නිම්නාවී බලා උන්නේ මන්දාරම්ගේ පුපුරා හැලුණු සිනහව දෙසය. හතර වටෙන්ම ඇවිලී ඇති ගිණි නොපෙනෙන්නා සේ සිනහවෙන තරුණයා ඇගේ හදවත තුල කරණම් ගසන්නට තරමේ ඉඩ සකසා ගත්තේය. අනෙක් අතට හදවතෙහි මේ ඉඩ, කොහොමටත් ඔහු වෙනුවෙන්ම තිබුනේය. වෙනසකට වූයේ මේ ඉඩෙහි සරන්නට ඔහු එනවාද නැතිද යන්න නිම්නාවී නොදැන සිටීමය. එහෙත් දැන් ඔහු පැමිණ ඇත. නැත, නිම්නාවී ඔහු වෙත පැමිණ ඇත.
” ඇයි හිනාවෙන්නේ ?..”
” නෑ .. මට ඊට වඩා සද්දෙන් වුනත් කෑ ගහලා කතා කරන්න පුලුවන් .. එහෙම කතා කරානම් එහෙම නිම්නාවීට මොනවා වෙයිද ?…”
නිම්නාවී තවමත් පෙඟෙමින් ඇති නෙත් පිසලමින් ඉවතක් බැලුවාය. මන්දාරම් උන්නේ ඇගෙන් දෑස් ඉවතට නොගනිමිනි.
” ඒ වුනාට මිස්ට එහෙම කතා නොකරන්න තිබුනේ .. ඒ ඔයාගේ අම්මා තමයි , ඒත් ඒ තනි ස්වාධීන මනුස්සයෙක්. මනුස්සයෙක්ගේ ස්වාධීන කමට බාධා කරන එක තරම් නරක වෙන කිසිම දෙයක් නෑ… මානසිකව, කායිකව මිනිස්සු කන්ට්‍රෝල් කරගෙන, ඒ මිනිස්සු තමන්ගේ ආධිපත්‍යට අල්ලගෙන ඉන්න එකෙන් ජීවිත විනාශ වෙනවා.. කුඩු පට්ටම් වෙනවා.. මේ ලෝකේ කිසිම කෙනෙකුට එහෙම වෙන්න හොඳ නෑ .. ඒක හරි පව් .. අපි හැමෝටම පුලුවන් වෙන්න ඕනි, අපේ සීමාව අනෙක් කෙනාගේ නහය ළඟින් නවත්තන්න.. ඒ නවත්තලා එයාගේ සීමාව එයාට දෙන්න .. ආදරේ, බැඳීම්, වගකීම් , ඔය මොක ඉස්සර කරගෙන කරත් තවත් කෙනෙක්ගේ නිදහස් ස්වාධීන ජීවිතයකට බාධා කරන එක මහ පවක් … මහම පවක් .. ඒක ගෙවලා ඉවර කරන්න බෑ ….
මිස් ඔයාගේ අම්මා.. ඔයාගේ තාත්තා නැතුව, ඔයාව මෙච්චර දුර එන්න හයිය දුන්න කෙනා.. එයාට තවම හැටක් වත් නෑ.. එයාගේ ජීවිතේ තව අවුරුදු විස්සක් ඉතුරුයි කියමු .. ඔයා කොහොමද හිතන්නේ ඒ අවුරුදු විස්සත් මිස් ඔයා වෙනුවෙන්ම ඉන්න ඕනි කියලා .. ඒක ආත්මාර්තකාමී නෙවෙයිද ? ඒක අසාධාරණ නැද්ද ?
එයාට ආදරේ දැනෙනවා නම්, කොහේ හරි තැනක ඔයා ඇරුනම ජීවත් වෙන්න පුලුවන් ගෙයක් එයාට හැදෙනවා නම් සතුටු වෙන්න ඔයාට බැරිද සෙත් ?…”
නිම්නාවීට වචන සිරවුණාය. ඕ සිතා මතා එසේ කීවා නොවේය. සෙත් නම් කටකාරයා ඉදිරියේ ඕ සැමදා උන්නෙ ගොලුවීගෙනය.
මන්දාරම් දෙවැනි තෙවැනි වතාවටද තිගැස්සුණේය. ඇය මෙතරම් ආවේගශීලිව කියවාවියැයි සිතුවේ නැත. තම හැසිරීම ගැන ලැජ්ජාවක් දැනෙන තරමටම ඕ තමා අතික්‍රමණය කරමින් යන්නීය. ඇය තමා ඉදිරියේ කන්දක් සේ නැගෙන්නීය.
” සොරි .. මං කිව්වේ මන්දාරම් …මන්දාරම් .. ඔයා එහෙම බලාපොරොත්තු වෙන එක හරිද ?”
” කමක් නෑ.. සෙත් කියන්න .. ඒ නම දැන් මටත් අමතක වෙලා .ඔයා ලස්සනට ඒ නම කීවා …”
නිම්නාවීගේ හද ගැස්ම ඉතා ඉහලට යළි විසි කරමින්, මන්දාරම් පලමු අයිතිය දුන්නේය. සින්නක්කරවම ලියා දුන්නේය. නිම්නාවී සියල්ල ඉවසාගෙන උන්නේ අසීරුවෙනි.
සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වීමෙන් පසුව යශෝධරා දේවිය බැහැ දකින්නට ආ දිනයේ ඇගේ හද පැලී යන තරමේ සෝකයක් ඕ දරමින් සිට ඇත. ඒ සෝකයෙන් ඕ මිදෙන්නට නම් තම සිරිපතුල් ස්පර්ශ කරන්නට ඇයට ඉඩ ලබා දිය යුතු බව බුදු රජාණන් වහන්සේ දිවැසින් දුටුවේය. බුද්ධ ශරීරය ස්පර්ෂ කරන්නට ඉඩ ලබා ගත් පලමු කාන්තාව ලෙස යශෝධරාව ඉතිහාසයේ කියැවෙන්නේ එබැවිනි. ගැහැණුන් පපුවේ දරාගත් ප්‍රේමයක් නිසා කොයි යම් හෝ මොහොතක ළය පැලී මිය යා හැකි බවට තවත් සාක්ෂි අනවශ්‍ය ය.
නිම්නාවීද උන්නේ වසර දොළහක් තිස්සේ තමාම උපදවාගෙන , තමාම පිළිසිඳවාගෙන, තමාම ඇති දැඩි කෙරූ ප්‍රේමයක් දරාගෙනය. සෙත් වෙනුවෙන් පිරූ ආශිර්වාද ප්‍රාර්තනා වල තරමක් ඇයට සිහියට එන්නේවත් නැත. ඉතින් ඒ සෙනෙහෙ ප්‍රාර්තනා නාස්ති වී ගොසින් නැති බව ඇස් ඉදිරියේම නිම්නාවීට පෙනෙන්නේය. මේ තරුණයා සුවෙනි. යෙහෙනි. මේ අම්මා සමඟ හදා ගත් ගැටුමෙන් මිදෙන පාර තමා පෙන්විය යුතුයැයි නිම්නාවි සිතුවේ ඒ සුව ලොව ඔහු වෙනුවෙන් ඉතිරි විය යුතු නිසාය.
” මම අම්මා එක්ක හෙමින් කතා කරන්නම් නිම්නාවී …”
” ඒක හොඳයි .. මිස් කෑවෙත් ටිකයි .. මම බලෙන් බෙහෙත් දුන්නේත් .. හාන්සි වෙලා හූල්ලනවා විතරයි .. මිස්ට දරාගන්න අමාරු ඇත්තේ ඔයා එහෙම කෑ ගහපු එක … අනෙක, ජීවිතේ ප්‍රශ්න ඉස්සරහ ඔහොම කෑ ගහල, දඟලලා කවදාවත් ඉස්සරහට යන්න බෑ.. එහෙම වුනාම ඔයාගේ ශක්තියත් ඉවරයි, අනෙක් කෙනාගේ ශක්තියත් ඉවරයි …හොඳම දේ කලබලේ නිවෙන්න දීලා කල්පනාවට ඇවිල්ලා කතා බහ කරන එක .විසඳගන්න පාරක් හොයන එක ..”
මන්දාරම් නිම්නාවී හා එකඟ වුවේය. ඇය පවසන සත්‍ය තමා නොදන්නා දෙයක් නොවන බව මන්දාරම් දනී. ගැටලුව එවෙලෙහි ඇතිවූ තත්වය තම පාලනයෙන් ගිලිහී යෑමය. තමාට සියල්ල පැටලී තිබීමය.
එලෙසින් තමා තම පාලනයෙන් ගිලිහෙන්නට හේතු එක පිට සැකසුන බව මන්දාරම්ට මතකය. අම්මාගේ අනතුර සිදුව ඇත්තේ ජිනේන්ද්‍රගේ පියා හමුවීමට යන අතරමඟ බව සැක නැතිව තහවුරු විය. නිම්නාවීව කීරිබත්ගොඩ යවා අම්මා නිවෙසට ගෙන්වාගෙන ඇත්තේ ජිනේන්ද්‍රගේ පියා බව සැක නැතිව තහවුරු විය. ඔවුන් දෙදෙනා යම් සැලකිය යුතු කාලයක පටන් එකිනෙකා කෙරෙහි ළයාදරව සිට ඇති බව තහවුරු විය. මේ සියල්ල දරා ගැනිම තමාට නොහැකි වූ බව මන්දාරම් දැන් පිළිගන්නේය.
” නිම්නාවී කොහෙන්ද ඔය පණ්ඩිත කතා ඉගෙනගත්තේ ?…”
මන්දාරම් එක්වරම විමසුවේ, නිම්නාවීව ඔසවා පොළවේ ගසමිනි. නිම්නාවීට අගක් මුලක් සිතා ගන්නට නොහැකි කරමිනි. තත්පරයෙන් තත්පරය පියවි ලෝකයෙන් එහෙ මෙහෙ දිව යමින් සෙත් සමඟින් සරන්නට ගෙන තිබූ නිසාම නිම්නාවීට එක්වරම මන්දාරම් වැටහුනේ නැත.
” මොකක්ද ?…”
“ස්වාධීන ජීවිත, ආධිපත්‍ය, නහය ළඟින් නැවතෙන්නෝනි කියන කතා .. කොහෙන් ඉගෙනගත්ත එව්වාද ?…”
නිම්නාවී පියවි සිහියේ උන්නාය. තමා විදෙස්ගතව රැකියාවක් කර පැමිණි අයෙකු බවට වන කතාව සිහියට ගත්තාය.
” එව්වා මේ සමාජේ තැලිලා පොඩිවෙලා කරකුට්ටන් වෙලා ඉගෙනගත්ත දේවල් .. ඔයාලාට එව්වා පණ්ඩිත කතා වගේ ඇහෙනවා, පේනවා ඇති .. ඒත් .., ඒ වචන වල ඔයාලාට නොතේරෙන බර ඔයාලා තේරුම් ගන්නවා නම් තව සෑහෙන්න මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වේවි …”
නිම්නාවී එවර මන්දාරම්ව පටලවමින් උන්නාය. ඇය මෙතරම් සමාජ අවබෝධයක් ඇති කෙල්ලක ලෙසින් පෙනුනේ නැත. එහෙත් ඕ සෑහෙන දේ සඟවාගෙන , අත්දැකීම් රැසක හරය පමනක් කතා කරන බව මන්දාරම් වටහා ගත්තේය. ඇයට බැඳෙන්නට තව තව හේතු හැදෙන බව මන්දාරම්ට වැටහෙන්නේය.
” මම යන්නද ?…”
” කොහේ යන්නද ?.. ඔහොම ඉන්න …”
මන්දාරම් උස් හඬින් කීවේය. නිම්නාවීට එවෙලෙහි ඔහු ඉක්මවා යන්නට ඉඩක් වූයේම නැත.
” ලතා ඇන්ටි බලාවි මම කොහෙද කියලා…”
” මම ලතාට පඩි ගෙවන්නේ උයලා යන්න මිසක් නිම්නාවීව ෆලෝ කරන්න නෙවෙයි නේ .. අනෙක ඔයාට පඩි ගෙවන්නේ මම කියන දේ කරන්න මිසක්, ඔයාට ඕනි දේ කරන්නත් නෙවෙයි …”
නිම්නාවී තිගැස්සුනාය. මන්දාරම් එලෙසින් කීම ගැටලුවක් නැත. එහෙත්, සෙත් .. සෙත් එලෙස පැවසීම වේදනාවකි. තමා ඔහුගේ වේතනයන් ලබාගෙන සේවය කරන්නියක්ම පමනද ?… ඔහුට තමා සේවිකාවක්ම පමණැද
එවර නිම්නාවී පියවි සිහියෙන් පිටතට පනිමින් උන්නාය
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |