එකම එක හාදුවක් – 19

0
3542

නෙවින් ඉන්පස්සේ උන්නේ තටු ලැබිච්ච කුරුල්ලෙක් වගේ පුදුම ආතල් එකකින් ය. ශාර්වරී තමන්ට පෙම්වතෙක් ඉන්නව බවට බොරුවක් කිව්වේ බාගදා තමන්ගෙන් මොකක් හෝ ආතල් එකක් ගන්නට හෝ එහෙමත් නැත්තම් තමාව චෙක්කරන්න හිතාගෙන වෙන්න පුලුවන් ය.

“බොරුකාරී” කියා හිතෙන් කියද්දී උනත් නෙවින් උන්නේ දෙතොල් අස්සේ වඩා සුන්දර, ආදරබර, මත්බර හිනාවක් ඇඳගනිමිනි. 

නෙවින් බියර් බොන ගමන් හිනාවෙන්නේ මධුරව තමන්ගේ දැලේ පටලගත්ත හන්දා යැයි කියා හිතූ ශාර්වරී උන්නේ ලිෆ්ට් එකට නගිද්දී නෙවින් මොකට එහෙනම් තමාට අද විතරයි එහෙම වුණේ. ආයෙ කවදාවත් මං දාලා යන්නෙ නෑ” කිව්වේ කියන එක ගැනය.

“සමහර විට මේ මනුස්සයා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තෙ මධුර අයියට ලයින් එක දාන්න හිතාගෙනද දන්නෙ නෑ. ඊයා. මෙලෝ ලැජ්ජාවක් නැති මිනිහෙක්නෙ. උඩ ලිෆ්‍ට් එකට නගිද්දි මාත් එක්ක පැණි හලලා දැන් මෙතන රෙස්ටුරන්ට් එකේ හැමෝම ඉන්න තැන මධුර අයියව බදාගෙන විකාරයක් කරා. චික්. මාත් විශ්වාස කරානෙ මෙහෙම මිනිහෙක්ව” කියා හිත අස්සෙන් පුපුර පුපුර උන්නු ශාර්වරී ඔක්කොම ටේබල්ස් වලට අදාල ඕඩර්ස් ටික දුන්නයින් පස්සේ කවුන්ටර් එක පැත්තට ආවේ ඔන්න ඕව හිත හිතය. නෙවින් ඒ උන්නෙත් බියර් එක බොන ගමන් තනියෙන් හිනා වෙවීය.

“අර සර් ඇයි අයියෙ ඔයාව බදාගත්තෙ?” කියා හීන් සැරේ ලං වෙච්ච ශාර්වරී මධුරගෙන් එහෙම ඇහුවේ තව දුරටත් ඕක හිත අස්සේ හංගගෙන ඉන්න බැරි හන්දාය.

“අනේ මන්දා නංගි, මටත් හිතාගන්න බැරි උනා එකපාර”

“මොකද්ද ඔය දෙන්න කතා කර කර හිටියෙ?”

“මගෙන් එයා ඉඳගෙන ඇහුවා අපිට රෑ වෙන දවසට ගෙදරට එහෙම යන්න ට්‍රාන්ස්පෝට් දෙනවද කියල”

“ඉතින්”

“ඉතින් මං කිව්වා ඔව් කියලා.”

“ඊටපස්සෙ මං කිව්වා සමහර දවසට එහෙම ට්‍රාස්න්පෝට් දෙන්නෙ නැත්තම් ඉතින් මම මොකක් හරි ඇරේන්ජ් කරගෙන ඔයාවත් ඩ්‍රොප් කරගෙන යනවා කියලා”

“ඉතින්”

“ඉන්පස්සෙ මිනිහා ඇහුවා ඔයාව මං එක්කරගෙන යන්නෙ ඇයි? ඔයාව එක්කරගෙන යන්න වෙන කවුරුවත් නැද්ද කියලා”

කතාව වෙන්න ඇත්තේ මොකද්ද කියා ශාර්වරීට යාන්තම් විතර තේරෙන්න පටන් ගත්තේ ඔන්න ඔය වෙලාවේය.  තමන්ගේ පපුව ගැහෙන රාවයටම කට හඬත් ගැහෙන විත්තිය ශාර්වරීට තේරුනේ ආයෙම වතාවක් මධුරව අමතද්දීය.

“ඉතින්, අයියා මොකද කිව්වේ?”

