෙනෙත් ඔස්සේ තමන්ගේ හිත කරා හුවමාරු වෙන්නෙ කුමනාකාරයේ හැඟීමක්ද කියා වටහාගන්න පුලුවන්කමක් තිබුනෙ නැතත් ඒ නෙත් බැල්මෙන් මිදෙන්න උවමනාවක් ශාර්වරීට තිබුනේ නැත. අනෙක් අතට ඒ දෙනෙත් බැල්මෙන් මිදෙන්න පුලුවන්කමක් තිබුනේත් නැත. ඒ වනාහී වශී වන අන්දමේ හැඟුම් දහරාවකි.

“එක්ස්ට්‍රීම්ලි සොරි සර්. සර්ට අපි හෙල්ප් කරන්නම් ක්ලීන් අප් කරගන්න” කියා තීක්ෂණා කියද්දිත් නෙවින් උන්නේ තමන්ගේ දෙනෙතින් ඒ බටු කෙල්ලගේ දෙනෙතත් මුහුණත්, සම්පූර්ණ රුවත් තමන්ගේ හිත අස්සේ ඇඳගනිමිනි.

ඒ ඇයි කියා තේරුම්ගන්න බැරිවුණත් ගැලවෙන්න බැරි කුමක් හෝ හැඟීමක් තමන්ගේ යටි හිත තමන්ට කියන බව නෙවින්ට තේරුණේය.

“නෝ තෑන්ක්ස්, මට පුලුවන් ක්ලීන් කරගන්න. ප්ලීස් ඔයාලගෙ මැනේජ්මන්ට් එකට කියන්න මීට වඩා හොඳට කල්පනා කරලා ඊලඟ වතාවෙ ස්ටාෆ් එක හයර් කරද්දි හයර් කරන්න කියලා” කියා නෙවින් එතනින් සුළි සුළඟක් සේ නික්මෙද්දිත් ශාර්වරී කරේ දෙනෙත් අයාගෙන ඔහු දිහාවම බලා උන්නු එකය. 

හිත හීනියට රිද්දන්න ඔහුගේ කෝපය හේතුවක් වුණේ ඇයි කියා ශාර්වරී බිම්මල එතන හිටගෙන කල්පනා කරද්දි ඉවෙන්ට් එක පැවැත්වෙන හෝල් එකට යන්න කලියෙන් බාතෘම් එකට ගිය නෙවින් ලයිට් කණුව කණ්ණාඩියෙන් මූණ බැලුවේ ඇත්තටම අර පොඩි කෙල්ල කිව්ව විදියට තමන්ගෙන් පේන්නෙ අංකල් ලුක් එකක්ද කියා බලාගන්නය.

“ඔයා නම් මහ ගොං ගහක්, මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිනිස්සුන්ට එහෙම අංකල් ආන්ටි කියලා කතාකරන්නෙ නෑ. සර් ඕර් මැඩම් කියලා තමයි කතාකරන්න ඕන බව දන්නෙ නැද්ද” කියා බණිද්දී නම් තීකාට සිංහල හොඳට පුලුවන් බව තේරුණත් ඒක කියා හිනාවෙනවා වෙනුවට ශාර්වරී කලේ ඔලුව පල්ලෙහට දාගෙන කල්පනා කර කර උන්නු එකය. කොටින්ම හැමෝටම හිනාවීගෙන හේමාල් එතනින් යද්දී නංගී කිව්ව කතාව මතක් වෙලාවත් ශාර්වරීට වෙනදා හිතෙන ආතල් සිතුවිලි හිතුනේ නැත.

“නෙවින්ට හොඳටම තරහා යන්න ඇති. අනික අනේ නෙවින්ට එහෙම අංකල් කියන්න ලුක් එකක් තියෙනවද? හී ඊස් සෝ ගුඩ් ලුකින්. ඔයා දැකලා නැද්ද මීට කලින් මොඩ්ල්ස්ලව? මට මාර ලැජ්ජ හිතුනා අනේ මෙයා එහෙම නෙවින්ට අංකල් කිව්වම. මොනවා හිතුවද දන්නේ නෑ” කියා තීකා කියද්දී පවා ශාර්වරී උන්නේ ඒක ඇහෙන මානෙක නොවේ. හිත තාම තියෙන්නෙ ඒ උස මිනිසාට තමන් අංකල් කිව්ව වෙලාවේ ඔහු තමන් දිහා බැලුව ගැඹුරු නපුරු එහෙත් ඕනවටත් වඩා හිස් බව රැඳිච්ච බැල්ම ලඟය. 

“ඇත්තටම මං මොන මගුලටද ඒ මනුස්සයට අංකල් කියලා කිව්වෙ” කියා ශාර්වරී උන්නෙත් හිත අස්සෙන් තමන්ගෙන්ම ඒ ප්‍රශ්නෙ අහන ගමන් ය. ඊට වඩා වයස පාට පිරිමින්ට තමන් මේ ගෙවිච්ච ජීවිත කාලය අස්සේ නම කියා කතාකල වාර අනන්තය. නම දන්නෙ නැති එකේ අඩුම තරමේ මුකුත් නොකියා ඉන්නවත් තිබ්බා නේද කියා හිතෙද්දී ඇත්තටම ශාර්වරීට තමන් ගැන හිතේ ඉපදිච්ච තරහව දාන්න තැනක් තිබ්බේ නැත. 

“අයෑම් සොරි” කියා ශාර්වරී කිව්වේ තමන්ගේ අතින් නොදැනුවත්වම හෝ වෙච්ච වරදක් බව හිත කියන හන්දාමය. අනෙක් අතට තේරුම්ගන්නට බැරි කුමක් හෝ හිත් වේදනාවක්, අමාරුකමක් මේ වෙච්ච දෙයින් හිත අස්සේ පැලපදියම් වෙලා තියෙන විත්තිය විතරක් ශාර්වරීට තේරේ. ඒක තමන් එහෙම අංකල් කියා කිව්වයින් පස්සේ ඒ මනුස්සයගෙ මූණෙ දකින්න ලැබිච්ච අඳුර හන්දා ඇතිවෙච්ච වේදනාවක්ද එහෙමත් නැත්තම් තීකා ඇතුලු පිරිස තමන්ට අනන් මනන් කිව්ව හන්දා ඇතිවෙච්ච හිත් වේදනාවක්ද කියන එක ශාර්වරීට නොතේරේ.

එදා ඉවෙන්ට් එක ඉවර වී අවසානයේ සම්මාන දිනාගත් නලු නිලියන් ගෙවල් බලා යන්නට කලියෙන් ආයෙම වතාවක් සම්මාන අතැතිව ෆොටෝස් සහ වීඩියෝස් ගන්නට ආ වාරයේත් ශාර්වරී හීන් සැරේ බෙල්ල උස්සා, ඇස් උස්සා බැලුවේ මනුස්සයාව දැකගන්න පුලුවන් වේද කියන එක ගැනය. තමන් ඔහුව දකින්න මග බලා උන්නාට ඔහුට තමාව සහමුලින්ම අමතක වී ඇති බව ශාර්වරීට තේරුණේ සම්මාන ගත් එක් සුන්දර නිලියකට සුබ පතා තමන් යන බව කියන්නට එතනට ආ වෙලාවේවත් ඔහු එක මොහොතකට හෝ තමන් දිහා නොබැලුව හන්දාය. එදා ඉවෙන්ට් එක ඉවර වී ගෙදර යද්දී රෑ එක දෙක වී තිබ්බත් ඒ වේදනාව, හිත් අමාරුකම ශාර්වරිගේ හිතෙන් ගිලිහී ගොස් තිබුණේ නැත.

“ඒ මනුස්සයගෙ නම මොකද්ද?” කියා ශාර්වරී මධුරංගගෙන් ඇහුවේ ආයෙම බෝඩිම ලඟින් බහින්න හිතාගෙන පික් මී එකෙන් ඕඩර් කල වාහනයට නගින අතරවාරයේය. “කොහොමත් මං බහින්නෙ අන්තිමටනෙ, මම පිටිපස්සෙ වාඩිවෙන්නම්” කිව්ව මධුරංග උන්නේ සීට් එකට ඔලුව තියාගෙන මහන්සියටත් නිදිමතටත් ඇස් දෙක පියාගෙනය.

“මොන මනුස්සයද?” කියා ශාර්වරීගෙන් අහන වෙලේවත් මධුරංග ඇස් දෙක නෑරියේ ආන් ඒ මහන්සිය හන්දාමය. 

“අර මං අංකල් කිව්වේ”

“ආං, එයාගෙ නම නෙවින්. නෙවින් සේනාරත්න. මොඩ්ල් කෙනෙක්. ඔයා දැකලා නැද්ද ගොඩක් ඇඩ්ස් වල ඉන්නවනෙ. අර බ්ලැක් පර්ෆියුම් කමර්ශල් එකේ එහෙම හිටියෙත් මිනිහා” කියා මධුරංග ආයෙ ඇස් පියාගත්තට පස්සේ ආයෙම එක එක ඒව අහන්න ගොස් මධුරංගව තරහා කරගන්න ශාර්වරී හිතුවේ නැත. අනෙක් අතට තමන් ඕනවට වඩා ඕක ගැන අහන්න කරන්න යන එක නිකන් නැති ප්‍රශ්න දුර දිග අරගෙන යන එකක් ය. කොහොමත් මේ වෙච්ච දේ ගැන තීක්ශණා එච් එන් ඩී එකට ගිහින් කිව්වයින් පස්සේ තමන්ට හෙන කාලයක් යනකම් කතා අහගන්න වෙන බව ශාර්වරිට ස්ථිරය. “ලංකාවෙ මිනිස්සුන්ට ඔක්කොම මතක තියෙන්නෙ සති දෙකක් වෙනකම් විතරයි” කියලා කවුද මන්දා කිව්ව කතාව තමන් ඉගෙන ගන්න ආයතනයේ සීනියර් බැච් එකට නම් වැලිඩ් නැති බව ශාර්වරී ඉගෙන ගත්තේ රැග් එක කාලයේදිය.

එදා ශාර්වරී ගෙදර යද්දී නංගී උන්නේ අලුතෙන් අරගත්ත පුස්තකාල පොතක් කියවන ගමන් කොත්තු මී එකක් හදාගෙන කමින් ය. අද ලෙක්චර්ස් ඉවර වී කලින් ගෙදර එන්න පුලුවන්කම තිබ්බනම් නංගි වගේ ඇඳේ දිගා වී පොතක් කියවන්න නිදහසක් තිබ්බා නේද කියා හිතුණත් හෙණ ගහපු පොල්ගහම පොල් කුරුමිණයත් කෑවා වගේ හදිසියෙම ඔලුවට කඩං පාත් වෙච්ච මේ ප්‍රශ්නෙ හිතේ නිදහස නැති කර තිබෙන බව ශාර්වරී හිතුවාය. 

“අඩේ අපේ නිලිය එනවා මෙන්න. ආයුබෝවන්, අද ඔබ හමුවට අපි අරගෙන එන්නේ ලක්ස් සම්මාන රාත්‍රියේදි ජනප්‍රියම නිලියගේ සම්මානයෙන් පිදුම් ලද රූමත් ශාර්වරී සහස්විනි බස්නායක මෙනෙවිය.

ඉතින් ශාර්වරී, කියන්න බලන්න අද මේ පැවැත්වුන සිනෙමා උලෙල ගැන ඔබට මොකද කියන්න තියෙන්නෙ?” කියා මේසය උඩ තිබ්බ පනාවක් මයික් එකක් කරගෙන නැව ගිලුණත් බෑං චූං එකේ ඉන්න නංගි ඉස්සරහට එද්දි වෙනදා වගේ ඒ ආතල් එකට සෙට් වෙන්න ශාර්වරීට හිතක් තිබ්බේ නැත. අර වෙච්ච දෙයින් පස්සේ හිත තිබ්බේම හෙන අවුල් සාගරයක ගිලී බව ශාර්වරී එවෙලෙත් හිතුවාය.

“ඒ හේමාල් ආවද අක්කෙ? කොහොමද මගේ ක්‍රශ් එක ලස්සනට හිටියද?” කියා අයෙශ්වරී ඇහුවේ පිඟානේ තැවරී තිබිච්ච අන්තිම කොත්තු මී ටිකත් හැන්දෙන් මුව අස්සෙ රුවාගන්න ගමන් ය.. 

වෙනදට නම් මේ වෙද්දී මේ කතා වලට දහසක් දේවල් කියන්න ඇරෙන කට අද කිසි සද්දයක් බද්දයක් නැතුව අතේ තිබිච්ච හෑන්ඩ් බෑග් එකත්, ලක්ස් ඉවෙන්ට් එකේදි සහභාගි වෙච්ච හැමෝටම වගේ ලැබිච්ච ගිෆ්ට් බෑග් එකත් බෝඩිමේ මේසය උඩින් තිබ්බ ශාර්වරී දිහා විමසුම් ඇසින් බලා උන්නු අයේශවරීට නම් මොකක් හෝ අංජබජල් සීන් කෝන් එකක් වෙලා තියෙන වග තේරුම්ගියාය.

“අක්කෙ, මොකෝ අවුල, මොකක් හරි කේස් එකක් වුනාද?” කියා රූමිණී අහද්දි ඇඳේ වාඩිවෙලා සපත්තු ගලවමින් උන් ශාර්වරී ඒකට ඔව් කිව්වේවත් නෑ කිව්වේවත් නැත.

“අර තීක්ශනා කියන හොල්මන ආවද? ශුවර් එකටම ඒකි මොකක් හරි කියන්න ඇති. දන්නවනෙ ඩයල් එකේ හැටි” කියා කියන ගමන් අයේශ්වරී ඇඳ උඩ වාඩිවෙලා ඉන්න ශාර්වරීගේ ඉස්සරහින් බිම වාඩි වී පල්ලෙහට මූණ හරවගෙන උන්නු මූණට එබුණාය.

“එයානම් මුකුත් කිව්වේ නෑ. ඒ උනාට පොඩි චොකා වැඩක් වුනානෙ” කියා හීන් සැරේ කිව්ව ශාර්වරීගේ කටහඬේ ඕනවටත් වඩා දුකත්, පශ්චත්තාපයත්, විස්සෝපයත් ගෑවි තිබිච්ච බව ඒ අක්කා එක්ක මේ කාමරයේ අවුරුදු ගණනක් ජීවත්වෙච්ච නංගිට නොතේරුනා නොවේ.

“මොකෝ උනේ? කාට හරි සම්මානෙ වැරදිලා දුන්නද?” කියා අහන අයේශ්වරීට උවමනා උනේ අක්කාව හිනා ගස්සවන්නය.

“මම මධුරංගගෙ ඇඟේ හැප්පිලා වැටෙන්න ගිය පාර එතන උන්නු මනුස්සයෙක්ගෙ ඇඟේ කෑම වැටුණා නංගි” කිය අක්කා කියද්දි අයෙශ්වරීගෙ මූනෙ නම් ඇඳුනේ “ඉතින් ඕකට ඔච්චර අවුල් යන්නෙ මොකටද? මහ වරදක් නෙවිනෙ. සොරි කිව්වනම් ඉවරනෙ” කියන ලුක් එකය. ඒක වචන වලට හැරෙව්වේ හිතා තප්පර ගාණකට පස්සෙය.

“නෑ මම සොරි කිව්වා, ඒ උනාට මගෙ අතින් වැරදිලා එයාට අංකල් කියලා කියවුණානෙ නංගි. එහෙම වයසක මනුස්සයෙකුත් නෙවි. ඒ මනුස්සයට ඔක්කොටම වඩා තරහා ගියේ ඒකට මං හිතන්නෙ

කොහොමහරි තික්ශනාලා කට්ටියත් හෙනට අනං මනං කිව්වා මම එහෙම දෙයක් කිව්වා, මහ ගොං ගහක් කියලා”

“අම්මෝ ඒකි හිතන් ඉන්නේ කොහොමත් හෙන කෑල්ල කියලනෙ. අනේ ගණන් ගන්න එපා අක්කේ” කියා උත්තර දුන්නට අයෙශ්වරීට ඊලඟට අහන්නට තව දෙයක් තිබ්බාය.

“කාටද දැන් ඔය අංකල් කියලා කිව්වේ?” 

ශාර්වරී ඒකට උත්තර දෙන්න කලින් නම් පොඩ්ඩක් විතර මෝඩ පාටට නංගි දිහා බලා හිනාවුනාය. අක්කා කොච්චර එලියට බැහැල රස්සාවලට යන මනුස්සයෙක් උනත් තමන් තරම් වත් බය නැති කෙල්ලෙක් නොවන බව දන්න හන්දා මෙතන අක්කා නොකිව්ව කොටසකුත් තියෙන බව අයේශ්වරී තේරුම්ගත්තේ ඒ හිනාවෙන් ය.

“නම කියන්නකො”

“නෙවින් සේනාරත්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here