කඩල කියන්නේ ප්‍රොටීන් බහුල ධාන්‍ය වර්ගයක් බව අපි හොඳින් දන්න කාරණාවක්.
ඒ නිසාම ධාන්‍ය වර්ගයක් විදිහට තම්බාගත් කඩල පොල්, ලුණු මිරිස් වගේම සම්බෝල එක්කත් අපේ ආහාර වේලට එකතුවෙන අවස්ථා වැඩියි.
ඊට අමතරව කඩල බැඳුම් කෙටි ආහාරයක් විදිහටත් අපේ ආහාර වේලට එකතු වෙනවා.
මේ ක්‍රම දෙකටම කඩල ආහාරයට අරන් පුරුදු ඔබට වෙනස්ම රසයක් සහ ඉතාම හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් කඩල සලාදයක් පිළියෙල කරන විදිහ තමයි අද අපි කියල දෙන්න සූදානම් වෙන්නෙ.
කඩල වල අඩංගු ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයට අමතරව එළවලු සහ පලතුරු වල අඩංගු විටමින්, කාබෝහයිඩ්රේට් සහ ෆෝලේට් වැනි පෝෂ්‍ය පදාර්ථ මඟිනුත් ඉහළ පෝෂණයක් ඔබට ලබා ගන්න පුළුවන්.
ඉතාම කෙටි කාලයකින් සූදානම් කර ගන්න පුළුවන් මේ සලාදය කාර්යබහුල වගේම ආහාර පාලනය කරන ඔබටත් ඉතාම හොඳ තේරීමක් වෙනව.
ඉතිං අපි බලමු කොහොමද මේ සලාදය පිළියෙල කරගන්නෙ කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
ඔබේ රස අනුව අවශ්‍ය ප්‍රමාණයට,
තම්බාගත් කඩල
කොටු හැඩයට කපාගත් සාමාන්‍ය ලෙස ඉදුණු අලිගැටපේර
ලෙමන් හෝ දෙහි ගෙඩි ½ ක්
කොටු කපාගත් තක්කාලි
කොටු කපාගත් ගර්කින් හෝ පිපිඤ්ඤා
පාස්ලි හෝ අසමෝදගම් කොළ
කොටු හැඩයට කපාගත් පාට කීපයක බෙල් පෙපර් (අත්‍යාවශ්‍ය නැත)
සිහින්ව කපාගත් අමු මිරිස් කරලක් පමණ
හොටු හැඩයට කපාගත් ලූණු
අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් සහ ලුණු
ඔලිව් තෙල් ස්වල්පයක්
තලාගත් සුදූලූණු බික් දෙකක් හෝ තුනක්
සාදන ආකාරය
මුලින්ම තරමක වීදුරු භාජනයක් ගෙන එයට කපාගත් අලිගැටපේර කැබලි ටික එක් කරගන්න.
ඉන් පසුව දෙහි යුෂ දමා අලිගැටපේර කැබලි සමඟ මිශ්‍ර කරගන්න.
(අලිගැටපේර වලට දෙහි යුෂ දැමීමෙන් වර්ණයේ සහ රසයේ සිදුවන වෙනස්වීම් වළක්වා ගන්න පුළුවන්)
ඊළඟට එම භාජනයටම කඩල, කොටු හැඩයට කපාගත් තක්කාලි, ගර්කින් හෝ පිපිඤ්ඤා, බෙල් පෙපර්, ලූණු, අමුමිරිස්, අසමෝදගම් හෝ පාස්ලි කොල එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන පසෙකින් තබා ගන්න.
ඔන්න ඔබේ සලාදය සූදානම්.
දැන් තවත් කුඩා භාජනයක් ගෙන එයට ඔලිව් තෙල්, සුදුලූණු, රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කරගන්න.
කලින් සූදානම් කරගත් සලාදයට මේ ඔලිව් තෙල් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරගෙන පිළිගන්වන්න ඔබට පුළුවන්.
තෙල් වලට අකමැති නම් සලාදයටම සුදුලූණු සහ ලුණු, ගම්මිරිස් එකතු කරගන්නත් ඔබට පුළුවන්.
ඒ වගේම ඔබ සාදා ටික වේලාවකට පසු සලාදය ආහාරයට ගන්නවා නම් තක්කාලි අලිගැටපේර සහ ආහාරයට ගන්න වෙලාවෙදි එකතු කරගන්න එකෙන් සලාදයේ නැවුම් බව ආරක්ෂා වෙනව.
ඉතිං ඔබේ කැමැත්ත අනුව චීස් වර්ගයක්, තම්බාගත් මස්, මාළු හෝ සැමන් වුනත් මේ සලාදයට එකතු කරගන්න පුලුවන්.
කෙටි කාලයකින් සූදානම් කරගන්න පුළුවන් පෝෂ්‍යදායී මේ කඩල සලාදය හදල බලල රස කොහොමද කියල බලන්න ඔබටත් ආරාධනා කරනව.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |