සතුටු මන්තර 40

සයුරංගනා දෙතුන් දිනක් එක දිගට ගිම්හාන් ව සිහිනයෙන් දුටුවා ය. ඒ සිහින වල ඔහු සිනහ වෙවී සිටියේ ය. යශෝදර ද ඒ සිහින වල කොතැනක හෝ ගිම්හාන් සමග සිටි බව මතක මුත්, සයුරංගනා ට ඒ එක සිහිනයක්වත් නිරවුල් ව මතක නැත. 

මිය ගිය අය සිහිනයෙන් දකින්නේ ඔවුන්ට පින් උවමනා වූ විට යයි අදහසක් ගැමියන් අතරේ වේ. සිය මිය ගිය මව්පියන් සිහිනයෙන් දුටු දිනකට පසු අම්මා බත් මුලක් හෝ බැඳ හිඟන්නෙකුට ගිහින් දුන් බව සයුරංගනා ට මතක තිබේ. ගිම්හාන් වෙනුවෙන් තුන් මාසේ පිංකම කොට සිව් මසක්, එනම් ඔහු මිය ගොස් දැන් හත් මසක් ඉක්ම ගොස් තිබේ. ඔහු වෙනුවෙන් අටපිරිකරක් පූජා කළ යුතු යයි සයුරංගනා තීරණය කළේ මේ සිහින පෙනීම මුල් කොට ගෙන ය.

නමුත් ඇගේ හද තුළ රහසේ ඉකිලන තවත් කාරණයක් තිබේ. ඒ යශෝදර ය. හදවතින් ඔහු ට බැඳෙමින් ගිම්හාන්ට වරදක් කරනවා වන් වැරදිකාර හැඟීමක් ඇගේ සිත්හි වේ. තවමත් ගිම්හාන් නික්ම ගිය තැනින් මුළුමනින් හිත මුදා ගත නො හැකි ය. ඔහු ඇය වෙනුවෙන් සියල් යුතුකම් ඉටු කළ ස්වාමිපුරුෂයෙකි. ඒ තැන වෙනත් කිසිවෙකු වෙනුවෙන් විවර කරන්නට තවමත් ඇයට හිත හදාගත නො හැකි ය.

“ඔය ළමයි යන්න දාගත්ත ගමනෙදි පන්සල් ගානෙ ඇවිද ඇවිද ඉන්න එක තේරුමක් නෑනෙ. එහෙනං ඔය අටපිරිකර පූජ කරන වැඩේ මේ පෝයට වෙන පන්සලක කරමු. ගමේ පන්සලට පූජ කළත් වරදක් නෑනෙ”

හුඟක් කල්පනා කිරීමෙන් පස්සේ සයුරංගනා ට ඒ යෝජනාව ගෙනාවේ ජයරත්නයි. සයුරංගනා එහෙම ම මුළුතැන්ගෙයි බිත්තියේ ගසා තිබූ දින කැලැන්ඩරය දෙස බැලුවා ය. පෝය යෙදී තිබෙන්නේ බදාදාට ය. එදාට රූපවාහිනී වැඩසටහන විකාශය වන්නේ ද නැත. එහෙයින් නිදහසේ ඒ කටයුත්ත කළ හැකි යයි ඇයට ද සිතිණ.

“අප්පච්චි…මං හිතුව වියළි ආහාර මලු තුන හතරක් හදල අමාරුකං තියන ගෙවල් කීපෙකට දුන්නොත් හොඳයි කියල. ගිම්හාන් ඉන්න කාලෙත් පුළුවන් විදිහට කාටමහරි උදව්වක් කරන්නනෙ බැලුවෙ. අපේ ගෙදරට මගෙ සහෝදරයන්ට වුනත් එයා කොච්චර උදව් කළාද…මං ගාව සල්ලි ටිකක් තියනව අප්පච්චි”

“කොච්චර හොඳද දරුවො…පන්සල් වලට දානනං කොච්චරක් කියල ලැබෙනවද…පේරු දානෙට වුණත් මිනිස්සු දං කද උස්සං එන්නෙ පන්සලේ ඉන්න හාමුදුරුවරු ගාණට නෙවෙයි. අර දන් භාජන වල ප්‍රමාණෙටම පුරෝල. ඒත් ඉතිං මිනිස්සුනෙ. කන්න පුළුවන් ප්‍රමාණයක් තියනවනෙ. මං දැකල තියනව පන්සලේ පිටිපස්සෙ කුණු ගොඩ කියන්නෙ කෑම ගොඩක්. කෙසෙල් ඇපල් ගස්ලබු වගේ පළතුරු වුණත් එහෙමම විසි කරල. කන්න බොන්න ලැබෙන තැනට ගොඩගහල විසිකරල දාන්න ගිහින් දෙනවට වඩා කොච්චර පින් සිද්ද වෙනවද කාගෙන්වත් ඉල්ලන්නෙත් නැති අගහිඟකම් මැද ජීවත් වෙන පවුලකට බඩු මල්ලක් ලැබෙනව කියන්නෙ”

“මාත් හිතුවෙ එහෙමයි අප්පච්චි”

“මාත් බඩු මල්ලක් දෙකක් අරං දෙන්නංකො…ම්…අපි පෝයට ඒ පිංකම කරමු. අර ගමන වන්දනා ගමනක් නොවී විනෝද ගමනක්ම කරගමුකො”

ජයරත්න යන්තම් හඩ නැගෙන සේ සිනහ වූයේ ය. සයුරංගනා දෙතොල් තද කරගෙන සිනහ වූවා ය. ඇගේ ඇස් තෙත් වන්නට අරෑඳූ තරම ය.

යශෝදර ට ඇය මේ ගැන කීවේ සඳුදා උදේ රූපවාහිනී නාලිකාව වෙත යන ගමන් ය. 

“මාත් බඩු මලු ටිකක් දෙන්නං එහෙනං”

“අනේ කරදර වෙන්න එපා යශෝදර. දානෙටත් ඔයා ගොඩක් කරදර වුණා”

සයුරංගනා ඇස් තටු පහළට හරවා ගෙන සිටියා ය. යශෝදර රිය පදවන අතරේ ම ඇස් කොනෙන් ඇදෙස බැලුවේ ය.

“මේ මැඩම්…ඔයාගෙ හස්බන් වෙන්න කලින් ඉඳන් ගිම්හාන් මගෙ යාළුව හරිද…”

ඇය මුදු ලෙස සිනහ වූවා ය. ඉරණම හරි පුදුම ය. එහි සැලසුම් විටෙක අපේ හදවත් පුදුම තරම් රිදවයි. නමුත් ඒ රිදුම් සුව කරගත හැකි මං පෙත් ඊළඟට ඉරණම අප ඉදිරියේ හෙමිහිට දිගහරී. 

“හවසට ගිහින් බඩුටික ගමු”

ඔහු ගේ හඬෙහි හිස පිරිමදිනා සුවයක් ඇයට දැනිණ. 

එළඹෙන සති අන්තයෙහි මනාලිය බලන්නට එන බවට මල්කාන්ති කපුවාට දැනුම් දුන්නා ය. ඉක්මනින් මේ දේවල් කතා බහ කොට තබා ගන්නා එක හොඳ යයි ඇගේ හිත කියයි. ඇයට සයුරංගනා විශ්වාස ය. යශෝදර ඇයට යෝජනාවක් නොකළ බව එදා ඇය කීවා ය. නමුත් යශෝදර ගේ හිත රැඳී තිබෙන්නේ ඈ ළඟ බව මල්කාන්ති දනී. ගින්දර හා පුළුන් ලං කළ විට ඇවිලෙන්නේ ය. ඊට පෙර යශෝදර වෙනත් අරමුණක් කරා යොමු කිරීම ඇගේ අදහස විය. නමුත් ඇය මේ ගැන පාරමීට හෝ දැනගන්නට නොතැබුවා ය. ඒ එවැන්නක් දැනගෙන යශෝදර වෙනත් වැඩක් යොදා ගත හැකි යයි සැක කළ බැවිනි. ප්‍රතික්ෂේප කළ නො හැකි ලෙස ඔහුව මනාලිය බලන්නට කැටිව යාම ඇගේ අරමුණයි.

හැන්දෑවේ යශෝදර පැමිණි පසු ජයරත්න හා  පාරමී ද සයුරංගනා ද සුපිරි වෙළෙඳ සැලකට ගොස් බඩු මලු සඳහා අවශ්‍ය දේ මිල දී ගත්හ. දවාලේ එක මල්ලකට එක් කළ යුතු බඩු වල ලැයිස්තුවක්, පාරමී සමග එක් වී සයුරංගනා සාදා ගත්තා ය. අමාරුවෙන් උපයා ගත් මුදලකින් ඉතිරි කොට ගත් කොටසක් අනුන් වෙනුවෙන් වැය කරත්දී හිතට දැනෙන්නේ නිරාමිස සැනසිල්ලකි. දානයක් කියන්නේ ම අත්හැරීමකි. එක අතකට ගිම්හාන් සියල්ල අත්හැර නිදහස් වූයේ ය. සයුරංගනා ගෙන් සුසුමක් ගිලිහිණ. ගිම්හාන් රියෙහි ඉදිරි කැඩපතින් ඇදෙස බැලුවේ ය. ඒ බැල්මට සයුරංගනාට හසු නොවී සිටිත හැකි වූයේ නැත. ඇය හෙමිහිට ඔහු වෙතින් දෑස් ඉවතට ගත්තා ය.

“අපි මෙහෙම ගමනක් යනව කියල ඕගොල්ලොංගෙ අම්මට නොකියා ඉන්නඑක මටනං හරි අවුල් පාරි”

ගෙදර විත් මලු වලට වෙන් කොට බඩු අසුරන ගමන් සයුරංගනා පාරමීට කෙඳිරුවේ අවංක තැවුලෙනි.

“හරි හරි. අපි ඒක හදිස්සියෙ දාගත්ත ගමනක් වගේ සිකුරාදාට කියමු”

“අම්ම මං ගැන තමයි වැරදියට හිතන්නෙ”

“අවුලක් නෑනෙ එහෙම හිතුවත්”

පාරමී  සයුරංගනා දෙසට හෙලූ යටැස් බැල්ම ද ඒ සිනහව ද හදවතේ වන අව්‍යාජ බව පෙන්වන කැඩපතක් බඳු ය. 

“පා…රි…”

“හරි හරි ඉතිං…මං කිව්වෙ මගෙ නෑනා වුණාට කිසී අවුලක් නෑ කියල”

“ඔයි…ය…”

“හරි හරි. ඔයා නෙවෙයි අපියි මේ ගමන දාගත්තෙ කියල කියමුකො. අනික තාමත් කිව්වෙ නෑනෙ මේ වීක් එන්ඩ් එකේ මනමාලි බලන්න යන්න දාගත්ත කියල. එහෙම කිව්වොත් එවෙලෙම කියනව අපි ගමනක් දාං තියෙන්නෙ කියල”

දැන් තිලකා වැඩිපුර මෙහි එන්නේ නැත. රාත්‍රිය ද බොහෝ විට මහ ගෙදර ම ගත කරයි. මංජුල ට යශෝදර විසින් පහර දෙනු ලැබීමේ සිද්ධියෙන් පසු ඇය සයුරංගනා එක්ක සිටින්නේ වෙනදාටත් වැඩි කේන්තියෙනි. පෝය දවසේ ගිම්හාන් වෙනුවෙන් සයුරංගනා පන්සලට අටපිරිකරක් පූජා කරන බවත්, ගමේ අගහිඟකම් ඇති පවුල් කිහිපයකට වියලි ආහාර මලු බෙදා දෙන බවත් ඇය දැනගත්තේ ජයරත්න ගෙනි. තිලකාට ඒ පණිවිඩය ලබා දෙන ලෙස ජයරත්න ට මතක් කළේ ද සයුරංගනා ය. නමුත් තිලකා ගත් කටට ම කීවේ,

“පෙනේද…මේකි නිකමටවත් මට මතක් කළාද එහෙම දෙයක්…ගිම්හාන් කියන්නෙ මගෙ පුතා කියල ඒකිට අමතකයි”

කියා ය. 

