මන්දාරම් එන තුරු සෑහෙන වෙලා බලා උන් නිම්නාවී ස්වර්ණාට සමුදී නිවසට යන්නට පිටත් වූවාය.
මන්දාරම් නිවෙසට එනවා වෙනුවට මත්පැන් පානය කිරීම සඳහා වෙන් කර ඇති අවන්හලක මේසයක් වෙන් කරවා ගත්තේය. ජංගම දුරකතනයද විසන්ධි කර දැමූ ඔහු කලකට පසු හිත තම පාලනයෙන් මිදී යන්නට දුන්නේය. අම්මා හැරෙන්නට ජීවිතයේ අන් බැඳීමකට ඉඩ නොතිබීමේ පාලුව මන්දාරම් ඉතා අසරණ අඩියකට හෙලා දමා තිබුණි.
අනෙක් අතට අම්මාගේ ලෝකයේ තමා වෙනුවෙන් වූ ඉඩ තමාද නොදැණුවත්වම අහිමිව ගොස් ඇතැයි යන හැඟීම ඔහු ඉතා අසරණ කරවා දමා තිබුණි. තාත්තා කොහොමටත් ඉඩක් ගෙන නොතිබූ ලෝකයේ මන්දාරම්ට උන්නේ අම්මා පමණක්‍මය. සහෝදරයෙක් සහෝදරියක් නොසිටි ලෝකයක මන්දාරම්ට උන්නේ අම්මා පමණක්මය. මිතුරු මිතුරියන් බොහොමයක් වූ ලෝකයක මන්දාරම්ගේ හොඳම මිතුරිය වූයේ අම්මාය. පෙම්වතියක් ගැන වූ සියළු හැඟීම් නොදන්නා හැඟීමක් නිසාම යටපත්ව තිබූ මන්දාරම්ගෙ ලෝකය අම්මා වෙනුවෙන් සෑහෙන්න තරමකට වෙන්ව තිබුණි. ඔහුට දැනෙන්නට ගෙන තිබුණේ අසරණ බවකි.
ඉතින්, මන්දාරම්ට දරාගන්නට අපහසු තමා අම්මා වෙනුවෙන් එතරම්ම තරමේ ඉඩ සකසා තිබූ ලෝකයක , තමා වෙනුවෙන් කිසිම ඉඩක් අම්මා තනා නොතිබීමේ වේදනාව මන්දාරම්ගේ සැබෑ සිහිය මදක් එපිටට ඇද දමමින් තිබුණි. ඔහු එවැන්නක් සිතමින් විස්සෝප වීම අරඹා තිබුණි.
චානක නිවෙසට එන විට මහ වර්ෂාවක් නිම වූවා පමණක් විය. එතෙක් වේලා මන්දාරම් නිවසට නොපැමිණ ඇති බව දැනගත් චානක වහා මන්දාරම් ඇමතුවේය. එහෙත් ඔහුගේ ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය.
” අරූ පරක්කු වෙන කතාවක් කීවාද නැන්දේ ?…”
” ඔව් .. ඒත් මෙච්චර පරක්කු වෙයි කිව්වේ නෑ.. දැන් නවයත් පහු වෙලානේ …”
” හරි හරි.. පරක්කු වෙනවා කිව්වා නම් අවුලක් නෑ.. ඌ ඒවි … නැන්දා කාලා බෙහෙත් බීලා ඉමු …”
” මේ ළමයාගේ ෆෝන් එකත් ඕෆ් නේ පුතේ… අනෙක මේ මහ වැස්ස …”
ස්වර්ණා යම් තිගැස්මක් සඟවා ගනිමින් කීවාය. දින කිහිපයක පටන්, මන්දාරම් සහතමා අතරේ යම් හිඩැසක් නිර්මාණය වී තිබූ බව දැන් ස්‍වර්ණාට තහවුරුවම දැනෙන්නේය. ඒ හිස්තැන ඇති වූයේ කෙදින පටන්දැයි ඇයට මතකය. මන්දාරම් සමඟ කතා කර එකඟ කරගන්නට තිබූ යමක් මඟ හැරුණු වේදනාව ස්වර්ණාටද දැනෙන්නට ගෙන තිබුනේය. ඇය උන්නේ පුතු පිළිබඳව දැනෙන වේදනාව පමණක්ම හදවතෙහි දරාගෙනය.
චානක බලෙන්ම ස්වර්ණාට රාත්‍රී ආහාරය ලබා දී ව්‍යායාම කෙරෙව්වේය. නාන කාමරයට කැටුව ගොස් ඇඳුම් මාරු කරවා නිදාගන්නට සැලැසූවේය. මන්දාරම් පැමිණි පසු ඇහැරවන්නටද පොරොන්දු වූයේය.
ස්වර්ණාට තිගැස්මක් නොපෙන්වා සිටියද, චානක උන්නේ හිස ගිණි ගත් තරමින් ය. මන්දාරම් මෙලෙසින් අතුරුදන් වන අයෙකු නොවේය. අනෙක් අතට ඔහුට යම් හුදෙකලා වීමක් අවැසි වූවානම් තමාට පණිවිඩයක්වත් නොතබා එලෙස හුදෙකලා වන්නේ නැත. චානක යළි යළි ඇමතුම් ගත්තේය. එහෙත් මන්දාරම්ගේ ජංගම දුරකතනයෙන් පිළිතුරු ලැබුනේ නැත. කාර්‍යාලයේ මිතුරෙකු ඇමතූ විට ලැබුණ පිළිතුරෙන් චානක තවත් කලබල වූවේය.
” අඩෝ ඌ අද වේලාසන ගියානේ .. මට එච්චර සෙට් වුනෙත් නෑ අද ….”
අවසානයේ පාන්දර එකට පමණ මන්දාරම්ගේ මෝටර් රිය ගේට්ටුව අසල නැවතිණි. ස්වර්ණා ද එවිටම මන්දාරම් ආ වග පවසමින් චානක ඇමතුවේය. ඇය උන්නේද නින්දත් නොනින්දත් අතර අඩ නින්දේය. මන්දාරම් පිළිබඳව නොවැටහුණු යම් මූසල හැඟීමක් ඇයට වද දෙන්නට පටන් ගෙන තිබුණි. සැනසුම් සුසුමක් හෙලුණේ මන්දාරම්ගේ මෝටර් රියේ නාදය ඇසෙද්දීය. චානක කාමරයට එබුණේය. අඩු ආලෝක විදුලි බල්බයෙන් ස්වර්ණාව දැක ගත්තාය.
” ඇඳෙන් බහින්නෙපා රජෝ ඈ … ඔන්න සුදු පුතා ඇවිල්ලා …. දැන් දෙය්යනේ කියලා නිදාගන්න ..සමහරවිට කෑල්ලක් ටෝක් වෙලා රවුමක් ගියාද දන්නේ නෑනේ? .”
නොවූ, නොදැනුණු සැහැල්ලුවක් මවා ගනිමිනි ස්වර්ණාට එලෙස පවසා චානක මිදුලට බැස්සේය. විවෘත වුණු රෝල ගේට්ටුවෙන් මිදුලට ඇතුළු වුණු මන්දාරම්ගේ මෝටර් රිය වෙත ඇවිද ගියේය. ඔහු සූදානමින් උන්නේ මන්දාරම් අමතා දන්නා කුණුහරුප වැලක්ම කියා දමන්නටය. එහෙත් විවෘ ත නොවූ මෝටර් රියේ දොර නිසාම චානක ඒ වෙත ඇවිද ගියේය. මෝටර් රියේ ඉදිරිපස වීදුරුවෙන් ඇස තබ එබුණේය.
දුටු දසුන චානකට එක්වරම වටහා ගන්නට හැකි වූයේ නැත. මන්දාරම් උන්නේ සුක්කානමට හිස තියාගෙනය. චානක වීදුරුවට කිහිප වතාවක්ම ගැසුවේය. මන්දාරම් හිස ඔසවා බලා දොරෙහි අගුලූ හැර ලූවේය. චානක වහා දොර විවෘත කලේය. මන්දාරම් චානකට කිසිම ප්‍රතිචාරයක් නොදීම අසුනේ පිටුපසට වනසේ හිස බර කලේය. මෝටර් රිය තුලට හිස දැමූ චානක ඉන් වහනය වූ මත් පැන් ගන්ධයට හේතුව වටහා ගන්නට නොහැකිව මෙන් යළි මන්දාරම් දෙස බලා ඔහු මෝටර් රියෙන් බස්වා ගන්නට උත්සාහ කලේය.
මන්දාරම් චානකගේ අත පසෙකට විසි කර යළි අසුනේම සුව පහසුව හිඳගන්නට උත්සාහ කලේය.
” මොකක්ද බං වෙලා තියෙන්නේ උඹට … චික් යකෝ …”
චානක මන්දාරම්ට බැණ වදිමින් යළි ඔහු මෝටර් රියෙන් බස්වා ගන්නට උත්සාහ කලේය. එහෙත් මන්දාරම් චානකට ඉඩ දුන්නේ නැත.
” තෝ මොන මඟුලක ගිහින්ද යකෝ මේ එන්නේ … ෆෝන් එකත් ඕෆ් කරන් ..චික් විතරක් ගඳ .. තෝ පොලිසියෙන් නැවැත්තුවා නම් එහෙම අද රෑ කොහෙද ඉන්න වෙන්නේ හිතපං ..ගස් බල්ලා .. “
චානක පහත් ස්වරයෙන් එහෙත් දැඩිව මන්දාරම්ට බැණ වදිමින් උන්නේය.
‘ඇයි අහන්නේ ?.. ආහ් ඇයි .. ඇයි ..?…”
චානක විමසුවේ පහත් හඬින් වුවද මන්දාරම් වඩා උස් හඬින් විමසන්නට පටන් ගත්තේය, චානක ඔහුගේ මුව එක් අතකින් වැසුවේ ඒ හඬ පිටතට නොඇසෙන්නටය. නැන්දාට මෙවෙලෙහි මන්දාරම්ගේ මේ කෑ ගැසුම ඇසීම එතරම්ම යහපත් නොවන වග චානකට වැටහුණේය. සියල්ල සමබර කර ගැනීම හෙට දිනයට වැදගත් ය.
” කට වහගනින් බේබද්දා .. තෝ කොහොමද යකෝ මේ වාහනේ ගෙනාවේ ?… පොලිසියෙන් අල්ලන්න තිබ්බේ ගල් මූසලයා …”
චානක යළි යළි මන්දාරම්ට බැණ වදිමින් ඔහු මෝටර් රියෙන් බස්වා ගත්තේය. මන්දාරම් එවර චානකගේ උරකට වාරු වී අඩි දෙක තුනක් ඇවිද ගියේය. ඔහු උන්නේ සිතින්ද, ගතින්ද තමාට වාරු නොවන මට්ටමකය.
” ඔව් .. ඔව් … මූසලය තමා යකෝ .. මූසලයා…”
මන්දාරම් මහ හඬින් පැවසූවාට පසු චානකට කල හැකිව තිබුනේ ඔහුගේ කට ඉන් එහා හඬක් නෑසෙන්නට මිරිකා දීමය. මන්දාරම් කුණුහරුප වැළකින්ම චානකට දමා ගැසුවත්, හඬ එතරම් මට්ටමකින් පිට වූයේ නැත.
චානක මන්දාරම්ට බැණ වදිමින්ම ඔහු නිවස වෙතට රැගෙන ආවේය. වැස්ස නිසා තණකොළ අල්ල තිබූ පොළවේ මන්දාරම් ගමන් කලේද ලෙස්සමින් නුහුරටය. චානක ඔහු කැටුව ගියේ සම්පූර්ණයෙන්ම ඔහුගේ ශක්තියෙනි.
අපේක්ෂා ගුණරත්න