එකම එක හාදුවක් – 12

0
5067

“ඉන්නවා සර්” කියා ශාර්වරී කිසිම දිනක උත්තරයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවුන බව නෙවින්ට පවා හිතුනේ හිත හූරගෙන මෙන් දැනුන ඒ වේදනාව නිසාවෙන්මය. තමන් බලාපොරොත්තු උනේ ඇය “අනේ මට කවුරුවත් නෑ” කියා කියාවි වුණත් ඇත්තටම බැලුවොතින් අවුරුදු විසි පහක් හයක් විතර වෙන කෙල්ලෙක්ට කොල්ලෙක් නැතැයි කියා හිතපු තමන් තමයි මෝඩයා කියා එවෙලෙත් නෙවින් හිතට කියාගත්තේය.

“ආහ් එතකොට එයා එන්නෙ නැද්ද හැමදාම ඔයාව ගෙදර එක්කරගෙන යන්න?” කියා අහන්න උවමනාව තිබුණත් ඒ අහන්න හිතාගෙන කට ඇරියත් විදුලි සෝපානයේ දොර ඇරී රෙස්ටුරන්ට් එකට වෙත එමින් උන් මධුරගේ රුව ඒ ප්‍රශ්නය මුව අස්සේම ගොලුකරගන්න නෙවින්ට හේතු කාරණා සැපයුවේය.

නෙවින් එදා බිල ගෙවා අහවර කල ආපසු අපාට්මන්ට් එකට යන්න කලියෙන් ආයෙම වතාවක් ශාර්වරී සමග තනිවම වචනයක් දෙකක් කතා කරන්න ඉඩක් ලැබෙන තුරු බලා උන්නත් මධුර දිගටම රෙස්ටුරන්ට් එකේ රැඳී උන්න නිසාවෙන්ම නෙවින්ට අපාට්මන්ට් එක වෙත යන්නට වුණේ සියලුම ප්‍රශ්න හිත අස්සේ හිරකරගෙන ඒ ප්‍රශ්නවලට තමන්ගේ හිත අස්සෙන්ම උත්තර දෙන ගමන් ය.

“සමහර විට එයාට ඉතින් කොල්ලෙක් ඇති. අපිට උනත් කැම්පස් යන කාලෙ කෙල්ලො හිටියනෙ. අනික එහෙම කැත ළමේකුත් නෙවෙයිනෙ. මං නිකන් පොල් බූරුව වගේ එයාට කොල්ලෙක් නෑ කියල හිතාගෙන හිටිය එක තමයි වරද. අනික මං මොන රෙද්දකටද එයාට කිව්වෙ වෙන කාටවත් එයාට ලංවෙන්න ඉඩ දෙන්න එපා කියල. ඒකි හිතන්න ඇති මහ වනචර මිනිහෙක් කියලා. දැනටම ගෑණු දෙන්නෙක්ගෙ රෙද්ද අස්සෙ මං රිංග ගෙන ඉන්නවා ඒ කෙල්ල දැකලා තියෙනවා. එහෙම එකේ මං එයාටත් එහෙම දෙයක් කිව්වම ඉතින් තව ටිකක් මං ගැන වැරදියටනෙ හිතන්නෙ” කියා ලිෆ්ට් එකේ නැගි අපාට්මන්ට් එකට යන තුරාත් නෙවින් උන්නේ හිත අස්සෙන් තමන්ටම දොස් කියාගනිමිනි. 

ඉන්පස්සේ ගෙවිච්ච දවස් කීපයේ එක දවසකවත් ශාර්වරී නෙවින්ව දැක්කේ නැත. නෙවින් කවුරුන් හෝ කෙල්ලක් සමග රෙස්ටුරන්ට් එකට එදා මෙන් ඒවි කියා හෝ, ඔහු අපාට්මන්ට් එකට කෑම ඕඩර් කරාවි කියා බලාගෙන උන්නට නෙවින්ගේ පැත්තෙන් තිබුණේ පුදුමාකාර නිහඬතාවයකි. ඒ නිහඬතාවය දරාගන්න අපහසු හැඟීමක් බව ශාර්වරීට පවා තේරුම් ගියේ රැයේ නින්ද අහිමි වී යද්දීය. නොඑසේනම් වෙනදා කිසිදු අපහසුවක් බාධාවක් නැතුව කල වැඩපල කරගන්න බැරි කම්මැලිකමක් හිතට දැනෙද්දීය.

“ඕකට කියන්නෙ ලව් සික් එක කියලා” අයේශ්වරී විහිලු කලේ එහෙම “අනේ අද මට ලෙක්චර්ස් යන්න කම්මැලි නංගි” කියමින් කවදාවත් නැතුව ශාර්වරී ඇඳේ හාන්සි වී රෙද්ද ඔලුවේ ඉඳන් පෙරවගෙන කල්පනා කරමින් උන්නු වෙලාවකය. හිසේ සිට රෙද්ද පෙරවගෙන හැංගී උන්නාට නංගීට තියෙන්නෙ විනිවිද පේන ඇස් දෙකක් බව ශාර්වරීට තේරුණේ ඔන්න ඔය කතාව ඇහිච්ච වෙලාවේය.

“මොන ලව් සික් එකක්ද?”

“අනේ හලෝ තමුන් හිතන්නෙ මේ මට ඕවා තේරෙන්නෙ නෑ කියලද? අක්කෙ මේ තමුන් මට වඩා වැඩිමල් අවුරුදු දෙකයි. ඒ දෙකත් මේ මහ දෙයක් කියල තමුන් හිතාගෙන හිටියට ගෙදරින් රෙස්ටුරන්ට් එකටයි එතනින් එච් එන් ඩී එකටයි යන තමුන්ට වඩා නම් දෙයක් මං දන්නවා කියල මං හිතනවා. අනික මේ අවුරුදු විසි ගාණක් තිස්සෙ තමුසෙ එක්කම මේ කාමරේ අස්සෙ නිදාගත්ත මට තමුන්ගෙ වෙනසක් තේරෙන්නෙ නැතුව තියෙන්න ඉතින් මං අන්ධයෙක් හරි බීරෙක් හරි වෙන්න ඕන”

“විකාර” කියා කියමින් ආයෙම වරක් ඔලුවෙ ඉඳන් රෙද්ද පොරවගත්තට ශාර්වරී උන්නේ ඇත්තටම නංගි කිව්ව කතාව ගැන හිතමිනි. තමන්ට නින්ද අහිමිවෙන්න තරම් හේතුවක් නෙවින් ගැන තියෙන්නට පුලුවන්ද කියා නොහිත ඉන්න ශාර්වරීට බැරිය. 

“ඇයි එහෙම කියන්නෙ?”

“ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි, වෙනද නම් ගෙදර එන්නෙම මහන්සියි කියල කියාගෙන. ඒ ඇවිල්ල වොශ් දාලා කාල, පාඩම් වැඩක් කරලා ඔයා බලාගෙන ඉන්නෙ කොයිවෙලාවටද ඇඳට වැටෙන්නෙ කියලා. දැන් එහෙම නෙවෙයි”

“ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නෙ?”

“මං පහුගිය දවස් ටිකේම බලාගෙන හිටියෙ ඔයා වෙනදා වගේ මහන්සියි කියාගෙන ආවට ඇඳට වැටුණට නිදාගන්නෙ නෑ. රෑ තිස්සෙ ඇහැරගෙන කල්පනා කර කර ඉන්නව. ඇස් දෙක පියාගෙන හිටියට ඉතින් එහා පැත්තෙ නිදාගන්න එකා හුස්ම ගන්න විදියෙන් කියන්න ඇහැකිනෙ අක්කෙ ඇහැරලද නැද්ද කියලා. අනික් එක ඔයා දැන් ඉස්සරට වඩා සිංදු අහනව වැඩියි. ඒවත් නිකන් පොඩ්ඩක් දුක හිතෙන ඒවා”

“ඉතින් මට දුක හිතෙන ඒව අහන්න බැරිද?”

“අපෝ නෑ අහන්න පුලුවන්. ඒ උනාට ඉතින් එහෙම දෙයක් අහන්න ඔයාට හේතුවක් තියෙන්න ඕනනෙ නේද? කොටින්ම අර ඉස්කෝලෙ යන කාලෙ ඔයා යාලුවෙලා උන්න ඩයල් එක එක්ක බ්‍රේක් අප් වෙච්ච කාලෙවත් අක්කෙ ඔයා ඔය වගේ විරහා ගීත ඇහුවෙ නෑනෙ. සාමාන්‍යයෙන් තමන්ගෙ ෆස්ට් ලව් එක බ්‍රේක් අප් උනාම ඉතින් ඕනම එකෙන් විරහා ගීත එක දවසක් හරි අහන එකේ. එහෙම නොකරන මිනිස්සු ඇති. හැබැයි ඒ කාලෙදිවත් එහෙම නැති ඔයා මේ කාලෙදි ඔය වගේ අරුම පුදුම ලව් සික් සීන් එකක ඉන්න එක පොඩ්ඩක් විතර මට දිරවගන්න අමාරුයි” 

“ගෙවල්වලට වෙලා වැඩ නැතුව ඉන්න ගෑණුන්ට ඉතින් ඔය වගේ මල විකාර හිතන්න වෙලාව තියෙනවා. කවද්ද තමුසෙගෙ කැම්පස් එක පටන් ගන්නෙ? එතකොටවත් මට කණක් ඇහිලා ඉන්න පුලුවන් වෙයිනෙ” කියා කිව්වට හිත අස්සෙන් “නංගි කියන එක ඇත්තද?” කියා නොහිත ඉන්න පුලුවන් කමක් ශාර්වරීට නැත. 

යටි හිත මොනවා කිව්වත් ශාර්වරීට උවමනා උඩු හිත කියන විදියට “එහෙම මේ ඒ මනුස්සයා එක පාරක් අර වගේ දෙයක් කිව්ව පලියට මං නිකන් ගොං වහන්සේ වගේ ඒක උඩම එල්ලිලා ඉන්න උවමනාවක් නෑනෙ. අනික ඔය මිනිහා ඔය වගේ කතන්දර තව ගෑණු කීදෙනෙක්ට දවස පුරා කියනවා ඇද්ද? මාවත් නිකන් ඒවගේ එයාගෙ අපාට්මන්ට් එකට ගෙන්න ගන්න පුලුවන් කියලා හිතන්න ඇත්තෙ ඔය වගේ කතන්දර කියලා” හිතෙද්දී නම් ඉන්න තැනකට හොයාගෙන ගිහින් නෙවින් සේනාරත්නගේ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙකක් ඇනලා එන්න ශාර්වරීට නොහිතෙනවා නොවේ.

“එදා රෙස්ටුරන්ට් එකට ආවෙ එක කෙල්ලෙක් එක්ක. අපාට්මන්ට් එකේ ඉඳියෙ වෙන කෙල්ලෙක් එක්ක. දකින දකින ගෑණි ඉතින් වහ වැටෙනවා ඇති උසට පෙනුමට ඉන්නවනෙ. වයස පේන්නෙත් නෑනෙ. ගෑණු දන්නෙ නැතුව ඇති මෙයාට රට වටේ ගෑණු ඉන්නවා කියලා. හිතාගෙන ඇති මාත් ඒ ජාතියේ කියලා. රොමෑන්ටික් ලයින් එකක් දෙකක් කිව්ව ගමන් එහෙම වහ වැටෙන ගෑණු නෙවෙයි මහත්තයො අපි හරිද? ඔය මහ ලොකු රස්සාවල් නොකරට අපිටත් යමක් කමක් තේරෙනවා” කියා ශාර්වරී හිතුවේ අමාරුවෙන් වගේ ඇඳෙන් නැගිටින ගමන් අත් දෙක උඩට උස්සා ඇඟේ හිරි ඇර ගන්න අතරවාරයේය. කොහොමත් නෙවින් සේනාරත්න දැන් දවස් ගාණක් තිස්සේ තමන්ගේ හිත අස්සේ ඉඳගෙන මෙච්චර දවසක් හිත ඇතුලේ තිබිච්ච නිස්කලංක බව නැති කර දමා ඇති බවක් හිතෙද්දී නෙවින්ට දෙකක් අනින තුරු ඒ තරහා හිතෙන් පිටවෙන්නෙ නැති බව ශාර්වරී හිතුවාය. හිතේ රිස්ස යනතුරු ඔය මිනිහට බණින්න තිබ්බා නම් කොච්චර හොඳද කියාත් ශාර්වරී ඒ අස්සේ හිතුවාය.

“ජරා මිනිහා” 

හිතෙන් කිව්වට නොහිතුව විදියට කටෙන් එලියට පැන්නේ ආන් ඒ හැඟීමය.

“කවුද අක්කේ?”

“කවුද?”

“ඇයි දැන් ඔය ජරා මිනිහා කිව්වෙ? මං ඇහුවෙ කාටද එහෙම කිව්වෙ කියලා”

“ඔයා කොහොමද මං එහෙම කිව්වා කියල දන්නෙ”


“ඉතින් ඇහෙන්නනෙ කිව්වෙ”

“තමුසෙටත් නංගි ඕන්නැති මගුලක් නෑ:””

“හරි කතාවක්නෙ යකෝ මේක, ඇහිච්ච හන්දනෙ ඇහුවෙ කාටද ජරා මිනිහා කිව්වෙ කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here