දුරේශ් මල්වත්තගේ බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිර හැන්දෑව දෙස බලා සිටියේ ය. දැන් පරිසරයෙහි වන්නේ කුර ගාන අඳුරට පරාජය වීමට කැමැත්තෙන් සිටිනා එළියකි. ඒ එළිය දීප්තිමත් නැත. මළානික ද නැත. නමුත් ආලෝකයට වුණත් වෙහෙසක් දැනෙන වෙලාවක් උදා වේ. ගිමන් නිවීමක අවශ්‍යතාවයක් එළඹේ. රාත්‍රියට ඉඩ දී මඳක් පසුබාන්නේ එබැවිනි. ජීවිතයටත් එහෙව් අවස්ථා ඕනෑ තරම් එළැඹෙන බව ජීවත් වීම තුළින් දුරේශ් වටහාගෙන හිඳී. ඒ වෙලාවට ඉවසීමෙන් පසුබාන්නට මනා පුහුණුවක් තිබිය යුතු වේ. මාර්ගයක් වුව ද සරල රේඛාවක් සේ ඍජු නැත. වංගු, කඳු, පල්ලම් එහි ඒකාකාරීත්වය බිඳ වෙනසක් ඇති කරයි. ජීවිතය ද එසේ ය. එක ම රිද්මයකින් ඉදිරියට යා හැකි නොවේ. වැදගත් වන්නේ දුෂ්කර මංසන්ධි වලදී ද ඉවසීමෙන් ගමනේ යෙදීමයි. සැනසීමේත් ප්‍රීතියේත් වංගුව ඊළඟට උදා වීමට නියමිතව තිබෙනවා විය හැක.
නමුත් එවන් ගැඹුරු ජීවනාදර්ශ ඒත්තු ගැන්වීමට නම් කාලයත් සමග ජීවිතය යම් පරිනතියකට එළඹිය යුතු වේ. විශේෂයෙන් ම යෞවනය වූ කලී අඩු ඉවසීමකින් ද වැඩි හැඟීම්බර භාවයන්ගෙන් ද යුත් කාල සීමාවක් බව දුරේශ් අත්විඳ තිබේ.
විටෙන් විට ඔහු හාන්සි පුටුවෙන් නැගිට බරාඳයෙහි සක්මන් කළේ ය. මේ වයසේදීත් ඔහු ගේ හිත කැළඹී තිබේ. මීට මඳ වෙලාවකට පෙර සාන්වී අශ්විනී ට කතා කොට ඇගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටීම වෙනුවෙන් හඬා වැටුණා ය. ටික කලක සිට ඇය බලා සිටියේ ඒ ඇසුර ගැන දුරේශ් ට පවසා සිය පෙම්වතාව පියාට හඳුන්වා දෙන්නට යි. නමුත් ඔවුන් අතරේ මත ගැටුම් ද සිත් බිඳීම් ද ඇති වෙමින් නැති වෙමින් පැවතියෙන් ඒ සඳහා ඇය කල් ගත්තා ය. නමුත් අද දිනයේ ඒ තීරණාත්මක සිදුවීම සිදු විය. ඔවුන් ගේ සම්බන්ධය එතෙකින් අවසන් වන බව ඇගේ පෙම්වතා දුලාන් විසින් ස්ථිරව ප්‍රකාශ කරනා ලදී.
අශ්විනී ට කතා කරත්දී සාන්වී කතා කරගත නො හැකි තරමට හැඬීමෙන් හෙම්බත්ව සිටියා ය.
“තාත්තිට කියන්න ලොකූ”
කියා ඈ විශේෂයෙන් කීවේ මේ වෙලාවේ තාත්තා ගේ හිස පිරිමදින සුවය ද හිත පිරිමදින සුවය ද ඇයට වැඩි වැඩියෙන් අවශ්‍ය සේ දැනුණ බැවිනි.
“තාමත් නෑනෙ මේ ළමය”
අශ්විනී නො සන්සුන් ලෙස මිදුලට ම විත් පාර දෙසට එබිකම් කළා ය. දුරේශ් යළිත් හාන්සි පුටුවේ වැතිරිණි. සාන්වී රැගත් ත්‍රීරෝද රථය පැමිණියේ තවත් ටික වෙලාවකට පස්සේ ය.
“තාත්තී..”
කියාගෙන විත් ඇය බිම වැටී දුරේශ් ගේ උකුලේ හිස තියා ගත්තා ය. ඉකිළුම අලුතෙන් ම ලියලා වැඩෙන්නට ගති.
“එහෙම තමයි පුතා. සම්බන්ධතා කියන ඒව ඇති වෙනව නැති වෙනව. මිනිස්සු අපේ ජීවිත වලට එනව යනව. සදාකාලිකව අපිත් එක්ක අවසානෙටම… ගමනාන්තෙට ම යන්න පේ වුණ මිනිස්සු හරි අඩුයි. එහෙම අය හොය හොයා යන ගමනක් තමයි මේ. කවුරු අත්ඇරියත් ඔයාට ඇවිත් වැටෙන්න පුළුවන් ගෙදරක් තියන එක ගැන සතුටු වෙන්න. මොන තත්වෙකින් ආවත් ඔයාව පිළිගන්න තාත්ත කෙනෙක් පවුලක් ඉන්න එක ගැන සතුටු වෙන්න. එන යන මිනිස්සු ගැන දුක් වෙන්නවත් තරහ ගන්නවත් කලකිරෙන්නවත් නෙවෙයි පුතා ඕනෙ. පාඩං ඉගෙන ගන්නයි ඕනෙ..එතනිං එහාට තව ශක්තිමත් වෙන්නයි ඕනෙ. එක සිදුවීමක් වෙනව කියන්නෙ ජීවිතේ එතනිං කෙලවර වෙනව කියන එකට නෙවෙයි. ඉස්සරහට තව ඕන තරං දේවල් වෙයි. ඕන තරං මිනිස්සු හම්බවෙයි. ඒ වගේම වෙන් වෙයි. අපි ඒවට මූණදෙන්න සූදානම් වෙමු. ශක්තිමත් වෙමු. ආයුධ එකතු කරගමු… ම්…”
දියණිය ගේ හිස පිරිමදිමින් තාත්තා දීර්ඝ වූ දේශනයක් කළේ ය. ඇතැම් වෙලාවට දේශනයන් යනු හිත් වල ගල්වනා ඔසු සරි වේ. සාන්වී ගේ බිඳුණු හිත පිරියම් වී නො තිබිණි ද ඇය මඳක් සන්සුන් වෙමින් සිටියා ය. ඉකිළුම් හා හීල්ලුම් තුනී වී යමින් පැවතිණ. ඒ සම්බන්ධය නිරෝගී එකක් නොවෙනා බව ටික කලක සිට ඇයට දැනෙමින් තිබි බව ඇත්ත ය. ඉන් මිදීම ඔවුන් දෙදෙනාගේ ම ඉදිරි ගමන වෙනුවෙන් වඩා අර්ථවත් විය හැකි බව යටි හිත විසින් මුමුණා කියමින් තිබිණ. දුලාන් විසින් මේ තීරණය නො ගත්තේ වී නම් ඇය විසින් ම මතු යම් දිනෙක එහෙම කරන්නට තිබිණ. ඉතින් මෙහෙම වුණ එක හොඳ ය. නමුත් සිදු වී නම් හොඳ යයි අප සිතා සිටි දෙයක් වුව සිදු වූ ඉක්බිති දරා ගැනීම පහසු නොවේ. හදවතේ හැටි එහෙම ය. අලුත් තත්වයකට මූණ දීම එය හැම විට ම ප්‍රතික්ශේප කරයි. පරණ පුරුදු අතැර ගන්නට ද අලුත් මිනිසුන් හඳුනා ගන්නට ද එක වර ඊට අවැසි නොවේ.
අශ්විනීත් අමාගීත් එදා සොයුරිය බලාගත්තේ ගිලන් එකියක රැක බලා ගන්නවා මෙනි. සාන්වී ට එතකොට අලුතෙන් හැඬේ. අප සමගින් ඉන්නවා කියා රඟනා ලෝකය ම දවසක පිටුපෑව ද පවුල කියන්නේ වැටෙන්නට නොදී අල්වාගෙන ඉන්නා හදවත් සමූහයකට ය. ඒ බව තහවුරු වෙත්දී හදවත පුපුරා යන්නට හදයි.
අශ්විනී වෙතින් සාන්වී ගේ තත්වය දැනගත් ගමන් සන්දේශ් ගේ ළඟට ආවේ ය. මීට පෙර වතාවක් පැමිණි වෙලේ දුරේශ් ගෙන් විරෝධයක් මතු නොවීම මත සන්දේශ් ට යළි එන්නට හයියක් විය. ඊටත් වැඩිය පවුලෙන් ම හිත හයියයි වාගේ පෙන්වාගෙන ඉන්නා නංගී හිතෙන් වැටී සිටින වෙලාවේ ඔහු ට නෑවිත් ඉන්නට හැකි වූයේ නැත.
යතුරුපැදියේ හෝන් හඬ අමාගී වහා හැඳින්නා ය.
“අයිය නේද…”
ඒ වෙලාවේ ඈ සිටියේ සාන්වී ගේ හිස සිය උකුල මත තබාගෙන ඇහිස පිරිමදිමිනි.
“එනව කියල කිව්වෙත් නෑනෙ මේ කොල්ල”
අශ්විනී දෑස් ලොකු කරගත්තා ය. සාන්වී ගේ දුරකතනය හැඬවෙන්නට ගති.
“එනවකො පාරට”
සන්දේශ් කීවේ ය. සාන්වී හඬාගෙන දිව ගියා ය. අශ්විනී ද අමාගී ද ඈ පසුපස ගේට්ටුව වෙත ඇවිද ගියහ. සාන්වී අයියාව වැළඳගෙන හැඬුවා ය. බරාඳයට හිස පෙවූ දුරේශ් “ආශ් පුතා” කියා හඬගෑවේ ය. බියෙන් සැකෙන් අශ්විනී තාත්තා වෙත පැමිණියා ය.
“වත්තට ඇවිත් කතා කරගන්න එකක් කතා කරන්න කියන්න. මිනිස්සු හිනස්සන්නැතුව”
යනුවෙන් කියාදැමූ දුරේශ් කාමරයට වැදුණේ ය. දෙතුන් වරක් අශ්විනී විසින් ඇවිටිලි කිරීමෙන් පසු සන්දේශ් සේපාලිකා ගහ යට බංකුව වෙත පැමිණියේ ය.
“මොකද්ද වෙන්නෝනෙ කියනව. මං ඌව බෙල්ලෙං අල්ලං ඇදං එන්නං මෙතෙන්ට”
“අනේ එහෙම ඕන්නෑ අයියෙ. මේක කොහොමත් වෙන්න තිබුණ දෙයක්. මට ටිකක් අමාරුයි තමයි. ඒත් මං හිත හදාගන්නව”
“අපිට මොනාද ඕයි මේ වෙන්නෙ…”
“ජීවිතේ කියන්නෙ මේකට තමයි මල්ලි. ඒක හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වුණ විදිහටම වෙන්නෑ. මොනා වුණත් ඊට පස්සෙත් හොඳම පැත්තට හරෝගන්න බලමු”
“සුදූ… තමුසෙනං මේව දිහා බලාගෙනවත් ඉගෙනගන්නව. අරපැත්තට මේ පැත්තට විසි වෙලා හැප්පිලා හිත තුවාල කරගන්න කලිං”
“අයි…යෙ. අර පැත්තට මේ පැත්තට විසි වෙලා හැප්පිලා ගඟක් දිගේ ගහං යන ගලක් වුණත් මැදිල සිනිඳු වෙලා ඔප වැටෙනවනෙ. අපිටත් එහෙම වෙන්න පුළුවන්නෙ අනේ… අපිට අපි ඉන්නවනං එච්චරයි”
අමාගී සාන්වීගේ හිස වැළඳගත්තා ය. ඔවුන් අතරේ මඳ නිහැඬියාවක් ඇති විය. හදවත් ඕනෑවටත් වැඩිය බර වී තිබිණ. අශ්විනී ගෙතුළට ගොස් බත් පිඟානක් බෙදාගෙන ආවා ය. ඒ සන්දේශ් වෙනුවෙනි.
“ඔය දෙන්නත් මෙහෙම ම කන්න”
කියා ඈ අමාගීටත් අස්විනීටත් කටවල් දෙකක් කැව්වේ හදවත උගුරා යන මාතෘ හැඟීමකිනි. නමුත් අමාගී තවදුරටත් අක්කාට කියා බත් කවාගැනීම ප්‍රතික්ශේප කළා ය.
“අපි තාත්ති එක්ක කන්නං. නැත්තං එයාට දුක හිතෙයිනෙ”
සන්දේශ් නික්ම ගියේ සාන්වී ගේ දුක නිවෙන්නට පොඩි කාලේ වූ සිනහ යන සිදුවීම් කිහිපයක් ද සිහිපත් කොට ය.
“ඔය වගේ තමුසෙලව අඬවන කොල්ලන්ට මං කොහොමත් තමුසෙලව දෙන්න කැමති නෑ. හිනාවක් ගේන්න පුළුවන් අය හෙමිහිට හම්බ වෙයි පොඩී. අපි කලබල නොවී ඉමු. ම්…”
වෙන් වෙන්නට බැරි සහෝදර හැඟීමක් ඔවුන්ට දැනෙමින් තිබිණ. පොඩි කාලේ තාත්තා එනතුරු සහෝදරියන් තිදෙන බලාගෙන හිටි දයාවෙන් ම සන්දේශ් අක්කාගේත් නංගිලාගේත් හිස් සිපගත්තේ ය.
“පරිස්සමෙන් යන්න. ගිහින් කෝල් එකක් දෙන්න”
සාන්වී මිමිණුවා ය.
“අද රෑ එළිවෙනකල් අඬල හරි ඔය කඳුලු ඉවර කරන්න ඕනෙ..හරිද…”
ඔහු ඇයව වැළඳගත්තේ ය.
ශෝකය තැවරී තිබිණි ද අමාගී ඒ රාත්‍රියට රිසි වූවා ය. කෑම මේසයේ දී දුරේශ් ද පරණ විහිළු සිහි කරමින් දියණියන් සතුටු කිරීමේ තැතක් දැරුවේ ය. ඔවුන් වූ කලී අම්මා කෙනෙකු ගේ ඇල්ම බැල්ම රහිතව ඔහු විසින් හදාගනු ලැබූ දරුවන් ය. පොඩි කාලේ පොඩි වරදක් කළත් ඔහු දරුවන් ට තැළුවේ නැත. හිත් රිදෙන්නට බැන්නේ නැත. ඒ වෙනුවට සදහට මතක හිටින්නටත් යළි ඒ වරද නොකරන්නටත් උපදෙස් දුන්නේ ය. ඒ තරම් පරෙස්සමෙන් ආදරයෙන් තැනූ දූවරුන් දිනෙක වෙනත් පිරිමියෙකු ගේ රැකවරණයට පත් කළ යුතුව තිබේ. දැන් ඒ දවස් ලං ලං ව එයි. අශ්විනී ට ගෙදරින් නොව රටින් ද නික්ම යන්නට සිදු වේ. සාන්වී ද ඔහු නොදැන ම ප්‍රේමයක පැටලී හිඳ තිබේ. යොවුන් දරුවන් ට එකී හැඟුමන් වලින් වහං වී සිටිත නො හැකි බැව් ඔහු දනී. ගැටළුව එය නොවේ. දිනෙක ඔවුන් ගේ රැකවරණය පවරා දෙන පිරිමින් සිය දියණිවරුන් ගේ හිත් කොයි තරම් පරිස්සම් කරනු ඇත්ද යන්නයි. ඔහු විසින් නො හැඬවූ ඒ දෑස් වල කොයි තරම් කාලයක් සිනහවන් පළඳවා තබනු ඇත්ද යන්නයි. බෝ පරිස්සමෙන් ඔහු විසින් සනහනු ලැබ ඇති හිත්, නොබිඳ කෙතරම් කල් රැකගනු ඇත්ද යන්නයි. සාන්වී අද හැඬුවා වාගේ ඇගේ ළමා වියෙහිදීවත් හඬනු දුරේශ් දැක නැත. ඔහු ගේ හුස්ම වන් දියණිවරුන්ට මේ පිරිමින් කඳුලු උරුම කරනු ඇත් ද? ඔවුන් ගේ හදවත් රිද බිඳ තුවාල කර දමනු ඇත් ද? ඔවුන් ගේ බලාපොරොත්තු විනාශ කොට දමනු ඇත් ද? ඒ ගැන වගකීම් සහතිකයක් දිය හැකි පිරිමින් තිදෙනෙක් ඔහු කොහෙන් හොයන්න ද?
ඒ රාත්‍රියෙහි උණු කඳුලු කැට කිහිපයක් බෝ කලකට පසු දුරේශ් ගේ කොට්ටය තෙත් කරනා ලදී.