“මොනවා කියන්නද අනේ මම ඉතින් ඇත්තම කිව්වා. ඔයාට එහෙම කවුරුවත් නෑ. ඔයාලායි අම්මව මාත් අඳුරනවා. අම්මා කියල තියෙන්නෙ කවුරුවත් නැති දවසට මට ඔයාව ඇරලවන්න කියල. ඒක කිව්වයින් පස්සේ මේ පිස්සු යකා කවුන්ටරේ උඩින් අත් දෙක දාලා මාව බදාගෙන කිව්වනෙ උඹ මගේ එකා කියලා. පිස්සෙක්ද මන්දා? අනික මෙච්චර දවසක් මං මෙතන වැඩ කරා ඔය යකා එහෙම මෙතනට ඇවිල්ලා කන බොන සීන් කරේම නෑ මෙච්චර දවසක්. මේ ළඟදි ඉඳලා තමා එන්න පටන් ගත්තෙ.

ඔන්න නංගි පරිස්සමෙන් හොඳේ. අපි මේ වගේ තැන්වල වැඩ කරන්න ආවට අපි කොයි වගේ මිනිස්සුද කියලා දන්නෙ අපිනෙ. ඔය ලොකු ලොකු අපාට්මන්ට් වල උන්න මිනිස්සුන්ට ඉතින් ඔයාලා අපි වගේ අයව පේන්නෙ දන්නවනෙ මොන විදියටද කියලා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. අනික ඔයාලා තාම රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නෑනෙ නංගි” කියා මධුර කියද්දී “අයියා ගම කාලනේ” කියා කියාගන්න බැරුව ශාර්වරී ලතවුණාය. 

“ඔය වගේ කොල්ලන්ට නංගි කෙල්ලො කියන්නෙ මේ ඇඳල අයින් කරන ඇඳුම් වගේ. අනික පෙනුමයි සල්ලියි එහෙමත් හොඳට තියෙන හන්දා කෙල්ලො වහ වැටෙනවා කියලා දන්නවනෙ. ඒ උනාම හරි ලේසියි නෙ ඔය අහිංසක අසරණ කෙල්ලෙක්ව දාගන්න එක. යමක් කමක් තියෙන තැනක කෙල්ලෙක් දාගන්න එක පස්සෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නෙ අතැරපු දවසකට කියල හිතන හන්දා ඔයාලා වගේ අහිංසක ලෝකේ කාලා වතුර බීලා නැති පොඩි කෙල්ලන්ව තමා අල්ල ගන්න හදන්නෙ. 

ඒ නිසා මං මේ කලින්ම කියලා තියෙන්නෙ නංගිගෙ පරිස්සමට. ඔයා දන්නවනෙ නංගි මම මගේ ගෑණු ළමයයි, අපේ නංගියි දෙන්නගෙ පරිස්සම ගැන කොච්චර හිතනවද ඔයාගෙ ගැනත් එච්චර තමයි. ඒ නිසා රෙස්ටුරන්ට් එකට ආව වෙලාවක කතා බස් කරාට කමක් නෑ. ඕනවට වඩා කතා බස් වලට එහෙම යන්න එපා.

අපි දන්නෙ නෑනෙ මොනවට එනවද කියලා?” මධුර එක මේසෙක කපල් එකක කොල්ලා බිල් එක අරගෙන එන ලෙස කිව්වයින් පස්සේ බිල් එක දැමූ ෆයිල් එක අතෙන් අරගෙන මධුර එහාට යද්දී නෙවින් තමා දිහා බලාගෙන හීනියට හිනාවෙන විත්තිය ශාර්වරී දුටුවාය.

“බොරුකාරි” නෙවින් එහෙම කිව්වේ ශාර්වරීට ඇහෙන්නටය.

“ඇයි එහෙම කිව්වේ?”

“ඇයි ඔයා මට බොරු කිව්වෙ ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියල”

“මං එහෙම දෙයක් කිව්වෙ නෑ”

“ඇයි මං ඇහුවම ඔයාව රෑට වැඩ ඇරිලා එක්කරගෙන යන්න කෙනෙක් ඉන්නවද කියල ඔයා ඔව් කිව්වේ?”

“ඔව් ඉතින් එහෙම එක්කරගෙන යන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ම වෙන්න ඕන නෑනෙ. කාට උනත් පුලුවන් නෙ මාව එක්කරගෙන යන්න එන්න. ඔයාගෙ මෝඩකම මං එහෙම කිව්ව පලියට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියල හිතුව එක”

“හරි එහෙනම් ඇයි මං උදේ අර කවි සීන් එක ගැන ඇහුවම එයාට ලියන කවි පබ්ලිශ් කරන්නෙ නෑ, එයාට දවල්ට එන්න අමාරු රස්සාව තියෙන නිසා කියල කිව්වෙ. ඒ කිව්ව දේවල් වලින් මං නෙවෙයි ඕන කෙනෙක් හිතන්නෙ ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියලා තමයි”

“මට ඕන උනේ ඔයා මං ගැන එහෙම හිතනව දකින්න තමයි”

“ඇයි ඒ?”

“ඔයා නිකන් අමුතුවට කතා කරගෙන එද්දි මට හිතුනා එහෙම කියන එක මගේ ආරක්ශාවට හොඳයි කියලා” කියන්න තිබ්බ නම් හොඳ එක ඇත්තකි. ඒ උනාට ඒක ඉතින් මනුස්සයෙක්ගෙ මූණට කියන්න බැරි කතාවක් වගේම නෙවින්ගේ අච්චර ලස්සන මූණ දිහා බලාගෙන එහෙම කතාවක් කියන්න බැරිකමක් ශාර්වරීට සිතුනාය.

“ඔයාට බය හිතුනද මම ඔයාට වද දිදී පස්සෙන් ඒවි කියල මාත් එක්ක යාලුවෙන්න කියල හිතාගෙන?” නෙවින් අහන්නේ ඕනවටත් වඩා මනමාල හිනාවක් දෙතොල් මත ඇඳගෙන ඒ හිනාව ඇස් අග්ගිස්ස දක්වාම අරගෙන යන ගමන් ය. ඒ වනාහී දෙනෙත් ඉවතට ඇද ගන්න බැරි විදියේ සුන්දර දසුනක් බව හිත කිව්වද මල පෙරේතයා වගේ ඒ මූණ බලාගෙන ඉන්න බැරි හන්දා ශාර්වරී හිනාව හිරකරගෙන අහක බලාගෙන බොරුවට වෙන වැඩක නියැලුනාය.

“මට බොරු කිව්වට කමක් නෑ ශාර්වරී බොරුකාරී. හැබැයි මෙතනින් පස්සෙ ඔයාගෙන් එහෙම කොල්ලෙක් ඉන්නවද කියලා අහන අයට ඔයා ඒ බොරුවම දිගටම කරන්නකො”

“ඇයි මං එහෙම වෙන කෙනෙක්ට බොරුවක් කරන්නෙ?”

“ඒක අදින් පස්සෙ බොරුවක් වෙන්නෙ නැති හන්දා”

“ඒ කිව්වෙ”

“අයියෝ ඔයාට හැම එකම එකින් එක කියල දෙන්න ඕන නේද. හරි එහෙම කිව්වෙ අදින් පස්සෙ රෑ වැඩ ඉවර උනාම ඔයාව එක්කරගෙන යන්න, ලෙක්චර්ස් ඉවර උනාම ඔයාව එක්කරගෙන එන්න කෙනෙක් ඔයාට හම්බෙන්නයි යන්නෙ. ඒකයි”:

“කවුද?”

“මම”

“පිස්සුද හැටිද? ඔයා මොකටද එහෙම රඟපාන්නෙ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ. මට ඕන නෑ අනික ඔයා වගේ එක්කෙනෙක්” කියා කිව්වට ඇත්ත ඒකද කියලා හිත අහපු හන්දාම නෙවින්ව මගෑරිය ශාර්වරී කවුන්ටරයෙන් එලියට යද්දී ඉස්සරහට ආ මධුර ඇහුවේ වෙන කතාවකි.

“අර යකා ඔයාට මොනවා හරි කිව්වද?”

“මං හිතන්නෙ අයියා හිතුව දේ වැරදියි”

“ඒ කිව්වේ?”

“එයා කැමති මට නෙවෙයි”

“එහෙනම්?”

“මං හිතන්නෙ මධුර අයියෙ එයා කැමති ඔයාට”

“හෑ?” මධුරගේ මූණෙ ඇඳිච්ච පෙනුම දැක්කම නම් බකස් ගාලා හිනා යන්න ආවත් ශාර්වරී මූණෙන් කිසිත් වෙනසක් නොපෙන්වා එතනින් පිටවුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here