භූතයෙකුට පෙම් කල කෙල්ලෙක්ගෙ ආදර ප්‍රහේලිකාව – Paheli

ආදරේ කියන්නෙ කොහොමත් ප්‍රහේලිකාවක්. අපි හැමෝටම ආදරය කියන්නෙ බොහොම සුන්දර ප්‍රහේලිකාව. සමහර ආදර ප්‍රහේලිකාවල ඉන්නෙ චරිත දෙකයි. ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. ඒ උනාට අතරින් පතරෙ ඔය සම්මතෙන් එහාට ගිහින් ආදර ප්‍රහේලිකාවල චරිත තුන හතරක් තියෙන අවස්තාත් නැතුව නෙවෙයි.

හැබැයි අද අපි අරගෙන එන මේ ආදර ප්‍රහේලිකාවෙත් චරිත තුනක් උන්නට මේ ප්‍රහේලිකාව අනික් හැම එකකටම වඩා වෙනස්. මොකද ඒ එක චරිතයක් භූතයෙක්. එහෙම නැත්තම් ආත්මයක්.

මේ චිත්‍රපටයෙ කතාව කියන්නෙ රූකඩ දෙන්නෙක්. තරුණ, ලස්සන කෙල්ලෙක් වන ලච්චි ගෙ මගුලෙන් තමයි චිත්‍රපටය ඇරඹෙන්නෙ. ලච්චිව තීන්දු කරල තියෙනවා ඈත ගමන ධනවත් වෙලෙන්දෙක් වන භන්වර්ලාල් ගෙ පුතා වන කිශන් ලාල් ව.

ලච්චිගෙ ගෙදර මංගල කටයුතු ඉවර වෙලා කරත්ත වලින් තමයි ලච්චි ඇතුලු මංගල කණ්ඩායම කිශන් ලාල්ගෙ ගෙදර යන්නෙ. ඉතින් මේ ගමන යන අතරවාරෙ මෙයාල මහන්සිය නිවාගන්න ධර්මශාලාවක නතරවෙනව. කිශන් ලාල් නම් මේ වෙලාවෙත් හරිම කාර්‍යබහුලයි. අලුත් මනමාලයෙක් නිසානම් නෙවෙයි මිනිහ මංගල ගමනට වියදම් වෙච්ච විය හියදම් බල බල ඉන්නෙ. ඉතින් ලච්චි තමන් එක්ක ආව තමන්ගෙ සහෝදරියක් එක්ක මූණ කට හෝදගන්න ලිඳට යනව.

දන්නවනෙ ඉන්දියාවෙ ලිඳවල්. අර පඩි හෙන සෙට් එකක් තියෙන පත විසාල තියෙන ලිඳවල් නේ. ඔය ලිඳට මූන හෝදගන්න යන ලච්චි හොල්මනක් දැකල බයවෙලා දුවලා එනවා. කිසිම දෙයක් නොවුන වගේ ආපහු කිශන්ගෙ ගෙදර යන්න පිටත් වෙනවා.

හැබැයි භූතයා නම් ලච්චිව හිතෙන් අහක් කරගන්න පුලුවන් වෙන්නෙ නෑ. මේ හොල්මනට එක එක වෙලාවට එක එක වෙස් ගන්න පුලුවන්.

වෙලාවකට ලේනෙක්

වෙලාවකට කුරුල්ලෙක්.

තව වෙලාවක කිශන් ලාල වෙන්නත් පුලුවන්. අන්න එහෙම තමයි මේ ප්‍රහේලිකාව පටන් ගන්නෙ.

ලච්චි කිශන් ලාල් එක්ක ගෙදර ගියාට, එයා බලාපොරොත්තු වන මංගල රාත්‍රිය එයාට ලැබෙන්නෙ නෑ. කිශන් ලාල් මේ දෙන්නගෙ මංගල රාත්‍රිය වෙලාවෙත් ලච්චිට නිදාගන්න කියල මගුලට ගිය වියදම් බලනව. මොකද කිශන් ලාල් ඊලඟ දවසෙම වෙන ඈතකට යන්න හදනව බිස්නස් වැඩ වලට.

මේ හැමදේම දැනගත්ත ලච්චි පුදුම විදියට අඬනවා. එයාට හරි දුකයි. ආදරේ ගැන විවාහය ගැන දාහක් බලාපොරොත්තු තියාගෙන ඇවිල්ල අන්තිමේ තමන්ට මංගල යහන උඩ තනියම අඬ අඬ නිදියන්න වෙයි කියල ලච්චි කවදාවත් හිතල නෑ. ලච්චිට ඇඳේ නිදාගන්න කියල කිශන් බිම නිදියනව.

පස්සෙන්ද උදේ ලච්චි ඇහැරෙද්දිත් කිශන් යන්න පිටත් වෙලා ඉවරයි.

ලච්චි හිතනව මේ තමයි තමන් බලාපොරොත්තු වෙච්ච ජීවිතේ කියල.

එහෙම ඉද්දි තමයි පස්සෙන්ද ආයෙ කිශන් ගෙදර එන්නෙ. ලච්චි පුදුම සන්තෝසෙකින් කිශන්ව බාරගන්නව. ඒ උනාට කිශන් ගෙ තාත්තට හරි තරහයි කිශන් එක්ක ගිය නඩේ එහෙම තියල කිශන් ආපහු ගම රට ආ එක ගැන. තාත්තගෙන් බැනුම් අහන්න බැරි තැන කිශන් කියනවා “මම ආවෙ අපිට හම්බුනා සාමිවරයෙක්. එයා මට වරයක් දුන්නා. හැමදාම උදේට රත්තරන් කාසි පහක් මට ලැබෙන්න සලසනව” කියල.

සල්ලිවලට කෑදර භන්වර්ලාල් ඒ කතාව පිලිඅරගෙන කිශන්ට කියනව සන්තෝසෙන් ඉන්න කියල. මංගල රාත්‍රිය දවස වගේම මූන වහගත්ත ලච්චි කිරි වීදුරුව අරගෙන කාමරේට එනවා.

“මාව බලන්න නේද ආපහු ආවෙ?” වගේ විහිලුත් කරනව. ඒත් කිශන් කියන්නෙ ලච්චි කවදාවත් අහන්න බලාපොරොත්තු වෙච්ච කතාවක් නෙවෙයි.

“ලච්චි  මම ඔයා කසාද බැඳපු කිශන් ලාල් නෙවෙයි”

“එහෙනම්?”

“මම භූතයෙක්?”

“භූතයෙක්? ආ එහෙමද? එහෙනම් මේ භූතයා එන්න ඇත්තෙ මාව බලන්න නේද? කෝ බලමු භූතයන්ට කිති නෑ කියනවනෙ. අපි බලමුකො මේ භූතයා කිති ද කියල?” ලච්චි විහිලුවට අහනව. එයා හිතන්නෙ කිශන් තමන්ට විහිලු කරනව කියල.

ඒත් කිශන් මංගල ගමන අතරවාරෙ ලිඳ ලඟ වෙච්ච දේවල් එකින් එක කියද්දි ලච්චි තේරුම්ගන්නව මේ ඇත්තක් බව. ඇවිත් තියෙන්නෙ කිශන් නෙවෙයි තමන් එක්ක ආදරෙන් බැඳිච්ච භුතයෙක් බව.

“ඉන්න ඕන කෙනා නොකියම ගියා. බලාපොරොත්තු නොවුන දෙයක් උනාට ඉන්න බලාගෙන ආව කෙනාට මම යන්න කියන්නෙ කොහොමද?”

ලච්චි භූතයෙක්ට ආදරේ කරන්න පටන් ගන්නෙ ඒ විදියට.

එතනින් ඇරඹෙන ආදර කතාව තමයි අපිට පෙන්නන්නෙ ආදරේට වයස, ආගම, ජාතිය නෙවෙයි කිසිම දේක බලපෑමක් නැති බව. කිශන් ලාල්ගෙ පෙනුම ගත්ත භූතයා ලච්චිව කිශන් ලාල් මොහොතකටවත් නොදුන්න ආදරේකින් නාවනව.

ඔහොම ඉද්දි තමයි ලච්චි කිශන් ලාල්ගෙ පෙනුම තියෙන භූතයා නිසා ප්‍රෙග්නන්ට් වෙන්නෙ. මේ වෙද්දි ලච්චිට ඇත්තටම කිශන් ලාල්ව අමතකම වෙලා ගිහින්.

ඒත් කතාවෙ මැද තැනක පෙන්නනවා කිශන් ලාල්ට ලච්චිව මතක් වෙනව. තමන් එයාව දාලා ආව දවසෙ එයා තමන් දිහා බලපු විදිය, අඬපු විදිය මතක් වෙනවා. ඒ මතකය අස්සෙන් කිශන් ලාල්ට හිත කියනව “ගෙදර යන්න ගෙදර යන්න” කියල.

කිශන් ලාල් ගෙදර එන්න යනවා. මේ ගමන සෑහෙන දවසක් යන, කාන්තාර මැද්දෙන් යන්න තියෙන අසීරු ගමනක්.

කිශන් ලාල්ට ඒ අසීරු ගමන ආදරේ නාමයෙන් තරණය කරන්න පුලුවන් වෙයි.

ඒත් ගෙදර එද්දි තමන්ගෙ පෙනුම ගත්ත භූතයෙක් නිසා දරුවෙක් ලැබෙන්න ඉන්න තමන්ගෙ බිරිඳ, තමන් එක වතාවක්වත් සිපගත්තෙ නැති බිරිඳ ආදරේ නාමයෙන්වත් පිලිගන්න කිශන්ට පුලුවන් වෙයිද?

අපිරිමිත ආදරයකින් තමන්ව පුරවපු භූතයව අමතක කරල විවාහයේ නාමයෙන් මංගල රාත්‍රියේදිම තමන්ව දාලා ගිය කිශන්ව පිලිගන්න ලච්චි කැමති වෙයිද?

Related Articles

Don't Miss


Latest Articles