රන් මල් දම් – 30

නිම්නාවී උදේ වරුවේ ස්වර්ණාගේ වැඩ කටයුතු අවසන් කලාය.  ලතා ආහාර සකසා තිබූ නිසා ආහාරද ස්වර්ණාට  ගෙනැවිත් දී එම කටයුතුද අවසන් කලාය. චානක නිවසින් පිටත්ව ගියා වුව මන්දාරම් නිවසේ වග දැනීම ඇගේ හදවතේ ස්පන්දනය අසාමාන්‍ය වේගයකින් ඉහල නැගෙමින් තිබුණි. එහෙත් මේ මොහොත පසු කරන්නටම වෙන බව ඕ දැන උන්නාය. මිතුරියන්ගෙන් විස්තර විමසා, සෙත් ඉන්නේ කොහිදැයි දන්නා අයෙකුත් නැතිව ගිය දින කිහිපයකට පසු, සෙත් සිට ඇත්තේ තම ඇස් මානයේම බව නිම්නාවී යළි යළි සිතමින් අවධාරනය කරගනිමින් උන්නාය.

කෙලෙස වුවද, ඕ ස්වර්ණාගේ කාමරයෙන් කුස්සියට රිංගා ගත්තේද, ඉතා විමසිල්ලෙන් මන්දාරම්ගේ නෙත නොගැසෙන්නටය. මන්දාරම් ඇස ගැටීම තුල සියල්ල පාලනය කර ගත නොහැකිව යාවියැයි ඇයගේ යටි හිතේ ඉතා කලබල සිතුවිලි නැඟෙමින් තිබුණි. 

ලතා ආහාර සකසන තෙක් ඕ ඇය වටා දැවටෙමින් උන්නේ, ලතාගේ අකමැත්ත එහෙන් මෙහෙන් පෙනෙද්දීමය. වෙනදාට ලතාට ඉඩ දී ඕ සාලයට වී සිටිනවා වුවද, අද එලෙසින් නොහැකි බව දැනෙයි. හුදෙකලා වෙද්දීම සෙත්, මන්දාරම්, වර්ණකුල, ඕ තුළට ඉතා වේගටයෙන් පිවිස ඕ අවුළුවා දමයි.

එක්වරම මන්දාරම්ගේ හඬ ඇසෙද්දී ඕ සෝදමින් උන් භාජනය යළි සින්ක් එක තුලටම වැටුණි. ලතා ඇය වෙත හෙලුවේද නොරිස්සුම් බැල්මකි. යළි මන්දාරම් නිම්නාවීට අමතන හඬ ඇසුණි. නිම්නාවී උන් පියවරේම උන්නා මිසෙක ඊළඟ තත්පරයේ කල යුත්තේ කුමක්දැයි සිතා ගන්නටවත් ඇයට හැකි වූයේ නැත. ඔහු ඇමතුවාට, තමා යන්නේ කෙලෙසද ?…

” ඇහෙන්නේ නැද්ද ළමයෝ ..මහත්තයා කතා කරනවා…”

ලතා පැවසූ පසු ඕ වහා කුස්සියෙන් පිටතට ආවාය. ලතා තම හැසිරීම් ගැන සැක සිතුවහොත්, මන්දාරම්ට කේලම් කියන්නට වුවද බැරි නැත.  ඉන් පසුව දොර අසලින් ඉවතට වූ ඕ යළි එතැන නැවතුණාය. කුමක් කරන්නදැයි වැටහෙන්නේ නැත. ඔහු ඉදිරියට යන්නේ කෙලෙසද? මන්දාරම් ඉදිරියට යෑම කල හැක. එහෙත් මේ ඉන්නේ සෙත් ය. වසර ගණනාවක් තිස්සේ තමා රැක ගත් සෙත් ය. ඔහු ඉදිරියට යන්නේ කෙලෙසින්ද ?

” නිම්නාවී ….”

මන්දාරම්ගේ හඩ යළි ඇසුණි. නිම්නාවී වහා ඔහුගේ කාමරය වෙත පියමැන්නාය. නොඑසේ නම් ලතා පැමිණ තමා කොහිදැයි විමසනු ඇත.

” දෙයියනේ .. ඇයි මටම  මටම . මේ  සෙත් තමයිනේ … මගේ සෙත් නේ මේ  .. මේ සෙත් තමයි ….මට කොහොමද ඔයාව මඟෑරුණේ සෙත් ..ඔයා කොහොමද මෙච්චර වෙනස් වුනේ?.. “

නිම්නාවී කෙටි හුස්ම ගනිමින් සන්සුන් වන්නට උත්සාහ කලාය. මන්දාරම් ඉදිරියේ මෙවන් කලබලයක් පෙනීමම පවා තවත් ප්‍රශ්න රැසකට මඟ කීමකි. එනිසාම හැකි තරමින් සන්සුන් වීමම  කල යුතුය. එහෙත් කෙසේද ? ඔහු ඉදිරියේ සන්සුන්ව සිටින්නේ කෙසේද ? මේ අවුරුදු ගනනාවක් බලා උන් කතන්දරයක අවසානයක් නොවේද ? තවත් රඟපාන්නට හැකිද ? තමා තනිව උසුලා ගත් වේදනා  කන්ද තව සිය දහස් ගුණයකින් වැඩි කරගෙන නිහඬවම නික්ම යෑම කල යුතුද ?

නිම්නාවී මන්දාරම්ගේ කාමරය අසල සිට ගත්තාය. විවෘතව තිබු දොරෙන් මන්දාරම් පෙනුනේ නැත. ඕ කාමරයට එබුනාය. මන්දාරම් උන්නේ  ජනේලයෙන් පිටත බලාගෙනය. නිම්නාවී පැමිණි වග වැටහීදෝ මන්දාරම් ආපසු හැරුනේය. නිම්නාවී අඩියක් ආපස්සට තැබුවාය.

වෙනදා නැති තරමින් කැරළි වැටී තිබූ කොන්ඩයක් ඇයට පෙනුණි. වෙනදා නැති තරමින් රැවුලෙන් ගැවසී ගත් කොපුල් යුග්මයක් ඇයට පෙනුණි. වෙනදාට නොපෙනුණු ඇහි බැම වඩා ඝණව නළලේ මැදක්ව වෙන තෙක් විත් මුන ගැසී ඇති බව පෙනුණි. ඇස් වල වූ දිස්නයට යටින් ඕ යම් වේදනාවක්ද හැඳින්නාය. මේවා  නුහුරුය. නිම්නාවී පසන්ගෙන්වත් නොබැලූ දේවල් ය. නොපෙනුන දේවල් ය. එහෙත් ඕ ඇලෙමින්, බැඳෙමින්, විඳිමින් උන්නාය. ගැලවෙන්නටම නොහැකි වූවාය. සංසාරයම මඟ බලා හමුවූ අයෙකු අභියස මෙතරම් සන්සුන් හැසිරීමක් පෙන්වීමම උකටලීය. එහෙත් නිම්නාවීට සෙලවෙන්නටවත් නොහැක. ආපස්සට තැබූ අඩියද එහෙමම ගල් වීගෙනය.

ඇයට එක්වරම මහ හඬින් හැඩුම් නැගුණි. මන්දාරම්ගේ දෑස් විසල්ව යනු පෙනෙද්දි ඒ  හැඬුම් වැඩි වුණි. දෙවියනේ, තමා කෙලෙසින් මේ මොහොත පසු කරන්නදැයි නිම්නාවීට වැටහුනේ නැත.

එක්වරම මන්දාරම් අඩි කිහිපයක් ඉදිරියට එනු පෙනුණි. ඉන් පසුව ඕ නැවතුනේ හුස්ම පවා  හිර වන හිම සීතලකය. යකඩ බරු දෙකක් ඕ වටා එතුන බව දැනුණි. හිම සීතල පරයා යන ගිනියම් රස්නයක් ඇගේ කොපුලක දැවටුණේය. හිම දියවුනේය. ඕ යළි හුස්ම ගන්නට පටන් ගත්තාය.

නිම්නාවී උන්නේ මන්දාරම්ගේ පපුවට ගුලි වීගෙනය. ඕ ඉකි ගසා හැඬුවාය. මන්දාරම් ඇගේ හැඬුම වටහා ගත නොහැකි වුවද,  ඇයට වචනයෙන් කියා ගත නොහැකි වූ යමක් සංස්පර්ෂණය වෙන්නට දෙමින් උන්නාය. නිම්නාවීට ඕනෑවටත් වඩා යමක් දැනෙන්නට ගෙනද තිබුණි. මේ ඕ මඟ බලා උන් තත්පරයක් ය. මඟ බලා උන් විනාඩියක් ය. 

සෙත් .. ඔහු තමාට කෙතරමකින් නම් මඟ හැරී ඇතිදැයි නිම්නාවී කල්පනා කලේය. සංසාර හුරුව ගැන වූ සියලු විශ්වාසයන් දියවී යන බව දැනෙන්නට ගෙන තිබුනි. ඇස් මානයේම ඉඟි දෙද්දීත් සෙත් වර්ණකුල හඳුනාගන්නට තමාට නොහැකි වූවා නොවේදැයි සිතමින් ඕ තව තව හැඬුවාය.

” සොරි නිම්නාවී … සොරි … මට අම්මාට එහෙම කතා නොකර ඉන්න තිබ්බේ … සොරි … ප්ලීස් .ඔයා මාව ඔහොම නිග්ලෙක්ට් කරන්න එපා ..මම නරක මිනිහෙක් කියලා ඔයාට දැනෙනවා නම්, ප්ලීස් ඒක එහෙම නෙවෙයි නිම්නාවී ..ලෙට් මී එක්ස්ප්ලේන් යූ ..ප්ලීස් ..”

මන්දාරම් ඉතා පහත් හඬින් කීවේය. නිම්නාවී වඩා උස් හඬින් ඉකි ගැසුවාය. මන්දාරම්ද උන්නේ මේ සිදුවන්නේ කුමක්දැයි හරි හැටි අවබෝධයක් නැතිවය. මේ හැඬුම් තම කෝපය නිසාද ? නොඑසේ නම් අම්මාගේ ප්‍රශ්නය නිසාද ?. ඇයට් අමෙතරම් හඬා වැටෙන්නට තරම් යමක් තමා කලේද ? නොඑසේ නම් මේ හැඬුම තමා ඇයව  බලෙන්ම නතු කරගෙන ඉන්නා මේ නිමේෂය වෙනුවෙන්ද ?

ඒ කුමක් වුවත්,  මේ යුවතිය මඟ හැර නොගන්නට ඔහු තීරණය කර තිබුණි. දිනක දෙකක කියා කියන්නට නොදැනෙන නමුත්, ඇයට මේ තීරණය නොකී නමුත්, ඔහුට ඒ බව තිරය.

ඒ තීරණය දැන් දැන් තව තව  තහවුරු වන බව මන්දාරම්ට දැනෙන්නේය.  නිම්නාවී කිසිඳු සෙලවීමක්වත් නොවීම ඔහේ උන්නාය.  හැඬුම් නවතාගන්නටවත් උත්සාහ නොකරම ඔහේ හැඬුවාය. විනාඩි පහලොවක්වත් ගෙවෙන්නට ඇත.

නිම්නාවී වටා වූ මන්දාරම්ගේ ස්පර්ශය ලෙහිල්ව ගොස් තිබුනි. නිම්නාවී බිඳකින් පසෙකට වූවාය. බිම බලාගෙනම උන්නාය. මන්දාරම් ඇය සිටින තැනින් අඩි කිහිපයක් ආපස්සට ගොස් සයනයේ ඉඳ ගත්තාය. ඉන් පසුව නිම්නාවී දෙස බැලුවේය. නිම්නාවී සෙලවෙන්නේවත් නැති ඉටි රුවක් ලෙසින් උන්නේ පොළවට ඇස් ඔබා ගනිමිනි.

” මෙතන්ට එන්න …”

මන්දාරම්ගේ හඬ නිම්නාවීගේ හදවතේ මියැදෙන්නට හැර තිබූ සියළු අහු කොන් වල ප්‍රේමණීය නහර පුබුදුවාලන්නට තරම් විය. ඕ හිස ඔසවා බැලුවාය. ඇයට අන් කිසිවක් පෙනුනේ නැත. ඒ රුව, පාසල් කාලයේ ඉළන්ධාරී සෙත්ගේ රුවට ටක්කේටම ගැලපුණි. ඉතින් මේ ඔහුමය.

” ඉඳගන්නකෝ ..මෙතනින්…”

මන්දාරම් ඔහු හිඳ උන් සයනයේ ඔහුට එක් පසෙකින් ඉඩ හිසින් පෙන්වද්දී නිම්නාවි එලෙස නොහැකි බව කියන්නට හිස සැලුවාය. මන්දාරම් අමනාප බැල්මක් හෙලා ඇයට පැමිණෙන්නටම කීවාය. නිම්නාවී යළි හිස සැලුවාය.

” මම ඔතනට ආවොත් හෙම උස්සගෙන ඇවිල්ලා වාඩි කරවගන්නේ .. කොහොමද කැමති ..?..”

නිම්නාවී වහා මන්දාරම්ගේ එක් පසෙකින් ඉඳගත්තාය. මන්දාරම් සිනාසෙමින්, ඇය දෙස බැලුවාය.

” මට බය වුනාද ?…”

මන්දාරම් ඔහුටම දරාගන්නට නොහැකි ලෙසකින් සෞම්‍ය වෙමින් තිබුණි. ඔහු උන්නේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලමිනි. එක්වරම, නැවුම් දැල්ලක් ලෙසින් සියල්ල ඇවිලෙමින් දැනෙන්නේය.  නිවීමද ඒ ළඟින්ම දැනෙන්නේය.

නිම්නාවී හිස සැලුවාය.

” එහෙනම් ෆේන්ට් වුනේ ?…”

නිම්නාවීට පිළිතුරු තිබුනේ නැත.

” මට බය හිතුනා  ඔයාගේ සද්දේට ….අනෙක මට බය හිතුණා මිස් ආයෙම අසනීප වේද කියලා “

නිම්නාවී එලෙසින් කියා ඇස් අගින් වැටෙන බැල්මක් හෙලුවේත්, මන්දාරම් මහ හඬින් වැටෙන සිනහවක් පුපිරා යන්නට දුන්නේත් එකම මොහොතේය.

අපේක්ෂා ගුණරත්න

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles