සීසේරියන් සැත්කමකින් පසු මවට හා දරුවාට විවිධ සංකූලතාවයන් ඇතිවෙනවාද?

ඔබට ගැලපෙන්නෙ සාමාන්‍ය දරු උපතක්ද? නැතිනම් සීසේරියන් සැත්කමක් හරහා සිදුවන දරු උපතක්ද යන්න තීරණය කිරීමේ අයිතිය දෙමාපියන් සතුව පවතින්නක්. මේ ලිපියේ අරමුණ වෙද්‍ය පර්‍යේශනාත්මකව සීසේරියන් සැත්කමකින් පසු සිදුවිය හැකි සංකූලතාවයන් පිලිබද ඔබව දැනුවත් කිරීමයි. දරු උපතකට සූදානම් වන මවක් නම් ඔබේ සෞඛ්‍යය තත්වය හා ඔබේ කැමැත්ත පිලිබදව ඔබේ වෙද්‍යවරයා සමග සාකච්ඡා කොට දරු උපත කෙසේ සිදුවිය යුතුද යන්න පිලිබදව තීරණය කිරීම ඔබේ අයිතියක් බවත් සිහිතබා ගන්න. නමුත් කොතරම් සැලසුම් කලත් අනපේක්ෂිත ලෙස අවසාන මොහොතේ ඔබේත් දරුවාගේත් ජීවිතය සුරැකීමට සීසේරියන් සැත්කම කිරීමට වෙද්‍යවරුන්ට සිදුවිය හැකිය යන්නත් ඔබ අමතක නොකල යුතුම කරුණක්.මේ ලිපිය තුලින් අපි සමග තම වෘත්තීය දැනුම නොමසුරුව බෙදා ගන්නෙ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද පාලිකා ආර්.එම්.ටී.ඒ සමරනායක මහත්මියයි

ශල්‍යකර්මයක් මඟින් දරුවෙක් හෝ දරුවන් බිහි කිරීම සිසේරියන් සැත්කම ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ශල්‍යකර්මය නිර්දේශ කරන්නේ, මවක් දරුවා සාමාන්‍ය ලෙස බිහි කිරීම තුළින් මව හෝ දරුවා හෝ අවදානමකට ලක්වෙනවා නම් පමණයි. වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයක දී සිදුකරන සිසේරියන් සැත්කම ජීවිත බේරා දෙන ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අන්තර්ජාතික දත්ත විශ්ලේෂණ පෙන්වා දෙන ආකාරයට දරු උපත්වලින් 10% – 15% අතර ප්‍රමාණයකට සිසේරියන් සැත්කම යොදාගැනීමට සිදුවනවා ඒ අනුව ලෝකයේ මාතෘ හා ළදරු මරණ අනුපාත පහළ හෙළීමට මෙම ශල්‍යකර්මය බෙහෙවින් දායක වී තිබෙනවා.

සිසේරියන් සැත්කමක් අවශ්‍ය වන මූලික අවස්ථා කොටස් 2ට බෙදා දැක්විය හැකියි. එනම්,

සැත්කම අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අවස්ථා

මවගේ ශ්‍රෝණිය, එනම් උපත් මග වටා ඇති අස්ථිමය රාමුව හා දරුවාගේ ප්‍රමාණය නොගැළපීම, මවගේ ශ්‍රෝණියේ අසාමාන්‍යතා, ගර්භාෂ තරලය පැසවීමට ලක් වූ විට, පාලනයට අපහසු ගර්භිණී අධි රුධිර පීඩනය, දරුවාගේ ශ්වසන ගැටලු, දරුවා හරහට සිටීම, වැදෑමහ ගර්භාෂයේ පහතින් සවි වී තිබීම, පෙකනි වැල මුලින් පහත් වීම ආදිය සැත්කම අනිවාර්යයෙන් අවශ්‍ය වන අවස්ථා ලෙස දක්වන්න පුළුවන්.

සැත්කම අවස්ථානෝචිතව යොදා ගන්නා අවස්ථා

දරුවාගේ හෘද ස්පන්දනය හා ක්‍රියාකාරීත්වය දක්වන CTG වාර්තාවේ අසාමාන්‍යතා, සාමාන්‍ය ලෙස දරුවා බිහි කිරීමට ප්‍රමාද වීම හෝ නතර වීම, මින් පෙර සිසේරියන් සැත්කමට ලක්ව තිබීම අවස්ථානෝචිතව සැත්කම යොදාගැනීමට සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

මෙය කියවන ඔබත් දරුවකු කුස දරා සිටින මවක් විය හැකියි. උතුම් මව් පදවිය ප්‍රාර්ථනා කරන කාන්තාවක් විය හැකියි. දරු උපත ගැන බියක්, චකිතයක් ඔබට තිබීම ස්වභාවිකයි. වෛද්‍ය විද්‍යාව දියුණු අද දවසේ ඔබේ බිය හා චකිතයට ලැබෙන්නේ බෙහෙවින් අඩු අගයකි. එබැවින් වීර කාන්තාවක් ලෙස එයට මුහුණ දෙන්න. සිසේරියන් සැත්කමක් අවශ්‍ය බවට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා නියම කළහොත් එයට එකඟ වන්න. නමුත් ඔබ ඒ තීරණය ගත යුතු නැත.

සිසේරියන් සැත්කම අද ඉතා ආරක්ෂාකාරී බවට සැකයක් නැහැ . නමුත් දරුවෙකු බිහි කිරීමට සුදුසු ම හා ආරක්ෂාකාරී ම ක්‍රමය වන්නේ සාමාන්‍ය දරු උපතයි. ඉතින් සාමාන්‍ය ලෙස දරුවා බිහිකිරීමට හැකි නම් ශල්‍යකර්මයේ හා නිර්වින්දනයේ අවදානමට අනවශ්‍ය ලෙස ලක් විය යුතු නැහැ . ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සිය දැනුම හා අත්දැකීම් අනුව වාසි අවාසි මැන බලා වඩා සුදුසු ක්‍රමයට දරුවා බිහි කර දීමට කටයුතු කරනවා.

මෙම ශල්‍යකර්මය සුලබව භාවිත කිරීමට බලපාන මූලික හේතු තුනක් තිබෙනවා.ඒවා නම් .

  1. වර්තමානයේ සාමාන්‍ය දරු උපතක් ලබා දිය හැකි මව්වරුන් අඩු වෙමින් පැවතීම . ප්‍රථම දරු උපත වන විට මව වයස අවුරුදු 35 ඉක්මවා තිබීම, දියවැඩියාවෙන්, අධි රුධිර පීඩනයෙන්, ස්ථුල භාවයෙන් ඇය පෙළීම, මඳසරු භාවයෙන් කලක් ගෙවී ලබන දරුවා වීම ආදී හේතු
  2. පෙර අවස්ථාවක සිසේරියන් සැත්කමකට ලක්ව තිබීම
  3. එසේ ම මවගේ පෙරැත්ත මත සිදුකරන සිසේරියන් සැත්කම්
    ස්වභාවික දරු උපතකට ඇති බිය, පෙර දරු උපතක නරක අත්දැකීම, ස්වාභාවික දරු උපතකට නිසි ලෙස කායිකව හා මානසිකව සූදානම් වී නොතිබීම මෙම පෙරැත්තයට හේතු ලෙස දක්වන්න පුළුවන්.

වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයකින් තොරව සිදුකරන සිසේරියන් සැත්කමකින් ඉතිරි වන්නේ එහි අවදානම සහ සංකූලතා පමණක් වන අතර එම සංකූලතා වශයෙන්

මවට ඇතිවිය හැකි සංකූලතා

ශල්‍යකර්මය අතරතුර මවගේ මුත්‍රාශයට, මුත්‍ර නාලවලට, බඩවැල්වලට අනතුරු විය හැකියි. නිර්වින්දන ක්‍රියාවලියේ හා එම ඖෂධවල අවදානමට ලක් විය යුතුයි. සාමාන්‍ය දරු උපතක දී මෙන් නොව මෙහි දී සම, උදර බිත්තිය හා ගර්භාෂ බිත්තියේ කැපුම් යොදන නිසා ලේ ඉවත් වීම වැඩියි. ඒ නිසා පිටින් රුධිරය ලබාදීමට වැඩි ඉඩක් තිබෙනවා. සමහර විට ලේ ගැලීම පාලනය කරන්නට ගර්භාෂය ඉවත් කිරීමට පවා සිදු වන්න පුළුවන්.

ශල්‍යකර්මයට පසු ලේ කැටි ගැසීමේ ගැටලු, රුධිර නාලවල ලේ කැටි සිරවීම්, තුවාල පැසවීම, බඩවැල් ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම සිදු විය හැකියි. අනෙක් දේ නම් කැපුම් තුවාලවල වේදනාව යි. සාමාන්‍ය දරු උපතකට පසු දා මව රෝහලින් පිට වුවත් සිසේරියන් සැත්කමකට පසු මවට දින දෙකක්වත් රෝහලේ රැඳෙන්නට සිදු වනවා.

සිසේරියන් සැත්කමට පසු ඉදිරි දරු උපතකට බලපෑම් එල්ල විය හැකි වීම

ගබ්සා වීම්, ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම්, කළලයේ වර්ධන දුර්වලතා, මඳ සරු බව, නල දරු උපත්, වැදෑමහ සවි වීමේ අසාමාන්‍යතා හා ගැබ් ගෙලට ආසන්න ව සවි වීමේ අවදානම ඒ අතර වනවා. එමෙන්ම අනෙක් දරුවන් බිහි කිරීමට සිසේරියන් සැත්කමක් යොදාගැනීමට ඉඩ වැඩි වීම සිදු වනවා.

උපදින දරුවාට ඇති අවදානම්


එම දරුවන්ට ශ්වසන ආබාධ සඳහා ඉහළ අවදානමක් ඇති බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා . එනිසා නවජන්ම ළදරු ඒකකවල රඳවා ගැනීමට සිදුවනවා . දරුවාට කිරි ලබා දීම ප්‍රමාද වීම නිසා මව හා දරුවා අතර සබැඳියාව ගොඩනගා ගැනීමට බාධා වීමට ඉඩ වැඩියි . සිසේරියන් සැත්කමෙන් බිහි වූ දරුවන් ඕටිසම් (autism) තත්ත්වයට ලක් වීමේ අවදානම අන් දරුවන්ට වඩා වැඩියි. ඒ වගේ ම ඇදුම, තරබාරු බව, දියවැඩියාව, ආසාත්මිකතා, පීනසය එම දරුවන් අතර වැඩියෙන් දකින්නට පුළුවන්.

සැලකිලිමත් විය යුතු කරුණු

මවක් වීමට සිටින ඔබ පූර්ව ප්‍රසව සායනයට පමණක් නොව එහි පවත්වන වැඩමුළුවලට ද සහභාගී වන්න.

දරු උපත පිළිබඳ ශරීරය ලිහිල් කිරීමේ ව්‍යායාම, මනෝ විද්‍යා හා උපදේශන වැඩසටහන්වලට සහභාගී වී දරු උපත පිළිබඳ දැනුම්වත් වන්න. බිය චකිතය දුරු කර ගන්න. වේදනාව හා ආතතිය පාලනය කරගන්නා ආකාරය පුහුණු වන්න.

විවිධ හේතු දක්වමින් විවාහය හා දරුවන් ලැබීම ප්‍රමාද නොකරන්න. භෞතික ඉලක්ක පසුපස හඹා ගොස් තරුණ බව පිරිහෙන කාලයේ දී දරුවන් ලැබීමට නොසිතන්න.

අනවශ්‍ය ලෙස සිසේරියන් සැත්කමකට ලක්ව ඔබගේ හා දරුවාගේ සෞඛ්‍යය දුර්වල කර නොගන්න. සිසේරියන් සැත්කමට ලක් වුවහොත් ඊළඟ දරුවා බිහි කිරීමට සිසේරියන් සැත්කම යොදාගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. තුන්වරක් සැත්කමට ලක් වුවහොත් නැවත දරුවන් බිහි නොකරන ලෙස ද වෛද්‍ය උපදෙස් ලැබෙනු ඇත.ඒ අනුව ඔබ මතක තබා ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයකින් තොරව සිදුකරන සිසේරියන් සැත්කම විවිධ මාතෘ හා ළමා සංකූලතා ඉතිරි කරන බවත්, එබැවින් වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයක් මත පමණක් මෙම ශල්‍ය කර්මයට යොමු වීම වඩාත් යෝග්‍ය වන බවයි .

තොරතුරු සැපයීම : ආර්.එම්.ටී.ඒ සමරනායක

හෙද පාලිකා

කුරුණෑගල ශික්ෂණ රෝහල

Related Articles

Don't Miss


Latest Articles