රුසිරු හා මණී ගෙයින් මිදුලට බසිනා විට අමාගී සිටියේ ආයු තදින් පපුවට තද කරගෙන ය. ඇය දහදියෙන් පෙඟී ගොස් සිටියා ය. නමුත් ඇස් වල එක කඳුළක්වත් වූයේ නැත. ගෙදර අය දුටු ගමන් මේනකා ආයු ව අත්හැරියා ය. රුසිරු ඇසිල්ලකින් ගේට්ටුව වෙත දිව ආවෙන් නිධී ට නික්ම යන්නට අවස්ථාව ලැබුණේ නැත.
“මොකද තමුසෙ මෙතන…”
රුසිරු තදින් විමසුවේ ය.
“යකෝ මේක මාර වැඩක්නෙ. මේ ඉන්නෙ මගෙ ළමය. මට බැරිද මගෙ ළමය බලන්න එන්න… ඒකට මං තමුසෙලගෙන් අවසර ගන්න ඕන නෑ”
“ආයුව අරං යන්නයි හැදුවෙ රුසිරු”
අමාගී හති දමමින් කීවා ය. ඈ ඒ වචන කිහිපය පිටකර ගත්තේ අසීරුවෙනි.
“මගෙ ළමය ගැන මෙයාට මොකද්ද හැදිල තියන ගාය…දෙනව ළමය මෙහාට. ආයු එන්න බබා”
එවර නිධී අමාගී වෙතට කඩා පැන්නා ය. ආයු යනු වයස අවුරුද්දක් වන විට අම්මාගෙන් මගහැරුණු දරුවෙකි. ඔහු ට කොයි තරම් ඈ ඕනෑ වී ද කියා, ඔහු මව් කිරි හොයමින් හැඬූ තරම දුටු ඕනෑ ම කෙනෙකුට වැටහෙන්නේ ය. එබැවින් ආයු ට අම්මා අහිමි කිරීමට තරම් දැඩි හිතක් අමාගී ට නැත. ආයු නිධී අතට යන්නට හැදුවේ වී නම්, ඒ වළකන්නට අමාගී සමත් නොවනු ඇත. නමුත් තමන් දෙසට දෑත පා සිටින නිධී දෙස හොඳින් බැලූ ආයු වහා අනිත් පැත්තට හැරී අමාගී ගේ ගෙල බදාගත්තේ ය. දැඩි ස්නේහයකින් පපුව බර වෙනු අමාගී ට දැනිණ. ඇය මව්වත් පෙමකින් ආයු තදින් වැළඳගත්තා ය.
“හරිද දැං… ළමයට තමුසෙ ඕන තරම දැනගත්තනෙ”
රුසිරු සමච්චල් සරකින් කීවේ ය. මණී අමාගී ගේ අත් ගොබයකින් අල්වාගෙන ඇයව ගේ දෙසට ගෙන ගියා ය. යුවතිය තවමත් ඉක්මන් හුස්ම ගනිමින් ද හති දමමින් ද සිටියා ය.
“මේ ගෑනිට මොකද්ද මගෙ ළමය ගැන තියන අමාරුව… හැබැයි මගෙ ළමයව මගෙන් ඈත් කරන ඔක්කොම එවුන්ට සාප වෙනව”
තවත් මොන මොනවාද කියමින් ශාප කළ නිධී නික්ම ගියේ බලාපොරොත්තු සුන් කරගනිමිනි. මේනකා පාෂාණිභූතව බලා සිටියා ය.
“අපිට කියන්නැතුව ආයුව පාරට ගේන්න එපා කියල ඔයාට කියල තියෙනව හොඳේ”
එවර රුසිරු ගොඩ වූයේ මේනකා ගේ ඇඟට ය.
“ඔව්. මං කියනවනෙ වත්ත ඇතුළෙ ළමයව තියාගන්න කියල. බැරි වෙලාවත් නිධී ආයුව අරං ගියානං මං මොනාද ලොකු පුතාට කියන්නෙ…”
“ඉතිං මං හිතුවෙ නෑනෙ මෙහෙම දෙයක් වෙයි කියල”
“ඔය බොරු”
අමාගී කෑගැසුවා ය.
“මෙයා හැදුවෙ ආයුව නිධීට දෙන්න. මෙයා පුළුවන් තරං හයියෙන් ආයුව මගෙන් ඇදල ගන්න හැදුව. දෙයියනේ මට අතෑරුණනං… එහෙනං නිධී මෙයාව අරං ගිහිං මෙලහකට”
“මොකද්ද… මේනකා හැදුවෙ ආයුව නිධීට දෙන්නද…”
“පිස්සුද අනේ…මං මොකටද එහෙම කරන්නෙ… අනික මං ඔය නිධී කියන කෙනාව දන්නෙත් නෑ. මේ මාගිට කොහොමත් මාව පේන්න බෑ. එයාට මං මොනා කළත් වැරදියි. එයාට ඕනෙ මාව මෙහෙං යවාගන්න”
“යනව. තමුසෙ යනව. මෙයා නිධීගෙ ඉත්තෙක් මණී ආන්ටි. ඒක මං හොඳටම තේරුං ගත්ත. නිධී එන නිසා තමයි මේ වෙලාවෙ එයා ආයු අරං පාරට ආවෙ”
මේනකා ඇය වෙනුවෙන් කෙතරම් නිදහසට කාරණා කීව ද රුසිරු හා මණී තුළ ද සාධාරණ සැකයක් ඇති වූයේ ය. සිදු වූ සියල්ල රුසිරු ආර්ය ට කතා කොට කීවෙන්, ඔහු ගේ තීරණය වූයේ මේ මොහොතේ ම මේනකා නික්ම යා යුතු බවයි. ඇය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ගය පසුවට දැනුම් දෙන බව කීවෙන් මේනකා ට නික්ම යන්නට සිදු විය. හැකි ඉක්මනින් ගෙදර එන්නට ආර්ය පොරොන්දු වූයේ ය.
“ඒ කොල්ලට රස්සාව කරගන්නත් නෑ. මෙහෙම ගිහිං රස්සාවෙනුත් දොට්ට දායි”
මණී සන්තාප වූවා ය. ආයු වරින් වර හැඬුවේ ය. ඉකිළුවේ ය. හීල්ලුවේ ය. ඔහු අමාගී ගේ ගෙල වැළඳගෙන සිටි අතර වෙන කිසිවෙකු වෙතට නො ගියේ ය. අමාගී ද වරින් වර කඳුලු පිසගත්තා ය. ආයු කෑම ද පිටිකිරි ද ප්‍රතික්ශේප කළේ ය. දරුවා බිය වී ඇති බව මණී ගේ අදහස විය.
“මං කිව්ව ඔය මේනකාව ගෙන්නන්න එපා කියල. කෝ ඇහුවද… අද ඒ ගෑනි ආයුව නිධීට ගෙනියන්න දුන්නනං එහෙම… මොකද කරන්නෙ එහෙනං… මොනා කරන්නද විරෝපට්ටං ගහගෙන ඉඳී. තියන උද්දච්ච කමට මේ අසරණයවත් නැති කරගන්නව”
ආර්ය පැමිණි ඉක්බිති අමාගී දිගින් දිගට ම ඔහු ට චෝදනා කළා ය. ඒ අතරේ හැඬුම නවතාගන්නට ඈ පොහොසත් වූයේ නැත. ඒ කඳුලු අවංක ය. අව්‍යාජ ය. යම් හෙයකින් නිධී ආයුව ගෙන ගියේ වී නම් අමාගී ගේ පපුව පැළී යන්නට තිබිණ.
“ඉතිං මං බැලුවෙ කාගෙත් ලේසිය ගැනනෙ”
ආර්ය අසරණ වී පසුබෑවේ ය. ඔහු මේනකා ට ද ඇය ලබාගත් ඒජන්තවරයාට ද කතා කොට සිදුවීම ගැන පැමිණිලි කළ ද ඇය පුන පුනා කීවේ දරුවා නිධී ට දීමට ඇයට කිසිදු හේතුවක් නොතිබි බවයි. නමුත් ආර්ය තව දුරටත් ඇගේ සේවය ප්‍රතික්ශේප කොට සිටියේ ය.
“අස්සය ගියාට පස්සෙයි ඉස්තාලෙ වහන්නෙ”
අමාගී ආර්ය ට රැව්වා ය. ඔහු සිටියේ හිත් වේදනාවෙනි. නරක දෙයක් සිදු වී නම් ජීවත් වෙන්නට කිසිදු හේතුවක් ඉතිරි නොවෙනු ඇත. තාත්තා කෙනෙකු වීම යනු ජීවිතය තුළ ලද හැකි උත්කෘෂ්ට ම පදවිය බව ආයු හින්දා ආර්ය හැම මොහොතක ම විඳිමින් සිටියි. ආයු වූ කලී ලෝකයකි. විශ්වයකි. ඔහු සිය සුරතල් සිනා කතා වලින් ආර්ය ව වෙනම ම ලෝකයකට කැඳවාගෙන යයි. නිධී විසින් දරුවා පැහැරගනු ලැබුවේ වී නම් කුමට ජීවත් වෙන්නට ද? අමාගී හදිසියේ ම හදවතේ ඉහළ ම මළුව අරක් ගත්තා සේ ආර්ය ට දැනේ. නමුත් ඇයට ස්තූති කරන්නට ඔහු වචන දන්නේ නැත. ඇගේ රැවුම් ගෙරවුම් වල පවා තියෙන්නේ අවංක ආදරය බව දැනෙත්දී ඔහු වඩාත් ගොළු ගැසේ.
ගෙවල් දෙකෙහි ම අය මහානාම ගෙදරට රොක් වී සිටියහ. නිධී නික්ම ගිය දාටත් වැඩිය ආර්ය බිඳී ඉන්නා බවක් පෙනෙන්නට තිබිණ. ඔහු වෙතින් දිස් වූයේ විඩාපත් ශෝකී පෙනුමකි. නිධී අහිමි වූවා සේ නොව ආයු අහිමි වුණොත් නම් ඔහු ට ඔහු ද නියත වශයෙන් ම අහිමි වී යන බව ඒ ඉරියව් කියා පෑවේ ය.
“පුතා… සමහර මිනිස්සු අපේ ජීවිත වලින් යන්නෙ ඒ අය නැති වුණොත් අපි මැරෙයි අපිට මුකූත් කරකියාගන්න බැරිවෙයි කියල හිතාගෙන…”
දුරේශ් අඩ සිනහවකින් ආර්ය ගේ හිත හැදීමේ සියුම් උත්සාහයක් ගත්තේ ය. උපුල් මහානාම හිස සලමින් දුරේශ් ට අනුබල දුන්නේ, මේ වෙලාවේ ආර්ය ගේ හිත හැදිය හැකි හොඳ ම පුද්ගලයා දුරේශ් බව දන්නා නිසා ය.
“එහෙම නැතුව උන් ගියා කියල ගාණක්වත් නැතුව අපි හොඳින් ඉන්නකොට උන්ට ඉවසල ඉන්න බෑ. මොන ගිනිගෙඩියක් හරි පාත් කරන්න තමයි බලන්න. පුතා දරුවවත් හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියල ඔප්පු කරල ඩිවෝස් කේස් එකකුත් ෆයිල් කරපු නිසා තමයි නිධීට ඉවසන්න බැරි වුණේ. දැන් එයාට ඕනෙ දරුවව පළිහක් කරගෙන පුතාට රිද්දන්න”
ආර්ය අතැඟිලි වලින් නළල පිරිමැද ගත්තේ ය. ඔහු කුඩා කල පටන් ප්‍රශ්න වලින් ඈත් වී හුදෙකලා ජීවිතයකට ඇබ්බැහි වූ කෙනෙකි. එහෙව් කෙනෙකුට මෙවන් අර්බුධ හරහා ගමන් කිරීම පහසු නැත.
“මට තේරෙන්නෑ අංකල් මං මොනාද කරන්න ඕනෙ කියල”
“පුතා. මේක කොච්චර නරක කුණාටුවක්ද කියල දන්න මිනිහෙක් මං. ඔය කුණාටු කාලෙ ඉවර වුණහම පුතාට හිතාගන්නත් බැරි වෙයි ඒකට කොහොම මූණ දුන්නද කියල. ඒ වගේම පුතා… කුණාටුවෙන් එළියට ගියාට පස්සෙ එතන ඉන්නෙ කලින් හිටිය ආර්ය නෙවෙයි. ඊට වැඩිය ගොඩක් වෙනස් වෙච්ච ශක්තිමත් මනුස්සයෙක්. ඒක නිසා අමාරුවෙන් හරි අපි මේ කුණාටුව හරහා යමු. කිසිම කුණාටුවක් එක තැනක නතර වෙලා තියෙන්නෑ කියන එක හොඳට මතක තියාගන්න පුතා. ඒව ගමන් කරමින් තියෙන්නෙ. ඉවර වෙන දවසක් එනවමයි. කොච්චර නරක කාලයක් වුණත් ගෙවිල ඉවර වෙනව. වැදගත් ම දේ ඒ කාලෙදි ජීවිතේ තදින් අල්ලගෙන තමන්ව විනාස වෙන්න නොදී ඉන්න එක. පුතාට අපි හැමෝම ඉන්නව”
ජීවිතයේ ඉදිරි හැම පියවරක දී ම සිහිපත් වන සේ දුරේශ් ගේ ඒ වචන ආර්ය ගේ හදවතෙහි තැන්පත් විය. සිය නීතීඥවරයා සමගින් සාකච්ඡා කරමින් නිධී සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙතෙම විමසිලිමත් වූයේ ය. කෙසේ වෙතත් ආයු වෙනදාට වැඩියෙන් වෙනස් වී සිටියේ ය. ඔහු අමාගී ගේ හෝ ආර්ය ගේ ගෙල බදාගෙන සිටිනු මිස වෙන කිසිවෙකු වෙත ගියේ නැත. සුරතල් බොළඳ වදන් ගොළු වී තිබිණ. ඔහු නිදිගන්වන්නට අමාගී කෙතෙක් උත්සාහ කළ ද එය අසාර්ථක වූයේ නින්ද යාගෙන එත්දී ම ආයු තිගැස්සී හඬාගෙන අවදි වූ බැවිනි. ඉන් පසු ඔහු නළවා ගන්නා එක පහසු වූයේ නැත.
“දරුව බය වෙලා දෙයියනේ”
එහැම විටෙක ම මණී මිමිණුවා ය. ආයු ගේ ශරීර උණ්ණත්වය ද වැඩි වීගෙන ආවේ ය. එබැවින් ආර්ය මණී සමග වෛද්‍යවරයා වෙතට ගොස් උණ සඳහා ඖෂධ ලබා ගත්තේ ය. බෙහෙත් වලට උණ අඩු වෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. මේ තත්වයට හේතුව හවස සිදුවීමේදී ආයු බිය වීම යයි නිගමනය කළ මණී, කට්ටඩියෙකු ගෙන්වා දෙහි කපා දරුවාට නූලක් දැම්මුවා ය. අමාගී විසින් උරයෙහි තබාගෙන අසීරුවෙන් ඔහු නිදි ගැන්වූ අතර නූලටවත් බෙහෙත් වලටවත් උණ බැස නැති බවක් උදයේ පෙනෙන්නට තිබිණ.
“අනේ අපි හොස්පිට්ල් එකට ගෙනියමු. ආයුට හොඳටම උණ. තවත් බලන් ඉන්න බෑ ලොකයියෙ. අනේ අපි ඉක්මනට හොස්පිට්ල් එකකට යං”
අමාගී පින්සෙණ්ඩු වූවා ය. ඇයට තද බියක් දැනෙමින් තිබිණ. ආයු මලානික ව සිටී. ඔහු එහෙම සිටිනා දරුවෙකු නොවේ.
“එහෙනං හොස්පිට්ල් ගෙනියන්න කලබල නොවී අපි පීඩියට්රීශන් කෙනෙක්ට පෙන්නමු”
විශේෂඥ වෛද්‍යවරයාගේ අදහස වූයේ රෝග නිර්ණය සඳහා වෛද්‍ය වාර්තා කිහිපයක් ලබාගත යුතු බවයි. නමුත් ආයු දැඩි උණෙන් පෙළුණ නිසා ද බෙහෙත් වලට උණ අඩු වී නොතිබි නිසා ද, එවන් තත්වයක් මත වෛද්‍ය නිරීක්ෂණයෙන් තොරව දරුවා ගෙදර රඳවා තැබීම අනුමත කළ නො හැකි නිසා ද ඒ මොහොතේ ම ආයුව රෝහල් ගත කරන ලෙස නියම කරන ලදී.
“මං කිව්ව උදේම ඕක කරමු කියල. කවුරුවත් මං කියන දේ ගණං ගත්තෙ නෑ. එහෙම කළානං මෙලහකට මොනා හරි ට්‍රීට්මන්ට් එකක් වෙලානෙ”
අමාගී ගතු කියමින් මූණ පුම්බාගෙන සිටියා ය. ඈ නො හඬා සිටියේ බලයෙනි.