“යෝදියෙ. ඒ කෙල්ල තමයි මට කිව්වෙ අම්මටත් පන්සලට යන්න එන්න කියන්නයි කියල. මිනිස්සුන්ගෙ වැරදිම දකින්න එපා”

ජයරත්න ඇයට දොස් කීවේ ය. නමුත් තිලකා අඟහරුවාදා රාත්‍රියේ එහි පැමිණියේ මූණ පුළුටු කරගෙනයි.

“ඔක්කොම ලෑස්ති කරල අන්තිම මොහොතෙයි මට කියන්නෙ. ගිම්හාන්ගෙ අම්ම අර මල්කාන්තිනෙ. සහෝදර සහෝරියො ටික එහෙනෙ ඉන්නෙ”

ඇය සයුරංගනා ට ඇසෙන්නට ඇනුම්පද කීවා ය.

“අනේ එහෙම දෙයක් නෙවෙයි අම්මෙ. මේක හදිස්සියෙ දාගත්ත දෙයක්. මං ගිම්හාන්ව දවස් කීපයක්ම හීනෙන් දැක්ක නිසා. අනික ඉතිං කලින් කිව්වයි කියල අම්මට ඇවිත් කරන්න දෙයක් නෑනෙ”

සයුරංගනා පුළුවන් තරම් සන්සුන් ලෙස පැහැදිලි කළා ය. තිලකා එය පිළිගත්ත ද නැත ද ඇය සිටියේ ඒ ගැන කලබල වන කාලය පසු කොටයි. 

පෝය දවසේ සිල් සමාදන් වන උපාසක ඇත්තන්ට ධර්මය දේශනා කිරීම සඳහා පිටස්තර පන්සලකින් වඩිනා ස්වාමීන් වහන්සේ නමකට අටපිරිකර පූජා කෙරිණ. තිලකා අතින් පූජා කරන්නට සෙසු පිරිකර කිහිපයක් ද වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ද වෙන් කෙරිණ. ගමේ සුදුසු ගෙවල් වලට බඩු මලු දෙන්න යන්නට සයුරංගනා හා යශෝදර සමගින් පාරමී හා තේමිය එක් වූහ. සැබවින් ම මෙය සයුරංගනා ගේ හිත සැහැල්ලු කරනා ලද සිදුවීමක් වූයේ ය.

“දාන දීල විතරක් වැඩක් නෑ. මැරිච්ච මනුස්සයගෙ ගෞරවේ රැකගෙන ජීවත් වෙන එකයි ගෑනියෙක් කරන්න ඕනෙ”

එදා හවස තිලකා මහ ගෙදරට ද බඩු මල්ලක් ඔසවා ගෙන ගිය විට ශක්‍යා ඇනුම්පදයක් කීවා ය. 

“ඒවනං මොකට කියනවද..කසාද මිනිහ වගේ අර යශෝදරයනෙ උඩ දාගෙන හැම එකම කරන්නෙ”

ශක්‍යා ඊට කිසිත් කීවේ නැත. පරණ තුවාල කැළලකින් රිදුමක් හට ගන්නවා වාගේ ඇයට දැනිණ.

පාරමී ගේ ද තේමිය ගේ ද බලවත් කැමැත්ත මත ඒ ගමන යන්න දාගත්තේ හිමිදිරි පෙදෙසට ය. පාරමී දෙණියාය පැත්තෙන් එහි යමු කීවා ය. තේමිය ට ඕන වුණේ රත්නපුර පැත්තෙන් සූරියකන්ද පාරේ එහි යන්නටයි. නමුත් ඒ මාර්ගයේ දී හිමිදිරි පෙදෙසට සමීප වීමට ඇති සැතපුම් පහක පමණ දුර ඔවුන් ගේ කුඩා මෝටර් රථයෙහි යා නො හැකි බව පැවසිණ.  සූරියකන්ද පාර කියන්නේ දිව්‍ය ලෝකයට යන පාර යයි ඔහු තව දුරටත් කීවේ ය. නමුත් දෙණියාය පැත්ත වෙනම සුන්දර ලෝකයක් යයි පාරමී තර්ක කළා ය. මනරම් පැට්නා වෙත යන්නටද එවිට හැකි වේ. සූරියකන්ද පැත්තෙන් පසුව යමු කියා අවසන යශෝදර තීන්දු කළේ දෙණියාය පැත්තෙන් හිමිදිරි පෙදෙසට යන්න ය. අවසන කවුරුත් ඊට එකඟ වූහ. 

අර්බුධය හට ගත්තේ සෙනසුරාදා පාන්දර ගමන යනවායි සිකුරාදා උදේ පාරමී විසින් මල්කාන්ති ට දැනුම් දීමෙන් පසුවයි.

“සෙනසුරාදාට මනමාලි බලන්න එනව කියල මං කපු උන්නැහේට කෝල් එකක් දීල කියල තියෙන්නෙ. ඔය ගමන පස්සට දාගන්න”

ඇය තදින් කීවා ය. පාරමී ද පරාජය භාර ගන්නට සූදානම් වූයේ නැත.

“එහෙම කරන්න බෑ. කොහොමත් ට්‍රිප් කියන්නෙ කල්දදා බාධා වෙවී යන ගමන් නෙවෙයි. අම්ම ඔය මනමාලි බලන්න යන ගමන පස්සට දාගන්න”

“මොකද්ද ලොකු පුතා මේ වැඩේ තේරුම…ඔයාට මං කියල තිබුණෙ මේ වැඩේට දවසක් දාගන්න ඕන කියල”

“ඒ වුණාට අම්ම ඕක දාගෙනත් මට කලින් කිව්වෙ නෑනෙ. ඉතින් මට කරන්න දෙයක් නෑ”

යශෝදර අම්මා කේන්ති නොගැස්සෙන සේ ප්‍රශ්නය විසඳා ගන්නට බැලුවේ ය.

“මං කියන්නැතුව හිටියෙ ඔයා මේක මගාරින්න වෙන වැඩ දාගනී කියලයි. අනේ මේකනං කරන්න එපා පුතා. මේ වගේ ගමනක් එනව කියල දැනුම් දීල නොයා ඉන්න බෑ. ඒ මිනිස්සු ඊට පස්සෙ අපි ගැන කොහොමද හිතන්නෙ…”

“අම්මෙ අපිටත් මේ ආසාවෙන් දාගත්ත වැඩේ කෑන්සල් කරන්න බෑ”

යශෝදර සේ ම තේමිය හා පාරමී ද  එක හෙළා කීහ. 

“හරි මං රංගනාට කියන්නංකො මේක නතර කරන්න කියල. එයාට බෑ මං එපා කියද්දි ඔහොම ගමනක් යන්න. ඕගොල්ලො ඕන දිහාක යන්න මේ ගමන ගිහින් ඇවිත්”

මල්කාන්ති සයුරංගනා හමු වීමට යනු පිණිස ගෙයින් පිට වූවා ය.

“අම්ම රංගිගෙ ඔළුවට අනං මනං දාන්නෙපා. රංගි බෑ කිව්වත් අපි මේක යනව”

පාරමී කෑගසා කීවා ය. නමුත් ඇය සයුරංගනා ගේ හිත නරක් කරාවී කියනා බිය පාරමීටත් වැඩිය යශෝදරට දැනිණ.

💚සයුරංගනා ඔබ ඔබේ ම සොයුරියක කර ගෙන හිඳිනු බලා සිටිනා මට සතුටක් දැනේ. ඒ ආදරයට ස්තූතියි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles